අභාවය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වූකලි වෛශේෂික දර්ශනයට අයත් පදාර්ථ හතෙන් එකකි. එහෙත් එය එම දර්ශනයට පසුව ඇතුළත් කරන ලද්දකි. ප්‍රශස්තපාද භාෂ්‍යයෙහි අභාවයට පැහැදිලි තැනක් ලැබී නැත. වෛශේෂික සූත්‍රවල (1) ප්‍රාගභාවය (2) ප්‍රධ්වංසා භාවය (3) අත්‍යන්තාභාවය හා (4) අන්‍යෝන්‍යා භාවය සටහන් වෙයි. න්‍යාය - වෛශේෂික ඒකාබද්ධ ක්‍රමය යටතේ ලියන ලද ග්‍රන්ථවල පදාර්ථ හතක් එකවර පෙන්වනු ලබයි. භාවපදාර්ථයනට සමාන තත්ත්වයක් අභාවපදාර්ථයට එහි පිරිනමා තිබේ. ඇත්ත වශයෙන් ම අභාවය නොමැතිව ප්‍රමාණ ශාස්ත්‍රයට ‍මො‍හොතක් වත් ව්‍යාප්ති ආදි තැන්වල ක්‍රියා කළ නොහේ. අභාවය ඇතුළත් කරගැන්ම වෛශේෂික දර්ශනයෙහි ගෞරවයට හේතුවිය.

නමක් ලැබිය හැකි ස්වරූපයක් ඇතිවීමත්, එසේ ම බුද්ධියට ගොදුරු වන්නක් වීමත් පදාර්ථයක තිබිය යුතු ලක්ෂණයෝයි. පදයෙන් ප්‍රකාශ වන අර්ථය, වස්තුව හෝ දෙය බුද්ධියට ද ගොදුරු වෙයි. ද්‍රව්‍ය පදාර්ථයේ නම ද්‍රව්‍යය වන්නාක් මෙන් අභාව පදාර්ථයේ නම ද අභාවයයි. අභාවයාගේ ස්වරූපය නම් භාව නොවූ, භාවයට ප්‍රතිවිරුද්ධ වූ නිෂේධ ස්වරූපයයි. නැත යන ප්‍රතිෂේධඥානයට ගෝචර වූයේ අභාවයයි. භාව නොවන දේ අභාවය වේ යනු එහි ලක්ෂණයයි. පදාර්ථ හෙවත් දේ යනුවෙන් අදහස් කරන්නේ ස්වරූපයක් ඇති යන්නයි.

(1) ප්‍රාගභාවය (2) ප්‍රධ්වංසාභාවය (3) අත්‍යන්තාභාවය (4) අන්‍යෝන්‍යාභාවය යයි අභාවය සතර වැදෑරුම් වෙයි. "ඝටයක් මුලින් නොතිබිණ. පසුව ඇතිවිණ. නැවත නැතිවිණ." මේ උදාහරණයෙහි මුලින් ‍නොතිබීම ප්‍රාගභාවයයි. පසුව නැතිවීම ප්‍රධ්වංසාභාවයයි. හෙවත් ඝටය ඇති වන්නට පෙර වූ අභාවය (ඝටාභාවය) ප්‍රාගභාවයයි. ඇති වූ ඝටය නැති වූ විට වන අභාවය ප්‍රධ්වංසාභාවයයි. ඝටය ඇති වූ තැන පටන් නැතිවන තැන දක්වා මෙදෑතුර ඝටයාගේ භාවය (අස්තිත්වය) පවත්නා හෙයින් ප්‍රාගභාවයට හා ප්‍රධ්වංසාභාවයට මැදිව ඇත්තේ භාවයයි.

(1) එහෙයින් නිපදවූ දෙය නිපැදවීමට පෙර වූ නොපැවැත්ම ම ප්‍රාගභාවය (පෙරවූ අභාවය)යි. වස්තුවක් නිපදවීමෙන් ප්‍රාගභාවය නැතිවෙයි. එහෙත් එම අභාවයේ ආරම්භය අසවල් තැනින් වී යයි කිව නොහැකිය. එම නිසා ප්‍රාගභාවයට ආදියක් නැත. එහෙත් අවසානයක් ඇත. පෙර නොතිබූ දෙයක් ඇති වූ විට පෙර නොතිබීම නැති වන හෙයින් ප්‍රාගභාවයට අවසානයක් ඇත. එහෙත් මුල් ආරම්භයක් නැත.

(2) නිපදවූ දෙයෙහි විනාශය ම ප්‍රධ්වංසයයි. විනාශයට ආරම්භයක් ඇත. එහෙත් අවසානයක් නැත්තේය. තුබූ දෙය විනාශ වූවා ම නැතහොත් නැතිවූවා ම එය ඒ ප්‍රධ්වංසාභාවයාගේ ආරම්භයයි. විනාශ වූ දෙය යළිත් කිසිදු දවසක ඇති නොවෙයි. එබැවින් ප්‍රධ්වංසාභාවයාගේ අවසානයක් නම් නැත.

(3) "භූතලයෙහි කළයක් නැත" යනු අත්‍යන්තාභාවයේ ආකාරයයි. භූතලයෙහි කවර විදියක හෝ සම්බන්ධයක් කළයට නොවීම ම අත්‍යන්තාභාවයයි. අත්‍යන්තාභාවය කාල තුනට ම සම්බන්ධ වූවකැයි ද එහෙයින් නිත්‍ය අභාවයකැයි ද කියනු ලැබේ. භූ තලයෙහි සංයෝග සම්බන්ධයෙන් කළය (ඝටය) නොවන කල්හි අත්‍යන්තාභාවය පවතී. එසේම සංයෝග සම්බන්ධයෙන් භූතලයෙහි කළය ඇති කල්හි පවා සමවාය සම්බන්ධයෙන් කළය එහි නැත. මේ අනුව එහි අත්‍යන්තාභාවය වන්නේ නැත. මෙය සාමයිකාභාවයකි. කාලීන අභාවයකැයි අසත්ඛ්‍යාතිවාදීන්ගේ මතයකි. ඔවුහු "ගුවන්මල් නැත, ඉබිලොම් නැත" යනාකාර අත්‍යන්තාභාවය අභාවය වියහැක යනු කියති. එහෙත් වෛශේෂිකයෝ එය නොපිළිගනිති.

(4) අන්‍යෝන්‍යාභාවය නම් එකිනෙක අතර පවත්නා පරස්පර අභාවයයි. එකෙක අභාවය අනිකෙහි පවත්නා බවයි. "ගවයා, අශ්වයා නොවේ." "කෙසෙල් පොල් නොවේ. පොල් කෙසෙල් නොවේ." ප්‍රථම උදාහරණයෙන් පැවසෙන්නේ ගවයාත් අශ්වයාත් එකෙක් නොවන බවයි. මෙයින් මේ දෙදෙන අතර අභේද භාවය හෙවත් තාදාත්ම්‍ය සම්බන්ධය නිෂේධ හෙවත් ප්‍රතිෂේධ කරනු ලැබෙයි. දෙවැන්න ද මේ නයින් දන්නේය.

කර්තෘ:ඇස්.අබේසිංහ

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභාවය&oldid=2123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි