අභිධානප්පදීපිකා
නිඝණ්ඩුශාස්ත්‍රය අනුව පාලි භාෂාවෙන් ලියන ලද එක ම කෝෂග්‍රන්ථයයි. එහෙයින් මෙය "පාලිනිඝණ්ඩු" යන සාමාන්‍ය නාමයෙන් ද හැඳින්වේ. බුද්ධවචනයෙහි පටුත්වය ප්‍රාර්ථනා කරනුවන්හට පාලි භාෂානුරූප ශබ්දයන්ගේ අර්ථනිශ්චයට කාරණ වූ නාම හා නාමලිංගයන් අවබෝධ කරගැනීමට මහත් උපකාරයක් වන හෙයින් නිඝණ්ඩුශාස්ත්‍රානුසාරයෙන් නාමලිංගයන් ප්‍රකාශ කිරීම මේ ග්‍රන්ථය රචනා කිරීමෙනි නිමිත්ත විය.
බුදුන් පිරිනිවි 1696 (ක්‍රි.ව.1153) පමණේ දී ලක්දිව එක්සත් කොට රාජ්‍යයට පැමිණි මහා පරාක්‍රමබාහු රජාණන් සමයෙහි එරජුන් විසින් කරවන ලද පොළොන්නරු පුර මහාජේතවන විහාරයෙහි වැඩසිටි මොග්ගල්ලාන නම් ස්ථවිර කෙනෙකුන් විසින් මේ ග්‍රන්ථය රචනා කරන ලද්දේය. මේ මුගලන් තෙරණුවෝ විල්ගම්මුළ ආයතනයට අයත් වූ කෙනෙකි.
අභිධානප්පදීපිකාව සග්ගකණ්ඩ, භූකණ්ඩ, සාමඤ්ඤකණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ තුනක සංග්‍රහ කරන ලද ගාථා 1,203කින් පරිමිත වේ. ආරම්භයෙහි රත්නත්‍රයාභිවාදන හා සංඥාදිය දක්වන ප්‍රාරම්භගාථා නවයෙකි. ඉක්බිති බුද්ධශබ්දය ආදි කොට ඇති ශබ්ද බොහෝ ගණනකට පර්‍ය්‍යාය වචන දක්වමින් ගාථා 179කින් යුක්ත කොට සග්ගකණ්ඩය අවසන් කරන ලද්දේය. "බුද්ධො දසබලො සත්ථා සම්බඤ්ඤු දිපදුප්තමො" යනාදීන් බුද්ධපර්‍ය්‍යාය වූ හෙවත් බුදුරජ යන අර්ථ ඇති දෙතිසක් එක් රැස් කොට ගාථා බන්ධනයෙන් රචනා කරන ලද වෙයි. අනතුරුව ගෞතම බුදුරජ යන අර්ථය දෙන ශබ්ද 7ක් සංග්‍රහ කරන ලදි. එසේ ම නිවන යන අර්ථයෙහි යෙදෙන ශබ්ද 46ක් එක් කොට රචනා කරන ලද වෙයි. මෙපරිද්දෙන් රහත්, දෙව්ලොව, දෙවි යනාදී අර්ථයන්හි වැටෙන ශබ්ද එක්තැන් කොට ඇත. දෙව්ලොව සම්බන්ධ වූ ශබ්ද බොහෝ ගණනක් මෙහි ඇති හෙයින් මේ පළමුවන කාණ්ඩයට "සග්ගකණ්ඩ" යන නම ව්‍යවහාර කළ බව පෙනේ.
දෙවැනිවූ භූකණ්ඩය ගාථා 511කින් යුක්තය. ඒ කාණ්ඩය ඇතුළත භූමිවග්ග, පුරවග්ග, නරවග්ග, චතුබ්බණ්ණවග්ග, අරඤ්ඤාදිවග්ග, පාතාලවග්ග යයි වර්ග සයෙක් වෙයි. ඒ ප්‍රධාන වර්ග ඇතුළත බත්තියවග්ග බ්‍රාහ්මණවග්ගාදි උපාංග ද බොහෝ ගණනෙකි. භූමියට සම්බන්ධකම් ඇති ලෝක දේස ජනපද නදී ආදි නොයෙක් අර්ථයන්හි යෙදෙන පර්‍ය්‍යාය ශබ්ද රැස් කළ වර්ගය භූමිවග්ග යයි නම් කරන ලදි. අනික් වර්ග ද එසේ මය. විශේෂයෙන් චතුබ්බණ්ණවග්ගයෙහි බත්තිය බ්‍රාහ්මණ වෙස්ස සුද්ද යන සතරවර්ණයන්ට සම්බන්ධ වූ විවිධ නාමයන් ද, අරඤ්ඤාදිවග්ගයෙහි වෘක්ෂලතාදිය ද වනචාරි සත්ව විශේෂ ද දක්වා ඇත.
තුන්වැනි වූ සාමඤ්ඤකණ්ඩය විසෙස්සාධීනවග්ග සංකිණ්ණකවග්ග අනෙකත්ථවග්ග අව්‍යයවග්ග යන වර්ග සතරෙක සංග්‍රහ කළ ගාථා 513කින් යුක්තය. එහි විසෙස්සාධීන වග්ග නම් විශේෂ්‍යනාම පදයට සමානව ලිංග ගන්නා විශේෂණ නාම සංග්‍රහ කළ වර්ගයයි. එහි සොහන, උත්තම ආදී ගුණවාචක ශබ්ද හා ද්‍රව්‍ය වාචක ක්‍රියාවාවක ශබ්ද සංග්‍රහ වෙයි. අනේකත්ථවග්ගය මුලින් දැක්වූ සියලු වර්ගයන්ට මැ වෙනස් ස්වරූපයකින් සිටී. මෙතෙක් කොට ඇති විස්තර එක අර්ථයක යෙදෙන බොහෝ ශබ්ද රැස්කිරීම් වශයෙන් දක්වා ඇතත් මෙහි දී එක ශබ්දයෙක යෙදෙන බොහෝ ශබ්ද රැස් කිරීම් වශයෙන් දක්වා ඇතත්, මෙහිදී එක ශබ්දයෙක යෙදෙන තාක් අර්ථ නඟා දැක්වීම ලක්ෂණයයි. "සමයො සමවායෙ ච සමූහෙ කාරණෙ ඛණෙ" යානදීන් සමය ශබ්දය එක්වීම, සමූහය, කාරණය, ක්ෂණය යනාදි අර්ථයන්හි දක්නා ලැබෙයි යනාදි වශයෙනි. අව්‍යයවර්ගය නිපාත උපසර්ගයන්ගේ අර්ථ දැක්වීම සඳහා යොදන ලද්දේය.
මේ අභිධානප්පදීපිකාවෙහි අන්තර්ගත වූ සියලු නාමයන්ගේ ස්ත්‍රී පුං නපුංසක භේද ද, ද්විලිංග ශබ්ද ද සුදුසු පරිදි හඳුන්වා ඇත්තේය. පාලි භාෂාවෙන් නිපදවූ එකම නිඝණ්ඩුශාස්ත්‍රීය කෝෂ ග්‍රන්ථය අභිධානප්පදීපිකාව වූ හෙයින් පාලිභාෂාව හදාරන සියලු ම ථෙරිය බෞද්ධරටවල ආචාර්‍ය්‍යවරයන් විසින් ස්වකීය අතවැසියනට මේ අභිධානප්පදීපිකාව වාචෝද්ගත කරවනු ලැබේ.
අභිධානප්පදීපිකාව පාලිභාෂාධ්‍යයනට අවශ්‍ය වූ ම ග්‍රන්ථයක් වූ හෙයින් ටීකා සන්න ආදියෙන් පෝෂණය වන්නට විය. මෙහි සිංහල සන්නය පැරණි රචනාවක් මෙන් ම සම්භාව්‍ය වූයේ ද විය. එය කවර කලෙක කවුරුන් විසින් ලියන ලද දැයි නිශ්චය කළ නොහැක.
බුරුමරට හංසවතී (පේගු) නගරයෙහි විසූ රාජගුරු ඖඞ්සංඨා නම් තෙර කෙනකුන් විසින් බුරුම බසින් ලියන ලද විශාල සන්නයක් ද වේ. මේ හැර තම්බදීපරට විජය (පෙන්ය) නගරයෙහි සිංහපුර මහරජුගේ ඇමති වූ "චතුරංගබල" නම් පඬිවරයකු විසින් ලියන ලද ටීකාවක් ද ඇත්තේය.
ලක්දිව පාලිපොත් මුද්‍රණය ආරම්භ කළ මුල් අවදියේ දී ම, එනම් ක්‍රි.ව.1824 දී, බෙන්ජමින් ක්ලෆ් නම් දේවගැතිවරයකු විසින් මේ ග්‍රන්ථය ඉංග්‍රීසි හා සිංහල අකුරෙන් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද්දේය. ඊට පසු එය 1862 දී ශ්‍රී සුභූති නායක ස්වාමීන්ද්‍රයන් විසින් ද පසු කලෙක වැලිතර ඥානතිලක නායක තෙරණුවන් විසින් ද, නිඝණ්ඩුසන්නය තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් විසින් ද සංස්කරණය කොට මුද්‍රණය කරවන ලද්දේය.
(සංස්කරණය:1963)