අමෘතත්වය
(අමෘතය) මරණය ස්වභාව කොට ඇති සත්වයා ඈත අතීතයේ සිට ම එයට පිළියමක් සෙවූ අයුරු මානව ඉතිහාසයෙන් දක හැකිය. පෙර අපර දෙදිග ම ජීවිතය පිළිබඳ විමර්ශනයක් කළ දාර්ශනිකයන් මරණයෙන් මිදීමේ මාර්ගයක් සෙවූ බවත් එයට පිළියමක් වශයෙන් අමෘතත්වය ඉදිරිපත් කළ බවත් පෙනේ. සත්වයා පිළිබඳ භෞතික ශරීරය මරණින් පසු විනාශයට පත්වන නමුත් ඔහු කෙරෙහි පවතින අභෞතික වූ සිතෙහි නැතහොත් ආත්මයෙහි අඛණ්ඩ පැවැත්මක් ඇතැයි යන විශ්වාසය පදනම් කොට ගෙන බිහිවූවක් ලෙස බොහෝ දෙනා විසින් අමෘතත්වය හඳුන්වනු ලැබේ.
මරණයට ප්‍රතිපක්ෂ වූ අමරණය, අමෘතය නැත හොත් අමෘතත්වය භාරතීය ආගමික විශ්වාසයන්හි ඉතා වැදගත් තැනක් ගනී. වෛදික යුගයෙහි සිට දක්නා පොත්පත් හැදෑරීමේ දී මෙම සංකල්පය ක්‍රමානුකූලව දියුණු වූ සැටි දත හැකි ය.
අවුරුදු සියයක් ජීවත්වීම: භාරත දේශයට අයත් පැරණි ම සාහිත්‍ය කෘතිය වූ සෘග්වේදයෙහි අමෘත යන පදය බෙහෙවින් දක්නට ලැබේ. එහෙත් පසු කලෙක අමෘත යනුවෙන් අදහස් කළ අර්‍ථයට වඩා තරමක් දුරට වෙනස් අර්ථයක් එහි ගැබ් වී තිබෙන බව පෙනේ.
තමන් ඉන්දියාවට සංක්‍රමණය වූ අවස්ථාවේ දී දස්‍යු නමින් හැඳින්වෙන ජනයා සමඟ කරන්නට සිදුවූ සටන්වලින් ජය ලැබ ප්‍රීතියෙන් උදම් වූ ආර්‍ය්‍ය ජනයාට ස්වභාව ධර්මයාගේ අනුග්‍රහය හේතුකොටගෙන සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට හැකි විය. එබඳු සැපවත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය ලත් ඔවුනට පරලොවක් ගැන සිතන්නට අවශ්‍යතාවයක් නොවීය. මරණය කෙරෙහි ඔවුන් තුළ එතරම් බියක් නොවිය. මේ නිසා ම සෘග්වේදයට අයත් පැරණිතම මන්ත්‍ර පාඨයන්හි මරණය හෝ අමෘතත්වය ගැන සඳහනක් කර නොමැත.
කල්යාමේ දී විවේකී ජිවිතයක් ගත කිරීමට අවස්ථාව ලත් ඔවුන් මිනිසා ජීවිතක්ෂයට පත්වන අයුරු වටහා ගත් බවත්, ඒ ගැන ඔවුන්ගේ සැලකිල්ල යොමුකිරීමට පටන් ගත් බවත් පසුව රචිත සමහර වේදමන්ත්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. එහෙත් මරණින් මතු මිනිසාට කුමක් වන්නේ ද යන ප්‍රශ්නය කෙරෙහි ඔවුන්ගේ අවධානය එතෙක් යොමු නොවීය. මුල් කාලවල දී මෙම වෛදික ජනයාගේ අවධානය මේ ජීවිතයට පමණක් සීමා වූ බව පෙනේ. මරණය මිනිසාට මේ ජීවිතයේ දී නියත වශයෙන් මුහුණ පෑමට සිදුවන්නකි. ඍග්වේදයේ (VIII 18.22) දැක්වෙන අයුරු ඔවුන් බිය වූයේ එසේ වන මරණයට නොව අකල් මරණයටය. අකල් මරණය අභාග්‍යයක් කොට සැලකූ ඔවුන් අමෘත කාලයක් ජීවත්වීම බව පෙනේ. අමෘත (අමරණිය භාවය) හා මෘත්‍යු (මරණය) ඔහුගේ සෙවණයි" (X 121, 2; VII 59.12) යනුවෙන් කිසි තැනෙක මේ පද දෙක විරුද්ධාර්ථවාචී පදයන් ලෙස නොව සමානාර්ථවාචි පදයක් ලෙස යෙදී තිබේ. මරණය පාපයක් ලෙස සලකන ලද නමුත් ජරාවට පැමිණ, නැතහොත් අවුරුදු සියයක් පමණ වූ සම්පූර්ණ ජිවිතකාලය ගෙවා මරණයට ගොදුරුවීම භාග්‍ය යක් ලෙස දක්වා තිබේ. අකල් මරණය පමණක් අභාග්‍යයක් කොට සැලකූ මේ යුගයේහි දී චිරකාලයක් ජීවත්වීම අමෘත නමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකි ය. මේ විශ්වාසය අථර්වවේදයෙහි තවදුරටත් වැඩි ඇත. "පීතෘ ලෝකය හා මාතෘ පෘථිවිය එක්සිත්ව එක්සත්ව තොපට ජරා මරණය (ජරාමෘත්‍යු) පමණක් ලබා දෙත්වා. අදිතියගේ තුරුල්ලෙහි ප්‍රාණයෙන් ආරක්ෂිතව අවුරුදු සියයක් ගත කිරීමට තොපට හැකි වේවා" (අථර්වේදය II 28,4) යනාදි මන්ත්‍රයන්ගෙන් එය තව දුරටත් ස්ඵුට වේ.
බමුණු පූජක පක්ෂයේ ආධිපත්‍ය ක්‍රමානුකූලව දියුණු වී එත් ම මේ විශ්වාසය තව තවත් දියුණු වන්නට විය. යාගය ජීවනෝපායක් කරගත් බමුණු පූජකයන්ට තම අනුග්‍රාහකයින්ග් අකල් මරණය බලවත් පහරක් වූ බවට සැකයක් නැත. එනිසා අවුරුදු සියයක් පමණ කල් ජීවත්වීම අමෘතයක් කොට දැක්වූ ඔවුන් එබඳු අමෘතත්වයක් තම අනුග්‍රාහකයින්ට ලබාදීම සඳහා යාග හෝමාදිය පවත්වමින් මන්ත්‍ර රචනා කරන්නට වූහයි අනුමාන කළ හැකි ය.
වේද ග්‍රන්ථයන්ට සපයන ලද ව්‍යාඛ්‍යානයන්ගේ ස්වරූපය ගන්නා බ්‍රාහ්මණ ග්‍රන්ථ බමුණු පූජකයින් ගේ අදහස් උදහස් මැනවින් පිළිබිඹු කරයි. ඉහත සඳහන් මතය ම මෙම බ්‍රාහ්මණ යුගයේ දී ද දක්නට ලැබේ. ශතපථ බ්‍රාහ්මණයෙහි (V 4.11) නොයෙක් අන්දමේ මරණයන් ගැන සඳහන් වෙයි. "රාජසූය පවත්වන යම් තැනැත්තෙක් වේ ද, ඔහු සැම මරණයකින් (මාත්‍යු) ම මිදේ; සෑම මාරාන්තික පහරකින් (බාධාවකින්) ම මිදේ. ඔහුට ජරාව පමණක් මරණය වෙයි." මේ අන්දමට යජමානයා මිදෙන්නේ අකල් මරණාදි පාපයන්ගෙනි. ජරාවට පැමිණ පත්වන මරණය ස්වභාවික එකක් වූ අතර එය පාපයක් ද නොවේ. එහෙයින් විමුක්තියක් හෝ නිදහසක් ලබන්නේ අකල් මරණයෙන් මිස ස්වභාවික මරණයෙන් නොවේ. මෙසේ ස්වභාවික මරණය අමෘතය හො විමුක්තිය ලෙස පවා සැලකූ බව පෙනේ.
පරම්පරා අවිච්ඡින්න පැවැත්ම: අමෘතත්වය පිළිබඳ තවත් විශ්වාසයක් සෘග්වේදයෙහි දක්නට ලැබේ. ප්‍රජාවගේ මාර්ගයෙන් පරම්පරාවේ අවිච්ඡින්න පැවැත්ම අමෘතයක් ලෙස සලකන ලද බැව් සමහර වෛදික සූක්තයන්ගෙන් පැහැදිලි වේ. "දූ දරුවන් මගින් මට අමෘතත්වය ලබා ගැනීමට හැකි වේවා" (සෘග්වේදය (V 4.10) යනාදි ප්‍රාර්ථනයන්ගෙන් දැක්වෙන්නේ තම පරම්පරාවේ අවිජ්ජින්න පැවැත්ම අමෘතත්වයක් කොට සැලකූ බවයි. කෙනෙකුගේ පරම්පරාව නොකඩවා පවත්වාගෙන යෑමට දුවකට වඩා පුතකුට හැකිවන හෙයින් වෛදික හා බ්‍රාහ්මණ යුගයන්හි පුතකු ලැබීම මහත් භාග්‍යයක් කොට දක්වා තිබෙන බැව් පෙනේ.
මරණින් මතු අමරණීය ජීවිතය: සෘග්වේදයෙහි අවසාන යුගයට අයත් සමහර සුක්තයන්හි අමෘතත්වය පිළිබඳ තවත් වැදගත් මතයක් දක්නට ලැබේ. මුල් යුගයේ දී පරලොව පිළිබඳ විමසුම් හමු නොවන නමුත් පසු කලෙක රචිත සූක්තයන්හි "මරණින් මතු මිනිසාට කුමක් වන්නේ ද? යන ප්‍රශ්නය කෙරෙහි වෛදික චින්තකයන්ගෙන් සමහර දෙනකුන්ගේ අවධානය යොමු වූ බව (සෘග්වේදය X.14) පෙනේ. කෙසේ නමුත් මරණය මිනිස් ජීවිතයේ අවසානය නොවන බව මේ චින්තකයන්ගේ පිළිගැනීම විය. රාත්‍රිය ගෙවීයෑමෙන් දිවා කාලය උදාවන බවත් නැවත රාත්‍රි ය ද යළිත් දිවා කාලය ද ඇතිවන බවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටු ඔවුහු මේ නියාම ධර්මය මිනිසාගේ ජීවිතය පිළිබඳවත් එසේ ම වන්නේ යයි සිතූහ. මිනිස් ජීවිතය ද මරණින් පසු නැවත ආත්ම භාවයක් ලබන බව ඔවුහු විශ්වාස කළහ. මේ නිසා ඔවුන් අතර දිව්‍ය ලෝකය නොහොත් ස්වර්ග ලෝකය පිළිබඳ විශ්වාසය ඇති විය. මෙම ස්වර්ගලෝකය ඈත ආකාශයෙහි වූ බවත් එයට පළමුවෙන් ගිය තැනැත්තා යම බවත් ඔවුන්ගේ පිළිගැනීම විය. ස්වර්ගයට යන මාර්ගය ප්‍රථමයෙන් සොයා ගත් තැනැත්තා යම බැවින් ඔහු එම රාජ්‍යයට අධිපති විය. ඔහු අනුව යෙමින් පිතෘවරයෝ එම රාජ්‍යයට ළඟාවෙති. මෙලොව ජීවත්ව සිටින තාක් යාගහෝමාදිය පැවැත්වීමෙන් රැස් කොට ගන්නා පුණ්‍යසම්භාරය හෙවත් ඉෂ්ටාපූර්තය හේතුකොටගෙන ඔවුන් එම ස්වර්ගයේ දී සැප විඳින බවත් එහි දී මිනිසා ලබන ජීවිතය මරණයෙන් තොර, අනන්ත, ආසිම, සදාකාලික එකක් බව එකල විශ්වාසය විය. මරණින් මතු ස්වර්ගලෝකයෙහි අමෘතත්වයක් ලැබීමේ අභිප්‍රායෙන් නොයෙක් විට යාගහෝමාදිය පැවැත්වූ බව වෛදික ග්‍රන්ථයන්ගෙන් පෙනේ. මෙම විශ්වාසය වෛදික සංහිතාවන්ට පමණක් නොව බ්‍රාහ්මණ, උනිෂද් ආදී සාහිත්‍යන්ට ද සාධාරණ වූ එකක් බව පෙනී යයි. උපනිෂද් යුගයේ දී පවා දෙවියන්ගේ ජීවිතය අමෘත එකක් ලෙස දක්වා තිබීමෙන් (කෞශිතකි උපනිෂද් 2.14) ඒ බව ස්ථුට වේ. අමෘතත්වය යනුවෙන් මෙහි දැක්වෙන්නේ මරණින් මතු මිනිසා ලබන ඕළාරික, සදාකාලික ජීවිතයකි.
බ්‍රාහ්මණ යුගයේ දී මෙම විශ්වාය පිළිබඳ කුහුලක් ඇතිවු සේ පෙනේ. මිනිසා විසින් මේ ආත්මභාවයේ දී රැස් කරනු ලබන පුණ්‍යසම්භාරය හේතුකොටගෙන මතු ආත්මභාවයේ දී අසීම, අනන්ත, අමෘතරූපී ජීවිතයක් ලබන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය කෙරෙහි ස්වාධීන චින්තකයන් තුළ සැකයක් ඇති විය. මේ නිසා බ්‍රාහ්මණ පූජකයන්ට බලවත් පහරක් වැදිණ. එම පහර වළකාලමින් ඊළඟට පූජකයෝ තවත් මතයක් ඉදිරිපත් කරන්නට වුහ. සිමාසහිත පුණ්‍යසම්භාරයක් හේතුකොට ගෙන මිනිසා ස්වර්ග ලෝකයෙහි උත්පත්තිය ලබන නමුත් එහි දී ඔහුගේ ජීවිත කාලය දීර්ඝ කරගැනීම සඳහා මෙලොව ජීවත්වන ඔහුගේ දූ පුතුන්ගේ යාග හෝමාදි පුණ්‍යක්‍රියාවන් හේතුවන බව ඔව්හු කියා සිටියහ. එහෙත් මෙම පින් රැස ගෙවී ගිය පසු මිනිසාට කුමක් වන්නේ ද යන ප්‍රශ්නය ලෙහෙසියෙන් ඉවත ලීමට හෝ අමතක කිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත මරණය හෝ දෙවැනි මරණය (පුනර් මෘත්‍යු) පිළිබඳ විශ්වාසය ඇති විය. ස්වර්ග ලෝකයේහි ජීවත්වන පුද්ගලයා තමාගේ පින් රැස ගෙවී ගිය පසු එම ස්වර්ග ලෝකයෙන් ච්‍යුත වන බව සමහරු පිළිගත්හ. මෙම දෙවැනි මරණය අථර්වවේද යුගයෙහිත් බ්‍රාහ්මණ යුගයෙහිත් නොයෙක් දෙනාගේ ඉමහත් කනස්සල්ලට හේතු වූ බව පෙනේ. දෙවැනි මරණයෙන් මිදිමේ අභිලාෂයෙන් පවත්වන ලද යාග හෝමාදිය ශතපථ බ්‍රාහ්මණයෙහි (II, 3.3; XII 9.3 ) නොයෙක් තැන සඳහන් වෙයි. මෙම විශ්වාසය දියුණු වීයෑමක් සමඟ ම මරණින් මතු ස්වර්ගලෝකයෙහි දී ලබන අමෘතත්වය ගැන සැකයක් ඇති විය.
දෙවැනි මරණයෙන් පසු මිනිසාට කුමක් වන්නේ දැයි යන ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූ සමහරු මිනිසා නැවත ඉන්පසු මේ ලෝකයෙහි උත්පත්තිය ලබන බැව් පිළිගත්හ. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය ඇති වුයේ මින් පසුවය. පුනරුත්පත්තිය හා සංසාරය පිළිබඳ සත්‍ය පිළිගැනීම මරණින් පසු ස්වර්ගලෝකයෙහි අමෘතත්වයක් ලැබීමේ විශ්වාසයට වැදුණු අවසාන මරු පහරක් ලෙස සැලකිය හැකිය. සත්වයා භවයෙන් භවයට සංක්‍රමණය වීම සත්‍යයක් ලෙස පිළිගත් උපනිෂද් සමයේ දෙවැනි මරණය ගැන සඳහන් නොවීම පුදුමයට කරුණක් නොවේ. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය මරණින් මතු ඕළාරික අමෘත ජීවිතයක් සවර්ගයේහි දී ලබාගැනීමේ බලාපොරොත්තුවට තදබල පහරක් වූවත් මිනිසා අමෘතත්වයක් සෙවීමේ ප්‍රයත්නය එතෙකින් අවසන් කළ බවක් නොපෙනේ. සංසාර දුකින් නැතහොත් නැවත නැවත ඉපදීමේ අභාග්‍යයෙන් මිදීම මිනිසාගේ උදාර පරමාර්ථය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උපනිෂදයන්හි දැක්වෙන අමෘතත්වය පිළිබඳ අදහස් පහළ විය.
උපනිෂද් යුගයේ දී පවා ආගමික ජීවිතයේ පරමාර්ථය වූයේ මරණයෙන් මිදීමය; අමෘතත්වය කරා යෑමය. "මරණයෙන් මා අමෘතත්වය කරා ගෙන යව" (මෘත්‍යොඃ මා අමෘතං ගමය) යනුවෙන් ශිෂයයෙක් තම ගුරුවරයා හෝ අනුශාසකයා අමතා කියයි. කඨෝපනිෂදයෙහි දැක්වෙන නචිකේත-යම සංවාදයෙන් එවකට මිනිසා තුළ මරණය කෙරෙහි වූ බිය කොපමණ දැයි දත හැකිය. "මෙබඳු වූ සංසාරයක කම්සැප විඳීමෙන් කවර වැඩෙක් ද? කුමක් නිසා ද යත් ඒ සුඛානුභව කළ තැනැත්තා පුන පුනා මෙලොවට ආපසු එන බව පෙනෙන හෙයිනි" (මෛත්‍රි උපනිෂද් I.4) මරණයට පිළියමක් සෙවීමෙහි දී නිදහස් චින්තන ක්‍රමයක් ආරම්භ කළ උපනිෂද් දාර්ශනිකයෝ මිනිසා පිළිබඳ වැදගත් කරුණු රාශියක් ම ඉදිරිපත් කළහ. ඔවුහු භෞතික ශරීරය හා ආත්මය වශයෙන් මිනිසා කොටස් දෙකකට බෙදා දැක්වූහ. මහා භූතයන්ගේ එක්වීමෙන් සෑදුණු භෞතික ශරීරය (එම III.2) ජරාවට පත්වන, මරණයට ගොදුරුවන (එම I.4) අසත්රූපී ධර්මයක් වූ අතර ආත්මය මිනිසා තුළ පවතින අමෘත වූ සත්‍ය වූ ධර්මයකි. අමෘතත්වය සවභාව කොට ඇති ආත්මය ශරීරයෙහි පිහිටියේ වෙයි (ඡාන්දෝග්‍ය උපනිෂද් VIII 122)
බාහිර ලෝකය පිළිබඳ සත්‍ය ගවේෂණයෙහි යෙදුණු උපනිෂද් දාර්ශනිකයා පඤ්චේන්ද්‍රියයන්ට ගොදුරු වන ලෝකය එහි ඇතුළත සිට මෙහෙයවන්නාවූ (අන්තර් යාමී) (බෘහදාරණ්‍යක උපනිෂද් III 7. 3-15) බ්‍රහ්මත්වය, ජගදාත්මය හෙවත් විශ්වාත්මය ලෙද දැක්විය. මිනිසා පිළිබඳ සත්‍යය ජගදත්මය හො බ්‍රහ්මන්විය. එහෙත් අමෘතත්වය සවභාව කොට ඇති ප්‍රත්‍යගාත්මය මරණයට ගොදුරු වන්නාවූ අසත්‍ය වූ භෞතික ශරීරය සමග සම්බන්ධයක් පවත්වන තාක් මිනිසාට විමුක්තියක්, අමෘතත්වයක් ලැබිය නොහැකිය. "සත්වයනිගේ හෘදයෙහි පිහිටියා වූ (හෘදිස්ථිතඃ) මාපටැඟිල්ලක් පමණ වූ පුරුෂයකු හා සමාන (අංගුෂ්ඨමාත්‍රඃ පුරුෂඃ) වූ පිරිසිදු වූ අමෘත වූ මෙම අන්තර් ආත්මය (අන්තරාත්මා) කෝෂයෙන් එළියට ඇදගන්නා ලද ශස්ත්‍රයක් මෙන් ශරීරයෙන් පිටතට ගෙන (කඨ උපනිෂද් VI.17) විශ්වාත්මය හෙවත් බ්‍රහ්මත්වය සමඟ ඒක් කිරීමෙන් ඔහු මරණයෙන් මිදී අමෘත්ත්වයට පැමිණේ (මුණ්ඩක උපනිෂද් III 2.8) සෑම ගංගාවක් ම සමුද්‍රය කරා යෑමෙන් පසු විශේෂතා සියල්ලක් ම අතහැර දමා එකක් බවට පත්වන්නා සේ ඥානයෙන් යුතු පුද්ගලයාගේ ආත්ම බ්‍රහ්ම තත්ත්වය කරා යෑමෙන් පෞද්ගලිකත්වය හා විශේෂතාව අතහැර අමෘතත්වයට පැමිණෙන්නේය. (එම III 2.8) ලෝකයෙහි ඇති ධන ධාන්‍ය ආදි කවර වස්තූන්ගේ මාර්ගයෙන් වුව ද මෙම අමෘතත්වය ලබාගත නොහැකි බව ශ්‍රේෂ්ඨ උපනිෂද් දාර්ශනිකයකු වූ යාඥවල්ක්‍යගේ මතයයි. (බෘහදරණයක උපනිෂද් II 4.1) චිත්තාභ්‍යන්තරයෙහි වූ ආශාවන් සියල්ලක් ම විනාශ කිරීමෙන් ද (එම VI 4.7; කඨ උපනිෂද් VI. 14) සිත මෙලොවට බැඳ තබන සෑම බන්ධනයක් ම සිඳ බිඳ දැමීමෙන් ද (කඨ උපනිෂද් (IV.15) තත්වඥානය ලැබීමෙන් ද (ඓතරේය උපනිෂද් IV.6) මරණින් මතු (කේන උපනිෂද් 12-13) අමෘත වූ බ්‍රහ්ම තත්වය කරා යෑමෙන් යමකු අමෘතත්වය ලබන බැව් පැවසේ.
එබැවින් මෙම දර්ශනයට අනුව අමෘතත්වය ලැබිය හැක්කේ මරණින් මතු, එනම් මෙම භෞතික ශරීරයාගේ විනාශයෙන් පසුව පමණි. තවද අමෘතත්වය යනුවෙන් දැක්වෙන්නේ බාහිර ලෝකයෙහි පවත්නා සත්‍ය ධර්මය වූ බ්‍රහ්මන් සමඟ පෞද්ගලික ආත්මයාගේ එක්වීමයි.
බුද්ධ ධර්මයෙහි දැක්වෙන අමෘතත්වය. අමෘතත්වය පිළිබඳ ඉහත සඳහන් අදහස්වලින් බොහොමයක් භාරත දේශයෙහි බුදුන් වහන්සේ පහළ වීමට පෙර ප්‍රචලිතව පැවති ඒවාය. මජ්ඣිමනිකායේ අරියපරියෙසන සූත්‍රයෙහි දැක්වෙන පරිදි සිදුහත් කුමරු ද ගිහිගෙය අතහැර පැවිදි වූයේ පුනර්භවය නිසා සංවේගයට පත් වීමෙනි. මිනිසා මරණය ස්වභාවය කොට ඇත්තේය. එහෙයින් මරණයේ ස්වභාවය ම සෙවීම ආර්‍ය්‍යයන්ට නුසුදුසු වූ පර්යේෂණයක් හැටියට වටහාගත් බෝසතාණන් මරණයෙන් තොර (අමත) දෙයක් සෙවීමෙහි නිරත වූ බව සඳහන් වේ. තවද සංජය පිරිවැජියාගේ අතවැසි භාවයට පැමිණි සිටි සැරියුත්, මුගලන් දෙදෙනා ද "යමෙක් පළමුව අමෘතත්වය (අමත) සාක්ෂාත් කරගන්නේ ද, ඔහු අනිකාට ද එය පැවසිය යුතුය"යි කතිකා කොට ගත් බව විනය පිටකයේ මහාවග්ගයෙහි සඳහන් වේ.
එවකට ඉන්දියාවේ ප්‍රචලිව පැවැති ආගමික ප්‍රතිවාදාවන් අනිය්‍යනික බව අවබෝධ කොට ගෙන මධ්‍යම ප්‍රතිපදාවන් අනිය්‍යානික බව අවබෝධ කොට ගෙන මධයම ප්‍රතිපදාවන් අනුගමනය කළ සිදුහත් බෝසතාණන් වහනසේ සම්බෝධිය ලැබීමෙන් පසු මෙසේ උදන් ඇනූහ: "මරණය ස්වභාව කොට ඇති මම මරණය ස්වභාව කොට ඇති ධර්මයන්හි ආදීනව දැක අමෘත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය ලදිමි." (අරියපරියේසන සූත්‍රය)
සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන ලෝකයට ධර්මය දෙසීමට ඉදිරිපත් වූ බුදුන් වහන්සේ "ඔවුනට අමෘතත්වයට දොර හරින ලද්දේය" (අපාරුතා තෙසං අමතස්ස ද්වාරා) යනුවෙන් ප්‍රකාශයක් කළහ. අමතද්වාර යන පදය විස්තර කරන අටුවාචාරීහු එයින් නිරිදිෂ්ට වූයේ ආර්‍ය්‍ය මාර්ගය බව කියත්. ආර්‍ය්‍ය මාර්ගය අමෘතය යනුවෙන් හඳුන්වනු ලබන නිර්වාණයට ද්වාරය වෙයි. (සෝ හි අමතසංඛාතස්ස නිබ්බා නස්ස ද්වාරං - පපංචසුදනී).
සංසාරයට මිනිසා බැඳ තබා ගන්නා වූ ක්ලේශ ධර්මයන් මූර්තිමත් කොට දක්වන මාරයා බුදුන් වහන්සේ අමතා "ඉදින් අමතගාමි වූ ක්ෂේමවූ මාර්ගය නුඹ විසින් අවබෝධ කරන ලද්දේ ද එම මාර්ගයෙහි තනිව ම ගමන් කරව. කුමක් හෙයින් අනුන්ට අනුශාසනා කරන්නේහි ද"යි කියේ ය. තවත් අවස්ථාවකදී අමෘතය කුමක්ද කියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් බුදුන්වහන්සේ අමෘතයයනු රාගදෝසමොහයන්ගේ ක්ෂය කිරිම බව වදාළහ. (සංයුක්ත නිකාය)
ඉහත සදහන් කරුණු අනුව සලකා බලන කල බුද්ධ ධර්මයෙහි අමෘතය යනුවෙන් දැක්වෙන්නේ ආගමික ජීවිතයක් ගත කිරීමෙන් අවබෝධ කළ හැකි අග්‍ර ඵලය වූ නිර්වාණයයි. බුද්ධ ධර්මය අනුව සෝපදිසේස අනුපදිසේස යනුවෙන් නිර්වාණ ධාතු දෙකකි. රාග, දෝස, මොහ්හාදි ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් පසුව ද පංචස්කන්ය ගේ විනාශය එනම් මරණය දක්වා ජීවත් වීම සෝපදිසේස නිර්වාණ ධාතුව ලෙස සලකනු ලැබේ. කාමාදීන් උපාදානය නොකොට සිදුවන ස්කන්ධ පරිනිර්වාණය සමඟ සියලු වේදයිකයන් ගේ සීතිභාවය අනුපදිසේස නිර්වාණ ධාතුව ය. රාග, දෝස, මෝහාදි ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කිරීමෙන් මෙලොව දී ම (දිට්ඨෙව ධම්මෙ) ලබන නිර්වාණය අමෘතයක් කොට සලකනු ලබන්නේ එය භවයෙන් භවයට සත්වයා ගෙන යනු ලබන තෘෂ්ණාව සිඳ දැමීමෙන් (භවනෙත්ති සංඛ්‍යා) මරණින් පසු අමෘතත්වයට හේතුවන බැවිනි. කෙලෙස් පහ කිරීමෙන් සසර දුක් නසා මෙලොව දී ම නිවන් අවබෝධ කරගන්නා පුද්ගලයා කවදා හෝ මරණයට ගොදුරුවන බැවින් ඇත්ත වශයෙන් ම අමත යනුවෙන් හැඳින්වීය හැකි වන්නේ අනුපදිසේස නිබ්බාන ධාතුවයි. රාග, දෝස මෝහාදිය කෙළවර කිරීම බෞද්ධ සාහිත්‍යයෙහි අමතය ලෙස දැක්වෙන්නේ ඒ ක්ලේශ ධර්මයන් විනාශ කිරීමෙන් ඒ පුද්ගලයාට මෙලොව දි දුකින් මිදී සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවනවා පමණක් නොව ප්‍රතිසන්ධියට හේතු භූත ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කිරීමෙන් නැවත ප්‍රතිසන්ධියක් ද තදන්තර මරණයක් ද නොමැති වන බැවිනි. එබැවින් මෙලොව දී නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට ගත් බොහෝ දෙනා මෙසේ උදන් අනත්: "මාගේ චිත්ත විමුක්තිය නොසෙල්විය හැකිය. මෙය මාගේ අවසාන උත්පත්තිය වෙයි. මින් පසු මට පුනර්භවයක් නොවන්නේ ය." (අකුප්පා මෙ චෙතොවිමුක්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති). මෙබඳු ආධ්‍යාත්මික පාරිසුද්ධියක් හා චිත්ත විමුක්තියක් ලැබූ තැනැත්තා ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු නියත වශයෙන් අමෘතත්වයට පත්වේ. මරණින් පසු තථාගත්යන්වහන්සේ ජීවත්වන සේක් ද නැද්ද (හොති තථාගතො පරම් මරණ, න හොති තථාගතෝ පරම්මරණා) යනාදි ප්‍රශ්න බුදුන්වහන්සේ විසින් විස්තර නොකළ (අව්‍යාකත) දේ හැටියට දක්වා තිබේ. මජ්ඣිම නිකායේ අග්ගිවච්ඡගොත්ත ස්‍රත්‍රයේ දැක්වෙන අයුරු නිර්වාණයට ප්‍රතිපක්ෂ සංසාරයෙහි වූ ධර්මයන් ආශ්‍රයෙන් බිහිවූ සංකේතාත්මක භාෂාවෙකින් ලෝකෝත්තර තත්වයක් පිළිබඳ සත්‍ය විස්තරයක් ඉදිරිපත් කිරීම උගහටය. එය කළ නොහැකි දෙයක් පමණක් නොව නිෂ්ඵල දෙයක් බව චුල්ල මාලුඬ්ක්‍ය සූත්‍රයෙහි උපමාවක අනුසාරයෙන් දක්වා තිබේ. උපනිෂදයන්හි දැක්වෙන අයුරු පරංබ්‍රහ්ම සංඛ්‍යාත බාහිර සතර පදාර්ථයන් සමඟ පෞද්ගලික ආත්මයාකේ එක්වීමක් බුද්ධ ධර්මයෙහි නොදැක්වේ. තර්කයෙන් බැසගත නොහැකි (අතක් කාවචර) එම තත්ත්වය කෙලෙස් තැවීමෙන් හා තතවඥානය ලබා ගැනීමෙන් තමා ම ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු ලොකෝත්තර තත්වයකි.
ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු රහත් කෙනෙකුන් පත්වන තත්ත්වය විස්තර කළ නොහැකි යයි දැක්වීමෙන් එම තත්වය විස්තර කෙබඳු දැයි දැනගැනීම සඳහා සාමාන්‍ය ජනයා තුළ වූ කුතුහලය සංසිඳුවීමට නොහැකි වූ බව සංයුක්ත නිකායෙහි ගෝධික තෙරුන්ගේ කථා පුවතින් පැහැදිලි වෙයි. එබඳු කුතුහලයක් දැක්වූ අවස්ථාවක බුදුන්වහන්සේ අමෘතත්ත්වය උපමාවක අනුසාරයෙන් විස්තර කරත්. ප්‍රදීපයක් දැල්වෙන්නේ එය දැල්වීමට අවශ්‍ය වූ දෑ එම් තෙල්, වැටිය ආදිය ඇති කල්හි ය. ගසක් හටගන්නේ එයට අවශ්‍ය වූ බීජය, පොළොවේ සාරය, තෙත් ගතිය ආදිය ඇති කල්හි ය: එමෙන් ම ප්‍රතිසන්ධියක් ඇති වන්නේ ප්‍රතිසන්ධියට අවශ්‍ය ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් ය. ආශ්‍රවයන් ප්‍රහීණ කිරීමෙන් ප්‍රතිසන්ධියට හේතුවන සංස්කාර ධර්මයන්ගේ රැස් කිරීමක් නොවෙයි. සියලු සංස්කාරයන් සමතයකට පත්වීමෙන් (සබ්බසංඛාරා සමථා) එම සංස්කාරයන්ගෙන් යුත් විඤ්ඤාණය ප්‍රතිෂ්ඨාවක් නොලැබීමත් සමඟ ම පුනරුත්පත්තියක් හෝ තදන්තර මරණයක් නොවේ. මේ හෙතුකොටගෙන අප්‍රතිෂ්ඨික විඤ්ඤාණයාගේ නිරෝධය අප්‍රහිත වූ නිර්වාණය, එනම් අනුපදිසේස නිර්වාණය ලෙස බුදු දහමෙහි දැක්වේ. අමා තත්ත්වය යනුවෙන් හඳුන්වනු ලබන්නේත් එයමයි.
කර්තෘ:ඩී.ජේ. කළුපහන
(සංස්කරණය:1963)