අමද්‍යප ව්‍යාපාරය
පුරාතනයෙහි සිට ශිෂ්ටාචාර රටවල පවා පුද්ගලයාටත් සාමජයටත් හානිකර ලෙසින් මිනිසුන් සුරාවට ඇබ්බැහි වූ බැවින් ආගම් කතුවරයන් සෘෂිවරුන් පූජකවරුන් හා පාලකයන් වරින්වර ඊට විරුද්ධව ශික්ෂාපද නීති ආදිය පැනවීමෙන් කටයුතු කළ බව ඉන්දියාව, පර්සියාව, චීනය, පලස්තීනය, මිසරය, ග්‍රීසිය ආදි රටවල පොතපතින් පෙනේ.
බටහිර රටවල මද්‍යපානය බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස උද්ගත වූයේ මද්‍යසාරය පෙරන ක්‍රම සොයා ගැනීමෙන් පසුවය. මෙය සිදුවූයේ 13වැනි ශතවර්ෂය පමණේ දී ය. ඊට පෙර එරටවල භාවිත කරන ලද මද්‍යපාන පලතුරු වලින් පෙරාගත් වයින් හා ධාන්‍යවලින් පෙරාගත් බීර වැනි පානවර්ග විය.
18 වැනි ශතවර්ෂයේ දී එංගලන්තයේ ජනයා අධික ලෙස මත්පැන් පානය කරන්නට වූහ. මෙයින් ඇති වූ විපත්තිදායක ප්‍රතිඵල හේතුකොටගෙන අනුක්‍රමයෙන් වර්‍තමාන අමද්‍යප ව්‍යාපාරය ඇති විය. 19 ශතවර්ෂය වනවිට අමද්‍යප ව්‍යාපාරය එවක වූ පුළුල් සමාජ සංශෝධන ව්‍යාපාරයේ කොටසක් වී තිබුණි. 1804 දී එඩින්බරෝහි දොස්තර 'ට්‍රොටර්, පිලඩෙල්පියාවේ දොස්තර බෙන්ජමින් රෂ් යන දෙදෙන මද්‍යපානය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ග්‍රන්ථ දෙකක් සම්පාදනය කළහ. අමද්‍යප ව්‍යාපාරය ඇමෙරිකාවේ සංවිධානාත්මකව පැතිරෙන්නට වූයේ මින් පසුවය . 1808දී නිව්යෝක් ප්‍රදේශයේ සරටෝගාහි අමද්‍යප සංගමයක් ආරම්භ කරන ලදි. 1813දී මැසචුසෙට්ස්හි මද්‍යවිරෝධී සංගමය (Massachusetts Society For the Suppression of Intermperance) ආරම්භ විය. මේවා මුල් ම අමද්‍යප සංවිධාන වශයෙන් දැක්විය හැකිය. ක්‍රිස්තියානි පූජක පක්ෂයේ ද සහාය ඇතිව අමද්‍යප බොස්ටන්හි දී ඇමෙරිකානු අමද්‍යප සභාව ආරම්භ කරන ලදි. 1833වන විට ඇමෙරිකාවේ ප්‍රාදේශීක අමද්‍යප සමිති සංඛ්‍යාව 6,000ක් පමණ විය. සාමාජික සංඛ්‍යාව දස ලක්ෂයකට අධික විය.
ප්‍රථම යුරෝපීය අමද්‍යප සංගම් ආරම්භ කරන ලද්දේ අයර්ලන්තයේය. ස්කිබරීන්හි දී 1818දී අමද්‍යප සමාජයක් ආරම්භවීමෙන් පසුවය. 1830 වන විට ව්‍යාපාරය එංගලන්තයේ යෝක්ෂයර් හා ලැන්කෂයර් යන කෝරළ කරා පැතිර ගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් පළමු "අමද්‍යප සභා වාර්තාව" නමැති පුවත්පතට අනුව එවක අමද්‍යප සභා 127ක් විය. සාමාජික සංඛ්‍යාව 23,000ද, සුරාවෙන් වැළකෙන්නන්ගේ සංඛ්‍යාව 60,000කැයි ද වාර්තා විය. එංගලන්තයේ ප්‍රෙස්ටන් නුවර විසූ ලිව්සි නමැත්තෙක් 1832දී සම්පූර්ණ මද්‍යපාන වර්ජන පොරොන්දුවක් ලියා අත්සන් කොට ඊට තව හයදෙනකුගේ අත්සන් ලබා ගත්තේය. "ප්‍රෙස්ටන්හි හත්දෙනා" යනුවෙන් රටපුරා ප්‍රසිද්ධ වූ ඔවුන්ගේ ව්‍යාපාරය තරමක් සාර්ථක විය. සුරාපානයෙන් මුළුමනින් ම වැළකෙන්නා යන අර්ථය ඇති "ටීටෝටලර්" යන ඉංග්‍රීසි වචනය සම්පාදනය කරන ලද්දේ මොවුන් විසින් යයි කල්පනා කරනු ලැබේ. 1831දී බ්‍රිතාන්‍ය හා විදේශීය අමද්‍යප සභාව නමින් සංගමයක් ලනඩන්හි දී ආරම්භ විය. මේ යුගයේ අමද්‍යප ව්‍යාපාරයේ වැදගත් ම අංගයක් වූයේ කෝක්හි තියබෝල්ඩ් මැතිව් පියතුමාගේ කට යුතුය. 1838-42 කාලය තුළ එතුමා අයර්ලන්තයේ දේශනා කරමින් සංචාරය කළේය. 1841වන විට අයර්ලන්තයේ සුරා නොබොන්නන්ගේ සංඛ්‍යාව 46,47,000ක් යයි ගණන් බලන ලදි. 1843දී මැතිව් පියතුමා එංගලන්තයට ද 1850දී ඇමෙරිකාවට ද ගියේය. 1856දී ඔහුගේ මරණයෙන් පසුව ව්‍යාපාරය දුර්වල වී ගිය නමුත් එක්සත් ජනපදයේ "වොෂිංටන් ව්‍යාපාරය" නමින් හැඳින්වෙන රාජ්‍යයේ මද්‍ය විකිණීම තහනම් කිරීමේ නීතියක් පනවන ලද නමුත් 1847දී එය අවලංගු කරන්නට යෙදුණේය.
මුල දී ස්වෙච්ඡා ව්‍යාපාරයක් වූ අමද්‍යප ව්‍යාපරය සම්බන්ධයෙන් නීති පැනවීම ද මේ අයුරින් ආරම්භ විය. 1846 පමණේ සිට අමද්‍යප නීති ඇමෙරිකා එක්සත් ජනපදයේ රටවල් කීපයක ම පැනවිණ. අමද්‍යප ව්‍යාපාරිකයෝ ව්‍යවස්ථා මගින් මද්‍ය තහනම් කිරීම සඳහා උද්ඝෝෂණ පවත්වන්නට වූහ. මෙම වැදගත් වූ ද, අභිනව වූ ද ව්‍යාපාරයේ ප්‍රධාන ආයතනයක් වූයේ මද්‍යශාලා - විරෝධී සංගමයයි. මේ කාලයේ දී අමද්‍යප ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්විය. අමද්‍යඵ පක්ෂ්‍ය නම් වූ දේශපාලන පක්ෂයක් ද බිහිවිය. ආගමික හා ව්‍යාපරික අංශවලින් ද ගම්බද ආයතනවලින් ද මීට රුකුල් ලැබුණි. පළමුවැනි ලෝක යුද්ධයේ දී අනුගමනය කළ අර්ථ සංරක්ෂණ ප්‍රතිපත්තිවලට අනුකූලව මද්‍යපාන නිෂ්පාදනය අඩුවීම යථෝක්ත ව්‍යාපාරයට රුකුලක් විය. යුද්ධයට පසුව අමද්‍යප නීති ව්‍යවස්ථාගත විය. මද්‍යසාර නිෂ්පාදනය, විකිණීම, පිටරටි යැවීම් හා පිටරටින් ගෙන්වීම තහනම් කරන මෙම නීති ව්‍යවස්ථාගත වූයේ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වැනි සංශෝධනය වශයෙනි. නීතිය ක්‍රියාවේ යෙදවීම සඳහා වැරවෑයම් දරන ලද නමුත් එය ඉතාමත් දුෂ්කර කාර්‍ය්‍යයක් විය. හොරෙන් සුරා ගෙන්වීම හා හොර සුරා නිෂ්පාදනය අධික ලෙස පටන් ගැනුණි. බොහෝ විට මෙම මද්‍යසාර ශරීර සෞඛ්‍යයට අහිතකර විය. ඉන් පසුව උදාවූ අවුරුදු කීපය අධික ලෙස මද්‍යපානය කෙරුණා වූ ද එහෙයින් අමද්‍යප නීතිය අත්‍යන්තයෙන් උල්ලංඝනය කෙරුණා වූ ද කාල පරිච්ඡේදයක් විය. 1933දී සම්මත වුණු 21වැනි සංශෝධනය මඟින් මද්‍ය තහනම පිළිබඳ නීතිය අවලංගු කරන ලදි. එහෙත් ප්‍රාදේශික රාජ්‍යවල තම කැමැත්ත පරිදි සම්පූර්ණ හෝ අර්ධ මද්‍ය තහනම පවතී.
1909දී ලෝක අමද්‍යප සම්මේලනයක් ලන්ඩන් හි දී පවත්වන්නට යෙදුණේය. ඊට ලෝකයේ සෑම රටකින් ම පාහේ පැමිණි නියෝජිතයෝ සහභාගි වූහ. අන්තර්ජාතික අමද්‍යප සභාවක් පිහිටුවීමට මෙහි දී තීරණය විය. 1833දී fප්‍රාන්සස් විලාඩ් මහත්මිය ලෝක වනිතාවන්ගේ ක්‍රිස්තියානි අමද්‍යප සභාව පිහිටෙව්වාය. එහි ශාඛා දැන් රටවල් පනහක පමණ ඇත. මද්‍ය වර්ජන තරුණ සමිති ද එංගලන්තය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන රටවල පිහිටුවා තිබේ. මද්‍යපානයෙන් වැළකීමෙහි ඇති වැදගත්කම පාසැල්වල පවා උගන්වන්නට වන. මද්‍යපානයේ ආදීනව විද්‍යාත්මකව විමසා බැලීම ද දියුණු විය. මුල් අමද්‍යප ව්‍යාපාරිකයෝ වෛද්‍යවරු වූහ. එමෙන් ම ඔව්හු එම ව්‍යාපාරයට කවදත් රුකුල් දුන්හ. එවක මද්‍ය විරෝධී විද්‍යාත්මකව කරුණු රැස්කිරීම ද බලවත් රුකුලක් විය. එංගලන්තය, ජර්මනිය, බැල්ජියම, ඕලන්දය, නෝර්වේ, ස්විඩන්, ඩෙන්මාක් ආදී රටවල මද්‍ය වර්ජන වෛද්‍ය සමිති පිහිටුවා තිබේ.
නිර්නාමික බේබද්දෝ යන අරුත් ඇති "ඇල්කොහොලික්ස් ඇනොනිමස්" නමැති සංවිධානයක් ද මද්‍යපාන විරෝධී ව්‍යාපාරයෙහි යෙදී සිටි. මෙම සංවිධානය සෑදී ඇත්තේ මද්‍යපානයට අධික ලෙස ඇබ්බැහිව සිට පසුව එයින් මිදි සිටින තැනැත්තන් ගෙනි. දැනට එලෙස ඇබ්බැහිව සිටින්නන් ද එයින් බේරාගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. මෙම සංවිධානය ආරම්භ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. කල්යාමේ දී එය වෙනත් රටවල පැතිර ගියේය.
වර්තමාන තත්වය: පසුගිය අවුරුදු කීපය තුළ අමද්‍යප ව්‍යාපාරය වැඩිදුරටත් ව්‍යාප්ත වී ඇත. එහෙත් ඒ පිළිබඳ විස්තර සහිත සංඛ්‍යාලේඛන නොමැත. මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, එක්සත් ජනපදය, ඉන්දියාව ආදී රටවල අමද්‍යප සමිති තිබේ. එංගලන්ත සභාවේ අමද්‍යප සමිතිය මින් ඉතා විශාල එකය. රජු සහ බිසව එහි අනුශාසකයෝය. කැන්ටරිබරියෙහි හා යෝක්හි ආච්බිෂොප්වරු එහි ප්‍රධානිහු වෙත්. ලන්ඩන් නුවර බිෂොප්වරයා එහි සභාපතිය. ප්‍රධාන සටන්කාමී දේශපාලන අමද්‍යප සමිතිය නම් 1853 දී ආරම්භ කරන ලද එක්සත් රාජධානියේ "මිත්‍ර" සමාජයයි. එය අවුරුදු පතා මද්‍ය සඳහා යන ජාතික වියදම මේ යයි පෙන්වයි. වෙනත් සමිති ද බොහෝ ගණනකි. ඇතැම් රටවල අමද්‍යප ව්‍යාපාරයේ වරින්වර අමද්‍යප නීති සම්මත කර ගැනීමෙහි සමත්වී ඇත.
ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය: ක්‍රිස්තු වර්ෂ 1796දී මුහුදුබඩ පළාත් ද 1815දී උඩරට පළාත් ද අල්ලාගෙන ලංකාව යටත් විදේශයක් කරගත් බ්‍රිතාන්‍ය පාලකයෝ මෙරට වැසියාට කලින් නොතිබුණු පරිදි සුරාපානයට පහසුකම් ඇති කළහ.
රා අරක්කු රේන්ද විකුණා ඔව්හු රටේ නගරයන් හි එම මත්පැන් වර්ග විකුණන තැබෑරුම් ඇතිවීමට මාර්ග සැලස්වූහ. එම රේන්ද ක්‍රමය යටතේ රා අරක්කු දෙවර්ගය ම විකුණන ලද්දේ එක ම තැබෑරුමෙහිය. එහෙත් වැඩි ආදායමක් ලබනු කැමති වූ රේන්දරාළලා වැඩි ඕනෑකමක් දැක්වූයේ තැබෑරුම්වල අරක්කු අලෙවිය වැඩිකර ගැනීමටය. එය හොඳ සංවිධානයක් ඇතිව කළ හෙයින් රා වෙළඳාම කෙරුණේ නමට පමණක්ය.
අවුරුදු ගණනක් මේ ක්‍රමය පැවතීමෙන් පසුව අරක්කු හා රා රේන්ද වෙන වෙනම විකිණීමෙන් ආණ්ඩුවට සුරාබද්දෙන් ලැබෙන ආදායම වැඩිකර ගත හැකි වෙතැයි නිලධාරීහු කල්පනා කළහ. මෙරට ආණ්ඩුකාරපදවියට පත්වී අවුත් 1907සිට 1913 දක්වා එම පදවිය ඉසුලූ සර් හෙන්රි මැකලම් මේ පිළිබඳව වැඩියත් සිත යොමු කෙළේය. ඉන්දියාවේ බොම්බාය, මදුරාසිය ආදී ප්‍රාන්තවල පවත්නා ආණ්ඩු සුරාවෙන් වැඩි ආදායම් ලබන බැව් දැනගත් එම ආණ්ඩුකාරයා මදුරාසියේ සුරා කටයුතු කෙරෙන ආකාරය බලා ගෙන ඒමට එකල ලංකාණ්ඩුවේ ප්‍රධාන ආදායම් පාලක ධූරය ඉසිලූ එච්.ඇන්. කෙfපඩ් මහතා පිටත් කර යැවීය. ඔහු එහි දී දැන ගත් තොරතුරු ඇතුළත් කොට සැපයූ වාර්තාවෙන් උපදෙස් ගත් ආණ්ඩුකාරයා ලංකාණ්ඩුවේ එතෙක් පැවැති සුරා ප්‍රතිපත්තිය වෙනස් කොට අලුත් පනතක් පැනවීමෙහි උත්සුක විය. 1912 සුප්‍රසිද්ධ සුරාබදු පනත ඉදිරිපත් කරනු ලැබීම ඒ ගත් උත්සාහයේ ප්‍රතිඵලයයි.
හොරසුරා මැඩීමත් අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු සඳහා වැඩි ආදායම් උපදවා ගැනීමත් ආණ්ඩුවේ අලුත් සුරාබදු පනතින් අදහස් කෙරේ යයි ආණ්ඩුව විසින් කියන ලදි. නමුත් රටවැසියා එය නොපිළි ගත්තේය. ඔවුන් විසින් මේ අලුත් පනත සලකන ලදදේ සුරා මහෝඝයෙන් රට විනාශ කිරීමට ගන්නා තැතක් හැටියටය. රටවැසියන් බේබද්දන් වීම එයින් ඇති වන අනිෂ්ට විපාක හැටියට සලකන ලදි. අභිනව සුරාබදු පනත ගැන ප්‍රකාශ වුණ මහා ජනමතය මෙය වුව ද නිලලත් මන්ත්‍රීන් වැඩි ගණනකින් යුත් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව ලවා එය සම්මත කරවා ගැනීම ආණ්ඩුවට අහපසු නොවීය. සම්මත වූ එම ව්‍යවස්ථාව නීතිගත වීමෙන් පසු කොමසාරිස්වරයකු යටතේ සුරා දෙපාර්තමේන්තුව ද ඇති කොට රටේ ගමක් පාසා ම වාගේ රා තැබෑරුම් පිහිටුවීම ආරම්භ කරන ලදි. අත්තනෝමතික ආණ්ඩුකාරයකුගේ අසාධාරණ නීතියකැයි සලකන ලද මෙම සුරාපානයට විරුද්ධව රටේ මහජනයා නැඟී සිටියේය. ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා නියෝජිතයන් මගින් එංගලන්තයේ පටන් විදේශභාර මහලේකම්වරයාට පවා මේ ගැන කරුණනු ඉදිරිපත් කරන ලදි.
එයින් නොනැවතී පුළුවන් සෑම මාර්ගයකින් ම එයට විරුද්ධව සටන් කරනු සඳහා ජනහිතකාමී පිරිසක් විසින් කොළඹ අමද්‍යප මහාසභාව ආරම්භ කරන ලදි. ඉක්මනින් ම දේශව්‍යාප්ත වූ අමද්‍යප ව්‍යාපාරය මේ අමද්‍යප මහාසභාව නිසා ඇති වූවකි.
අමද්‍යප ව්‍යපාරයෙන් ප්‍රධාන කොට අදහස් කරන ලද්දේ අලුත් සුරාබදු පනතට විරුද්ධව සටන් කරන ගමන් මුළුමනින් ම රට සුරාවෙන් මුදා ගැනීමය. ඒ සඳහා පුරෝගාමීව ක්‍රියා කළවුන් අතර ඩී.බී.ජයතිලක, ඩබ්ලිව්.ඒ.ද සිල්වා, පේ.ආර්.සේනානායක, ඩී.සී. සේනානායක, පියදාස සිරිසේන, දොස්තර හේවාවිතාරණ, ආතර් වී දියෙස්, හැරී දියෙස්, මාටිනස්සී.පෙරේරා, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර, අමදොරිස් මැන්දිස් යනාදි දේශමාමක පිරිසක් වූහ. ඒ ප්‍රභූන් මේ ව්‍යාපාරය ගෙන යෑමෙහි දී දක්වන ලද උද්‍ය්ගිකරණකොට ගෙන රටවැසියා විසින් ඔවුහු "අමද්‍යප වීරයෝ" යන නමින් හැඳුන්වනු ලැබූහ.
තමන් තුළ දැල්වුණා වූ අත්‍යන්තයෙන් උද්‍ය්ගි හැඟීම් කරණකොටගෙන අන්‍යයන් හා එක්ව යා කළ නොහැකි බවක් දැක්වූ අනගාරික ධර්මපාල තුමා යථෝක්ත සුරාපනතට විරුද්ධව ගෙන ගියේ හුදකලා ව්‍යාපාරයකි. එතුමා, තමා ගමන් කළ මෝටර් රථයෙහි "අපට සුරා එපා, එපෝ" යන වචන සටන් පාඨය හැටියට ලොකු අකුරෙන් ලියා සවිකොට ගෙන යමක් පාසා ගොස් මහ පිරිස් අමතමින් සුරා බොන්නන්ට චණ්ඩාල වාදයෙන් බැණ වැදුණේය. රා පොවා සිංහල වර්ගයා බේබදු ජාතියක් කිරීමට නීති පැනවූ බ්‍රිතාන්‍ය නිලධාරියා රට කොල්ල කාගෙන යෑමට පැමිණියෙකැයි දුර්ජන වාදයෙන් හෙළා දැක්කේය. "සිංහලයිනි අවදිවවු, භයනොවවු. පරසිරිත් දුරලවු, ඉදිරියට යවු" යනු එතුමා නැඟූ හඞ විය.
අමද්‍යප ව්‍යාපාරයට ක්‍රිස්තියානි පක්ෂයෙන් ද අනුබල ලැබෙන්නට විය. ජේ.සයිමන් ද සිල්වා, ජී.ඒ.ඇෆ් සේනාරත්න, කවීශ්වර ජේකොබ් විජේසිංහ, එච්.සී.ද වික්‍රරත්න, ජේ.ඩබ්ලිව්.පෙරේරා යන දේවගැතිවරු සෙසු අමද්‍යප සේවකයන් හා එකතුව සභාරැස්වීම්වල කථා පැවැත්වීමාදියෙන් අමද්‍යප ව්‍යාපාරයට නොමසුරු සහයෝගයක් දුන්හ.
එදා ඇති වූ අමද්‍යප ව්‍යාපාරයේ බලවේගය එකෙණෙහි ම වාගේ දැනෙන්නට විය. මුළුරට ම අමද්‍යප සටන සඳහා එක් වූ සේ පෙනිණ. පළමු වෙන්ම සුරාබදු පනත යටතේ විවෘත කරන ලද තැබෑරුම්වලට විරුද්ධව සටන ආරම්භ වූයේ හිපිටිගම කෝරළයෙන්ය. ඇෆ්.ආර්.ඩී.සි, ඩී.ඇස්. යන සේනානායක සොහොයුරන් තිදෙන තම ජන්මභූමිය වූ හාපිටිගම කෝරළයේ අරඹන ලද උග්‍ර අමද්‍යප සටන නිසා අවුරුද්දක් දෙකක් ඇතුළත එම කෝරළයෙහි වූ සියලු ම තැබෑරුම් වස්වා ගතහැකි විය.
දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට, ආදි පෙදෙස්වලට ද එම වේගයෙන් ම අමද්‍යප ව්‍යපාරය ක්‍රියාත්මක වූ නිසා ඒ පෙදෙස්වල ද තැබෑරුම් වැසී යෑම ශීඝ්‍රව සිද්ධ විය. කල්යාමෙන් කොළඹ ඇතුළු රටේ අනෙක් බොහෝ පළාත්වල ද තැබෑරුම් වැසී ගියේය. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ධර්මානුකූල අනුශාසනාත් නිර්දය විවේචන පළ කරවීමෙන් පුවත්පත්වලින් ලැබුණු සහායයත් මෙයට ලොකු අනුබලයක් විය. ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය උකච්චාවස්ථාවට පත්ව පවත්නා අවදිහෙයි ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ද අමද්‍යප ව්‍යාපාරයෙහි අලුත් උනන්දුවක් ඇතිව පැවතිණ. එම ව්‍යාපාරයේ නායකත්වය ගෙන ක්‍රියා කෙළේ “පුසිෆුට්” ජෝන්සන් නැමති ඇමරිකන්ජාතිකයාය. ලංකාවෙන් නැඟුණ අමද්‍යප ඝෝෂාව අසා මෙහි පැමිණි ඔහු ද ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයට ජය පැතීය.
මෙසේ මැකලම් ආණ්ඩුකාරවරයාගේ සුරා පනතට විරුද්ධව ඇරඹුණ අමද්‍යප ව්‍යාපාරය එඩිතර ලෙස ඉදිරියට ගමන් කරන්නට විය. තවද එයින් සිදුවූ සේවය හුදෙක් සුරාවිරෝධී සටනට පමණක් සීමා නොවීය. රටවැසියන් තුළ දේශමාමක හැඟීම් ද දේශපාලන හැඟීම් ද ඒ ව්‍යාපාරය මඟින් ජනිත වන්නට වූ නිසා එය උදාර ජාතික ව්‍යාපාරයක් ද විය.
1915දී ඇතිවුණ සිංහල-මුස්ලිම් ගැටුම නිසි ආණ්ඩුව විසින් පනවන ලද යුද්ධ නීතිය යටතේ, රට කළඹන්නවුනැයි රටේ ප්‍රභූ අමද්‍යප සේවකයන් අල්ලා හිර අඩස්සියේ තැබුවේ අමද්‍යප ව්‍යාපාරය නිසා ඇති වූ ඉහත කී උදාර ජාතික සේවය මෙරට බ්‍රිතාන්‍ය පාලකයන්ට පීඩාවක් සේ දැනෙන්නට වූ නිසාය. එහෙත් එම ව්‍යාපාරය එයින් යටපත් කර දමනු නොහැකි විය. තුන් මසක් තිස්සේ පැවති යුද්ධ නීති සමග ගත වී යෑමෙන් පසු හිර අඩස්සියේ සිටි ඩී.බී. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක ආදී අමද්‍යප වීරයන් එලියට ආවේ බ්‍රිතාන්‍ය යටත් විදේශ බැම්මෙන් මුදා රට නිදහස් කර ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිවය.
මෙතැන් සිට ඇරඹුණ විමුක්ති ව්‍යාපාරයේ ප්‍රතිඵල හැටියට රටවැසියාට වැඩිවැඩියෙන් බලතල ලබා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රමයෙන් දියණුවී ගොස් 1948දී රටට සම්පූර්ණ නිදහස එනම් පූර්ණ ස්වරාජ්‍යය ලබාදීමෙන් කුළුගැන්විණ, මෙසේ මෙරට ජාතික විමුක්ති සටනට මූලාධාරය වූයේ අමද්‍යප ව්‍යාපාරයයි.
මුල දී මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ සටන් කොට නොයෙකුත් ජයග්‍රහණයන් අත්කර ගැනීමට අමද්‍යප ව්‍යාපාරය සමත් විය. එහෙත් මෑතක සිට ඉතාමත් දරුණු අන්දමින් හොර සුරා වසංගතයක් රටේ පැතිරෙන්නට වී තිබෙන නිසා රට සුරාවෙන් මුදාගැනීම නම් වූ අමද්‍යප ව්‍යාපාරයේ මූලික පරමාර්ථ තවමත් ඉටු වී ඇතැයි කිය නොහැක.
කර්තෘ:පී.නිශ්ශංක
(සංස්කරණය:1963)