අභිචාරවිධි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම්කිසි අභිමතාර්ථයක් ඉටුකර ගැනීමට කරන ඉණා, වින, හූනියම් යනාදිය අභිචාරවිධි නමින් හැඳින්වේ. මේ හැම ක්‍රියාවක් ම "මන්ත්‍ර ගුරුකම්" යන වචනයෙන් ද හැඳින්විය හැකිය. මෙවැනි ක්‍රියා ලෝකයේ සෑම මනුෂ්‍ය ජාතියක් අතර ම දක්නා ලැබේ.

අභිචාරවිධි ආගමේ මූලාරම්භය යයි ෆ්‍රේසර් අදහස් කළේය. තවද කිසියම් අභිමතාර්ථයක් ඉෂ්ටකර ගැනීමට අභිචාරවිධි උප‍යෝගි කරගන්නා බැවින් එය විද්‍යාවක් වැනි වුව ද මිථ්‍යා අදහස් පදනම් කොට ඇති හෙයින්, ව්‍යාජ විද්‍යාවකැයි ද ඔහු කීය. මන්ත්‍ර ජපකිරීමෙන් හා අභිචාර විධියෙන් තම අභිමතාර්ථයන් ඉෂ්ට කරගත නොහෙන කල මිනිසා යැදීමෙහි යෙදෙන බව ද, එවිට ආගම බිහිවන බව ද ඔහු කල්පනා කළේය. අභිචාරවිධිවල භාෂාවේ විධාන ස්වරූපයක් මෙන්ම යාච්ඤා ස්වරූපයක් ද පවතින බව ඔහු කීය. ඇතැම් මනුෂ්‍යයෝ දෙවියන්ට හා මළගිය මුතුන්මිත්තන්ට විධානස්වරූපී භාෂාවෙන් අමතමින් මන්ත්‍ර ජප කරත්. තවද, මේ භාෂා විලාසද්වය මිශ්‍රව තිබෙනු බොහෝ විට දක්නා ලැබේ. මේ නිසා මෙය සැලකිය යුතු වෙනසක් ලෙස ගිණිය නොහැක. වර්තමාන මානවවිද්‍යාඥයන් "ආගමික කටයුතු" යන පළල් පොදු ශීර්ෂය යටතේ අභිචාරවිධි අඩංගු කරන්නේ මේ නිසාය.

අභිචාරවිධි පිළිබඳ වැදගත් මතයක් ඉදිරිපත් කරන ලද්දේ මහාචාර්‍ය්‍ය බ්‍රොනිස්ලාව් මැලිනොව්ස්කි විසිනි. ස්වභාවධර්මයාගේ ක්‍රියාකාරිත්වය හා එය මිනිසාගේ අවශ්‍යතාවන් උදෙසා උපයෝගී කොට ගැනීම පිළිබඳ විද්‍යාත්මක දැනීමට සමාන කළ හැකි යම්කිසි කාර්මික දැනීමක් ආදි මිනිසා සතු වී යයි ඔහු කියයි. ධාන්‍ය ලබාගැනීම හෝ මසුන් මැරීම වැනි වූ තමාට අභිමත කාර්‍ය්‍යයන් ඉෂ්ට කරගැනීම සඳහා මිනිසා මෙම දැනීම පාවිච්චි කරයි. එහෙත් තමා දන්නා උපක්‍රමවලින් පමණක් අභිමත ප්‍රතිඵල නියත වශයෙන් ලැබීම කොහෙත් ම බලාපොරොත්තු විය නොහැක. කුඹුරක් සීසා, ධාන්‍ය වැපිරිය හැකි නමුත් නියඟ හේතුකොටගෙන කුඹුර වියළී යා හැකි වීම නිදසුනකි. මෙවැනි අවස්ථාවල, එනම් යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුව ද එම ප්‍රතිඵලය නොලැබේය යන බියක් පවතින අවස්ථාවල, මිනිසා අභිචාර විධිවල යෙදෙන බව මැලිනොව්ස්කි පෙන්වා දුනි. මේ අනුව අභිචාර විධි වනාහි තමා දන්නා කාර්මික උපක්‍රමවලින් ඉටු නොවන කාර්‍ය්‍යයන් ඉෂ්ට කරගැනීමට මිනිසා දරන ප්‍රයත්නයක් වෙයි.

තම මතය සනාථ කිරීම සඳහා මැලිනොව්ස්කි තම පර්යේෂණයන්ට ක්ෂේත්‍ර වූ ට්‍රෝබ්‍රියන්ඩ් දූපත්වලින් උදාහරණයක් දක්වයි. ට්‍රෝබ්‍රියන්ඩ් දූපත් වාසීහු කලපුවලත් මුහුදේත් මසුන් මරති. නොගැඹුරු කලපුවල මසුන් මැරීම ලේසිය. එහි දී මසුන් මැරීමේ සාර්ථකත්වය ප්‍රත්‍යක්ෂය, නියතය. එහෙත් මුහුදේ මසුන් මැරීම අන්තරායදායකය, දුෂ්කරය. තවද මාළු රංචු වෙරළ අසල සිටීම හෝ නොසිටීම ආදී නොයෙක් හේතූන් නිසා මාළු ඇල්ලීම සාර්ථක වේ ද යන්න ද සැක සහිතය. කලපු මසුන් මැරීමේ දී තමා දන්නා උපක්‍රමවලින් නියත ප්‍රතිඵල ලැබෙන හෙයින් අභිචාරවිධි දක්නා නොලැබෙන බවත්, අන්තරාදායක වූ ද අවදානම් සහිත වූ ද මුහුදේ මසුන් මැරීමේ දී ආරක්ෂාව මෙන් ම හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නොයෙක් අභිචාරවිධි පවත්වනු ලබන බවත් මැලිනොව්ස්කි දක්වයි.

අභිචාරවිධි දළ වශයෙන් ඵලදායක, ආරක්ෂාදායක, විනාශදායක යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය. පළමු ගණයේ ගුරුකම් ආර්ථික කටයුතු, පෙම්බැඳීම් ආදියේ සඵලත්වය සඳහා ද දෙවැනි ගණයේ ඒවා දේපළ හා ශාරීරික සුවය ආරක්ෂා කර ගැනීම සඳහා ද තුන්වැනි ගණයේ ඒවා සතුරන්ගේ විනාශය සඳහා ද යොදනු ලැබේ.

ගුරුකමක් කරන්නේ යම්කිසි අභිප්‍රායක් ඉටුකර ගැනීම සඳහාය. ඒ සඳහා පළමු කොට ම ඇදුරෙක් අවශ්‍යය. ඔහු ගුරුකම කිරීම සඳහා සම්මත යෝග්‍ය තත්ත්වයක සිටිය යුතුය. ඇතැම් විට ඔහු දින ගණනක පටන් යම් යම් ආහාරපාන වර්ගවලින් හා ස්ත්‍රී සේවනයේ වැළැකී සිටිය යුතුය. එසේ ම අනුරූප වූ ඇඳුම් ආයිත්තම් ආදියෙන් සැරසී සිටිය යුතුය. මේ රටේ ඇදුරන් නූල් ජප කිරීමට පෙර පිරිසිදු බව අඟවන පිරුවට ඇඳ පේවී සිටීම මීට නිදසුනකි.

ගුරුකම ද ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. එනම් ඖෂධ හෝ උපකරණ, පිළිවෙත, මන්ත්‍රය යන මේවායි. දෙහි, අහු, පුහුල් ආදි ඖෂධ වර්ග හා නූල්, දුම්මල, පැන්කෙණ්ඩි ආදි උපකරණ මේ රටේ ඇදුරන් ගුරුකම් සඳහා භාවිත කරන උපකරණ රාශියෙන් කීපයකි. මේ සඳහා ලෝකයේ ඒ ඒ රටවල නානාවිධ ඖෂධ භාවිත කරනු ලැබේ. ගුරුකම කරන ආකාරය නොහොත් පිළිවෙත ද විවිධය. තුන්වන කොටස වූ මන්ත්‍රය අතිශයින් වැදගත් වේ. ගුරුකමේ නියම ඵලය ලබා ගැනීමේ ශක්තිය ඇති කොටස මන්ත්‍රයයි ද එය එහි ඉතා ම වැදගත් කොටස යයි ද මහාචාර්‍ය්‍ය මැලිනොව්ස්කි කියයි. ඇතැම් විට මන්ත්‍රය නොවෙනස්ව පැවත එන වාක්‍යයකි. ඇතැම් විට යකැදුරාගේ කැමැත්ත අනුව කියන්නකි. මන්ත්‍රය ශබ්දාලංකාරයන්ගෙන් ගහනය. එයින් ගුරුකමේ අභිප්‍රාය ද කියැවෙයි. මේ මන්ත්‍ර ජපකරනු ලබන්නේ වාච්‍යාර්ථය සඳහා නොවන බවත් මන්ත්‍රය ප්‍රධාන වශයෙන් හැඟීම් ප්‍රකාශ කිරීමක් බවත් මහාචාර්‍ය්‍ය මැලිනොව්ස්කි තරයේ ම කියා සිටී. මන්ත්‍රය වනාහි මනුෂ්‍යයා තුළ වූ බලවත් ආශාවන් වචනයට පරිවර්තනය කිරීමකි. පිළිවෙත හා මන්ත්‍රය ස්වභාව ධර්මයාගෙන් මිනිසා ලබන ප්‍රයෝජන නොවරදවා ලබා ගැනීමටත් තවත් වැඩි කර ගැනීමටත් ඔහු දරන පරිශ්‍රමය වේ. අභිචාරවිධි වැරදි මූලධර්ම මත ගොඩ නැංවී තිබෙන බව බොහෝ දෙනා දන්නා නමුත් ඒවා සමාජයේ නොකඩවා පැවත එයි. මෙය කුතූහලයට කාරණයකි. මීට හේතු වන කරුණු හතරක් මානවවිද්‍යාඥයන් දක්වා තිබේ. එනම්, (1) ගුරුකමේ බලයෙන් හෝ වෙනයම් ඖෂධයක බලයෙන් සමහර අවස්ථාවල බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල ලැබීම (2) කූටෝපායවලට රැවටීම (3) හරියන එක ගුරුකමක් වරදින ඒවා රාශියකට වඩා සමාජය කෙරේ බලපැවැත්වීම (4) ප්‍රති-අභිචාරවිධි නොහොත් ගුරුකමේ ඵලය අහෝසි කිරීමට වෙන ගුරුකම් තිබේය යන විශ්වාසය යන හතරයි. පූජාවිධිවල අභිචාරවිධි බොහෝ විට අඩංගුය. ආදිතම සමාජවල ආර්ථික හා සාමාජික කටයුතු පුදපූජා සමඟ බොහෝ විට සම්බන්ධව පවතී. එවැනි සමාජයන්හි පුද්ගලයන්ගේ ශාරීරික වෙනස්වීම්, කාලගුණයේ වෙනස්වීම්, සමාජයේ වෙනස්වීම් ආදිය සම්බන්ධයෙන් අභිචාරවිධි මිශ්‍ර පුදපූජා පවත්වනු ලැබේ. එබඳු වෙනස්වීම් භය, කුතූහලය ආදී හැඟීම් උපදවයි. මරණය, ඉපදීම, රෝග, වැඩිවිය පැමිණීම, විවාහය ආදි වෙනස්වීම්වලින් විශේෂයෙන්ම ආදිතම සමාජවල මනුෂ්‍යයා තුළ බිය හා කුතූහලය ඇති වෙයි. වෙනස් වීම්, ඍතු විපර්‍ය්‍යාස, නියං, වැසි, ගංවතුර ආදිය ද ඇතැම්විට බිය ඇතිකිරීමට හේතු වේ. මේ විවිධ වෙනස්වීම් නිසා ඇතිවන බිය පලවා හැර සිත ධෛර්‍ය්‍යවත් කරවීම සඳහා ලෝකයේ බොහෝ ප්‍රදේශවල දෙවර්ගයක පූජාවිධි පවත්වනු ලැබේ. එනම් (1) සාමූහික පූජාවිධි හා (2) පෞද්ගලික සංස්කාර යනුයි. (1) සාමූහික පූජා විධි නම් මුළු සමාජය විසින් සියල්ලන්ගේ ම හිතවැඩ සඳහා පැවැත්වෙන ඒවාය. මෙම පූජාවිධි හේතුකොටගෙන සමාජයේ ඒකාබද්ධතාව ප්‍රබල වෙයි. (2) පෞද්ගලික සංස්කාර යනු පුද්ගලයාගේ ශාරීරික වෙනස්වීම්වල දී ඉටුකරන දෑයි. රෝගීවීම හැර අනෙක් වෙනස්වීම්වල දී මේවා සිදුකරනු ලැබේ. ඉපදීම, වැඩිවිය පැමිණීම, විවාහය, මරණය ආදි අවස්ථා නිදසුන්ය. බොහෝ ආදිතම සමාජවල තරුණ බවට පා තබන්නවුන් සඳහා යම් යම් වත් පිළිවෙත් පවත්වනු ලැබේ. "කලහ බිඳීම" යනුවෙන් මෙරට ඇතැම් පළාත්වල පැවැත්වෙන පූජාව ඉපදීම සම්බන්ධයෙන් පවත්වන්නකි. එක් අවස්ථාවකින් අනික් අවස්ථාවට සංක්‍රමණය වී‍මේ දී පුද්ගලයා තුළ ඇතිවන තැතිගැන්ම මෙම පිළිවෙත් නිසා අඩුවෙයි.

අභිචාරවිධි සමාජයේ කවර අවශ්‍යතා පිරිමසයි ද, සමාජය සඳහා කවර කාර්‍ය්‍යයයන් ඉටු කරයි ද යන්න සලකා බැලිය යුතුය.

පළමුකොට ම ඵලදායක අභිචාරවිධි නැතහොත් ආර්ථික කටයුතු සම්බන්ධ මන්ත්‍ර ගුරුකම් ආදිය නිසා එම කටයුතුවලට පවිත්‍රතාවක් හා ගම්භීර බවක් ඈ‍ඳෙයි. "කමත මැනීම" නමින් හැඳින්වෙන අස්වැන්න මනින අවස්ථාවේ දී කතා කිරීම තහනම්ය. අවශ්‍ය ම දෙයක් ගැන වුව ද වචනයකට දෙකකට වඩා කතා කරනු නොලැබේ. නිශ්චලතාව නිසා මෙම අවස්ථාව මහත් ගම්භීරත්වයක් දක්වයි. මෙවැනි සිරිත් නිසා ගොවියා මෙම කටයුත්තෙහි දී විශේෂයෙන් සැලකිලිමත් වෙයි.

දෙවනුව ගොයම් කැපූ දා සිට නැවත වපුරන තෙක් ඇති විවිධ අවස්ථා හැම එකක් ම අභිචාර ‍විධි හා සම්බන්ධ වී ඇතැයි සිතමු. එවිට නියමිත අභිචාරවිධි සිදු කිරීමට නම් කුඹුරේ කටයුතු නියමිත ලෙස කලට වේලාවට ඉටු කළ යුතුය. මේ නිසා අභිචාරවිධිවලින් වැදගත් සංවිධානාත්මක කාර්‍ය්‍යයක් ඉටු කෙරේ.

තුන්වනුව, අභිචාරවිධි විශ්වාසය හා බලාපොරොත්තුව ඇති කරයි. යම් අමාරු කාර්‍ය්‍යයක් ඉටු කිරීමට වුවමනා මානසික වීර්‍ය්‍යය මේ නිසා ලැබේ. ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුව හා විශ්වාසය මනුෂ්‍යයාගේ කටයුතු කරගෙන යෑමට විශාල උපකාරයකි. බිය හා සැක ආදි මානසික අවස්ථාවන්ගෙන් ගැළවීමට අභිචාරවිධි උපකාර වේ.

ආරක්ෂාදායක අභිචාරවිධිවලින් පෞද්ගලික අයිතිවාසිකම් තහවුරු කරනු ලැබේ. සොර සතුරන්ට දඬුවම් වශයෙන් හූනියම් කරන්නා තම කෝපය හා පළිගැනීමේ ආශාව සන්සිඳුවා ගනී. මේ විදියෙන් කෝපය සන්සිඳුවා ගැනීම සතුරන් මරා එම මානසික තත්ත්වයට ම පැමිණීමට වඩා සමාජයට හිතකරය. තවද, හොර මැරකම් හා සමාජයේ තහනම් ලෙස ගැනෙන වෙනත් දේ කළහොත් අභිචාරවිධි මාර්ගයෙන් දඬුවම් ලැබේය යන විශ්වාසය නිසා සමාජයට අහිතකර එවැනි දේ කිරීමට බොහෝ දෙනා මැළි වෙත්.

මන්ත්‍ර ගුරුකම්වල ඒවාට ම ආවේණික වූ බලයක් ඇති නමුත් එමගින් යම් යම් අවශ්‍යතා පිරිමැසීමත්, යම් යම් කටයුතු සඵල වීමත් සිදුවන බව පැහැදිලිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිචාරවිධි&oldid=2124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි