අමනුල්ලා ඛාන්
ක්‍රි.ව.1924 දී අමනුල්ලා ඇෆ්ඝනිස්ථානයේ රජු හැටියට පෙනී සිටිමින් අලුත් ආණ්ඩු ව්‍යවස්ථා පනතක් ද පිළියෙල කළේය. රාවල්පිණ්ඩි ගිවිසුමෙන් පසු අමනුල්ලා හා බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර සම්බන්ධය මතුපිටින් මිත්‍ර ලීලාවක් පෙන්වුව ද ඇතුළතින් එසේ නොවීය. ඔහුගේ තහවුරු වී යන දේශපාලන බලයට ඉංග්‍රිසිහු ඊර්ෂ්‍යා කරන්නට වූහ. ඇෆ්ඝනිස්ථානයේ විදේශ ප්‍රතිපත්තියේ වෙනස්කම් ඇති කිරීම ඊට තවත් හේතුවක් විය. අමනුල්ලා තමාගේ අසල්වැසි රටවල් සමගත්, තුර්කිය හා රුසියාව සමගත් දේශපාලන සම්බන්ධකම් හා ගිවිසුම් ඇතිකර ගනිමින් සිය රටේ ආභ්‍යන්තරික ආරක්ෂාව තර කර ගැනීමට තැත් කළේය. ඒ කිසිවක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සතුටට හේතු නොවීය.
රජකමට පත්වීමෙන් පසු අමනුල්ලා ඛාන් තුර්කියේ මුස්තාපා කෙමල් පාෂා (1881-1938) (බ.) අනුගමනය කරමින් ඇෆ්ඝනිස්ථානයේ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ පටන් ගත්තේය. බටහිර සිතුම් පැතුම් හා සිරිත් විරිත් ඇෆ්ඝනිස්ථානයේ පතුරුවන්නට ඔහු වෙහෙස ගත්තේය. තම රටේ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණවලට මුල පිරීමෙන් පසු, ඔහු 1928 අවුරුද්දේ මුල හරියේ දී සොරායා බිසව ද කැටුව යුරෝපයේ දීර්ඝ චාරිකාවක් සඳහා පිටත්ව ගියේය. මේ නිසා ඔහුට මාස ගණනක් රටින් පිටවී ඉන්නට සිදු විය. ඒ කාලය තුළ දී රටේ නොසන්සුන්කම් හා රජුට විරුද්ධව කුමන්ත්‍රණ ඇති වන්නට පටන්ගති. 1928 අවුරුද්දේ දී ම සියරටට පැමිණි අමනුල්ලා තමාගේ දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ අදහස් නැවතත් ක්‍රියාවේ යොදවන්නට පටන්ගති. අධිපතීන්ගේ නම්බු නාම නැති කිරීමට ද පූජක පක්ෂයේ බලය බිඳීමට ද ස්ත්‍රීන්ට සමාජ හා අධ්‍යාපන නිදහස දීමට ද ඔහු ක්‍රියා කළේය. ගතානුගතික සිරිත් විරිත්වලට ගරු කළ අය ඊට විරුද්ධ වූහ. ඒ විරෝධය දැක්වීම් වස් කුමන්ත්‍රණකාරීහු 1928 අවුරුද්දේ අවසාන භාගයේ දී හදිසියේ ම කැරලි ගැසූහ. අමනුල්ලාගේ බලය බිඳීමට මාන බලමින් සිටි ඉංග්‍රීසින් කැරලිකරුවන්ට ආයුධ ආදිය සැපයීමෙන් ආධාර කළහයි සැක කරනු ලැබේ. ඊළඟ අවුරුද්දේ දී කැරලිකරුවන්ට ජය අත්විය. මේ නිසා අමනුල්ලාට රජකම අත්හැර යන්නට සිදුවිය. ඉක්බිති කැරලිනායක බාවා-ඉ- සකාවෝ පස් මසක් රට පාලනය කළේය. අමනුල්ලාගේ සේනාධිපතියකුව සිටි නදීර් ඛාන් ඔහු පලවා හැර නදීර් ෂා නමින් රජවිය. දෙවන ලෝකසංග්‍රාමය පැවති කාලයේ දී අමනුල්ලා ජර්මන් ජාතිකයන්ගේ ද ආධාර ඇතිව තමාට අහිමි වූ රජකම නැවත ලබාගන්නට වෙහෙස දැරූ නමුත් ඒ ප්‍රයත්නය සාර්ථක නොවීය.
(සංස්කරණය:1963)