අමිල්දාර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවුරුදු දෙක තුන ඇතුළත දී ලංකාවේ බ්‍රිතාන්‍ය ප්‍රදේශවල ආදායම් එකතු කිරීමේ කාර්‍ය්‍යය පැවරී තිබුණු නිලධාරීන් කොටසක් හඳුන්වනු ලැබුයේ අමිල්දාර් යන නාමයෙනි. 1976දී ලංකාවේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයට අයත් වීමෙන් පසු එම පෙදෙස් පාලනය කරනු ලැබුවේ මදුරාසි ආණ්ඩුව මගිනි. අයබදු එකතුකිරීම් ආදි කටයුතු මලබාර් දේශයෙන් ගෙන්වන ලද නිලධාරීන්ට පැවරී තුබුණේය. "කලෙක්ටර්" නමින් හැඳින්වුණු මදුරාසි සිවිල් නිලධාරීන් ළඟට සිටියේ මෙම අමිල්දාර්වරුන්ය. අමිල්දාර්වරුන් යටතේ තවත් සුළු නිලධාරීහු වූහ.

ඕලන්ද ආණ්ඩුව යටතේ ආදායම් එකතු කිරීමේ කටයුතු කළ සිංහල මුදලිවරුන්ට හිමිව තුබුණු ස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් මුදලි බලය මැඩලීමෙන් පසු අයත් වූයේ මේ අමිල්දාර් (කලෙක්ටර්) වරුන්ටය. ආදායම් නිලධාරී කෙනෙකුගේ පාලනය යටතේ වූ ප්‍රදේශවල නියම කරන ලද ඒ ඒ තන්හි මොවුනට සිය රාජකාර්‍ය්‍යයන් කිරීමට සිදුවිය. අයබදු එකතු කිරීම පමණක් නොව ආදායම් නිලධාරීන්ගේ පරිපාලනය යටතේ එක්තරා ප්‍රමාණයක අධිකරණ හා පාලන බලතල මොවුනට පැවරී තිබුණු බව පෙනේ. මුල් කාලයේ දී ප්‍රධාන ආදායම් පාලක නිලධාරී පදවිය දැරූ ඇන්ඩ්‍රෑස් විසින් ආදායම් ගැන සෝදිසි කර බැලීමට අමිල්දාර් කෙනකුන් වන්නියට යවන ලද බව ද සහකාර ආදායම් පාලක නිලධාරි තැන වූ ජෝන් ජාවිස්ගේ ලිපියක "මුලෙයිතිව්හි මගේ අමිල්දාර්" යනුවෙන් සඳහන් වන බව ද මොවුනට යටකී පරිදි විශේෂ බලතල පැවරී තිබුණු බවට සාක්ෂ්‍ය වශයෙන් දැක්විය හැකිය.

අමිල්දාර්වරුන් පැමිණිමෙන් පසු මදුරාසි ක්‍රමයට ආදායම් එකතු කිරීම ඇරඹිණ. ඔවුහු පිටරැටියන් වූ හෙයින් සිංහල භාෂාව, සිරිත් විරිත්, සිංහලයන්ගේ අදහස් උදහස් ආදිය දැන නොසිටියහ. ඔව්හු ලාභ ලබාගැනීමේ අදහසින් රටවැසියන් අසාධාරණ ලෙස පෙළා මුදලින් ම පමණක් බදු අය කිරීමට පටන් ගත්හ. තවද ඔවුනට එක් තරමක අධිකරණ බලතල තූබූ හෙයින්, තත්වය තවත් අසතුටුදායක විය. කෙසේ හෝ එම අයබදු ක්‍රමය සිංහල අයබදු ක්‍රමයට හාත්පසින් ම වෙනස් වූ නිසාත්, මදුරාසි නිලධාරීන්ගෙන් ලැබුණු තාඩන පීඩන නිසාත් උදහස් වූ පහතරට වැසියා 1797දී ආණ්ඩුවට විරුද්ධ ව කැරලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත්වූ ඉක්බිති මදුරාසි ආණ්ඩුව විසින් මේ පිළිබඳ වාර්තා කිරීම පිණිස ක'නල් ම්‍යුරන් නැමැත්තාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කොමිෂන් සභාව දැක්වූ කරුණු අනුව අමිල්දාර්වරු ආපසු යවනු ලැබුහ. ඒ සමග ම මදුරාසි ක්‍රමයට අයබදු එකතු කිරීම අත්හිටුවා පෙර පැවැති ක්‍රමය නැවත ඇති කරන ලද්දේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමිල්දාර්&oldid=2196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි