අභිනවගුප්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ පහළ වූ කීර්තිධර කාව්‍ය විචාරකයෙකි. ඔහුගේ කාව්‍ය විවේචන විෂයෙහි පවා ශෛවදාර්ශනික මත පිළිබිඹු වෙයි. කවීන්, දාර්ශනිකයන්, විචාරකයන් ගැන ප්‍රසිද්ධ වූ කාශ්මීරය මොහුගේ ජන්මභූමියයි. සෞන්දර්ය ගරුකයන්ගේ සම්මානයට භාජන වූ කාශ්මීරය වැනි රමණීය රටක පහළ වීම ඔහුගේ කවි සංකල්ප උද්දීපනය වීමට හේතුවූයේ යයි සිතිය හැකිය.

යශෝවර්මන් රජු දවස (ක්‍රි.ව.730-40) විසූ අතිගුප්ත නම් කීර්තිමත් බ්‍රාහ්මණ පඬිවරයා මොහුගේ පරපුරෙහි ආදිපුරුෂයෙකු ලෙස සලකනු ලැබෙයි. මොහුගේ පියා නරසිංහ ගුප්ත හෙවත් චුඛුලක නම් බ්‍රාහ්මණ පඬිවරයා බව මොහු කළ තන්ත්‍රාලෝක නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. මොහු හට්ටේන්ද්‍රරාජ, හට්ටතෝත නම් පඬිවරයන් දෙපොළකගෙන් උගත් බව ස්වකීය ධ්වන්‍යාලෝකලෝචනයෙහි ප්‍රකාශිතයි. මොහු උපන්නේ ක්‍රි.ව.දසවන ශතකයේ අවසාන භාගයේ දී යයි සලකනු ලැබෙයි.

මොහුගේ කෘති වශයෙන් අභිනවහාරතීනම් නාට්‍යශාස්ත්‍ර ව්‍යාඛ්‍යාව, ධ්වන්‍යාලෝකලෝචන ටීකාව, කාව්‍යකෞතුක විවරණ වැනි කාව්‍ය විචාර ද තන්ත්‍රාලෝක, පරමාර්ථසාර ආදි ආගමික දාර්ශනික ග්‍රන්ථ ද රැසක් උගතුන් විසින් සඳහන් කරනු ලැබෙයි. එසේ ද වුවත් පසු පසුව පොත් ලියූවන් ද කීර්තිමත් පඬිවරයන්ගේ නමින් ඒවා පළ කරවීමේ සිරිත ඉන්දියාවේ පෙර පැවතුණු හෙයින්, අභිනවගුප්ත පඬිවරයා ම කළ ග්‍රන්ථ කවරේ දැයි ඉඳුරා තීරණය කිරීම පහසු නැත. භරත මුනිවරයාගේ නාට්‍යශාස්ත්‍රයට කළ අභිනව භාරතී ව්‍යාඛ්‍යාව ද ආනන්දවර්ධනාචාර්යවරයාගේ ධ්වන්‍යාලෝකයට කළ ලෝචනටීකාව ද මොහුගේය යනු නම් නිර්විවාදය. මේ ග්‍රන්ථ දෙක පමණක් වුව ද මොහුගේ විචාරබුද්ධි‍යත් විවේචන ශක්තියත් කවිත්වයත් අනුපම යයි නිගමනය කිරීමට ප්‍රමාණය. භරත මුනිහුගේ "විභාවානු භාවව්‍යභිවාරිසංයොගාද්‍රසනිෂ්පත්තිඃ" යන සූත්‍රයෙහි "සංයොගාත්" යනු "ව්‍යංග්‍යව්‍යංජකාභාව සම්බන්ධයෙනි" යයි ද "නිෂ්පත්තිඃ" යනු "අභිව්‍යක්ති වෙයි" යයි ද ව්‍යාඛ්‍යාන කෙළේ මොහුය. අභිනවගුප්ත පඬිතුමා භරතාචාර්යවරයා ගේ රසවාදය හා ආනන්දවර්ධනාචාර්යවරයාගේ ව්‍යංග්‍යවාදය අතර පරතරයක් නැති බව ඉඳුරා පළ කළේය. දාර්ශනිකයකු වශයෙන් ශෛව දර්ශනය හා වේදාන්තය අගය කළ මෙතුමා කාව්‍ය විවේචකයකු වශයෙන් රසවාදය හා ධ්වනිවාදය (ව්‍යංග්‍යවාදය) තහවුරු කරන්නට මහත් උත්සාහයක් දැරීය. නාට්‍යශාස්ත්‍රකාර භරතමුනිවරයා රස අටකැයි ගත් නමුදු ශාන්තරසය ඇතුළුව රස නවයක් ඇති බව නට්‍යශාස්ත්‍රයෙන් ම ඔප්පු වන්නේ යයි කීවේත් මොහුය. මේ ශ්‍රේෂ්ඨ විචාරකයා නිසා නොවෙයි නම් නාට්‍යශාස්ත්‍රකාරයාගේ රසවාදයේ හෝ ආනන්දවර්ධනාචාර්යවරයාගේ ධ්වනිවාද‍යේ සියුම් ගැඹුරු තත්වය රසික ලෝකයාට දැනගන්නට නොලැබෙනවා ඇත. පසුව ඇති වූ ‍මම්මටාචාර්යවරයාගේ පටන් ජගන්නාථ පඬිතුමා දක්වා ඇති වූ ‍ශ්‍රේෂ්ඨ පඬිවරු අභිනවගුප්තාචාර්යවරයාගේ විචාරසාර්ව භෞමත්වයට අතිශයින් පැහැදුණාහ. රසධ්වනි අලංකාරාදි මතයන් දාර්ශනික මානසික විචාර පද්ධතියක් බව ලෝකයාට වටහා ගත හැකි වූයේ මොහු‍ගේ කාව්‍යවිවේචන අනුසාරයෙනි. රසය හට්ටලොල්ලට පඬිතුමා කීවාක් මෙන් උපදින්නක් නොවෙතැයි ද ශ්‍රී ශංකුක පඬිතුමා පළ කළාත් මෙන් අනුමාන කටහැක්කක් නොවෙතැයි ද හට්ටනායක පඬිතුමා අදහස් කළාක් මෙන් බුක්ති විඳින්නක් නොවෙතැයි ද සහෝතුකව පැහැදිලි කළ අභිනව ගුප්ත පඬිතුමා එය (රසය) සහෘදයන්ගේ සිත් තුළ සංස්කාර වශයෙන් පවත්නා රති ආදි ස්ථායිභාවයන් විභාව අනුභාව ව්‍යභිවාරිභාවයන්ගේ ව්‍යංග්‍ය - ව්‍යංජකාභාව නමැති සම්බන්ධය හේතුකොටගෙන අභිව්‍යක්ති වෙතැයි හෙවත් ප්‍රකට වෙතැයි නිගමනය කෙළේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිනවගුප්ත&oldid=2146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි