අභිඥා
ශමථ විදර්ශනා භාවනාවන්ගේ ආනිසංස වශයෙන් ලබාගත යුතු විශිෂ්ට වූ ඥාන විශේෂයෙකි. අභිඥාව ලෞකික ලෝකෝත්තර භේදයෙන් දෙවැදෑරුම් වෙයි. සමාධි භාවනාවෙහි දිට්ඨධම්මසුඛ විහරණාදි අනුසස් පසෙක් දක්වන ලද්දේය. එහි තුන්වැනි ආනිසංසය ලෞකික අභිඥා උපදවා ගත හැකි බවය. එනම් 1. ඉද්ධිවිධ ඤාණ, 2. දිබ්බ සොතධාතු ඤාණ, 3. වෙතොපරිය ඤාණ, 4. පුබ්බේනිවාසානුස්සති ඤාණ, 5. චුතූපපාත ඤාණ යන පසයි. කිසි තැනෙක 3. වේතෝපරිය ඤාණය "පරචිත්තවිජානන" යයි ද, 5. චුතූපපාත ඤාණය "දිබ්බචක්ඛු" යයි ද ප්‍රකාශ වෙයි. පඨවිකසිණාදි අරමුණු වැඩීමෙන් උපදවා ගත් චතුර්ථධ්‍යානය ඇති යෝගාවචරයා විසින් මේ පඤ්චාභිඥාවන් ලබාගැනීමට වෑයම් කළ යුතුය. එයින් යෝගාවචරයාට සමාධිභාවනානිසංස ලැබීමද ඔහුගේ සමාධිය ස්ථිරබවට පැමිණීම ද සිදුවෙයි. ස්ථිර වූ සමාධිභාවනායෙහි සිට සුවසේ පඤ්ඤා භාවනාව වැඩිය හැකි වෙයි. මේ නිසා ශාසනික යෝගාවචරයා විසින් ලෞකික අභිඥා උපදවාගත යුතුවේ.
අභිඥා උපදවාගනු කැමැති ආදිකම්මික යෝගාවචරයා විසින් පඨවි ආපො තෙජො වායො නීල පීත ලොහිත ඔදාත යන අට කසිණයන්හි වෙන වෙන ම රූපාරූප අටසමවත් උපදවාගෙන අනුලෝම පටිලෝමාදි වශයෙන් සමවතට සමවදිමින් සිත තුදුස් ආකාරයකින් දමනය කරගත යුතුය. ඉක්බිති "සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනංගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභි නීහරති" යනාදීන් නොයෙක් සූත්‍ර ප්‍රදේශයන්හි වදාළ හෙයින් රූපාවචර චතුර්ථධ්‍යානසමාපත්තියෙන් සිත එකඟ වූ කල්හි පරිශුද්ධ පරියෝදාත අනංගණාදි අංග අටකින් සමන්විතවූ සිත ඉද්ධිවිධාදි පඤ්ච අභිඥාවන් ලැබීමට සුදුසු වේ යයි සැලකිය යුතුය.
1. එහි ඉද්ධිවිධ ඤාණ නම්: "එකොපි හුත්වා බහුධා හොති" යනාදීන් වදාළ අනේකප්‍රකාර ඍද්ධිකොට්ඨාසයන් ලැබීමට සමර්ථ වූ ඥානයයි. එය දසවැදෑරුම් ඍද්ධි අතුරෙහි "අධිෂ්ඨාන ඍද්ධි" යයි. (ඍද්ධි බ.)
2. දිබ්බසෝතධාතු ඤාණ නම්: චතුර්ථධ්‍යාන සමාධියෙන් එකඟ වූ සිත හේතුකොටගෙන එක් තැනෙක සිට දුර වේවයි ළඟ වේවයි ලොවැ කවර තැනෙක හෝ කථා කරන සත්වයන්ගේ බස් ඇසීමෙහි සමර්ථ වූ ඥානයයි. දෙවියන්ගේ සුචරිතකර්‍මබලයෙන් උපන් ඉතා දුර අරමුණු ගැනීමට ශක්තිය ඇති පසාදසෝතධාතුව වැනි නිසා ද, දිව්‍ය (ශ්‍රේෂ්ඨ) විහරණ වශයෙන් ලැබූ නිසා ද, යෝගාවචරයාගේ වීර්‍ය්‍යභාවනා බලයෙන් උපන් ඥානමය ශ්‍රෝත්‍රධාතුව දිබ්බසෝතධාතු යයි කියනු ලැබේ. තවද මේ දිබ්බසෝත ඤාණය ප්‍රකෘතියෙන් ම ශ්‍රෝත්‍රප්‍රසාදය ඇත්තකුට විනා බිහිරකුට නූපදනේ යයි පටිසම්භිදාමග්ග අටුවායෙහි දැක්වෙයි. එහෙත් පසුව පියවි කන බිහිරි වුව ද කලින් උපදවා ගත් දිබ්බසෝතධාතුවට හානියෙක් නොවේ.
3. චේතොපරියඤාණ හෙවත් පරචිත්තවිජානන ඤාණ නම්: සමාධියෙන් එකඟ වූ තමාගේ සිතින් අන්‍ය සත්වයන්ගේ සිත පිරිසිඳ දැනීමට පොහොසත් වූ විශිෂ්ට ඥානයයි. මේ අභිඥාව හේතුකොටගෙන සරාග වීතරාගාදි සොළොස් ප්‍රභේදයකින් හැම සත්වයකුගේ ම සිත දැන ගැනීමට හැකි වෙයි. එහෙත් ලෞකික අභිඥා ලාභියකු විසින් ආර්‍ය්‍යපුද්ගලයන්ගේ ලෝකෝත්තර සිත නොදත හැකිය; එසේ ම සෝවාන් ආදි ආර්‍ය්‍යයන් විසිනුදු තමහට උසස් වූ මාර්ගඵලයෙහි සිටි ආර්‍ය්‍යයාගේ ලොවුතුරා සිත නොදත හැකිය. රහතුන්වහන්සේගේ චේතෝපරියඤාණයෙන් හැම පුද්ගලයකුගේ ම ලොවීලොවුතුරා සිත දත හැකි වේ.
4. පුබ්බේනිවාසානුස්සතිඤාණ නම්: පෙර අතීත ජාතිවල ලැබූ ස්කන්ධයෝ හෙවත් පෙර ජාතිවල තමාගේ සන්තානයෙහි ඉපිද නිරුද්ධව ගිය ස්කන්ධයෝ පුබ්බේනිවාස නමි. ඒ පෙර උපන් ජාතිවල ස්කන්ධ පරිපාටිය සිහිකිරීමට සමර්ථ වූ ඥානය පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන නම් වේ. මේ අභිඥාවෙන් ජාති සිය දහසකින් එපිට නොයෙක් සංවට්ට විවට්ට කල්පයන්හි ද, 'මම අසවල් තැන මෙනම් ඇතිව උපන්මි, එහි දී මෙනම් ජාති ගෝත්‍ර ඇතිව මෙබඳු පැහැසටහන් ඇතිව මෙතෙක් ආයු වින්දෙමි' සර්‍වප්‍රකාරයෙන් දතහැකි වෙයි. පුබ්බේනිවාස සිහි කරන්නාහු සදෙනෙකි: තීර්ථක, ශ්‍රාවක, මහාශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක, ප්‍රත්‍යෙක බුද්ධ, සර්‍වඥ බුද්ධ යන මොහුයැ. එයින් තීර්ථකයනට සිහි කළහැක්කේ සතලිස් කල්පයක් පමණි. එයින් එපිට ඔවුන්ට නොපෙනෙයි. නාමරූප පිරිසිඳ දන්නා විදසුන් නුවණ නැතියෙන් ඔවුන්ගේ ප්‍රඥාව දුර්‍වල හෙයිනි. සාමාන්‍ය ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් නමුදු සිහි කෙරෙති. මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් ද, අග්‍රශ්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, පසේ බුදුවරු දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද සිහි කෙරෙති. සම්මාසම්බුදුවරයන්ට එබඳු පිරිසිඳීමෙක් නැත. ඒ ඒ පුද්ගලයන් කඳපිළිවෙළ සිහි කිරීමෙහි අන්‍ය වූ ද වෙනස්කම් විසුද්ධිමග්ගයෙන් දතයුතුය.
5. චුතූපපාතඤාණ හෙවත් දිව්‍යචක්ෂුර්ඥාන නම්: සත්වයන්ගේ ච්‍යති උත්පත්ති දැනගැනීමට සමර්ථ වූ ඥානයයි. සුචරිතකර්‍ම හේතුවෙන් උපන් දෙවියන්ගේ ඉතා දුර වූ ද අරමුණු ගැනීමට පොහොසත් වූ පසාදචක්ඛුධාතුව වැනි නිසා ද, දිව්‍ය විහරණ වශයෙන් ලැබූ නිසා ද, යෝගාවචරයාගේ වීර්‍ය්‍යභාවනා බලයෙන් උපන් ඥානමය චක්ෂුස දිබ්බක්ඛු යයි කියනු ලැබේ. මිනිස් ඇස ඉක්මැ සිටි විශුද්ධ වූ දිබ්බචක්ඛු ඤාණය හේතුකොට ගෙන ච්‍යුත වන උපදින හීනප්‍රණීතාදි භේද ඇති කම් වූ පරිදි පරලොව ගිය සත්වයන් දැක්ක හැකිය. මේ සත්වයෝ මෙබඳු කුශලාකුශල කර්‍ම කොට මෙබඳු ගතියට පැමිණියාහුය යි වෙසෙසා දත හැකිය. කිසිවිටෙක දිබ්බචක්ඛුඤාණය පුහුදුන් පුඟුලාහට උපද්‍රව පිණිස ද පවතී. හෙතෙම යම් යම් තැනෙක ආලෝක වේව යි අභිඥා බලයෙන් අධිෂ්ඨාන කෙරේ නම්, පෘථිවි සමුද්‍ර පර්‍වතාදිය විනිවිදගෙන ඒකාලෝක වෙයි. එහි භයානක වූ යක්ෂරාක්ෂසාදීන්ගේ රූප දක්නාහට බිය උපදනේය. එයින් චිත්තවික්ෂේපයට පැමිණ ධ්‍යානයෙන් ද පිරිහෙයි. එහෙයින් රූප දැකීමෙහි නොපමා විය යුතු යයි කියන ලදි.
තවද මේ දිබ්බචක්ඛු ඤාණයට පරිවාර වශයෙන් පවත්නා අනාගතංස ඤාණය, යථාකම්මූපග ඤාණ යයි අනෙකුදු ඥාන දෙකෙක් වෙයි. මේ සස්නෙහි අභිඥාලාභී මහණ තෙමේ යට දිසාවට ආලෝකය වඩා නිරයෙහි දුක් විඳින නිරිසතුන් දකී. ඒ දැකීම දිබ්බචක්ඛු ඤාණයයි. ඉක්බිති මේ සත්වයෝ කිනම් කර්‍මයක් කොට දුක් විඳිත් දැයි මෙනෙහි කරයි. එවිට මෙනම් කර්මයෙනැ යි කර්‍මාලම්බන වූ ඥානය උපදී. එය යථාකම්මූපග ඤාණයයි. එසේ ම උඩට ආලෝකය වඩා දෙව්ලොව සුව විඳින සත්වයන් දැක ඔවුන්ගේ පින්කම් ආවර්ජනා කෙරෙයි. එහි සත්වයන් දැකීම දිවැස් නුවණින් සිදුවෙයි. ඔවුන් කළ පින්කම් දැකීම යථාකම්මූපග ඤාණයෙනි. අනාගතයෙහි "මෙත්තෙය්‍ය" නම් බුදු කෙනෙක් උපදනාහ. ඔබගේ බුද්ධානුභාව මෙබඳුය යනාදිය දැකීම අනාගතංස ඤාණයයි. මේ ඥාන දෙක ම අමුතු උත්සාහයක් නැතිව දිබ්බචක්ඛු ඤාණය ලැබීමෙන් සමෘද්ධ වන හෙයින් පරිකර්‍ම (පරිභණ්ඩ) ඥාන යයි කියන ලදි.
මෙසේ ලෞකික අභිඥාව යට දැක්වූ ඉද්ධිවිධාදි පස ද, මෙම අනාගතංස ඤාණය, යථාකම්මූපග ඤාණය යන දෙක දැයි සත්වැදෑරුම් කොට ද දක්වති.
ආසවක්ඛය ඤාණය වනාහි ලෝකෝත්තර වූ අභිඥාවය. ආසව (ආස්‍රව බ.) නම් කාමාදි සතර ධර්‍මයෝය. තම තමා විසින් සමුච්ඡේද වශයෙන් නැසිය යුතු වූ ආස්‍රවයන් ක්ෂය කරන හෙයින් මාර්ගය ආස්‍රවක්ෂය නමි. අර්හන්මාර්ග ඥානය කිසිදු ආස්‍රවයක් ඉතිරි නොකොට ක්ෂය කරන හෙයින් රහත්මඟ ආසවක්ඛයඤාණ නම් වේ. රහතුන්වහන්සේ ම ක්ෂීණාස්‍රව යයි කියනු ලබන්නේ ද එහෙයිනි. යට දැක්වූ පඤ්චාභිඥාවන් හා මේ ආස්‍රවක්ෂය ඥානය හා සදෙන ෂඩභිඥා යයි කියනු ලැබේ.
තව ද දීඝනිකායයේ සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි අභිඥා ඥානය දසවැදෑරුම් කොට දක්වන ලද්දේය. එනම් 1. විපස්සනා ඤාණය, 2. මනෝමය ඤාණය, 3. ඉද්ධිවිධ ඤාණය, 4. දිබ්බසෝත ඤාණය, 5. චේතෝපරිය ඤාණය, 6. පුබ්බේ නිවාස ඤාණය, 7. අනාගතංස ඤාණය, 8. යථාකම්මූපග ඤාණය, 9. දිබ්බචක්ඛු ඤාණය, 10. ආසවක්ඛය ඤාණය යන මොහුයි. විපස්සනා ඤාණය හා මනෝමය ඤාණය මෙහි අධිකවැ පෙනෙයි. මේ විපස්සනා ඤාණය නම් සමාධි භාවනායෙන් සිත සමාහිත කල්හි නාමරූප ධර්‍මයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමය. විදර්ශනාව හේතු කොටගෙන දිබ්බසෝතධාතුයෙන් භයානක ශබ්ද අසන්නාට ද, පුබ්බේනිවාසානුස්සතියෙන් බිය එළවන ස්කන්ධයන් සිහි කරන්නාහට ද දිබ්බ චක්ඛුඤාණයෙන් භෛරවරූපයන් දක්නාහට ද උපදනා භයසන්ත්‍රාස නොවන්නේය. මනෝමය ඤාණය වනාහි දසවැදෑරුම් ඍද්ධි අතුරෙහි මනෝමය ඍද්ධිය මැයි.
(සංස්කරණය:1963)