අමතේරසු
ජපන් දේවකථාවන්හි එන දෙවඟනකි. ෂින්ටෝ දේවගණයා අතුරෙහි ප්‍රධාන දෙව්දූය.
ජපානයේ සෑම ගෝත්‍රයක් විසින් ම හිරු දෙවඟන වශයෙන් වැඳුම් - පිදුම් කරනු ලැබූ අමතේරසු ඕ-මි-කමි පසු කලෙක දී ජපන් රජ පෙළපතේ දිව්‍යමය ආරම්භකයා ලෙස සලකනු ලැබුවාය.
සූර්‍ය්‍යයා වනාහි අමතේරසු ඕ-මි-කමිගේ මූර්තිය කැයි විශ්වාස කළ පැරැන්නන් අන් හැම වස්තුවකට ම වඩා ගෞරවාදර දැක්වූයේ සූර්‍ය්‍යයාටය. අමතේරසු නමැති හිරු දෙවඟනට කැපකොට ඇතැයි සැලැකෙන දායි ජින්ගු සිද්ධස්ථානය වැඳ පුදාගැනීම ඔවුන්ගේ ඉහළ ම ප්‍රාර්ථනාව වූයේය. දහස් ගණන් වන්දනාකරුවෝ අද පවා එම සිද්ධස්ථානයට ඇදී යති.
ක්‍රි.ව.720 පමණේ දී සම්පාදිත "නිපොන් ෂොකි" නම් ග්‍රන්ථයෙහි ජපානයේ ප්‍රභවයත් අමතේරසු ඕ-මි-කමිගේ උත්පත්තියත් පිළිබඳව දැක්වෙන කතාව ඉතා රසවත්ය. ආරම්භයේ දී ලෝකය අවුල් ජාලයක්ව තිබිණි. මුලින් පහළ වූ දෙවිවරුන් බොහෝ දෙනා අතුරෙහි ඉසනගි, ඉසනමි යන සහෝදර සහෝදරියෝ දෙදෙනා ද වූහ. ව්‍යාකූල ලෝකයෙහි සාගර වෙන් කොට සෙසු කොටස එක්කොට රටවල් මවන ලද්දේ ඔවුන් විසිනි. මෙසේ මවන ලද රටවල් "ඕ-යෂිමා" හෙවත් අට මහ දූපත් නම් විය. ඉසනමිගේ ශරිරාවයවවලින් අලුත් දෙවිවරු උපන්හ. ස්වර්ගයට අධිපති අමතේරසු ඔවුන්ගෙන් කෙනෙකි. මුහුදුවලට අධිපති වූ සුසනෝවෝ ඇයගේ සහෝදරයාය. මෙසේ ජපානය නිර්මිත වූ පසු එහි මුල් ප්‍රාණීන් වූයේ ගංගා, ගස්වැල් ආදි ස්වාභාවික වස්තූන් මැවූ දේවගණයා (කමි) ය. සියලු කමීන් අතුරෙහි අමතේරසු ඕ-මි- කමි අගතැන් පැමිණියාය; ඈ සියලු මැවීම් හා ශක්තීන් පිළිබඳ මූලජීවය වූවාය.
දිනෙක සුසනෝවෝ පාතාල ලෝකයේ සිටි තම මෑණියන් බැලීමට අදහස් කෙළේය. ඒ ගැන අමනාප වූ ඔහුගේ පියා දෙව්ලොවින් ඔහු පන්නා දැම්මේය. ඉක්බිති තම සහෝදරිය වූ අමතේරසු හමුවීමට ගිය විට ඔහුගේ අදහස් ගැන සැක උපදවා ගත් අමතේරසු ද ඔහුගේ පැමිණීමට විරුද්ධ වූවාය. ඉන් පසු හේ ඇයගේ මාළිගයෙහි බොහෝ කැළඹිලි ඇති කෙළේය. අමතේරසු (හිරු දෙවඟන) ඊට කලකිරී ගල් ගුහාවෙක සැඟවුණාය. එකෙණෙහි ම මුළු ලෝකය අන්ධකාරයෙහි නිමග්න විය. ඉක්බිති අනෙක් දෙවිවරු නැවත ආලෝකය උදාකරනු වස් ඇය පොලඹවා ගුහාවෙන් පිටතට ගැනීමට ප්‍රයත්න දැරූහ. එක් දෙවියකු විසින් විශාල කැඩපතක් ද, අනෙකකු විසින් මැණික් මාලයක් ද තවත් දෙවියෙකු විසින් ගසක් ද මවන ලදි. කැඩපතත් මාලයත් ගසේ එල්ලන ලදි. උෂුමේ දෙවඟන විශේෂ නැටුමක් නැටූ අතර අනික් දෙවිවරු මහහඬින් සිනාසුණාහ. ගල්දොර හැර බැලූ අමතේරසුට කැඩපතින් තම රුව පෙනිණි. වඩා හොඳින් එය නැරඹීමට ඇය පිටතට පැමිණි කෙණෙහි ලෝකය යළිත් ඒකාලෝක විය. සූර්‍ය්‍යග්‍රහණය පිළිබඳ මේ දේව කථාව චීනයේ මියාවෝ ග්‍රෝත්‍රිකයන් අතරත් ඇතැම් අග්නිදිග ආසියාතික ජාතීන් අතරත් බෙහෙවින් ප්‍රකටය.
පෙරළා දිව්‍ය ලෝකයට යෑමෙන් පසු අමතේරසු සිය මුනුබුරු නිනිගි - නො-මිකෝතෝට ජපානය පාලනය කිරීම පවරා ඔහුට කැඩපත ද කඩුවක් හා මැණිකක් ද ප්‍රදානය කළාය. මේ වස්තුත්‍රය පිරිසිදු ආත්මය, ධෛර්‍ය්‍යය හා ප්‍රඥාව නිරූපණය කරන සංකේතයෝයි. නිනිගි විසින් ඒවා සිය මීමුනුබුරු වූ ජිම්මු-තෙන්නෝට ප්‍රදානය කරන ලදි. "සාන් ෂු නො-ජින්ජි" නම් වූ මේ භාණ්ඩ අධිරාජයන්ගේ දිව්‍යමය වස්තුත්‍රය වශයෙන් සලකනු ලැබේ. දිව්‍යමය පෙළපතින් පැවත ආ නරශ්‍රෙෂ්ඨයකු විසින් රට පාලනය කළයුතුය යන හැඟීම ජපන්වැසියා තුළ මුල්බැස ගත්තේ මේ ප්‍රවාදය ආශ්‍රයෙනි.
අමතේරසු පිදීම ජපානයෙහි ආරම්භ කරන ලද්දේ ජෝමොන් යුගයෙහි අවසාන භාගයෙහි නොහොත් යායොයි යුගයෙහි මුල් අවදියේ දී යැංට්සි ගංගාවට දකුණු පසින් වූ ප්‍රදේශයේ සිට සංක්‍රමණය වූහයි සැලැකෙන මිනිසුන් කොටසක් විසිනි. සූර්‍ය්‍යයා පිදීම ජපානයේ රජයේ ආගම බවට පත්වූයේ හයවැනි සියවසේ දීය. 1946 ජනවාරි 1 වැනි දා හිරෝහිතෝ අධිරාජයා විසින් තමා අමතේරසු ඕ-මි-කමිගෙන් පැවැත ආ දිව්‍යමය පෙළපතට අයත් නොවන බව රාජ නියෝගයකින් ප්‍රකාශයට පමුණුවන ලදි. අමතේරසු මහායාන බෞද්ධ සම්ප්‍රදායේ ආදිබුදුවරයකු වූ "වෛරෝචන" යයි ඇතැමෙක් විශ්වාස කරති. මෑතක සිට අමතේරසු යන නාමය භාවිත වනුයේ ඉතා විරල වශයෙනි. එහි චීන තත්සම නාමය වූ "තෙන්ෂොදායිජින්" යන්න ව්‍යවහාරයට පැමිණ තිබේ.
(සංස්කරණය:1963)