අභිනියෝගය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Mandate) මෙය පළමුවන ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් තුර්කියට හා ජර්මනියට යටත්ව තිබුණු ප්‍රදේශ පාලනය කිරීම සඳහා ජාතීන්ගේ සංගමය විසින් ඇතිකරන ලද ක්‍රමයයි. මේ පිළිබඳ විස්තර ජාතීන්ගේ සංගමයේ ප්‍රඥප්තියේ 22වන වගන්තියෙහි දැක්වේ. යටකී ප්‍රදේශයන් පාලනය කිරීම පැවරුණු රාජ්‍යය එම ප්‍රදේශවල වාසීන්ට හා ජාතීන්ගේ සංගමයට යම් යම් කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු විය. අභිනියෝග ක්‍රමය ජාතීන්ගේ සංගමයේ පරිපාලනයට යටත් විය. එහෙත් ආදායම් ලබාගැනීම, මුදල් වියදම් කිරීම, නිලධාරීන් පත්කිරීම හා ව්‍යවස්ථා පනවා ක්‍රියාවේ යෙදීම යන මේ කටයුතු කිරීමට බලය පාලක රාජ්‍යයට ලැබුණි.

පරිපාලක රාජ්‍යයෝ තමන් බාරේ සිටින ප්‍රදේශවාසීන්ගේ ශුභසිද්ධිය හා සංවර්ධනය පිළිබඳ සෑම වැඩ පිළිවෙළක් ම යෙදීම සඳහා අන්තර්ජාතික ගිවිසුමකට බැඳී සිටින්නන් ලෙස සලකනු ලැබූහ. එම ප්‍රදේශ වාසීන්ට නුදුරු අනාගතයේ දී දේශපාලන නිදහස ලැබිමට ඉවහල් වන පරිදි ප්‍රදේශයේ පාලනය පවත්වාගෙන යා යුතු හෙයින්, පාලක රාජ්‍යයන් විසින් එම ප්‍රදේශවල යුද්ධ සේනාවක් නොපිහිටුවිය යුතුය යන කොන්දේසියක් ද විය.

අභිනියෝග ප්‍රදේශ වර්ග තුනකට බෙදා ඇත. ‍මේ බෙදීමට මිනුම්දණ්ඩ වූයේ ඒ ඒ ප්‍රදේශයේ දේශපාලන ආර්ථික සංවර්ධන තත්වය හා පිහිටීමයි. ඉරාකය, සිරියාව, ලෙබනන්, හා පලස්තීනය (ඊශ්‍රාලය හා ට්‍රාන්ස් ජෝර්දානය) ප්‍රථම වර්ගයට අයත් විය. මුලින් තුර්කිය යටතේ පාලනය වුණු මේ ප්‍රදේශ තාවකාලිකව නිදහස් රටවල් ලෙස සලකා, ‍එම පෙදෙස් ශක්තිමත් වන තුරු පරිපාලක රාජ්‍යයකට බාර දෙන ලදි. ඒ අනුව ඉරාකය හා පලස්තීනය මහා බ්‍රිතාන්‍යය ටත්, සිරියාව ප්‍රංසයටත් භාර විය. 1932 දී ඉරාකය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා බ්‍රිතාන්‍ය අභිනියෝගයෙන් මිදුණේය. දෙවැනි කොටසට ගැනුණේ නිරිත දිග අප්‍රිකාව හැර මුලින් ජර්මනියට යටත්ව තිබුණු අප්‍රිකානු ප්‍රදේශයි. එනම් ටැංගනීකාව, ටෝගෝලන්තය, කැමරූන්, රුවන්ඩා - උරුන්ඩි ආදියයි. ටැංගනීකාවත්, ටෝගෝලන්තයේ හා කැමරූන්හි කුඩා ප්‍රදේශ ද්වයකුත් බ්‍රිතාන්‍යයට පැවරුණු අතර, පසුව කී දෙරටේ වඩා විශාල ප්‍රදේශයක් ප්‍රංශයට පැවරුණි. රුවන්ඩා - උරුන්ඩි පාලනය බෙල්ජියමට පැවරිණ. මේවායේ යුද්ධ හා නාවික කඳවුරු බැඳීම පාලක රාජ්‍යයනට තහනම් විය. විදේශ හා වෙළඳ ගිවිසුම් ඇතිකිරීමට අයිතිවාසිකම් මේ රටවලට තිබුණි. ස්වදේශිකයන්ගේ වෙනත් අයිතිවාසිකම් ද පිළිගන්නා ලදි. නිරිත දිග අප්‍රිකාව, සැමෝවා, නිව්ගිනියාව, නවුරු හා සමකයෙන් උතුරට පැසිපික් සාගරයේ පිහිටි ජර්මන් යටත් විජිත තුන්වැනි කොටසට අයත් විය. දිගුකලක් යන තෙක් නිදහස ලැබීමට සුදුසු නුවූ රටවල් සේ සැලකුණු මේවායේ ද කඳවුරු බැඳීම තහනම් කරන ලදි. ස්වදේශික අයිතිවාසිකම් ද පිළිගන්නා ලද නමුත්, පාලක රාජ්‍යයන් විසින් තම තමන්ගේ අධිරාජ්‍යවල කොටස් වශයෙන් ඒවා පාලනය කළ හැකි විය. එම විජිත පිළිවෙළින් දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව,ජපානය හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත්විය.

ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් 11කින් යුත් ස්ථාවර අභිනියෝග කොමිසන් සභාවක් මගින් අභිනියෝග ක්‍රමය පාලනය කරන ලදි. 1949වන විට පළමුවන කොටසේ අභිනියෝග ප්‍රදේශ සියල්ලට ම සම්පූර්ණ නිදහස ලැබිණි.

අභිනියෝග ක්‍රමය පසුව ව්‍යර්ථ වී ගිය නමුත්, එය ලෝක සාමය ඇතිකිරීමට ඉවහල් වූ වැදගත් අත්දැකීමක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයට පසු අන්තර්ජාතික වැඩ පිළිවෙළක් යෙදීමට රැස්වූ දේශපාලකයන් විසින් සලකන ලදි. 1945 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විජිත පාලන කටයුතු සඳහා ඇති කර ගන්නා ලද භාරකාර ක්‍රමයට පදනම් කොටගන්නා ලද්දේත් අභිනියෝග ක්‍රමයට පාදක වූ මූලධර්ම මැයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිනියෝගය&oldid=2147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි