අම්මන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වානහි ට්‍රාන්ස්ජේර්දානයේ අග නුවරයි. ජෙරුසුලමට සැතපුම් 40 ක් ඊශාන දිගින් අඩි 2700ක් උසැති සානු ප්‍රදේශයක පිහිටියේය. ටොලමි ෆිලඩෙල්ෆුස් සිහිවිමට ඉදිකරන ලද හෙයින් ග්‍රීකයෝ මේ නගරයට ෆිලඩෙල්ෆියා යන නාමය භාවිත කළහ. පරණ තෙස්තමේන්තුවේ එන ප්‍රවාදයනට අනුව ලොත්ගෙන් පැවත එන සෙමිටික් ගෝත්‍රයක් වූ ඇමොනයිට්වරුන්ගේ අගනුවර වූ රබ්බත් - අම්මොන් නගරය මේයයි සලකනු ලැබේ. වර්තමාන අම්මන යන නාමය යොදන ලද්දේ ආරාබි නැබටියන්වරුන් ද ගසනිඩ්වරුන්ද විසිනි. ප්‍රමාණය වර්ග සැතපුම් 23 කි.

අර්ධ ශුෂ්ක දේශගුණයකින් යුක්ත මෙි වාර්ෂික වර්ෂාපතනය අඟල් 10 සිට 20 දක්වා වේ. එහෙත් ඇතැම් අවුරුදුවල දී සාගත පවා ඇතිවෙන තරම් උෂ්ණත්වය උග්‍ර වේ. නගරය අවට ප්‍රදේශයෙහි තිරිඟු සහ තල බහුල වශයෙන් වගාකරනු ලැබේ. එළු, බැටළු, ඔටු යන සත්තු ද ඇති කරනු ලැබෙත්.

නගර මාධ්‍යයෙහි ම පැරණ රජමාළිගා පිහිටා ඇති අතර ආණ්ඩුවේ අනික් ප්‍රධාන ගොඩනැගිලි පිහිටුවා ඇත්තේ සෝල්ට් විදියෙහි ය. මූලික හා ද්විතියික පාඨශාලා ද වාණිජ විද්‍යාතන ද ගුරුවරුන් සඳහා අභ්‍යාස විද්‍යාල ද, මේ නගරයෙහි ඇත්තේය. අම්මන් නගරය ප්‍රධාන මාර්ග කීපයක සන්ධිස්ථානයකි. ජෙරුසලම, දමස්කස්, බැග්ඩෑඩ්, අකාබා යන නගරත්. අම්මන් නරයත් අතර නිත්‍ය මෝටර් බස් සේවයක් වේ. සිරියාවත් සාවුදි අරාබියත් සම්බන්ධ කෙරෙන හේජාස් දුම්රිය මාර්ගය වැටී ඇත්තේ අම්මන නගරය හරහාය. නගරයට සැතපුම් 2,1/2ක් ඔබ්බෙහි පිහිටුවා ඇති ගුවන් තොටුපළ වූ කලි මැද පෙරදිග විශාලතම ගුවන් තොටුපළවලින් එකකි. ජෝර්දානයේ වෙළෙඳ මධයස්ථානය ද අම්මන්ය. එළවුළු , පලතුරු ධාන්‍ය, ඔලිව් තෙල්, ෆොස්පේට් යන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් පිටරට පටවනු ලැබේ. ඛනිජ වර්ග, තෙල්, රථවාහන, පිටි, සීනි, කපු සහසේද රෙදි පිටරට සිට ගෙන්වනු ලබන ප්‍රධාන ද්‍රව්‍යයේයි. අම්මන හි වර්ණවත් කිරිගරුඬ ලෝකයේ බොහෝ පෙදෙස් වල ප්‍රසිද්ධය. ජේරුසලමට යන වන්දනාකරුවන් නැවතී විවේක ගන්නා බැවින් අම්මන් නගරය සංචාරක මධ්‍යස්ථානයක් ද වේ.

ඉතිහාසය: මේ නගරය ක්‍රි.පු.300ත් 400ත් අතර කාලයේ දී පිහිටුවන ලදැයි සිතිය හැකිය. පොම්පේ යටතේහි ෆිලඩෙල්ෆියාව නමින් හැඳින්වුණු මෙය එකල ඩෙකාපොලිස් ප්‍රදේශයට අයත් කොට්ඨාසයක් විය. නගරය ඉතා උසස් තත්වයෙක පැවැතිණි. ට්‍රේජන් විසින් පිහිටුවන ලද "අරාබියා" නම් රෝම පළාතෙහි ප්‍රධාන නගරයක් වූ අම්මන්, අතිශයින් දියුණු විය. තුර්කි ජාතිකයන්ගේ පාලනය යටතෙහි මෙහි වැදගත්කම අඩුවිය. අනතුරුව දියුනු වන්නට වූයේ දුම්රිය මාර්ග නා වෙළෙඳ කටයුතු පුනරුත්ථානයට ගෙන ඊමෙන් පසුය. මේ නගරය බ්‍රිතාන්‍ය පාලනය යටතට පත්වූයේ 1918 දීය. 1921 දී අබ්දුල්ලා නම් අමීර් විසින් මෙය ජොර්දානයේ අගනුවර හැටියට තෝරා ගන්නා ලදී. 1946 දී ට්‍රාන්ස්ජෝර්දාන් - ඊශ්‍රායෙල් යුද්ධයෙ දී මෙය අවට ද සටන් ඇති විය.

මේ නගරයෙහි බයිසන්ටයින් සහ රෝම නටබුන් රාශියක් දක්නට ඇත්තේය. අම්මන් නගරයට සැතපුම් 20ක් උතුරින් වූ පෙදෙසක ශිලායුගයේ ජනයාගේ වාසස්ථානය වීයයි සැලකිය හැකි ගල් ගුහාවක්, ජෝර්දානයේ පුරාවස්තු දෙපාර්තමේන්තුව විසින් 1961 දී සොයාගෙන ඇත.

ජනගහය 1959 දි 2,45,000ක් විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්මන්&oldid=2262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි