අමු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පාස්පාලුම් ස්ක්රොබිකුලාටුම් - Paspalum scrobiculatum L.) මෙය අඩි 2 සිට 3 දක්වා දික් වූ සෘජු, ස්ථුල කඳක් ඇති ග්රමිනෙ කුලයට (බ.) අයත් බහුවාර්ෂික තෘණ විශේෂයකි. කඳෙහි මුල පටන් කොළ තිබේ. අඟල් 6 සිට 18 දක්වා දිගට වැඩෙන මේ කොළ පැතලිය, අතිතීව්‍රය (acuminate) පත්‍ර කොපුව අඟල් 4 සිට 8 දක්වා දිගය, ශූකිය දිගින් අඟල් 1 සිට 6ක් පමණ වේ. තනි ශූකිකා ආයතනය (oblong), සිනිඳුය, කලංක (stigmas) කොටය, දම් පාටය. විශාල කලලයක් (embryo) ඇති අමු ඇටය ද්වි-උත්තලය (biconvex).

ත්වේට්ස් විසින් α.β සහ γ යනුවෙන් ලංකාවේ තිබෙන අමු ප්‍රභේද තුනක් විස්තර කරන ලදී. ඉන් α ප්‍රභේදය වවනු ලබන්නකි. මෙය දිවයිනේ උෂ්ණ ප්‍රදේශවල සුලභය. වල් අමු, කැළෑ අමු ආදි අමු ප්‍රභේද පහක් ලංකාවේ වවනු ලබන බව ෆ'ගසන් පෙන්වා දෙයි. එයින් මත් අමු නමින් හැඳින්වෙන එක් ප්‍රභේදයක ඇට තම්බාගත් වතුරෙහි විෂ ගතියක් ඇත. මේ ප්‍රභේදයේ ඇට එක්තරා විධියකට පිළියෙල නොකර කෑමෙන් කරකැවිල්ල හා ඔක්කාරය ඇති වන බව ඒන්ස්ලි ප්‍රකාශ කරයි.

ලංකාවේ උස් පහත් සෑම ප්‍රදේශවල ම අමු වවන බවත් ඉන් ප්‍රභේද කීපයක් ධාන්‍ය වර්ග වශයෙන් වවන බවත් සේනාරත්න මහතා "ලංකාවේ තෘණවර්ග" (Grasees of Ceylon) නම් ග්‍රන්ථයෙහි දක්වා තිබේ. මත් අමු තැම්බු වතුර විසවන බව ඔහු ද කියයි.

ලංකාවේ තෙත ප්‍රදේශවල වල් අමු (පා.කොමර් සෝනී) වැවේ. මෙය ගව ආහාර පිණිස ප්‍රයෝජනවත්ය. කැළෑ අමු (පා. ඕර්බිකුලාරේ) වැවෙන්නේ දිවයිනේ මැද පළාත්වලය. වල්බිම් අමු (පා.මෙට්සි) තෙත ප්‍රදේශවල බහුලය.

පුරාණයේ පටන් බාල ධාන්‍ය වර්ගයක් වශයෙන් ඉන්දියාවේ අමු වවනු ලැබේ. අමු පිදුරු ගව ආහාරයකි.

අමු ඇටය පෙරදිග පැරණි බර මැනීමේ ඒකකයක් හැටියට භාවිත විය.

ආයුර්වේදයට අනුව අමු (සං, කෝද්‍රව) වාත ජනකයි, මල බැඳි, ශීතලයි, සෙම් පිත් නසයි, උෂ්ණ වීර්යයි. අමු ආයුර්වේදීය කාඩි සෑදීමට ගනු ලැබේ.

පොත්පත්:

Senaratna, S.D.J.E – Grases of Ceylon

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමු&oldid=2207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි