අමුරීරිකඩවරයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල ජනයා විසින් පුදනු ලබන කඩවර (බ.) යකුන්ගේ එකෙකි. මොහු මාල රජුගෙන් වරම් ලත් බව හා පටරෙද්දකින් සහ ජටාවකින් සැරසී ඉලුක්කෝලයක් රැගෙන සිටින බව ද කළුගමුවේ තොට අසල හොල්මන් කරන බව ද අමුරීරිකඩවර කවිවල සඳහන් වේ. කුකුළු මස්, ලේ, පුලුටු සහ ධාන්‍ය මොහුට පුද කරනු ලැබේ. මොහු බුලතින් ද පුද ලබන බව දලුමුර යහන් කවිවලින් දැක්වේ. නෙළුම් මලක් මතැ සිට මල්මාලා ගොතන මොහුගේ පිරිවර දහස් ගණන් වෙයි. කළුගමුතොට හැරුණු විට උඩවත්ත, ගම්පළවෙල, කුඩාමරුගල යන ස්ථානවල ද මොහු වාසය කරයි. මොහු දඩයක්කාරයෙකැයි ද කියනු ලැබේ.

මේ යක්ෂයා රීරීයකාගේ ම එක්තරා වේශයක් විය හැකැයි සිංහල ජන ඇදහිලි පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් සම්පාදනය කළ බානට් පවසයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමුරීරිකඩවරයා&oldid=2215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි