අඹ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
E-25.jpg
(මන්ගිෆෙරා ඉන්ඩිකා - Mangifera indica L.) නිවර්තන කලාපයේ වැවෙන පලතුරු අතුරෙන් හොඳ අඹ තරම් ප්‍රණීත ඵලයක් නොමැති තරම්ය. 'ඉන්දියාව හා අග්නිදිග ආසියාව ජන්ම භූමි කොටගත් අඹ ගස එම රටවල පමණක් නොව ලංකාවේ ද ඈත අතීතයේ පටන් වවා තිබුණු බවට සාක්ෂි එමටය. මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් දක්වා උස් ප්‍රදේශවල වැවෙන අඹ ගස තද පලාවන් කොළවලින් ගහන වූ තරමක් ලොකු ගසකි. අඹ ගසේ දළු තඹ පැහැයෙන් යුක්තය. කොළ අඟල් 8ක් පමණ දිගය. අතු කෙළවර පිහිටි සංයුක්ත ඒකාක්ෂවල (panicles) සුදට හුරු මල් අධිකව හට ගනියි. මලේ දල 4 හෝ 5 ද රේණු 4 හෝ 5 ද විය හැකිය. මේවායින් එකක් සරු රේණුවකි. අනික් ඒවා හීන වූ කෙටි සූත්‍රිකා පමණකි. මාංසල මණ්ඩලයක් උඩ ඩිම්බකෝෂය (ovary) පිහිටා තිබේ. ඵලය අෂ්ටිලයකි (drupe). නොයෙක් ප්‍රමාණයේ ඵල දක්නට ලැබේ.
E-26.jpg

සාමාන්‍යයෙන් අඹ මල් පෙබරවාරි සිට අප්‍රියෙල් දක්වා පිපී එයින් මාස තුනක් පමණ ගත වූ පසු ඵල හටගනී. සමහර ගස්වල අවුරුද්දට දෙවරක් ඵල හට ගනී. දෙවැනි වර ඵල හටගන්නේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී ය.

අඹ ප්‍රභේද කිහිපයකි. ඒවායේ ඵලවල හැඩය ද ප්‍රමාණය ද රසය ද වෙනස් වේ. මේ ප්‍රභේදවලට නොයෙක් නම් දී ඇත. සමහර විට එක් ප්‍රභේදයක් නම් කීපයකින් හඳුන්වනු ලැබේ. යාපනේ අඹ, පොල් අඹ, අල්ෆොන්සෝ අඹ, බෙට්ටි අඹ හෙවත් බොම්බායේ අඹ, ගිරා අඹ, කොහු අඹ, වලු අඹ හා මී අඹ ලංකාවේ වැවෙන අඹ ප්‍රභේදවලින් සමහරකි.

අඹ ලීය තරමක් මෘදුය. එය වැඩි කලක් පවතින්නේ නැත. නොයෙක් බඩු ඇහිරීමට යොදනු ලබන පෙට්ටි සෑදීමට අඹ ලෑලි පාවිච්චි කරනු ලැබේ.

අඹ ගස් සාමාන්‍යයෙන් ප්‍රචාරණය කරනු ලබන්නේ ඇටවලිනි. ඇතැම්විට බද්ධයෙනුත් (බද්ධය (බ.)) අංකුර බද්ධයෙනුත් (අංකුර බද්ධය (බ.)) අඹ පැළ ප්‍රචාරණය කරනු ලැබේ.

ඇටඹ (බ.) මන්ගිෆෙරා සෙලනිකා නමින් හැඳින්වෙන වෙනත් විශේෂයකි. අඹ අනකාඩි යාසේ (බ.) කුලයට අයත් ශාකයකි.

ආයුර්වේද මතය: අඹ මල් ශීත වීර්යයි; රුචි කාරකයි; ධාරකයි; වායු වඩයි; අතීසාර, සෙම්, පිත්, ප්‍රමේහ හා රක්ත දෝෂ නසයි. ළපටි අඹ ගෙඩි කසට සහ ඇඹුල් රසයි. රුචි කාරකයි; වායු සහ පිත් වඩයි. අමු අඹ බෙහෙවින් ඇඹුල් රසයි; රූක්ෂයි; තිදොස් උපදවයි; ලෙය දූෂණය කරයි. අමු අඹ ගෙඩිවල ලෙල්ල ඉවත් කොට පෙති ගසා අව්වේ තබා වියළා ගත් කල ඊට "ආම්‍රපේශී" යයි කියනු ලැබේ. ආම්‍රපේශී ඇඹුල් මිහිරි හා කහට රසයෙන් යුක්තයි; මල භේදය කරයි; වා සෙම් නසයි; උෂ්ණයි. ඉදුණු අඹ මධුර රසයෙන් යුක්තයි; ශුක්‍ර මාංස වඩයි; සිනිඳුයි; බල කරයි; සුව දෙයි; ගුරුපාකයි; වාතය නසයි; හෘදයට හිතයි; ප්‍රසාදය කරයි; ශීතවීර්යයි; කුසගිනි හා සෙම් වඩයි.

අඹ කෑමෙන් අග්නිමාන්ද්‍ය, විෂම ජ්වර, ලේ නරක්වීම, මලබද්ධය හා ඇස් රෝග උපදවයි. එහෙයින් බහුල වශයෙන් අඹ කෑම ශාස්ත්‍රයෙහි වළක්වා ඇත්තේය. මේ වැළැක්වීම ඇඹුල් අධික වූ අඹ ගැන බව දත යුතුයි. බෙහෙවින් අඹ කෑමෙන් වන උපද්‍රවයන් සිද්ධිගුරු කකාළ කෂාය පානයෙන් සන්සි‍ඳේ. සුවස ලුණු සමඟ දුරු චූර්ණය ද ප්‍රශස්තයි. ඉදුණු අඹ මිරිකා යුෂ වස්ත්‍රයක ආලේප කොට අවවේ වේළා නැවත නැවතත් ඊපිට අඹ රස ආලේප කොට වියළා ඝන වූ කල සකස් කර ගනු ලබන ද්‍රව්‍යයට ආම්‍රාවර්ත යයි කියනු ලැබේ. මේ ආම්‍රාවර්ත සේවනයෙන් වමන වායු පිත් උපද්‍රව නැසේ. රුචිකාරකයි. අඹ ඇට ඇඹුල් මිශ්‍ර කසට රසයෙන් හා මධුර රසයෙන් ද යුක්ත වේ. ප්‍රමේහ වමන අතීසාර හෘදයදාහ නසයි. අඹ දළු රුචිකාරකයි; සෙම් පිත් නසයි.

කොහු අඹ නොහොත් වල් අඹ කුෂ්ඨ, ශෝථ, රත්පිත්, සෙම් නසයි. නොපැසුණු අඹ මල මූත්‍ර ධාරකයි; වායු නසයි; අම්ල රසයි; උෂ්ණවීර්යයි; ගුරුයි; පිත් වඩයි. ඉදුණු ගෙඩි අග්නිදීපනය කරයි; රුචි ජනකයි; ලඝුයි; උෂ්ණවීර්යයි; වා සෙම් නසයි.

අඹ වැවීම: ලංකාවෙහි වැඩි වශයෙන් අඹ වවනුයේ ගෙවතුවලයි. එහෙත් මෙරට වියළි කලාපයෙහි විශාල වශයෙන් අඹ වැවීම ලාභ ගෙන දෙන්නක් බව සොයාගෙන තිබේ.

ගල් සහිත වූ ද දිය සීරාව තදින් ඇත්තා වූ ද පහත් වූ ද නිසරු වූ ද බිම්වල හැර සෙසු බිම්හි අඹ වැවිය හැකිය. ඉතා සරු වූ හෝ මැටි සහිත වූ පස අඹ වැවීමට නුසුදුසුය. එවැනි පසෙහි කොළ මිස ගෙඩි හට නොගනී. හොඳින් දිය බැස යන වැලි මිශ්‍ර ගැඹුරු පස අඹ වගාවට ඉතා යෝග්‍යය.

අඩි 3,000කට වඩා ඉහළ ප්‍රදේශවල අඹ වැවීම දුෂ්කරය. අඹගස නිවර්තන ගසක් හෙයින් දැඩි ශීතලයට ඔරොත්තු නොදෙන්නේය. මල් පිපෙන විට දිගු වර්ෂා කාලයක් එළඹුණහොත් පරාගණය මැනවින් සිදු නොවීමෙන් ද මල් වේළී යන ඇන්ත්රැක්නෝස් රෝග ඇති වීමෙන් ද හානි පැමිණේ. අඹ ගැට පැසෙන කාලයේ දී වැස්ස ඇති වුවහොත් ගැට කුණු වීමෙන් ද ගෙඩි විදින මැස්සන් බෝවීමෙන් ද හානි සිදු වේ.

අඹ ප්‍රභේද සිය ගණනක් ඇත. වෙළඳ වටිනාකමක් තිබෙන්නේ මේවායින් කිහිපයකට පමණකි. ලංකාවෙහි වැවීමට සුදුසු ප්‍රභේද නම් යාපනේ අඹ, කරුත කොලොම්බන්, අම්බවි, විලාඩ්, නීලම් සහ පීටපසන්ද්ය. වියළි වාතය ඇති යාපනේ අර්ධද්වීපයේ සශ්‍රීකව වැඩෙන දිල්පසන්ද් අඹ අනෙක් ප්‍රදේශවල දී ගසෙහි ම කුණු වන්නේ ය. මනා රසක් ඇති ලොකු වටකුරු ගෙඩි සෑදෙන පොල් අඹ කුරුණෑගල ප්‍රදේශයෙහි සුලභය. පොල් අඹ ගස් පීදෙන්නේ සෑහෙන කාලයකට පසුය. සමහර විට ගෙඩි සෑදෙන්නේ අවුරුද්දක් ඇර අවුරුද්දකය. අල්ෆොන්සෝ ඇතුළු පිටරටින් ගෙන්වන ලද ප්‍රභේද කිහිපයක් ම වෙළඳ ද්‍රව්‍යයක් වශයෙන් මෙහි වැවීමට නුසුදුසු බව සොයාගෙන තිබේ.

ලංකාවෙහි ඉතා ම ජනප්‍රිය අඹ වර්ගය යාපනේ අඹයි. තෙත් කලාපයෙහි දක්නට ලැබෙන යාපනේ අඹ ගස්වලින් වැඩි හරියක් ඇටවලින් බෝකර ගන්නා ලද ඒවාය. එහෙත් සංසේචනය හේතුකොටගෙන ඇති වන ලිංගික කලලය වෙනුවට වර්ධකව කුක්ෂියෙන් ඇති වන කලලයන් ඇත්තාවූ බහුකලල ඇටවලින් බෝකර ගන්නා හෙයින් ඒ හැම ගසක් ම පාහේ මුල් ගසේ ස්වරූපයට හුරුය.

මල් දරන කාලයේ දී අනෙක් ඒවාට වැඩියෙන් වැස්සට ඔරොත්තු දීමට යාපනේ අඹවලට පිළිවන. එසේම ඉත්තක තිබෙන හොඳ මල් සංඛ්‍යාව වැඩි හෙයින් පල බහුල වේ. වැඩියෙන් ගෙඩි හට නොගන්නා ජහන්ගීර් නමැති ප්‍රභේදයෙහි ඉතිවල වැඩි වශයෙන් තිබෙන්නේ පිරිමි මල්ය.

යාපනේ අඹ ගෙඩියක් තරමින් මධ්‍ය ප්‍රමාණ වේ. එය ඉදෙන විට ලක්ෂණ පාටක් ඇති වන්නේ නැත. එහෙත් මදය ලක්ෂණය; කොහු රහිතය; ඊට ම විශේෂ යයි කිවයුතු රසකින් යුක්තය. ටින්වල ඇහිරීම සඳහා යාපනේ අඹ අනර්ඝය.

යාපනේ අඹවලට ළඟ නෑකමක් ඇති කරුත කොලොම්බන් යනු තවත් බහුකලල ප්‍රභේදයකි. මෙහි ගෙඩි යාපනේ අඹවලට වඩා මඳක් ලොකුය. ඉදෙන විට ලක්ෂණ රතු පාටක් ඇති වේ. මේ ගස් විශාලය; ළපටි කොළ තද පාටය. මේ ප්‍රභේදය ඇතැම් ගස් වැහි කාලයේ දී කොහු සහිත ගෙඩි ඇති කරන හෙයින් හිටවීමට සුදුසු ගස් පරිස්සමින් තෝරා ගත යුතුය.

අම්බලවි යනු අවශ්‍යයෙන් ම වියළි කලාපීය ‍ප්‍රභේදයකි. මේ ගෙඩියෙහි කෙළවර ගිරා හොටක් වැනිය. ඉදෙන විට ගෙඩිය රතු වේ. එහි ඇටයෙහි එක කලලයක් පමණ තිබෙන හෙයින් ඉන් ලැබෙන පැළ බාලය.

විලාඩ් යනු මුරිසියෙන් ගෙන්වන ලද්දකි. එය ලංකාවෙහි දී ඉතා ම හොඳට ඵල දරන්නේය. විලාඩ් අඹ ගස කුඩාය; ගෙඩි ද ලොකු නොවේ. මේ ගෙඩි මෝරන විට අව්ව වැටෙන පැත්තෙහි ලේ පාටට හුරු නිල්පාටක් ඇති වේ. ප්‍රමාණය ඉක්මවා ගෙඩි හට ගැනීම හේතුකොටගෙන ගෙඩි කුඩා වන හෙයින් ගැට ඇති වුණ විගස ඉන් විශාල ප්‍රමාණයක් කඩා විනාශ කිරීමට සිදු වේ.

නීලම් යනු ප්‍රසිද්ධ ඉන්දියානු ප්‍රභේදයකි. එය වියළි සහ තෙත් යන කලාප දෙකෙහි ම හොඳින් වැවේ. මේ ගෙඩි ද පැහෙන විට රතට හුරු වන්නේය.

පීටපසන්ද් යනු තෙත් කලාපයට සුදුසු අනෙක් ඉන්දියානු ප්‍රභේදයකි.

බෝකර ගැනීම: කැරබෝ, නෙට්ටි, කෙංසිංටන් සහ යාපනේ අඹ වැනි බහුකලල ප්‍රභේද ඇටවලින් බෝකර ගැනීමට පිළිවන. එහෙත් මේ පැළ පිදීමට කල් යයි. බෝකර ගත හැකි හොඳ ම ක්‍රම නම් වල් අඹ හෝ කොහු අඹ ග්‍රාහක කඳන්වලට අංකුර හෝ රිකිලි හෝ බද්ධකර ගැනීමයි. සකසා ගන්නා ලද පෝකාට් ක්‍රමයක් වන H ක්‍රමයට අංකුර බද්ධ කිරීමෙන් තෙත් සහ වියළි කලාප දෙකෙහි දී ම හොඳ ප්‍රතිඵල ලද හැකිය. එහෙත් වියළි කලාපයෙහි දී ජල සම්පාදනය කිරීමෙන් මාස තුන හතරක් වයසැති පැළවල පැළුම් රිකිලි බද්ධයෙන් මනා ප්‍රතිඵල ලද හැකිය.

අංකුර බද්ධ කරන ලද පැළ පහසුවෙන් උණ පුරුක්වල සිටුවිය හැකිය. එහෙත් එසේ කිරීමට සති හයකට පමණ ඉහත දී අඟල් 9ක් පමණ යටින් පැළයේ මුදුන් මුල කපා දැමිය යුතුයි.

සිටවීම: පැළ සිටවීම කළයුත්තේ මෝසම් කාලය ඇරඹෙනවාත් සමඟය. අඩි 40 × 40 දුරින් සිටවීම බොහෝ ප්‍රභේදවලට සෑහේ. එහෙත් විලාඩ් සහ අම්බලවි ගස් කුඩා හෙයින් අඩි 35 × 35 ට සිටවිය හැකිය. අඹ පැළ වැඩීගෙන යන අතර ඒ අතරෙහි බොම්බේ කව්පී, මුං ඇට ආදිය අවුරුදු ගණනක් ම වැපිරිය හැකිය. ග්‍රාහක ක‍ඳෙන් අතු ලියලීම වැළැක්වීමට ද වැඩිපුර හිරුඑළිය සහ වාතය ලැබෙන පිණිස යම්තම් අතු ඉවත් කිරීම පිණිස ද කප්පාදු කිරීම් කළ යුතුය.

ළපටි ගස්වලට අවුරුද්දට ‍ගොම කූඩා 4ක් 5ක් දැමීම සුදුසුය. ගෙඩි සෑදෙන ගස්වලට ඊට අමතරව ඇට කුඩු රාත්තල් 15ක් පමණ ද අළු රාත්තල් 10ක් පමණ ද දැමිය යුතුය.

රෝග සහ උවදුරු: අඹ ගස්වලට ඉතා දරුණු හානි පමුණුවන මැස්සෙක් සිටී. ඌ ආශ්‍රයෙන් බෝවන පුස් විශේෂයක් ද ඇත. එම මැස්සා බෝවීම හේතුකොටගෙන ගෙඩි නොසෑදී යන්නේය. ගෙන්දගම් කුඩු හා ගැමෙක්සීන් මිශ්‍රණයක් ඉසීමෙන් ඌ වඳ කළ හැකිය.

වැහි කාලයේ දී මල්, ගැට සහ පැහෙන ගෙඩි නරක් කර වන ඇන්ත්රැක්නෝස් නම් දරුණු රෝගයක් ද අඹවලට වැල‍ඳේ. මල් පිපීමට ස්වල්ප කාලයකට කලින් ද ඊට පසු සතියකට දෙතුන් වාරයක් ද බෝඩෝ මිශ්‍රණය (3-3-50) ඉසීමෙන් මේ රෝගය වැළැක්වීමට පිළිවන.

(රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපියක් ආශ්‍රයෙනි.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඹ&oldid=3509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි