අම්ර් ඉබ්න් අල් ආස්
(?- 664) මිසරය අරාබියට යටත් කළ පළමුවැන්නා වූයේත්, එහි මුල් ම ඉස්ලාම් භක්තික පාලකයා වූයේත් අම්ර් ඉබ්න් අල් ආස් ය. නැපෝලියන්, මහා ඇලෙක්සැන්ඩර් ආදීනට සමකළ හැකි තරම් යුද්ධ දක්ෂ භාවයෙකින් යුත් මේ සෙනෙවියා ඉස්ලාම් ධර්මයේ ව්‍යාප්තිය පිළිබඳ මුල් අවධියේ විසූ අරාබි ජාතික දේශපාලන මහා පඬුවන් සිවුදෙනාගෙන් එකකු හැටියට ද සලකනු ලැබේ. අම්ර් අරාබියේ කුරායිෂ් නම් ගෝත්‍රයට අයත් වූවෙකි. එකල විසූ කාලිද් අල් වාලීද් (බ.) නම් ශ්‍රෙෂ්ඨ අරාබි සේනාධිපතියා මෙන් ම මොහු ද මහමත්තුමාට විරුද්ධව මුල දී කටයුතු කළේය. පසුව එතුමාගේ ධර්මයත් නායකත්වයත් පිළිගත් හෙතෙම, භක්තිය නිසා උත්සන්න වූ රණකාමීත්වයෙකින් යුතුව ඉස්ලාම් අධිරාජ්‍යය විශාල කිරීමෙහි තත්පර වූයේය. මහමත්තුමා සහ එතුමාගෙන් පසු කාලිප් පදවිය දැරූ අබුබක්ර්, උමර්, උත්මන් සහ මුආවියා යන අය යටතේ ද අම්ර් සේවය කළේය.
පලස්තීනය යටපත් කිරීමෙන් කීර්තියට පත්ව සිටි අම්ර් 4,000ක කුඩා සේනාවක් සමඟ මිසරය යටත් කර ගැනීම පිණිස උමර් කාලිප්වරයා විසින් යවන ලදුව, ක්‍රි.ව.640 දී ඉමහත් මිසර සේනා පරදවා පැලුසියම් නම් ප්‍රදේශය අල්ලා ගත්තේ ය. ඉක්බිති දක්ෂ ලෙස යුද්ධෝපාය මෙහෙයා, හේලියෝපොලිස්, බැබිලන් යන ස්ථානවල දී සුවිශාල බයිසන්ටයින් අධිරාජ්‍යයේ සේනාවන් පරදවා ඇලෙක්සැන්ඩ්රියා මහා කඳවුර වටලා මාස ගණනාවක් පහර දුන්නේ ය. එවක බයිසන්ටයින් අධිරාජයා වූ කොන්ස්ටන්ස් යටතේ ඇලෙක්සැන්ඩ්රියාව පාලනය කළ සයිරස් තෙමේ අම්ර් සමඟ සාමය කැමැති වූයේ එම ප්‍රදේශය අධිරාජ්‍යයට පවරා දුන්නේ ය. ඉක්බිති මිසර පාලනය සියතට ගෙන හේලියෝපොලිස් අසල අල්ෆස්ටාට් (පසුව කයිරෝ) නමින් සිය අගනුවර පිහිටුවා ගත්තේය. අම්ර්ගේ බලය වැඩිවනු දැක බියපත් වූ උමර් කාලිප්තුමා ඔහු සෑහෙන පමණ ආදායම් නූපදවති යි චෝදනා කොට, උතුරු මිසරය අම්ර්ගේ පාලනයෙන් මුදා අබ්දුල්ලා ඉබ්න් සාවුද්(බ.) නැමැත්තාට පැවරීය. පසුව උත්මන් කාලිප්තුමා විසින් දකුණු මිසරයේ පාලනය ද අබ්දුල්ලාට ම පවරන ලදී.
ක්‍රි.ව.645 දී නැවතත් ඇලෙක්සැන්ඩ්රියාව බයිසන්ටයින් පාලනය යටතට පත්වූයෙන් මිසරයේ අරාබි පාලනය දෙදරුම් කෑවේ ය. මේ නිසා අම්ර්ගේ සේවය නැවතත් අවශ්‍ය විය. හෙතෙම ක්‍රි.ව.646 දී යළිත් එනුවර යටත් කොට ගත්තේ ය එවක් පටන් මේ දක්වා ම ඇලෙක්සැන්ඩ්රියාව මුස්ලිම් නගරයක් ව පවතී. ඉක්බිති අම්ර් බාර්කා සහ ත්‍රිපෝලිය දක්වා ද අරාබි අණසක පැතිරැවීය.
ඇලෙක්සැන්ඩ්රියා මහා පුස්තකාලය විනාශ කළේ අම්ර් යයි පසු කල ලේඛකයන් කීපදෙනෙකු ම සඳහන් කර ඇතත්, අම්ර් ඇලෙක්සැන්ඩ්රියාව යටත් කරන්නට පළමුව එය විනාශ වී තිබුණු බව වර්තමාන ඉතිහාසඥයන්ගේ මතයයි.
උත්මන් කාලිප්තුමාගෙන් පසු අලී සහ මුආවියා අතර ඇති වූ යුද්ධයේ දී අම්ර් මුආවියාගේ පැත්ත ගත්තේ ය. අලී සහ මුආවියා අතර ඇති වූ ආරවුල සාමයෙන් බේරුම් කරගැනීම සඳහා පත්කරනු ලැබූ මණ්ඩලයට මුආවියා වෙනුවෙන් පෙනී සිටියේ ද අම්ර් ය. 658 දී මුආවියා වෙනුවෙන් මිසරය නැවත ද යටත් කළ හෙතෙමේ සිය මරණය දක්වා ම (664) එහි පාලකයාව සිටියේ ය.
(සංස්කරණය:1963)