අභිධර්මය
ධර්මවිනය යනුවෙන් ද්විවිධ වූ බුද්ධ වචනය අතුරෙන් ධර්මය අළලා විශේෂ වශයෙන් හා අතිරේක වශයෙන් ප්‍රභූත වූ සංග්‍රහනයත් සංගෘහීත විෂයයත් තදනුකූල චින්තන විධියත් භාවයිතව්‍ය මාර්ගයත් අභිධර්මය නමින් හැඳින්වේ. සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය ප්‍රභව කොට ඇති ක්‍රමවත් වූ ගැඹුරු වූ සුතමය-චින්තාමය-භාවනාමය ඥානස්කන්ධය අභිධර්මය නමි විශ්ලේෂණය - සංශ්ලේෂණ වශයෙන් ද්විවිධ වූ අභිධර්මක්‍රමය ධර්මයේ විශේෂාර්ථසමුදාය දීපනය කරයි (කෙනට්ඨෙන අභිධම්මො ධම්මාතිරෙක ධම්මවිසෙසට්ඨෙන; අතිරෙකවිසෙසත්ථදීඵකොහි එත්ථ අභිසද්දො- අත්ථසාලිනී) පිටක වශයෙන් ත්‍රිවිධ වූ බුද්ධ ධර්මයෙහි ලා අභිධර්මපිටකය විශිෂ්ටතර වේ (තිණණං පිටකානං බුද්ධ වචන භාවෙපි යථා සභාවානතික්කමන දෙසනා දිතො ඉදමෙව ච තීසු පිටකෙසු විසිට්ඨන්ති යුත්තං .......තස්මා අතිරෙකස්ස විසිට්ඨස්ස ධම්මස්ස වසෙන ඉදමෙව තීසු පිටකෙසු උත්තමන්ති වත්තුං වට්ටති-අභිධම්මත්ථවිකාසිනී) ලෝකව්‍යවහාරය ඉක්මවා යථාස්වභාව වශයෙන් ධර්මය දේශනා කෙරෙන බැවින් අභිධර්මය විනය-සූත්‍ර උභය දේශනාවට වඩා විශිෂ්ට වූ බව පැහැදිලිය. (විසිට්ඨභාවො පනෙතස්ස ලොකවොහාරමතික්කම්ම යථාසභාවවසෙන දෙසනතො විසිට්ඨධම්ම ධම්මක්ඛන්ධ විභාවනතො ච වෙදිතබ්බො. එත්ථ හි සත්තො පුග්ගලො භික්ඛූති ආදිකං ලොකවොහාර මතික්කම්ම ඛන්ධො, ධාතු ආයතනන්ති ආදිනා යථාධම්මවසෙනෙව බහුලං දෙසනා පවත්තා, න ඉතරෙසු විය යථාචුත්තවොහාරවසෙන...... අභිධම්මෙ හි නිප්පදෙසතො බන්ධායතනාදි ධම්මානං විභත්තත්තා ඉතර ද්වයතො අතිරෙකතරා විසිට්ඨා ච පාළි හොති- අභිධම්මත්ථවිකාසිනී) ශීල-සමාධි - ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ ස්කන්ධයෙහි ලා අභිධර්ම ක්‍රමයෙන් විශේෂයෙන් ප්‍රභාවිත වූයේ ඥානස්කන්ධයයි. (සබ්බසංඛතධම්මවිසිට්ඨො චෙත්ථ පඤ්ඤාක්ඛන්ධො විසෙසතො විභාවිතො - අභිධම්මත්ථවිකාසිනී)
අභිධර්මයෙහි ලා සංගෘහිත වූ බුද්ධවචනය සූත්‍රාන්තාධික (සූත්‍රාන්තයට වඩා අධික වූ විශේෂ වූ විවිධාර්ථ නයින් ගැඹුරු වූ) පාළියයි (එත්ථ ධම්මො අතිරෙකො; ධම්මාතිරෙකො සුත්තන්තාධිකා පාළති අත්ථො - අභිධම්මමූලටීකා). සංසාරයාගේ පැවැත්මට කාරණ සමුදයත් සංසාරයෙන් මිදීමට උපාය වූ ආර්ය මාර්ගයත් පිළිබඳ යථාතත්වය විවරණය කිරීම අභිධර්මයෙන් අභිප්‍රේත වූ කාර්යය වේ.
ෂඩන්ද්‍රියවිෂයාගත බාහිරාභ්‍යන්තරික ලෝකයත් ඉන්ද්‍රියාතිරික්ත ආධ්‍යාත්මික ලෝකයත් පිළිබඳව විග්‍රහයක් හා විවරණයක් අභිධර්මය ඉදිරිපත් කරයි. සත්‍යයේ පරිඥානාවස්ථාව තර්කානුකූලව භාෂානුසාරයෙන් විවරණය කරන අභිධර්මය දර්ශන විශේෂයක් වශයෙන් සැලකිය හැකිය. තර්ක විෂය හා භාෂා විෂය ඉක්මවා ඇති පරමාර්ථ සත්‍යයාගේ අභිසමයෙහි ලා අනුගමනය කළ යුතු ශීල- සමාධි - ප්‍රඥා සංඛ්‍යාත විශුද්ධි මාර්ගයක් ද නිර්දිෂ්ට වූ බැවින් අභිධර්මය ආගමධර්මයක ස්වරූපය ගනී.
ස්ථිවිරවාදී හා සර්වාස්තිවාදී සම්ප්‍රදායයන් තුළ වර්ධනය වූ බෞද්ධ දර්ශනයෙහි උත්කෘෂ්ට අවස්ථාව අභිධර්මය වශයෙන් සැලකිය හැකිය. පැරණි බෞද්ධ දර්ශනයේ අග්‍රඵලය අභිධර්මයයි.
බුද්ධ ධර්මයේ අතිරේක සංග්‍රහ නයක් වශයෙන් අභිධර්මය පැරණි බෞද්ධ නිකායයන්ට සාධාරණ වූවක් බව සිතිය හැකිය. එහෙත් සෑම බෞද්ධ නිකායයක් ම විශේෂ අභිධර්ම පිටකයකට හිමිකම් කීබවට සාක්ෂ්‍ය නොමැත. බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකටව පැනෙන අභිධර්මපිටක දෙකකි. මින් වඩා පැරණි අභිධර්මපිටකය ස්ථිවිරවාදීන් සතුය. ආරම්භයේ දී පාලි භාෂාවෙන් රචිත වූ මෙය අදත් ඒ භාෂාවෙන් ම විද්‍යමානය. ලංකාව, බුරුමය, තායිලන්තය හා කාම්බෝජය යන රටවල දැනට ප්‍රචලිත වූ පාලි අභිධර්මපිටකය වටා පාලි භාෂාවෙන් හා දේශීය භාෂාවන්ගෙන් රචිත වූ අසීමිත සාහිත්‍යයක් කාලාන්තරයක් මුළුල්ලේ සංවර්ධනය වෙමින් පවතී. සංස්කෘත භාෂාවෙන් ආරම්භයේ දී රචිත වූ දෙවැනි අභිධර්මපිටකය සර්වාස්තිවාදීන් සතු විය. එහෙත් ඒ පිටකය අංග සම්පූර්ණ වශයෙන් දැනට විද්‍යාමාන වන්නේ බහුල වශයෙන් චීන හා තිබ්බතීය භාෂාවන්ට නැඟූ අනුවාද ස්වරූපයෙනි. මහායාන සම්ප්‍රදායට අයත් විවිධ බෞද්ධ නිකායයන් සතු අභිධර්ම ග්‍රන්ථයන්ගෙන් සමහරක් සංස්කෘත භාෂාවෙන් දැනුදු විද්‍යාමානය.
අභිධර්මයේ සම්භවය හා සංවර්ධනය: ත්‍රිපිටකෝද් දේශයේ අනුපිළිවෙළ විනය - සූත්‍ර- අභිධර්ම වශයෙන් නම් කිරීම සම්මත සම්ප්‍රදායයි (සබ්බම්පිහෙතං පිටකතො විනය පිටකං සුත්තන්ත පිටකං අභිධම්ම පිටකන්ති තිප්පභෙදමෙව හොති - අත්ථසාලිනී). ධර්මය කෙරෙන් අභිධර්මය නිපන් බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ සත්වයන් විනයනය පිණිස ධර්ම ලක්ෂණ පිළිබඳ උපදේශ වශයෙන් අභිධර්මය දේශනා කළ බව සර්වාස්තිවාදීහු පිළිගනිති (එවං අභිධර්‍මො හි ධර්මලක්ෂණොපශෙස්වරූපො විනෙ යවශාත් තත්‍ර තත්‍ර භගවතොක්තඃ - ස්ඵුටාර්ථාභිධර්ම කොෂව්‍යාඛ්‍යා). අධිගම නිදාන, දේශනා නිදාන වශයෙන් අභිධර්මයේ උභයසම්භවයක් ස්ථිවිරවාදී චසම්ප්‍රදායේ සඳහන් වේ. (අභිධම්මේ ද්වෙනිදානානි, අධිගමනිදානං දෙසනානිදානං තත්ථ අධිගම නිදානං දීපංකරදසබලතො පට්ඨාය යාව මහාබොධි පල්ලංකො වෙදිතබ්බං, දෙසනා නිදානං යාව ධම්ම චක්කප්පවත්තනා - අත්ථසාලිනී). බුදුන්වහන්සේ ප්‍රථමතරව ආභිධාර්මික වූ බව ස්ථිවිරවාදීන්ගේ පිළිගැනීමයි. (සම්මා සම්බුද්ධො පඨමතරං ආභි ධම්මිකො - අත්ථසාලිනී.) එහෙත් බුදුන් සම්බන්ධ කොට දක්වන අභිධර්ම සම්භවය පෙර පටන් මතභේදයට තුඩු දුන් බව බෞද්ධ සාහිත්‍යයෙහි ම පැනේ - අත්ථසාලිනී) පාලි අභිධර්ම පිටකයෙහි ඇතුළත් වූ සප්ත ප්‍රකරණය බුද්ධභාෂිතයක් බව ස්ථිවිරවාදීහු පිළිගනිති. (අන්ථසාලිනී). බුදුන්වහන්සේ විසින් සම්මත කළ න්‍යාය අනුව උන්වහන්සේ විසින් ම තබන ලද මාතෘකා යටතේ බෞද්ධ ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කළ බැවින් අභිධර්මය බුද්ධ භාෂිතයක් වශයෙන් පිළිගනු ලබන බව ස්ථිවිරවාදීහු පැහැදිලි කරති. (ඉතිසත්ථාරාදින්නනයෙන ඨපිතමාතිකාය දෙසිතත්තා සකලම්පි එතං පකරණං බුද්ධභාසිතමෙව ජාතං - අත්ථසාලිනී). අභිධර්මය ශ්‍රාවක භාෂිතයක් වශයෙන් සැලකූ සෞත්‍රාන්තිකයෝ සූත්‍රාන්ත පමණක් බුද්ධභාෂිතය වශයෙන් නියම කළහ.
සූත්‍රාන්තගත ධර්මය පිළිබඳව පැරණි බෞද්ධ නිකායයන් අතර සමාන සම්මුතියක් දිස්වෙන නමුදු අභිධර්මගත ඉගැන්වීම් පිළිබඳව ඒකමතිකත්වයක් නොවූ බව විවිධ නිකායාගත බෞද්ධ සාහිත්‍යයෙන් පැනේ. සූත්‍රාන්තගත බුද්ධ ධර්මය බුදු සමයේ අසම්භින්න අවස්ථාවට අයත් වන අතර අභිධර්මයේ විකාශනයන් ශාසනයාගේ නිකාය හින්න වී යෑමත් සහජාත වශයෙන් සිද්ධ වූ බව සිතාගත හැකිය. (කථාවස්තු ප්‍රකරණයේ නිදානය මීට නිදර්ශනයකි.)
අභිධර්මයේ වාචනාමාර්ගය සැරියුත් මහරහතන්වහන්සේගෙන් පැවත එන බව සම්මත සම්ප්‍රදායයි. (අභිධම්මෙ වාචනාමග්ගො නාම සාරිපුත්තප්ප භවො- අත්ථසාලිනී) අභිධර්ම ක්‍රමය අනුව ධර්මය විශ්ලේෂණය කිරීමෙහි ලා අනුපම කුසලතාවක් දැක්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ ප්‍රථමතර ආභිධර්මිකයාණන් වශයෙන් ද සමහරුන් සැලකූ බව පෙනේ. (අත්ථසාලිනී). මහායාන සම්ප්‍රදායට අයත් අභිධර්ම සාහිත්‍යයක් "ශාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍ර" යනුවෙන් හඳුන්වනු ලැබේ.
මුඛපරම්පරාගත බෞද්ධ ධර්මය සංගීතිකාරක තෙරවරුන් විසින් පිටක වශයෙන් සංග්‍රහ කළ අවස්ථාවෙහි පටන් අභිධර්ම ක්‍රමය අනුව සකස් වූ තෙවැනි පිටකයත් අනතුරුව තදාශ්‍රයෙන් ලියැවුණු ප්‍රකරණ - අටුවා - ටීකාදි ග්‍රන්ථාවලියත් අභිධර්ම නාමයෙන් හැඳින්වීම සම්මත විය. මේ අනුව අභිධර්මය යනුවෙන් විශේෂ විශ්ලේෂණ ක්‍රමයක් ද විශේෂ පිටකයක් ද තදාශ්‍රිත විශේෂ සාහිත්‍යයක් ද හැඳින්වීම චිරාගත සම්ප්‍රදාය වී තිබේ. මෙසේ අභිධර්මය යන නාමය විවිධ වූ අර්ථයන්හි ව්‍යවහාර වන බව පැහැදිලි වේ.
අභිධර්මයේ බීජාවස්ථාව සූත්‍රාන්ත පිටකයේ පැනේ. අභිධර්මානුකූලව ධර්මය සංග්‍රහකොට ඇති සූත්‍ර දීඝ - මජ්ඣිම - සංයුත්ත - අංගුත්තර යන නිකාය සතරෙහිත් ඛුද්දකනිකායෙහි සංගෘහිත වූ සමහර ප්‍රකරණවලත් ඇතුළත් වී තිබේ. අතිශය සංක්ෂිප්ත මාතෘකා මුල් කොට ගෙන අතිරේක වශයෙන් හා විශේෂ වශයෙන් ධර්මය සංග්‍රහ කෙරෙන සූත්‍රපිටකාගත ග්‍රන්ථයන් අතර පටිසම්භිදා මග්ගය විශිෂ්ට ස්ථානයක් ගනී.
ධම්මසංගණී, විභඬ්ග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන සප්ත ප්‍රකරණයෙන් සමන්විත වූ ස්ථවිරවාදී අභිධර්මපිටකය තෙවැනි ධර්මසංගායනා අවස්ථාවෙහි දී සම්පූර්ණ විය. සංගීතිපර්‍ය්‍යාය, ධර්මස්කන්ධ, ප්‍රඥප්තිශාස්ත්‍ර, විඥානකාය, ධාතුකාය, ප්‍රකරණ, ඥානප්‍රස්ථාන යන සප්ත ප්‍රකරණයෙන් සමන්විත වූ සර්වාස්තිවාදී අභිධර්මපිටකය ජාලන්ධරයෙහි පැවැති සිව්වැනි ධර්මසංගායනා අවස්ථාවෙහි දී සම්පූර්ණ වී තිබිණි.
අභිධර්මපිටකයන්හි විස්තීර්ණව පැනෙන දේශනා හස්තසාර වශයෙන් සම්පිණ්ඩනය කිරීම ඉක්බිතිව ඇරඹිණ. වසුබන්ධු ස්ථවිර ප්‍රණීත අභිධර්මකෝශයත් අර්ථකථාචාර්ය බුද්ධදත්ත ස්ථවිර ප්‍රණීත අභිධම්මාවතාරයත් අභිධර්මයේ සාරය ගැබ් වූ පැරණි සංක්ෂිප්ත ප්‍රකරණය අතර ගැනේ. මෙකී හස්තසාර ග්‍රන්ථ තවදුරටත් සංක්ෂිප්ත කොට වඩාත් ක්‍රමවත්ව සංග්‍රහ කිරීම ඊට පසුවත් කලින් කලට සිදුවිය. මෙවැනි ප්‍රකරණ අතර ස්ථවිරවාදී අභිධර්ම සාහිත්‍යයට අයත් ආචාර්ය අනුරුද්ධ ස්ථවිර ප්‍රණීත අභිධර්මාර්ථ සංග්‍රහය අතිශයින් ප්‍රකටය.
අභිධර්ම නය: නිරවශේෂ බුද්ධවචනය ධර්මයටත් අභිධර්‍මයටත් විෂය වශයෙන් සාධාරණ වෙයි. ධර්මය හා අභිධර්මය අතර ඇති විශේෂතාව විශ්ලේෂණ - සංශ්ලේෂණ ක්‍රම හා සංග්‍රහ නය ද පදනම් කොට ඇත. බුදුන්වහන්සේගේ ධර්ම විවරණය විවිධ පුද්ගලයන්ගේ උපනිඃශ්‍රය සම්පත්තිය හා භින්නරුචිකත්වය අනුව ශ්‍රාවක ජනතාවගේ සුඛාවබෝධය අරමුණු කොටගෙන සකස් වූවකි. උපමාරූපකාදියෙන් හා වෘත්තාන්තයන්ගෙන් සමලංකෘත වූ සූත්‍රාන්තදේශනාව ජනකාන්ත ලක්ෂණයන්ගෙන් අනූනය. අභිධර්ම දේශනාව මීට හාත්පසින්ම වෙනස්ය. නොවියත් හුදීජනතාවට අවිෂය වන්නාවූ, උගත් ධර්මධර ශ්‍රාවකයන්ට පමණක් විෂය වන්නා වූ සම්මුති ව්‍යවහාරය ඉක්මවා සිටි පාරිභාෂික වාංමාලාවකින් සැදි දාර්ශනික ශෛලියකින් අභිධර්මය සංගෘහිත වී තිබේ. ආණා දේශනාව විනය පිටකයෙහිත් ව්‍යවහාර දේශනාව සූත්‍රපිටකයෙහිත් ඇතුළත් වන අතර පරමාර්ථ දේශනාව අභිධර්ම පිටකයෙහි ඇතුළත් වන බව පිළිගැනීමයි (එත් ථ හි විනයපිටකං ආණාරහෙන භගවතා ආණාබාහුල්ලතො දෙසිතත්තා ආණාදෙසනා, සුත්තන්තපිටකං වොහාරකුසලෙන භගවතා වොහාරබාහුල්ලතො දෙසිතත්තා වොහාරදෙසනා, අභිධම්මපිටකං පරමත්ථකුස ලෙන භගවතා පරමත්ථබාහුල්ලතො දෙසිතත්තා පරමත්ථදෙසනාති වුච්චති. - අත්ථසාලිනී.) විනය යනු යථාපරාධ ශාසනයයි; සූත්‍රාන්තය යනු යථානුලෝම ශාසනයයි; අභිධර්මය යනු යථාධම්ම ශාසනයයි (අත්ථසාලිනී). අනුලෝම පටිලෝම වශයෙන් ද සංක්ෂේප විස්තර වශයෙන් ද ලෞකික ලෝකෝත්තර විෂයයන් පිළිබඳ යථාභූත ලක්ෂණයන්ගේ හා අවිපරීත ස්වභාවයන්ගේ විවරණය අභිධර්ම මගින් කරනු ලැබේ. (අත්ථසාලිනී). පර්‍ය්‍යාය සහිතව දේශනා කෙරෙන බැවින් සූත්‍රාන්තය පර්යාය දේශනා නමි. පර්යාය රහිතව දේශනා කෙරෙන බැවින් අභිධර්මය නිෂ්පර්‍ය්‍යාය දේශනා නමි (සම්මොහවිනොදනි).
සූත්‍රාන්තගත ධර්මය ක්‍රමවත්ව සංග්‍රහ කිරීමෙන් අභිධර්මය සකස් වේ. සූත්‍රාන්තයන්හි ධර්මය ඒකදේශ වශයෙන් විවරණය කෙරෙන නමුත් අභිධර්මක්‍රමය අනුව ධර්මය සුත්තන්තභාජනිය, අභිධම්මභාජනිය හා පඤ්හපුච්ඡකන්‍යාය යන ත්‍රිවිඩ ක්‍රම සංඛ්‍යාත නිෂ්ප්‍රදේශ න්‍යායයෙන් විවරණය කරනු ලැබේ. (අත්ථසාලිනී).
ධර්මස්වභාවයත් ධර්මයන්ගේ අර්ථක්‍රියාකාරීත්වයත් පිළිබඳ නිවැරදි නිරවුල් ගැඹුරු අවබෝධය පිණිස විශ්ලේෂණය මෙන් ම සංශ්ලේෂණයත් අවශ්‍යය. ස්ථවිරවාදී ධම්මසංගණී ප්‍රකරණයෙන් විශ්ලේෂණ ක්‍රමය පැහැදිලිව නිර්දිෂ්ටය. එම සම්ප්‍රදායට අයත් පට්ඨාන ප්‍රකරණයෙන් සංශ්ලේෂණ ක්‍රමය නිර්දිෂ්ට වී ඇත. සංශ්ලේෂණ හේතුඵල ධර්ම සංඛ්‍යාත පට්ඨාන ක්‍රමානුකූලව පෙන්වා දී තිබේ.
ශුද්ධ ධර්මයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන හා පදට්ඨාන යන මේවා අවිපරීතව අභිධර්ම ක්‍රමයෙන් නිර්දිෂ්ට වන බැවින් අභිධර්මය ධර්මයට වඩා උසස් කොට සැලකීමට පැරණි බෞද්ධ සම්ප්‍රදායන් උත්සුක වූ බව පෙනේ. මේ අනුව ධර්මකථිකයන්ට වඩා අභිධර්මකථිකයෝ උත්තරීතර තත්ත්වයක ලා සලකන ලදහ. (ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම. අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා කස්මා? තෙ හි ධම්මකථං කථෙන්තා කම්මන් තරං විපාකන්තරං රූපාරූපපරිච්ඡේදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති, ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිතකාලෙ පන පඤ්හං කථෙස්සතීති.... අභිධම්මං පටිබාහෙන්තො ඉමස්මිං ජිනචක්කෙ පහාරං දෙති, සම්බඤ්ඤුතඤාණං පටිබාහති, සත්ථු වෙසාරජ්ජඤාණං පටිනිවත්තෙති සොතුකාමං පරිසංවිසංවාදෙති, අරියමග්ගෙ ආවරණං බන්ධති-අත්ථසාලිනී).
අභිධර්‍මයේ පැනෙන ධර්‍ම විශ්ලේෂණයත් ධර්‍ම සංශ්ලේෂණයත් සදාචාර සංවර්ධනය අරමුණ කොට ඇත. විචාර බුදධිය පෙරදැරිව කෙරෙන අභිධර්‍ම විග්‍රහය අවරදිග දර්ශනය මෙන් හුදු ඉන්ද්‍රියානුසාරී අවබෝධය අරමුණු කොටගෙන කෙරෙන දාර්ශනික විමර්ශන මාත්‍රයක් පමණක් නොවේ. දුඃඛ සත්‍යයේ පරිඥානයත් සමුදය සත්‍යයේ ප්‍රහාණයත් නිරෝධ සත්‍යයේ සාක්ෂාත්කරණයත් මාර්‍ග සත්‍යයේ භාවනයත් අභිධර්‍මයේ අථි ක්‍රියාකාරීත්වය වේ.
අභිධර්‍මගත විෂය: ස්ථවිරවාදී අභිධර්‍මපිටකයට අයත් ප්‍රකරණයන්හි එන මාතෘකා පිරික්සීමෙන් අභිධර්‍මගත විෂය කවරේ දැයි පැහැදිලි වේ. අභිධර්‍මගත විෂය චිත්ත-චෛතසික-රූප-නිර්වාණ යන පරමාර්ථ චතුෂ්කය යටතේ නිරවශේෂ වශයෙන් සංගෘහීත වී තිබේ. සකල බුද්ධ වචනය පරමාර්ථ සම්මුති වශයෙන් ද්විවිධ කොට දැක්වේ.
"දුවෙ සච්චානි අක්ඛාසි - සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච - තතියං නූපලමබ්භති"
ආභිධාර්මිකයෝ ත්‍රිවිධ සාධනයක් නම් කරති. එනම් කත්තුසාධන, කරණසාධන හා භාවසාධනයි. ඒ ඒ කෘත්‍යයන්හි පැනෙන ධර්‍මයන්ගේ ක්‍රියාකාරීත්වය මත ආත්මප්‍රධානතාව හෙවත් කර්‍තෘත්වය සමාරෝපණය කොට විග්‍රහ කිරීම කත්තුසාධනය නම් වේ. (සකසකකිච්චේසු හි ධම්මානං අත්තපධානතා සමාරොපනෙන කත්තුභාවො ච-විභාවිනිටීකා.) කර්‍තෘභාව සමාරෝපණයෙන් පිළියෙල වන ධර්‍මයන්ගේ කරණත්වය පර්‍ය්‍යාය වශයෙන් ලැබීම කරණසාධන නම් වේ (තදනුකුලභාවෙන සහජාත ධම්මසමූහෙ කත්තුභාවසමාරොපනෙන පටිපාදෙතබ්බධම්මස්ස කරණත්තං ච පරියායතො ච ලබ්භති - විහාවිනීටීකා). මේ උභය සාධනය අනුව කෙරෙන නිර්වචනය පර්‍ය්‍යාය කථා මාත්‍රයක් පමණි. (කත්තුකරණවසෙන පන නිබ්බචනං පිරියායකථාති දට්ඨබ්බං-විහාවිනීටීකා). භාවසාධනය යනු පරමාර්ථසාධනයයි. ධර්‍මස්වභාවයෙන් විනිර්මුක්ත වූ, කර්‍තෘ - කරණ උභය ප්‍රඥප්තියෙන් ද විනිර්මුක්ත වූ, යථාභූත අවිපරිත ධර්මාර්ථය පරමාර්ථය නමි (තථා නිද්දිසනං පන ධම්මසභාව විනිම්මුත්තස්සකත්තාදිනො අභාවපරිදීපනත්ථන්ති වෙදිතබ්බං - විහාවිනීටීකා). පුද්ගලාදී ලෞකික ව්‍යවහාරයන් අතික්‍රාන්ත කොට ස්කන්ධ ධාතු ආයතනාදී වශයෙන් විවිධ ඉන්ද්‍රියවිෂයගත කරුණු යථාධර්‍ම වශයෙන් විවරණය කෙරෙන බැවින් අභිධර්‍මය පරමාර්ථධර්‍ම විභාගයට පමණක් සීමා වේ. (අභිධම්මත්ථවිකාසිනී ටීකාව බලනු.)
අභිධර්‍මයෙහි ලා චිත්ත විභාගය මුල්තැන ගනී. සිත පිළිබඳ සූත්‍රාන්තයෙහි පැනෙන බුද්ධභාෂිතය අභිධර්‍මයෙහි ක්‍රමවත්ව නානා නය ප්‍රතිමණ්ඩිතව සංග්‍රහ වී තිබේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකුත්තර වශයෙන් චතුර්විධ වූ සිත කුසලාකුසල වශයෙන් ද විපාකක්‍රියා වශයෙන් ද විභජනය කිරීමෙන් එකුන් අනූ චිත්ත විභක්තියක් ලැබේ. අතිරේක විස්තර නයක් අනුව චිත්ත විභක්තිය එක්සිය එක්විසි වැදෑරුම් වශයෙන් ද ස්ථවිරවාදී අභිධර්‍මයේ පැනේ. ඒකුප්පාද, ඒකනිරෝධ, ඒකාලම්බන, ඒකවත්ථුක යන සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුත් ධර්‍මයෝ චෛතසිකයෝයි. සර්‍වාස්තිවාදී සම්ප්‍රදායානුකූලව කෙරෙන චිත්ත - චෛතසික විභාගය මීට වෙනසි. එහෙත් මූලධර්‍ම වශයෙන් මේ විභාගයේ බහුතර කොටස උභය සම්ප්‍රදායට සාධාරණය, ස්ථවිරවාදී අභිධර්‍මයේ රූපවිභාගය අටවිසි වැදෑරුම්ය. නිර්වාණය පිළිබ ඳ විභාගය අගට යෙදේ. ධම්මසංගණී ප්‍රකරණයෙහි ධර්‍මමාතෘකා සඳහන් කොට එයිනික්බිතිව එක් එක් ධර්‍මයක් පිළිබඳ අධිවචන බහුලත්වයෙන් යුත් නිර්වචන දක්වා තිබේ.
විභග ප්‍රකරණයෙහි ස්කන්ධ, ධාතු, ආයතන, සච්ච, ඉන්ද්‍රීය, පච්චයාකාර, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, බොජ්ඣංග, ඣාන, අප්පමඤ්ඤ, මග්ග, සික්ඛාපද, පටිසම්භිදා, ඤාණ, ඛුද්දකවත්ථු හා ධම්මපද යනුවෙන් පැනෙන අටළොස් කරුණ ගැන විහංගයක් දැක්වේ. මෙකී විභගය සුත්තන්ත භාජනීය, අභිධම්මභාජනීය, පඤ්හපුච්ඡක වශයෙන් ත්‍රිවිධ වූ ක්‍රමයක් අනුව විභජනය කොට තිබේ.
ධාතුකථා ප්‍රකරණයෙහි ස්කන්ධ - ධාතු - ආයතන පිළිබඳව සංගහ-අසංගහ, සම්පයොග-විප්පයොග යනාදී වශයෙන් සවිස්තර වූ සංග්‍රහනයක් දැක්වේ. අභිධර්මයෙහි තවත් වැදගත් අංශයක් පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණයෙහි දැක්වේ. ස්කන්ධ ආයතන ධාතු සච්ච ඉන්ද්‍රීය, පුග්ගල වශයෙන් ෂඩ්විධ වූ ප්‍රඥප්ති ප්‍රභේදයක් එහි ඇතුළත්ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු විවිධ බෞද්ධ නිකායිකයන් හා අභිධම්ම සාම්ප්‍රදායිකයන් අතර විවාදයට ලක් වූ කරුණු සකවාද - පරවාද වශයන් දක්වා ඇති කථාවස්තු ප්‍රකරණය අභිධර්ම විකාසනය හැදෑරීමට මහෝපකාරී වේ.
අභිධර්මයේ ගැබ් වූ සංග්‍රහ නයක යමක ප්‍රකරණයෙන් දැක්වේ. මූල, ස්කන්ධ, ආයතන, ධාතු, සච්ච, සංඛාර, අනුසය, චිත්ත, ධම්ම, ඉන්ද්‍රිය යනුවෙන් දසවිධ විභාගයක් එහි ඇතුළත්ය. අභිධර්මපිටකයේ පළමු ප්‍රකරණය වූ ධම්ම සංගණිය විශ්ලේෂණ ක්‍රමය නිර්දිෂ්ට කරන අතර අන්තිම ප්‍රකරණය වූ පට්ඨානය අභිධර්ම ක්‍රමයේ සංශ්ලේෂණය නිර්දිෂ්ට කරයි. අභිධර්මයේ පැනෙන ඉතාමත් වැදගත් ධර්මය වශයෙන් නම් කළහැකි සූවිසි ප්‍රත්‍යය විභාගය පට්ඨානයෙහි සවිස්තර වශයෙන් දක්වා තිබේ. සූත්‍රාන්තයෙහි ද්වාදශාංග වශයෙන් පැනෙන ප්‍රතීත්‍යසමුත්පාද ධර්මයට අතිරේක වශයෙන් පට්ඨාන නය දක්වා තිබේ. සූවිසි ප්‍රත්‍යුද්දේශය පළමුවරට සම්පූර්ණව පට්ඨාන ප්‍රකරණයෙහි පැනෙතත් එහි බීජාවස්ථාව සූත්‍රාන්ත පිටකයෙහි එන පටිසම්භිදාමග්ග වැනි ප්‍රකරණවල දක්නට තිබේ. සූත්‍ර පිටකයෙන් බැහැර වූ එහෙත් අටුවාකාලයට පූර්ව අවධියකට අයත් පේටකෝපදේශයේත් නෙත්තිප්‍රකරණයෙහිත් අභිධර්මක්‍රමානුකූල සංග්‍රහ නයත් දේශනාවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. සර්වාස්තිවාදි අභිධර්මපිටකයෙහි අභිධර්ම විෂය ගත කරුණු වඩා විස්තීර්ණය, අතිරේකය. සර්වාස්තිවාදී ආභිධාර්මිකයෝ සියලු ධර්මයන් සැත්තෑ පහකට වර්ග කොට දක්වති. ධර්ම ලක්ෂණයත් ධර්ම ස්වභාවයත් අතර වෙනසක් දක්වන ඔවුහු ධර්ම ස්වභාවය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කාලත්‍රයෙහි නොවෙනස්වැ විද්‍යමාන වන බවක් ප්‍රකාශ කරති. මෙය ස්ථවිරවාදී මතයට පටහැණිය. කථාවස්තු ප්‍රකරණයෙහි මේ මතය බැහැර කොට තිබේ. ස්ථවිරවාදීහු සූවිසි ප්‍රත්‍යයක් සඳහන් කරති. එහෙත් සර්වාස්තිවාදීහු ප්‍රත්‍යය චතුෂ්කයක් ද හේතු ෂට්කයක් ද සඳහන් කරති. මේ ආදී වශයෙන් අභිධර්ම සම්ප්‍රදායයන් අතර සැලකිය යුතු වෙනස්කම් ඇති බව පැහැදිලිය.
අභිධර්ම දර්ශන පරීක්ෂා (ධර්මය හා අභිධර්මය): බෞද්ධ දර්ශන ඉතිහාසය තුළ දී ධර්මයේ දාර්ශනික අංශය සංවර්ධනය වූයේ බෙහෙවින් අභිධර්ම ස්වරූපයෙනි. බුද්ධ භාෂිතයේ නීතාර්ථයත් නේයාර්ථයත් වඩා පැහැදිලි වූයේ අභිධර්ම පද්මයේ කාලානුගත විකාසනය අනුවය. ප්‍රස්තුත දේශයකට හා කාලයකට අනුකූල වන පරිදි බුදුන්වහන්සේ විසින් විශේෂ වශයෙන් දේශනා කළ අකාලික ධර්මය දේශකාල විනිර්මුක්ත සාර්ව භෞමික දර්ශනයක් බවට පත්වූයේ අභිධර්මානුකූල සංවර්ධනයෙනි. සූත්‍රාන්ත ධර්මය තුළ සංක්ෂිප්ත වශයෙන් ගැබ් වූ දාර්ශනික ඉගැන්වීම සවිස්තරවැ විස්තීර්ණවැ ප්‍රකාශ වූයේ අභිධර්ම මාර්ගයෙනි. පාලි නිකායයන්හි සඳහන් වන අනිත්‍යතා ධර්මය කෙරෙන් ක්ෂණිකවාදය ප්‍රාදුර්භූත වූයේ ක්‍රමවත් විපරිණාමයක් අනුවය. ලහුපරිවත්තක ධර්මයක් වශයෙන් සූත්‍රාන්තයන්හි දේශිත වූ චිත්තය උත්පාද - ස්ථිති - භංග යනුවෙන් ත්‍රිවිධාවස්ථාවක පැනෙන බලවේගයක් බවට පත්වූයේ අභිධර්මාවස්ථාවෙහිය. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව සූත්‍රාන්තයන්හි දළ වශයෙන් පැනෙන දේශනය අභිධර්මාවස්ථාවෙහි දී චිත්තක්ෂණ දහහතකින් සම්පූර්ණ වන සංකීර්ණ ක්‍රියා සන්තතියක් බවට පත්විය. භවාංගය පිළිබඳ සවිස්තර ඉගැන්වීමත් ආභිධම්මිකයන් විසින් ධර්මානුකූලව වැඩි දියුණු කළ ධර්මයකි. පරමාර්ථ - සංවෘති සත්‍ය විභාගයත් ත්‍රිවිධ සාධනයත් ප්‍රඥප්ති භේදයත් පට්ඨාන දර්ශනයත් ධර්ම විභාගයත් අභිධර්මයේ පැනෙන විශේෂ ධර්ම පද්ධතියක් වශයෙන් සැලකිය හැකිය. භාරතීය මනෝවිද්‍යා ඉතිහාසයෙහි ලා අග්‍රගණ්‍ය ස්ථානය බෞද්ධ ආභිධර්මිකයන්ට නිතැතින් ම හිමිවේ. සමකාලීන මනෝවිද්‍යාත්මක පර්‍ය්‍යෙෂණයන්හි ලා විශේෂ ආලෝකයක් උදාකිරීමේ සමත් බව අභිධර්ම දර්ශනයෙහි රඳා පවතී.
කර්තෘ:ඩබ්ලිව්.ඇස්.කරුණාරත්න
(සංස්කරණය:1963)