අම්පාරේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ, නැගෙනහිර පළාතේ මඩ කලපු දිස්ත්‍රික්කයෙහි ගල්ඔය බඩ පිහිටි කුඩා නගරයෙකි. මෙය අවට ප්‍රදේශය විල්ලුවල ජලය රඳා සිටින භූමියක් වූයෙන් මෑත අතීතයේ දී පවා අම්පාරේ සුළු වශයෙන් වී ගොවිතැන කරමින් ජීවත්වූ ස්වල්ප ජනතාවකට පමණක් සීමා වූ ගම්මානයක් විය. එහෙත් 1949 දී ගල්ඔය සංවර්ධන ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු අම්පාරේ එම ව්‍යාපාරය හා සම්බන්ධ ප්‍රධාන නගරයවශයෙන් දියුණු වෙමින් පවතී. වර්තමාන අම්පාරේ නගරයෙහි අහස්යාත්‍රාංගණයක් ද වෙයි. එහි සිට මඩකලපුවට සහ සම්මන්තුරේට පහසුවෙන් ගමන් කළ හැකි මෝටර් රථ මාර්ගයක් තිබේ. ඉඟිනියා ගල ජලවිදුලි මධයස්ථානයෙන් නගරයට විදුලි බලය ලැබේ. ගල්ඔය ජනපදය සම්බන්ධ කාර්‍ය්‍යාල සහ වැඩපොළවල් කීපයක් ද අම්පාරෙහි ඇත.

අක්කර 896ක් විශාල අම්පාරේ වැව ද ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයට සම්බන්ධය. විල්ලු ගහන ප්‍රදේශයක් වන මෙහි විල්ලුවක් අම්පාරේ වැව වශයෙන් සකස් කරන ලද්දේ ලන්දේසීන් විසින් බව ජේ.ඩබ්ලිව්. බ'ව් මහතා සඳහන් කරයි.

අම්පාරේ වැව පිරෙන්නේ වැසි දියෙනි; ගුරුහෙළ ඇළ ආදී කුඩා ඇළවල් වර්ෂා කාලයේ දී පමණක් ඒ තුළට ගලා බසී. පට්ටිපොළ අතර සංවර්ධන ක්‍රමය යටතේ වගා කරනු ලබන අක්කර 28,000ක් විශාල කුඹුරු යායකට කොණ්ඩවට්ට්න් හා ඉරක්කාමම් වැව්වලින් ද අම්පාරේ වැවෙන් ද ජලය සපයනු ලැබේ. අම්පාරේ නගරයට ද අම්පාරේ වැවෙන් ජලය සැපයෙයි.

අම්පාරේ නගරය පැරණි ලංකාවේ දිඝවාපි මණ්ඩලයට (දිගාමඬුල්ලට) ඇතුළත් වූයේ ය. ක්‍රිස්තු වර්ෂයට පෙරාතුව මේ ප්‍රදේශ ඉතා සමෘද්ධි මත්ව පැවතුණු බවට මෙහි දක්නා ලැබෙන නෂ්ටාවශිෂ්ට පුරාවස්තු දෙස් දෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්පාරේ&oldid=2235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි