අමරපුර නිකාය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුරුමයට අමරපුර නම් පැරණි රාජධානියට ද හංසවතී නුවරට ද ‍ගොස් උපසම්පදාව ලබාගෙන ලක්දිවට පෙරළා පැමිණි සිංහල භික්ෂූන් විසින් පිහිටුවා ලූ භික්ෂුවංශය (නිකාය) අමරපුර නිකාය නම් වෙයි. මෙකල ලක්දිව නොයෙක් දිශායෙහි පැතිර පවත්නා එක්දහස් පන්සියයකට අධික භික්ෂූන්වහන්සෙ‍්ගෙන් ද සමන්විත වූ මේ අමරපුර නිකාය විවිධ හේතූන් නිසා විශේෂ නායන්ගෙනුදු හැඳින්වෙන ශාඛා ප්‍රශාඛා බොහෝ ගණනකට බෙදී පවත්නේය.

ආරම්භය: ලක්දිව එක ද උපසපන් භික්ෂු කෙ‍නකුන් නැතිව බුද්ධශාසනය නෂ්ටප්‍රායව පවත්නා අවධියෙහි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජාණන් විසින් සියම් දේශයට දූතයන් යවා, උපාලි මහතෙරණුවන් ප්‍රමුඛ භික්ෂූන් සෙංකඩගල නුවරට ගෙන්වා, වැලිවිට සරණංකර සාමණේරයන්වහන්සේ ඇතුළු බොහෝ සාමණේරවරුන් උපසපන් කරවා, ලංකා බුද්ධශාසනය යථාස්ථානයට පමුණුවන ලද්දේය. යලි බොහෝ කුලදරුවන් මහණ මහලුපැවිදි කරවීමෙන් ද ධර්‍මවිනය ශබ්දශාස්ත්‍ර පුහුණු කරවීමෙන් ද මඳකලෙකින් ම ලක්දිව නොයෙක් ප්‍රදේශයන්හි බොහෝ භික්ෂු සාමණේරයන්වහන්සේ ඇති වූහ.

මෙසේ ඇති වූ භික්ෂු සාමණේරයන් අතුරෙහි දකුණු ලක වැලිතර නම් ප්‍රසිද්ධ වූ ග්‍රාමාසන්නයෙහි අඹගහපිටිය නම් වූ පියසෙහි උපන් ධර්‍මශාස්ත්‍රප්‍රවීණ වූ ඤාණවිමල තිස්ස (බ.)නම් හෙරණ කෙනෙක් වූහ. උන්වහන්සේ වැලිතර අමස්බරුක්ඛාරාම විහාරයෙහි බණදහම් ඉගැන්වූහ. උන්වහන්සේට සහාය වූවෝ බෝවල ධම්මානන්ද තෙරණුවෝය. උපසම්පදාපේක්ෂකව සිටි ශ්‍රද්ධාවීර්‍ය්‍ය සම්පන්න වූ ඤාණවිමලතිස්ස සාමණේරයන්වහන්සේ හෙරණ පැවිදි පස්දෙනෙකුන් හා උවසුවන් දෙදෙනකුන් හා සමග බු.ව.2342 (ක්‍රි.ව.1799) සියම්රට බලා පිටත්වූහ. මේ සඳහා සහබන්ධු හා විජයශ්‍රී වර්ධන යන මුදලිවරුන් දෙදෙනාගේ ද සහාය ලැබිණ. හුදු ශාසන සම්පත්තිය නිසා ජීවිතනිරපේක්ෂව ගමනාරම්භ කළ උන්වහන්සේ අතරමඟ දී නැවියන් විසින් "බුරුමයේ ද බුදුසස්න නිර්මලව පවත්නේය"යි පවසන ලදුව දුෂ්කර වූ සියම්රට ගමන හැර දමා බුරුම දේශයට ගොඩ බටහ. එකල එහි අගනුවර වූ අමරපුරයට පිවිස බුරුම රජතුමාගේ අනුග්‍රහ ලැබ මහාධම්මරාජගුරුඤණාභිවංස සංඝරාජයන් වහනසේ උපාධ්‍යාය කොට බු.ව.2346දී එනුවර පිහිටි සුවර්‍ණගුහා නම් සීමාමාළකයෙහි දී උපසපන් වූහ. කැටි ගිය තෙරණුහ ද එහි දී මැ උපසම්පන්න වූහ.

ඉක්බිති ඒ නවක භික්ෂූන්වහන්සේ තුමූ ඒ වර්‍ෂයෙහි ම අග්ගසාර නම් තෙරුන් ඇතුළු බුරුම තෙරවරුන් තුන් නමක් සමඟ ලක්දිවට පෙරළා අවුත් බු.ව.2346(1803) දී මාදුගඟ බලපිටිමෝදර උදකුක්ඛේපසීමායෙහි අග්ගසාර තෙරුන් උපාධ්‍යාය කොට නොයෙක් පළාත්වලින් රැස් වූ සාමණේරවරුන් උපසපන් කළහ. මෙයින් ලක්දිව අමරපුර නිකාය ආරම්භ වූයේය.

වර්‍ධනය: අනතුරුව කපුගම සිරිධම්මක්ඛන්ධ (බ.) තෙරුන් ඇතුළු පිරිසක් බු.ව.2351 දී බුරුම රටට ගොස් අමරපුර අශෝකාරාමයෙහි මහාමඞ්ගල නම් සීමාමාළකයෙහි දී පුනසික්ඛා ලැබ උපසපන්ව 2353දී පෙරළා ලක්දිවට ආහ.

බෝගහපිටියේ ධම්මජෝති (බ.) තෙරණුවෝ බු.ව.2349 දී අමරපුරයට ගොස් වුවණ්ණගුහා සීමායෙහි උපසපන්ව 2354දී පැමිණියහ.

අත්තුඩාවේ ධම්මරක්ඛිත තෙරණුවෝ (බ.) බු.ව.2350 දී අමරපුරයට ‍‍ගොස් සුචණ්ණ ගුහා සීමායෙහි දී මැ උපසපන් වැ පැමිණියහ.

1.බුද්ධශාසන කොමිෂන් වාර්තාව හා සමිපාතීතයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ ආදි පොත්පත්වල ද කිසි ලියවිල්ලක ද සඟරජහිමියෝ ඤාණවිමල සාමණේරයන් පැවිදි කළහයි ද ඔබ‍ වෙත ඔවුන් විනය උගන්නා ලදැයි ද සඳහන් වෙයි. එහෙත් ඤාණවිමල හෙරණුවන් බු.ව.2310 (ක්‍රි.ව.1767) දී උපන් බව ද (සිමීපාතීතයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ ) ශ.ව.1700 (ක්‍රි.ව.1778) දී සඟරජුන් අපවත් වූ බව ද (සංඝරාජසාධුවරියා) සඳහන් වන හෙයින් එවක ඤාණවිමල හෙරණුවන්ගේ වයස අවුරුදු එකොළොසක් වූ බව පෙනේ. උපසම්පදාපේක්ෂකව යන අවස්ථායෙහි "සඟරජ මාහිමියන්ටත් දන්වා ලියුම් ලබාගෙන" ගියේ යයි ද ඇතැම් පොත්පත්වල සඳහන්ව ඇතත් එදවස වන විට සඟරජුන් අපවත් වී එක්විසි වසක් ඉක්මැ ගොස් තුබූ බව ද සැලකිය යුතුය.

කතලුවේ ගුණරත්න (බ.) තෙරණුවෝ හෙරණුන් අටදෙනෙකුන් හා ගිහියන් තිදෙනකුන් හා සමග බු.ව.2351 වැන්නෙහි බුරුමරට හංසවතී නුවරට ‍ගොස් කල්‍යාණී සීමායෙහි උපසම්පන්නව පෙරළා පැමිණියහ.

මෙ තෙරුන් පස්දෙනා වහන්සේ තදනුවර්‍තකයන් හා එක්ව ගෙන බොහෝ ශිෂ්‍යවරයන් ඇති කොට නොයෙක් තැන විහාරාරාම පිහිටුවා ලක්දිව අමරපුර නිකාය සංවර්ධනය කළහ.

අමරපුර නිකායේ ශාඛා ප්‍රශාඛා: මුල දී එක මැ භික්ෂු නිකායක්ව පැවැති අමරපුරනිකාය අවුරුදු පනසක් ගතවන්නට පෙර විවිධ හේතූන් නිසා ප්‍රධාන ශාඛා සයකට ද අනුක්‍රමයේන ප්‍රශාඛා බොහෝ ගණනකට ද බෙදී ගියේ. එහි ඇතැම් බෙදීමකට හේතුව හෝ බෙදී ගිය වකවානු හෝ නිශ්චය වශයෙන් දක්වා ලීම අතිශයින් දුෂ්කරය. එහෙයින් හැකිතාක් පිළිගත හැකි සාක්ෂ්‍ය අනුව සපයන ලද අතිසංක්ෂිප්ත හැඳින්වීමක් පහත දැක්වේ;

1.අමරපුර මහා නිකාය: ශ්‍රී.බු.ව.2346 දී අඹගහපිටියේ ඤානවිමලතිස්ස තෙරණුවන් විසින් ලක්දිව ඇති කළ අමරපුර නිකායික භික්ෂු වංශයයි. කාලාන්තරයෙහි එය ප්‍රධාන ශාඛා සතරකට බෙදී ගිය බව පෙනේ. අමරපුර මූලවංස, අමරපුර සිරි සද්ධම්මවංස, අමරපුර චූළගණ්ථී සම්බුද්ධශාසනෝදය සංඝයා යනුවෙනි.

2.ශ්‍රී ධර්මරක්ෂිතවංශ (මිහිරිපැන්නේ) නිකාය: අත්තුඩාවේ ධම්මරක්ඛිත තෙරණුවෝ කතලුවේ ගුණරතන තෙරුන් ද සහාය කොටගෙන බු.ව.2356දී දෙවිනුවර පරමවිචිත්‍රාරාමයෙහි බද්ධ සීමාමාළකයේ දී අමරපුර නිකායික උපසම්පදා කර්මයක් සිදුකළහ. 2361දී නිකායේ මහානායක පදවිය දැරූ ඤාණවිමලතිස්ස තෙරණුවන්ගේ අනුදැනුම ඇතිව, "ධම්මරක්ඛිතවංස අමරපුරනිකාය යන නාමයෙන් ඒ භික්ෂු සමූහය වෙන ම ශාඛාවක් ලෙස බෙදී ගියේය. පසුව මිහිරි පැන්නේ වැඩ විසූ සුමනතිස්ස තෙරුන් එහි මහානායක පදවියට පත්වූයෙන් ඒ භික්ෂු ගණයා "මිහිරිපැන්නේ නිකාය" යන නමින් ද පළවිය. ව්‍යක්ත ධර්මදේශකයකු වූ පැලෑනේ වජිරඤාණ මහ නාහිමියෝ ද මේ නිකායෙහි වූහ.

3.අමරපුර නිකාය: කතලුවේ ගුණරතනතිස්ස තෙරණුවන් හා තදනුගත භික්ෂූන් සමඟ ශාසනික ක්‍රියාවන්හි යෙදුණාහ. පසුව බු.ව.2358 (ක්‍රි.ව.1815) දී විලේගොඩ පුඤ්ඤසාර මහතෙරණුවන් සංඝ සම්මුතියේ ගණනායක පදවියට පත්කොට අමරපුර නිකාය නාමයෙන් පෙනී සිට ශාසන වරධනයෙහි යෙදුණාහ.

කාලාන්තරයෙහි කතලුවේ ගුණරතනතිස්ස තෙරණුවන්ගේ අතැවැසි පරපුරෙහි භික්ෂූන් අතුරෙන් කොටසක් "කල්‍යාණිවංශ" නාමයෙන් පෙනී සිටියහ. උන්වහන්සේගේ අතවැසියන් අතුරෙන් බොහෝ දෙනකුන් හා ගණනායක පුඤ්ඤසාර මහතෙරණුවන්ගේ අතවැසි පරපුර ද මෙදවස දක්වා "අමරපුර නිකාය" නාමයෙන් ම පෙනී සිටිති. වැලිගම ශ්‍රී සුමංගල (බ.) මහානායක තෙරණුවෝ ද අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහා නායක තෙරණුවෝ ද බේරුවල ශ්‍රී නිවාස මහානායක ස්වාමීන්ද්‍රයෝ ද මේ නිකායෙහි උතුමෝ වෙත්.

4.උඩරට අමරපුර නිකාය: බෝගහපිටියේ ධම්මජෝති තෙරණුවෝ භික්ෂු පිරිසක් සමඟ සපරගමුවට පැමිණ බු.ව.2379 (ක්‍රි.ව.1836) වැන්නෙහි කළුග‍ඟේ නම්බාපාණතොට උදකුක්ඛේප සීමාවෙහි උපසම්පදාකර්මය ද සිදුකොට උඩරට පෙදෙස්වල ශාසන දියුණුව ආරම්භ කළහ. උඩරට අමරපුර නිකාය නමින් හැඳින්වෙන මේ අමරපුරනිකාය ශාඛායෙහි "සපරගමු" "ඌව" ආදී නම්වලින් බිඳී ගිය ප්‍රශාඛා සයක් පමණ ඇත.

5.අමරපුර සමාගම: බුරුමරට අමරපුර මහා මංගල සීමායෙහි දී පුනසික්ඛා ලබාගෙන පැමිණි කපුගම ධම්මක්ඛන්ධ තෙරණුවෝ බු.ව.2354 වැන්නෙහි ගිංග‍ඟේ උදකුක්ඛේපසීමායෙහි දී බොහෝ භික්ෂූන්ට පුනසික්ඛාදානයෙන් ශාසනික ක්‍රියා ආරම්භ කළහ. උන්වහන්සේගේ පරපුරට අයත් සංඝයාවහන්සේ අමරපුර සමාගම නමින් දක්නා ලදහ.

6. (<1) අමරපුර සිරිසද්ධම්මවංසනිකාය: බු.ව.2395 (ක්‍රි.ව.1852 ) හටගත් සීමාසංකරවාදය හේතුකොට ගෙන අමරපුර සමාගමෙන් වෙන්ව ගිය භික්ෂුහු ඒ නිකායෙහි ආරම්භක වූ ධම්මක්ඛන්ධ තෙරණුවන්ට ලැබුණ "සද්ධම්මවංසපාල මහා ධම්ම රාජාධිරාජගුරු" යන ගෞරව නාමය සලකා "අමරපුර සද්ධම්මවංස" නිකාය නමින් ගිය බොහෝ භික්ෂූන්වහන්සේ මේ නිකායෙහි වෙති. වස්කඩුවේ සිරිසුභූති මහා නායක තෙරණුවෝ ද මේ නිකායට අයත් උතුමෙකි.

7. (<1) අමරපුර මූලවංශ නිකාය: අමරපුර නිකායේ ආදිපුරුෂ වූ සිරි ඤාණවිමලතිස්ස මහ තෙරණුවන්ගෙන් අරැඹුණු සඟපරපුර පසුකලෙක අමරපුර මූලවංශ නිකාය යන නමින් හැඳින්විණ. අහුංගල්ලේ සිරිවිමලධීරතිස්ස. අමරපුර මූලවංශ නිකාය යන නමින් හැඳින්විණ. අහුංගල්ලේ සිරිවිමලධීරතිස්ස මහානායක තෙරුන්ගේ අභාවයෙන් පසුව මේ නිකාය දෙකොටසක් විය. එයින් එක් කොටසක් අමරපුර මූලවංශ යන මුල් නාමයෙන් ම හැඳින්වෙයි. පණ්ඩිත අහුංගල්ලේ විමලකිත්ති තෙරණුවෝ දැනට එහි මහා නායක පදවිය දරති.

8. (<1). අමරපුර මහානිකාය: අමරපුරමූල වංශික නිකායෙන් බිඳී ගිය අන්‍ය භික්ෂූන්වහන්සේ "අමරපුර මහානිකාය" යන නාමය ව්‍යවහාර කෙරෙති. තොටගමුවේ සිරි පඤ්ඤාමෝලි තිස්ස මහානායක තෙරණුවෝ අමරපුර මහානිකායෙහි ප්‍රකට වූ මහතෙර කෙනෙකි.

9.(<7). අමරපුර චූළගණ්ඨි නිකාය: බු.ව.2430 දී අමරපුරමූලවංශික නිකායෙන් වෙන්ව ගිය පාලි භාෂායෙහි විශාරදයකු වූ වැලිතර ඤාණතිලක නායක තෙරණුවන් විසින් පිහිටුවන ලද අමරපුර නිකායේ ශාඛායෙකි.

10.(<7). අමරපුර මූලවංශ නිකායස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝසභාව: බු.ව.2473 වැන්නෙහි දී අමරපුර මූලවංශ නිකායෙන් වෙන්ව වස්කඩුවේ අරියවංස තිලක මේධාවිතිස්ස තෙරණුවන් විසින් ආරම්භ කළ සංඝ සංස්ථාවකි.

11. (<3). කල්‍යාණිවංශ නිකාය: අමරපුර නිකාය සංවර්ධනය කළ මහ තෙරවරුන් අතුරෙහි වූ කතලුවේ ගුණරතන තිස්ස මහ තෙරණුවන්ගේ අතැවැසි පරපුරෙහි වූ භික්ෂූන් අතුරෙන් මහානායක පදවියට පැමිණි කාලයේ සිට අමරපුර නිකාය (3) යන නාමය හැර "කල්‍යානිවංශ නිකාය" නාමයෙන් පෙනී සිටි බවත් ක්‍රි.ව.1906දී පවත්වන ලද දොඩන්දූවේ පියරතන මහානායක තෙරණුවන්ගේ අශිතිපූර්ති උත්සවයේ දී ඉදිරිපත් වූ අනුශාසනා පත්‍රයක් මේ වෙනස්වීමට හේතු වූ බවත් කියනු ලැබේ. වර්තමාන කල්‍යාණිවංශ නිකායෙහි ශාඛාවක් ‍නොවන බව ද මුල සිටම කල්‍යාණිවංශ නිකාය අමරපුරනිකායට අයත් ‍නොවූ වෙන ම නිකායක් බව ද කියති. සංස්කෘත භාෂායෙහි විශාරද පඬිවරයකු වූ තෙල්වත්තේ අමරවංශ තෙරණුවෝ (බ.) ද මේ නිකායට අයත් මහතෙර කෙනෙක් වූහ.

12.( < 3) සද්ධම්මයුක්තික (මාතර ) නිකාය: කතලුවේ ගුණරතන මහ තෙරණුවන් ප්‍රභව කොට ඇති අමරපුර නිකායෙහි උපසපත් වැ සිටි මාතර ධම්මාරාම තෙරණුවෝ දළ්හීකර්මාදිය පිළිබඳව ඇති වූ මතභේදයක් හේතුකොට ගෙන බු.ව.2383 (ක්‍රි.ව.1841) දී එම නිකායෙන් වෙන්ව "සද්ධම්මයුත්තික" නමින් නිකායක් පිහිටුවා ගත්හ. එය මාතර නිකාය යි ද හැඳින්වෙයි.

13.( < 12) අමරපුර ශ්‍රී ධර්මාරාම සද්ධර්ම යුත්තික නිකාය: මාතර නිකාය ආරම්භ කළ ධම්මාරාම තෙරුන්ගේ අභාවයෙන් (බු.ව.2419-ක්‍රි.ව.1876) පසුව එම නිකාය දෙකට බෙදී මාතර සිරි විමලසාර තෙරුන් ප්‍රධාන එක් කොටසක් "අමරපුර සිරි ධම්මාරාම සද්ධම්මයුත්තික" යන නමින් වෙන ම නිකායක් විය.

14.( < 12). අමරපුර අරියවංස සද්ධම්මයුත්තික නිකාය: මාතර නිකායෙන් බිඳී ගිය අනික්ි කොටස මේ නමින් හැඳින්විණ. මේ නිකාය බු.ව.2443දී බෝඹුවල දස්සනසාර තෙරුන් විසින් ආරම්භ කරන ලදැයි ශාසන කොමිෂන් වාර්තාවෙහි දැක්වේ.

15.( < 12). අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරිසද්ධම්මයුත්තිකනිකාය: සිරිධම්මාරාම තෙරණුවන් ආරම්භ කළ සද්ධම්මයුත්තික (මාතර) නිකායෙන් වෙන්ව ක්‍රි.ව.1915 වැන්නෙහි හියාරේ සිරිපඤ්ඤාලංකාර තෙරුන් විසින් ආරම්භ කරන ලද නිකායකි.

16-18 (≤4) සබරගමු අමරපුර නිකාය (1): අමරපුර නිකාය සංවර්ධනය කළ මහතෙරවරුන් අතුරෙහි බෝගහපිටියේ ධම්මජෝති තෙරුන් විසින් උඩරට අමරපුර නිකාය ආරම්භ කළ සේ යට කියන ලදි. නම්බාපාණතොට උදකුක්ඛේප සීමායෙහි උපසපන් වූ ඇතැම් භික්ෂූහු සබරගමු පළාතේ එක්නැළිගොඩ ආදි විහාරස්ථානවල වාසය කළහ. අමරපුර මූලවංශ නිකාය තුළ ක්‍රි.ව.1852දී සීමා සංකරවාදය පැන නැඟී, එයින් සිරිසද්ධම්ම වංස නිකාය බිඳී ගිය කල්හි සබරගමුවේ අමරපුර නිකායික භික්ෂූහු සද්ධම්මවංසික පක්ෂය ගත්හ. එහෙයින් වැලිතර පිහිටි සද්ධම්මවංසික මූල ස්ථානයෙන් ඒ පළාතට නායක පදවියක් ද ඇති කරන ලද්දේය. එ පළාත්වැසි අමරපුර නිකායික භික්ෂූහු සබරගමු සද්ධම්මවංස නිකාය නමින් හඳුන්වනු ලැබූහ.

1932 දී භික්ෂූන් ලියා පදිංචි කිරීම ඇරැඹුණු පසු කලින් එකක්වැ තුබූ සබරගමු සද්ධම්ම වංස නිකාය පිළිවෙළින් -

(16)එක්නැළිගොඩ විහාර පරම්පරාව යැ,

(17)පනාවැන්නේ විහාර පරම්පරාව යැ,

(18)ශේෂ විහාර පරම්පරාවල භික්ෂූහු යයි කොටස් තුනකට වෙන වෙන ම මහානායක පදවි තුනක් ඇති කොට නිකායත්‍රයක් වශයෙන් පෙනී සිටියි.

(19)( < 4) උඩරට (ඌව) අමරපුර නිකාය: නම්බාපාණතෙට දී උපසම්පන්න වූ රාහුපොල බෝගහපිටියේ තෙරණුවෝ ඌව පළාතේ අමරපුර නිකාය පාලනය කරනු සඳහා සුජාත තෙරුන්ට භාර කළහ. පසුව උන්වහන්සේගෙන් පාලනය වූ ඌව පළාතේ අමරපුර නිකායික භික්ෂූහු ඌව අමරපුර නිකාය නාමයෙන් හඳුන්වනු ලැබූහ. පසුව "උඩරට අමරපුර නිකාය"යි ව්‍යවහාරයට පැමිණියේය. විදුරුපොළ පියතිස්ස ස්වාමීන්ද්‍රයෝ මහානායක පදවිය දැරුවෝ මේ නිකායෙහිය.

20(< 4) ඌව අමරපුර නිකාය: බු.ව.2467 (ක්‍රි.ව.1924) දී රහුපොල මහානායක තෙරණුවන් පරපුරෙහි වූ භික්ෂූහු උඩරට අමරපුර නිකායෙන් වෙන් වෙන ම නිකායක් වශයෙන් මහානායක පදවියක් ද ඇතිකර ගත්හ. මේ භික්ෂූහු මුලින් පැවැති "ඌව අමරපුර නිකාය" යන නාමයෙන් පෙනී සිටිති.

21(≤4) ඌන උඩුකිඳ අමරපුර නිකාය: ක්‍රි.ව.1932 භික්ෂූන් ලියා පදිංචි කිරීම ආරම්භ කළ අවස්ථායෙහි උඩරට අමරපුර නිකායෙන් වෙන්ව ගිය උඩුකිඳ පෙදෙසෙහි භික්ෂූන් විසින් පිහිටුවා ගන්නා ලද නිකායකි.

22(< 4) අමරපුර සුධර්ම නිකාය: නම්බාපාණතොට උපසම්පදාවෙහි දී රාස්සගල අරණ්‍ය සේනාසනයෙහි විසූ සලකුණු ආරේ සුමංගල තෙරණුවෝ ද අමරපුර නිකායේ උපසම්පදාව ලැබූහ. උන්වහන්සේගේ පරපුරෙහි වූ භික්ෂු ගණයා ම්‍රම්ම (බුරුම) නිකාය යන ව්‍යවහාරයට පැමිණියහ. පසු කලෙක අමරපුර නිකායේ මුල් තෙරවරුන් උපසම්පදාව ලැබූ බුරුමයට සුධම්ම නිකාය සඳහන් කොට "අමරපුර සුධර්ම නිකාය" යන නාමය සම්මත කරගත්හ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහතෙරණුවෝ මේ නිකායෙහි මහානායක ධූරයෙහි ක්‍රියා කරති.

23(< 6) අමරපුර වජිරවංශක නිකාය: අමරපුර නිකායේ කොළඹ පළාතේ නායක කෙනකුන්ගේ ශිෂ්‍ය වූ එලමලදෙණියේ ගුණානන්ද තෙරණුවෝ බු.ව.2435දී ලක්දිවට පැමිණි වජිරාරාම මහානායක තෙරුන් උපාධ්‍යය කොට සිය අතවැසියන් උපසපන් කරවූහ. බු.ව.(ක්‍රි.ව.1901) දී ද ලක්දිවට පැමිණි බුරුම නායක තෙරණුවෝ තමන් උපාධ්‍යායව උපසපන් වූ භික්ෂූන්ගේ නායකත්වයට යටකී ගුණානන්ද තෙරුන් පත් කළහ. එතැන් පටන් ඒ භික්ෂු පරපුර "අමරපුර වජිරවංස නිකාය" යන නාමයෙන් හැඳින්වෙයි.

24(< 6) අමරපුර සිරිසද්ධම්මවංස නිකාය (2): යට දැක්වූ පරිදි ක්‍ර.ව.1852 වැන්නෙහි ආරම්භ වූ අමරපුර සිරිසද්ධම්මවංස නිකායෙහි මහානායක පදවිය දැරූ තලල්ලේ සිරි ධම්මරක්ඛිත මහතෙරණුවන්ගේ අභාවයෙන් සිස් වූ මහානායක පදවියට ක්‍රි.ව.1953දී භික්ෂූන් වහන්සේ දෙපක්ෂව දික්වැල්ලේ සිරසංඝතිලක තෙරණුවන් හා පින්වත්තේ සිරිඤාණානන්ද මහතෙරණුවන් හා වෙන වෙන ම පත් කර ගැනීම නිසා පුරා සියවසයකට පසුව සිරිසද්ධම්මවංස නිකාය එනමින් ම ශාඛා දෙකකට බෙදී පවත්නේය.

25.ස්වෙජින් නිකාය (1): බුරුමයේ "ජාගර" නම් වූ මහතෙර කෙනෙකුන් විසින් ආරම්භ කළ භික්ෂු නිකාය "ස්වෙජින්" යන නාමයෙන් හැඳින්විණ. එහි මූලස්ථානය මණ්ඩලයේ නුවර මහා විශුද්ධාරාමයයි. කලකට පෙර ඒ නිකායෙහි වූ ඌ විනයාලංකාර, ඌජින යන තෙරවරු ලක්දිවට පැමිණ සිංහල කුලදරුවන් පැවිදි කළහ. බුරුමයට ගොස් ස්වෙජින් නිකායෙහි පැවිදි උපසම්පදා ලැබූ අරංගල සිරිධම්ම තෙරණුවෝ ද කොළඹ මහාවිශුද්ධාරාමයෙහි නැවතී ශාසනසංග්‍රහ කළහ. එයින් ලක්දිව ස්වෙජින් නිකාය වැඩිණ. පසුව මණ්ඩලයේ සංඝ සභාව විසින් උඩුවේ විමලරංසි තෙරණ්වෝ ලක්දිව ස්වෙජින් නිකායෙහි නායක ධූරයට පත්කරනු ලැබූහ.

26.ස්වෙජින් නිකාය (2): බුරුමයෙන් පත් කළ නායක පදවිය නොපිළිගත් භික්ෂු කොටසක් එහි විය. ඒ භික්ෂුහු බෝවල සිරිපවර මහතෙරණුවන්ට නායක පදවිය පවරා ස්වෙජින් නිකායේ දෙවැනි ශාඛාව ආරම්භ කොට පවත්වා ගෙන යන්නාහ.

27. (< 11). කල්‍යාණිවංශ නිකාය (2): යට දැක් වූ කල්‍යාණිවංශ නිකාය පාලනය කළ තෙල් වත්තේ අමරවංස ස්වාමීන්ද්‍රයන්ගේ අභාවයෙන් පසු තෙල්වත්තේ අරියවංස තෙරණුවෝ එම නිකායේ මහානායක පදවියට පත් කරන ලදහ. මෑත කලක දී එහි එක් භික්ෂු පිරිසක් එයින් වෙන්ව අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහ තෙරණුවන් මහානායක පදවියට පත් කොට ගෙන කල්‍යාණිවංශ නිකාය නමින් ම වෙන ම පෙනී සිටිති.

28-30 (< 16). සබරගමු අමරපුර නිකාය (2): මුලින් දැක්වූ සබරගමු අමරපුර නිකායේ එක්නැළිගොඩ විහාර පරම්පරාවට අයත් ශාඛාවෙහි මහානායක පදවිය කොටාමුල්ලේ මේධංකර තෙරණුවන්ගේ අභාවයෙන් සිස්වැ ගිය පසු ඒ විහාර පරපුරෙහි භික්ෂූන්වහන්සේ තුන් කොටසක්වැ වෙන වෙන ම නායක පදවි තුනක් ඇති කොටගෙන වෙන් වෙන් වූ භික්ෂු සංස්ථා වශයෙන් පෙනී සිටින්නාහ.

31. (< 20. උඩරට අමරපුර සාමශ්‍රී සංඝ සභාව: යට දැක්වූ උඩරට අමරපුර නිකායට අයත් භික්ෂු පිරිසක් ක්‍රි.ව.1955දී උඩරට අමරපුර නිකායෙන් වෙන් ව බදුල්ලේ ගුණානන්ද මහතෙරණුවන් මහානායක පදවියට පත් කොට ගෙන යට දැක්වූ නාමයෙන් අන්‍ය වූ භික්ෂු සංස්ථාවන් ආරම්භ කරන ලද්දේය. මෙය ද උඩරට අමරපුර නිකායෙහි ම ශාඛාවෙකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමරපුර_නිකාය&oldid=2172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි