අමෝඝසිද්ධ
ධ්‍යානි බුදුරුවන් අතුරෙන් පස්වැනි බුදුහුය. අපරාජිත බලප්‍රතාපයෙන් යුක්ත මුන් වහන්සේට නොවරදින ශ්‍රේෂ්ඨ මන්ත්‍ර බලයක් ඇතැයි විශ්වාස කරනු ලැබේ. උන්වහන්සේ උතුරු දිශාවට අධිපතියහ. ඇතැම් විට උන්වහන්සේ අමිතාභ බුදුන්ගේ මූර්තියක් ලෙස ද සලකනු ලැබෙත්.
ධ්‍යානි බුදුරුවන්ට ආවේණික පර්‍ය්‍යඞ්කාසනයෙන් වැඩ සිටින මුන්වහන්සේගේ වමත ධ්‍යානි මුද්‍රවෙහි ද, දකුණත අභය මුද්‍රවෙහි ද පිහිටා ඇත. ඇතැම් විට දකුණතෙහි වජ්‍රයක් හෝ කඩුවක් හෝ දක්නා ලැබේ. අමෝඝසිද්ධ බුදුන්ගේ ප්‍රතිබිම්බය වශයෙන් පහළ වුණු බෝධිසත්වවරයා විශ්වපාණිය. මතු පහළ වන්නාවූ මානුෂික බුදුහු මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ වෙති. උන්වහන්සේගේ වාහනය ගරුඩයෝ දෙදෙනෙකි. පැහැය කොළ පැහැයය; කුලය කර්ම කුලයය; සංකේතය විශ්වවජ්‍රයෙකි; කුල සංකේතය කඩුවකි. උන්වහන්සේ නිරූපණය කරන මූල ධාතුව ජලයය, නොහොත් පඨවීය; ඉන්ද්‍රිය ගන්ධයය. උන්වහන්සේගේ ස්ත්‍රී ශක්තිය ආර්‍ය්‍ය තාරා දෙවඟනයි. ඇතැම් අමෝඝසිද්ධ ප්‍රතිරූපවල නේත්‍රත්‍රයක් දැක්වෙයි.
අමෝඝසිද්ධ බුදුන් නිරූපණය කොට ඇත්තේ පිටුපස නාගයකු පෙණය විහිදුවමින් සෙවණ දෙන අයුරිනි. එතුමන්ගේ විහාරය ඉදිරිපස සතරැස් වළක් සාදනුයේ නාගයා වසන පොකුණ නිරූපණය කිරීම සඳහාය.
මෙම ධ්‍යානි බුදුන් වෙතින් කුරුකුල්ලා, මහා මයූරී වැනි දෙවඟනන් පහළ වූ බව කියැවේ.
භක්ති මාර්ගය වර්ධනය වෙමින් පැවැතුණු ක්‍රි.ව.8 වැනි සියවස පමණේ දී අමෝඝසිද්ධ වන්දනාව ආරම්භ විය.
(සංස්කරණය:1963)