අමුක්කරා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(විතානියා සොම්නිෆෙරා Withania sonimifera Dun) අමුක්කරා ශාකය ශාඛා සහිත අඩි 1 සිට 5 දක්වා පමණ උසට වැඩෙන කුඩා සෘජු පඳුරකි (shrub). මේ ශාකයේ කොටස් සියල්ල ම පාහේ රෝමවලින් වැසී තිබේ. අඟල සතරක් පමණ දික් විය හැකි අණ්ඩාකාර (ovate) කොළ ඉතා තිත්තය. ද්විලිංගික මල් කොළපාට හෝ කහපාට හෝ විය හැකිය. එක් එක් ඡත්‍රිය බහු-අක්ෂයක (Umbellate cyme) සාමාන්‍යයෙන් මල් පහක් පමණ එකට රාශීභූතව සිටී. ඵලය රතු ගෝලාකාර සිනිඳු බදරියකි. (berry) ඇට කහපාටය. ඇටේ පිට පොත්ත ගැළවෙන සුලු තුනි කොරපොතු සහිතය.

ඉන්දියාවේ හා පකිස්ථානයේ වියළි ප්‍රදේශවල මේ ශාකය බහුලය. ලංකාවේත් මධ්‍යධරණි ප්‍රදේශවලත් මෙය වැඩේ.

අමුක්කරා මුලේ සොම්නිෆරීන් නමැති ඇල්කලොයිඩය (බ.) තිබේ. මේ ශාකය සොලනාසේ කුලයට අයත්ය.

ආයුර්වේදය මතය: අමුක්කරා මුල දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අයත් ගෙඩි වෙදකමට ද ගනු ලබන ප්‍රශස්ත ඖෂධයකි. රසායන, චූර්ණ, සෘත, අරිෂ්ට, තෛල ආදියට අමුක්කරා ගනු ලැබේ. අමුක්කරා මුල අමු අවස්ථාවෙහි අශ්වමුත්‍ර ගඳ ඇත්තේය. අමුක්කරා අශ්වගන්ධ යයි නම් කොට ඇත්තේ ඒ නිසාය.

ගුණ සහ ආමයික ප්‍රයෝග: අමුක්කරා වාතය, සෙම, ධාතුක්ෂය, කාෂ, ශ්වාස, ශෝථ හා ක්ෂයරෝගය නසයි. බල වඩයි. ආයුර්වේදයෙහි ප්‍රබල වූ වාජිකරණ සහ රසායන ඖෂධයකි. යුනානි වෛද්‍ය ශාස්ත්‍රයට අයත් ද්‍රව්‍යගුණ විඥානයෙහි ද විස්තර කොට ඇත්තේ ආයුර්වේදය මතය ම වේ. යුනානි වෛද්‍ය ශාස්ත්‍රයෙහි අමුක්කරාවල දැක්වෙන විශේෂ ගුණ නම් කාමෝද්දීපනය හා කටීගත වාත වේදනා නැසීමත්ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමුක්කරා&oldid=2208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි