අම්බපාලී-1
(අම්බපාලිකා). වේසාලියෙහි හෙවත් විසාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ගේ උයනෙහි අඹගසක් මුල ඕපපාතිකව උපන් ළදැරියකි. ඕ තොමෝ උයන්පල්ලා විසින් ගෙන යන ලද්දී අම්බපාලී නමින් ප්‍රසිද්ධ වූවාය. රූපශෝභාවෙන් ආඪ්‍ය වූ ඕ දුටුවන්ගේ නෙත්සිත් අදනාසුලු වූවාය. එහෙයින් ඇය ලබා ගන්නට බොහෝ රාජකුමාරවරු ඉදිරිපත් වූහ. ඇය නිසා ඔවුන් අතර අරගළ ද හටගත. අම්බපාලී ඔවුන්ගේ අරගළ සන්හිඳුවනු පිණිස ගණිකාවක් බවට පමුණුවන ලද්දීය.
තරුණ කාලයෙහි දී බිම්සර රජ ද ඇය හා සබඳකම් ඇති කර ගති. රජු නිසා ඇය ලත් පුතු විමල යන නාමයෙන් හැඳින්වූහ.
අම්බපාලී බුදුන් දුටුවේ උන්වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න කාලයේ වේසාලියට වැඩි අවස්ථාවේ දී ය. උන්වහන්සේ එහි වැඩ අම්බපාලියගේ අඹ උයනෙහි භික්ෂු සඞ්ඝයා සමඟ වැඩ සිටින බව දැන ගත් ඕතොමෝ වහාම එහි ගියාය. ඒ අවස්ථාවේ දී ලිච්ඡවි රජදරුවෝත් බුදුන් වැඩි පවත් අසා එහි ගියහ. අම්බපාලිය බුදුන් දැක වැඳ බණ අසා පැහැදී පසුදින දනට ආරාධනා කළාය. ලිච්ඡවි රජවරුන් බුදුපාමොක් මහසඟනට පසු දින දානයට ආරධනා කළ විට අම්බපාලියගේ ආරාධනාව කලින් පිළිගෙන ඇති බව බුදුරජාණන්වහන්සේ වදාළසේක. රජවරු මුදල් ගෙන දානාරාධනාව තමන්ට පවරන ලෙසට ඇගෙන් ඉල්ලා සිටියහ. එවිට අම්බපාලී ගම්බිම් සහිත මුළු වේසාලි නගරය ම දුන්නත් දානාරාධනාව වෙනස් කළ නොහැකි බව ඔවුන්ට කීවාය.
අම්බපාලි බුදුසසුනෙහි අතිශයින් පැහැදුණාය. අධික ශ්‍රද්ධාවෙන් යුත් ඈ සිය නිවසට වැඩි බුදු පාමොක් මහසඟනට දන් දී අවසන ස්වකීය අඹ උයන ද පූජා කළාය. බුදුන් වේසාලියට වැඩි දින බුද්ධානුභාවය දැක පැහැදුණු විමල නම් ඇගේ පුත්‍රයා කොණ්ඩඤ්ඤ නමින් පැවිදි වූයේය. නොබෝ කලකින් රහත් වූ උන්වහන්සේගෙන් බණ ඇසූ අම්බපාලී බුද්ධශාසනයෙහි වැඩිදුරටත් පැහැදී භික්ෂුණියක් බවට පත්වූවාය.
විමල කොණ්ඩඤ්ඤ ස්ථවිරයන්වහන්සේ ස්වකීය මව්පිය දෙපොළ හඳුන්වා උදාන වාක්‍යයක් වශයෙන් පළ කළ ගාථාවක් ථෙරගාථාවේ දක්නට ලැබේ. එහි සිය මව දුමව්භවය හෙවත් අඹ නමැයි ද ද පියා පණ්ඩරකේතු හෙවත් ධවලධජ නමැයි ද සඳහන් වේ. මෙහි අම්බ පර්යාය දුම යන්නෙන් අම්බපාලිය ද පණ්ඩරකේතු යන්නෙන් බිම්සර රජ ද අදහස් කරන ලදැයි ථෙරීගථාවට අටුවා ලී ධර්මපාලාචාර්යයෝ පවසති.
තරුණවියෙහි දී රූපලාවණ්‍යය නිසා ජීවත් වුව ද ඇය බුදුන්ගෙන් බණ ඇසූ තැන පටන් ආත්ම සංයමයෙන් ජීවත් වන්නට හුරුපුරුදු වූවා පමණක් නොව පුතු ද පැවිදි කරවා සියලු සම්පත් සස්නට පුදා තොමෝත් පැවිදිව විදසුන් වඩා රහත් වූ බව පෙනේ. ස්වකීය රූපශෝභාව පිරිහෙනු දැක අනිත්‍ය ප්‍රතිසංයුක්ත බුද්ධවචන සිහි කොට තිලකුණු මෙනෙහි කොට උදාන ගාථා වශයෙන් අම්බපාලි භික්ෂුණීන්වහන්සේ පළකළ ගාථා පන්තියක් ථෙරීගාථාවෙහි ඇතුළත් වේ. ධර්මරසයත් කාව්‍යරසයත් රමණීය ආකාරයෙන් මුසු වූ ඒ ගාථා පෙළ කායගතාසති භාවනාවක් මෙන් ම ජරා වර්ණනාවක් වශයෙන් ද වැදගත් ය. "සච්චවාදි වචනං අනඤ්ඤථා" හෙවත් "සත්‍යවාදී බුදුන්ගේ වචනය වෙනස් නොවේ." යන පාදය සතරවන කොට ඇති ඒ ගාථා ථෙරීන්වහන්සේලා ප්‍රකාශ කළ කමනීය පද්‍ය අතර මුල් තැනක් ගනී.
මැගේ රූපශෝභාව දුටුවන්ගේ නෙත්සිත් වශී කරවන තරම් වූ බව ඒ ගාථාවලින් ප්‍රකාශ වේ. ඇය බුදුන් දක්නට ගිය පළමුවන දා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්වහන්සේලා සතිපට්ඨානදේශනාවක් කෙළේ භික්ෂූන්ගේ සිහිකල්පනාව තහවුරු කරන අදහසින් යයි දික්සඟි අටුවාවේ ප්‍රකාශ වේ. ථෙරගාථාවේ ආනන්ද තෙරුන්වහන්සේ නිතර උදාන වශයෙන් ප්‍රකාශ කළ ගාථා පන්තියක් වේ. එහි ගාථා හතක් (3-9) උන්වහන්සේ වදාළේ අම්බපාලිය දැක සිත කලකිරී සිටි භික්ෂූන්ට අවවාද සඳහා යයි ථෙරගාථට්ඨකථාවේ සඳහන් වෙයි.
අම්බපාලී ථෙරීන්වහන්සේ ස්වකීය අතීත චරිත කථාවන් එළි කොට ප්‍රකාශ කළ ගාථා කීපයක් අපදානපාළියෙහි දක්නට ලැබේ. ඵුස්ස, සිඛී, කස්සප සර්‍වඥයන්වහන්සේලාගේ ශාසනවල දී ඇය කළ කුශලාකුශල කර්ම එයින් පෙන්නුම් කොට තිබේ. එහි පෙනෙන හැටියට ඕතොමෝ ඵුස්ස බුදුරජාණන්වහන්සේගේ සමයෙහි කැත් කුමරියකි. ඒ බුදුන් දවස පින්දහම් කොට ඕතොමෝ රූප සම්පත් ලබන්නට ප්‍රාර්ථනා කළාය. සිඛී බුදුන් දවස බ්‍රාහ්මණ කන්‍යාවක ව උපන් ඈ රහත් භික්ෂුණියකට වෙසඟනකැයි අවමන් කළාය. කසුප් බුදුන් දවස බ්‍රහ්මචර්යාව රැකි ඕතොමෝ කළ පින්පව්වල මිහිරි කටුක විපාක විඳ පශ්චිම ජන්මයෙහි අඹගසක් මුල ඕපපාතිකව උපන්නීය.
සංයුක්තනිකායෙහි අම්බපාලි නමින් වර්ගයක් ඇත. එහි ඇතුළත් වන ඇතැම් දේශනා අම්බපාලිවනයෙහි වැඩසිටිය දී පවත්වන ලද හෙයින් ඒ නම යෙදුණු බව පෙනේ. එහිත් වැඩි වශයෙන් විස්තර වන්නේ සතිපට්ඨානභාවනාව ගැනයි.
මෙසේ සමාජයෙහි කෙබඳු තත්වයක ජීවිතයක් ගත කළ ද ගුණනුවණ වැඩිදියුණු කරගෙන චරිතයෙන් උසස් විය හැකි බව පළකළ අම්බපාලී ශ්‍රද්ධාව ත්‍යාගය ගුණගෞරවය ආදි ගුණධර්ම නිසා ආදර්ශවත් කාන්තාවක් උපශාන්ත මෙහෙණක් ද වශයෙන් නිර්මල කීර්තියට භාජන වූවාය.
(සංස්කරණය:1963)