අමරුශතක
සංස්කෘත භාෂායෙන් ලියැවුණු ශෘඞ්ගාරරසාලිප්ත කාව්‍යයන් අතුරෙහි උස්තැනක සිටුනා ග්‍රන්ථයෙකි. ධර්මාර්ථකාමමෝක්ෂ යන චතුර්විධ පුරුෂාර්ථයන් අතුරෙහි කාමසඞඛ්‍යාත පුරුෂාර්ථයාගේ උපාදේයත්වය ප්‍රකාශ කරනු සඳහා මෙය ලියන ලදි. මේ ග්‍රන්ථයෙහි කතුවරයා අමරු නැතහොත් අමරුක නම් කවියෙකි. හේ සවර්ණකාරකුලයෙහි උපන්නෙකැයි කියති. අමරුගේ ජීවන කාලය අටවැනි සියවසින් පෙර වී යයි සලකන නමුදු එය නිශ්චය වශයෙන් දක්වාලීමට සාධක නැත.
ශ්‍රවණමධුර වූ වෘත්ත කීපයෙකින් රචනා කළ මේ ග්‍රන්ථයෙහි පද්‍ය සංඛ්‍යාව දළ වශයෙන් එක්සිය එකෙකි. අමරු විසින් රචිත වූයෙන් කතුවරයා ගේ නාමය ගෙන ග්‍රන්ථය ද අමරුශතක නම් වී අමරු කවියාගේ නම මුලින් සඳහන් වනුයේ නව වැනි ශතවර්ෂයෙහි ආනන්දවර්ධනයන්ගේ ධ්වන්‍යාලෝකයෙහි ය. කර්තෘගේ හෝ කෘතියේ නම සඳහන් නොකොට අමරු ශතකයෙන් උපුටා ගෙන ඇති ශ්ලෝක සතරක් එහි වෙයි. ඊට පූර්වකාලීන වූ වාමනාචාරීන්ගේ කාව්‍යාලඞ්කාරයෙහි ද අමරුශතකයෙන් උපුටා ගන්නා ලදැයි කිවයුතු පද්‍ය කීපයක් දක්නට ලැබේ. සුභාෂිතාවලී, සූක්තිමුක්තාවලී, ශාර්ඞ්ගධරපද්ධති, සුභාෂිතරත්නභාණ්ඩාගාර, ඖචිත්‍යවිචාරචර්වා ආදී ග්‍රන්ථයන්හි දු අමරුශතනයෙන් නඟා ගත් පද්‍ය බොහෝ ගණනක් දැක්ක හැකිය. කාමීජනයාගේ සිතැඟි මොනවට විදහාපාමින් කාමාසක්තයන්ගේ බොළඳ පැවැතුම්, ප්‍රණය විග්‍රහ, මාන ආදිය ද පිළිබිඹු කෙරමින් සිනහකර සිද්ධීන්ගෙන් ද අනූන කොට විරචිත මෙම පද්‍ය ශෘඞ්ගාර රසයෙන් පරිපූර්ණය. භරත ටීකාකාරයන් විසින් අමරුක කවියාගේ එක් ශ්ලෝකයක් ප්‍රබන්ධ සියයක් තරම් අගනේ යයි කියන ලද්දේ එහෙයිනි.
විප්‍රලම්භසම්භෝගාදි විවිධ ශෘඞ්ගාරප්‍රභේද යැ, මුග්ධා මධ්‍යාප්‍රගල්භාදි නායිකාභේද යැ, ශඨ අනුකූලාදිනායකභේද යැ, උත්සාහ හර්ෂාදි ව්‍යභිචාරිභාවයෝ යැ යනාදි රතියට අනුකූල විවිධ අවස්ථා මතු කොට දක්වන අමරුකාමීන් පුබුදුවාලනසුලුය.
ශෘඬ්ගාර රසකැවුණු සිනහකර සිද්ධියක් අමරුගේ පහත සඳහන් සිලෝවෙහි විස්තර වේ.
දම්පත්‍යොර් නිශිජල්පතොර් ගෘහශුකෙනාකර්ණිතං යද් වචස්
තත්ප්‍රාතර් ගුරැසන්නිධෞ නිගදතස් තස්‍යාතිමාත්‍රං වධූඃ
කර්ණාලම්බිතපද්මරාගශකලං වින්‍යාස්‍යවඤ්චූපුටෙ
ව්රීඩාර්තා විදධාති දාඩිමඵලව්‍යාංජෙන වාග්බන්ධනම්
රාත්‍රි සමයෙහි අඹුසැමි දෙදෙනකු අතර පැවැති ප්‍රියාලාපයක් අසාගෙන සිටි ගෙදර ගිරවා ඒ ස්නේහාන්විත ආලාප පසුදින උදයෙහි දෙගුරුන් ඉදිරියෙහි කියද්දී බෙහෙවින් ලජ්ජාවට පත් ඒ තරුණ ලඳ දෙළුම් ඵලයක ව්‍යාජයෙන් සිය කර්ණාභරණයෙන් එල්බී තිබුණ පියුම්රාමිණි කැබෙල්ලක් ගිරාවාගේ තුඩෙහි බහාලමින් පෙම්බස් තෙපලීමෙන් ඌ වළකාලන්නට තැත් කරයි.
ග්‍රන්ථාරම්භයහි කවියා විසින් මඬ්ගලාචරණය සඳහා "දුර්ගා දේවියගේ කටාක්ෂය (නෙතග බැල්ම) තා රක්ෂා කෙරේවා."යි ආශිර්වාද කරන ලද්දේය. යළි "ඊශ්වරයාගේ ශරාග්නියෙන් උපද්‍රව නසාවා"යි ආශිර්වාද කරන කවියා "සුරතාන්තෙයහි පීඩිත වූ ඇස් ඇති මුහුණ තා බොහෝ කලක් රකීවා"යි කියමින් හරිහරබ්‍රහ්මාදි දෙවියන්ගෙන් කවර ප්‍රයෝජන දැයි පවසමින් කාලාන්තරයෙහි සුව එළවතැයි කියන දෙවියන් ප්‍රතික්ෂේප කෙරෙයි.
(සංස්කරණය:1963)