අමෝඝවර්ස I
(රා.ස.ක්‍රි.ව.815-878) මෙතෙම දන්ති දුර්ග රජුගෙන් (733-758) පටන් ගැනුණු මාන්‍යඛේට පුර (මාල්ඛේඩ්) රාෂ්ටකූට පරම්පරාවට අයත් වූ ද ඉතා දීර්ඝ කාලයක් රජ කිරීමේ ගෞරවයට හිමි වූ ද බලවත් රජෙකි. සර්‍ව නෘපතුඬ්ග, මහාරාජෂණ්ඩ, වීර නාරායණ, අතිශය ධවල යනාදි නම්වලින් ද දන්නා මොහු තුන්වන ගෝවින්ද රජුගේ පුත්‍රයෙකි. මෙතෙම රජබවට පත්වූයේ අවුරුදු 13 පමණේ දී ය. එබැවින් රාෂ්ට්‍රකූට පරම්පරාවේ ගුජරාට ශාඛාවට අයත් කර්ක සුවර්ණවර්ෂ නමැති යුවරාජයාට ළදරු අමෝඝවර්ෂ රජුගේ සහ ඔහුගේ රාජ්‍යයේ භාරකාරත්වය පැවරිණ. අමෝඝවර්ෂ රජු බාල වයස්කාරයකූ වීම ම ඔහුට විරුද්ධ ව ක්‍රි.ව.817 දී බලවත් කැරැල්ලක් හටගැනීමට ප්‍රධාන හේතුව විය. මේ කැරැල්ල මෙහෙයවන ලද්දේ වෙංගී ප්‍රදේශයේ පාලකයා වූ දෙවන විජයාදිත්‍ය රජු විසිනි. තාවකාලිකව අමෝඝවර්ෂ රජුට සිංහාසනය අහිමි වී ගිය ද කර්ක යුවරාජයාගේ උදව්වෙන් ක්‍රි.ව.821 දී පමණ ඔහුට නැවත එය ලබාගතහැකි විය. මේ වන විට රජයේ භාරය තනියම ඉසිලීමට හැකිවන තරමට ඔහු වයසින් වැඩී සිටියේය.
මුල් අවුරුදු පහ හෝ හය රටේ සාමය ඇති කරලීමටත්, රට යථාතත්වයට ගෙන ඊමටත් ගත කිරීමෙන් පසුව අමෝඝවර්ෂ රජ ක්‍රි.ව.830 දී පමණ වෙංගී ප්‍රදේශය ආක්‍රමණය කොට එය අල්ලා ගත්තේය. එහෙත් අවුරුදු පසළොසකට පමණ පසු නැවතත් එය චාලුක්‍යන්ට ම අත්විය. මේ රජුගේ රාජ්‍ය කාලයෙහි මුල් හවුරුදු විස්ස ඇතුළත නොකඩවා ම වාගේ රාෂ්ට්‍රකූටවරුන් හා ගංගවංශිකයන් අතර නිතර නිතර යුද්ධ කෝලාහල ඇතිවිය. ක්‍රි.ව.860 දී පමණේ දී ඔහුගේ දියණියන් ගංගවංශික බූටුග කුමාරයාට විවාහ කර දීමෙන් පසුව දෙරට අතරේ සමගිය තහවුරු විය. කර්ක සුවර්ණවර්ෂ යුවරජුගේ මරණින් පසු (830) රාෂ්ට්‍රකූට පවුල් දෙක අතරේ ද කලකෝලාහල ඇතිවන්නට විය. අවුරුදු 25ක් පමණ පැවැති මේ අරගළයෙන් ජය ලැබුණේ අමෝඝවර්ෂ රජුටය. මාන්‍යඛේට නගරය ඉදි කිරීමේ ගෞරවය අත් වන්නේ ද මොහුටය. මොහුගේ ආධිපත්‍යය නැගෙනහිර ඉන්දියාවේ බිහාරය සහ බෙංගාලය තෙක් විහිද තුබූ බැව් කියතත් එය පිළිගැනීමට තරම් කරුණු නැත.
අමෝඝවර්ෂ රජතුමා යුද්ධ දක්ෂයකු නොවූවත් රටේ සාමය ඇති කරලීමෙහි සමත් විය. සාහිත්‍යය හා කලාව කෙරෙහි ද ලැදිකමක් දැක්වීය. ඔහුගේ රාජසභාව හින්දු හා ජෛන ග්‍රන්ථකර්‍තෘවරුන් කිහිප දෙනෙකුගෙන් බැබළිණි. ආදි පුරාණය කළ ජිනසේනයන් හා ගණිතසාර සංග්‍රහය කළ මහාවීරාචාර්යයෝ ද අමෝඝවෘත්තිය කළ ශාකටායනයෝ ද රාජසභාවෙහි වූ කවීන්ගෙන් කිහිප දෙනෙකි. අමෝඝවර්ෂ රජතුමා ද කිවියෙකි. කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව ලියැවුණු පැරණි ම කර්ණාට ග්‍රන්ථයක් වූ කවිරාජමාර්ගය ලියන ලද්දේ ඔහු විසිනි. ඔහු ජෛන ආගම කෙරෙහි වැඩි ලැදිකමක් දැක්වූ නමුදු කිසිදු දිනෙක හින්දු ආගමට විරුද්ධව කටයුතු නොකෙළේය.
පොත් පත්:
Altekar, A.B.- Rastrakutas and their Times
(සංස්කරණය:1963)