අඹවිදමන-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නාට්‍ය ස්වරූපයෙන් දැක්වෙන අඹවිදමන පන්තිස් කෝල්මුර නම් වූ පූජාවිධි සමූහයට අයත්ය. අඹවිදමනෙන් දැක්වෙන්නේ පත්තිනි දෙව්දුවගේ උත්පත්ති කථාවයි. පඬි රජුගේ උයනෙහි අලංකාර අඹයක් වී ඈ උපන්නාය.

නමින් පසිඳු දඹදිව් තල පඬිපුර රජකළ නිරිඳු ට

යොදුන් ගණන් අඹ උයනක් විය එහි මැද සැදුණු යස ට

ඇසින් බලා බැරි නිමවනු රන් කඳවෙයි ගහේ පා ට

ගොසින් පතිනි එ අඹ ගහේ අඹයක පිළිසිඳ එම වි ට

තෙදරැස් විහිදෙන මේ අරුම පුදුම අඹය රජුට ගෙනගොස් දුනහොත් තෑගි බෝග හා ප්‍රශංසා ලැබිය හැකි බව උයන්පල්ලාට වැටහෙයි. එහෙත් අඹය කැඩීම සඳහා ඔහු එල්ල කළ ප්‍රයත්න නිෂ්ඵල වෙයි. ඉන්පසු හෙතෙමේ වළල්ලක් දෙපය දවටා අඹ ගසට නැඟීමට තැත් කරයි. එය ද නොහැකි වෙයි. සුන් වූ බලාපොරොත්තු ඇති හේ බිය පත් වී පඬි රජු වෙත ගොස් උයනෙහි අරුම පුදුම අඹයක් හැටගෙන ඇතැයි දන්වයි. රජ තම ඇමතියන් කැඳවා අඹය බැලීමට යයි. එය කඩා ගැනීමට ඔවුන් දරන ප්‍රයත්නය නිෂ්ඵල වෙයි. ඉන්පසු පිරිස් කැටුව යන රජ ද අඹය කැඩීමට අපොහොසත් වෙයි. පොරොවින් අඹ ගස කපා හෙළන්ට තැත් කරන විට විදුලි කොටන්නාක් මෙන් ගසින් ගිනිපුපුරු විසිවෙයි. මේ අවස්ථාවේ දී හැරමිටියක් ද රැගත් කඩමාලු හැඳගත් හිඟන්නකුගේ වෙස් ගෙන ශක්‍රයා උයනට පැමිණ අඹය කඩා දෙන්ට ‍පුළුවන් බව දන්වයි. රැස්ව සිටි පිරිස ඒ බව රජුට සැලකරති. ශක්‍ර වෙස් ගත් කපුරාළ බෙර පදයට අනුව ගමන් කරමින් අඹයට විදින්ට සැරසෙත් ම, අඹය විදිනු දැකීම සඳහා පඬි රජ උඩ බලයි. සෙණහඬ දී අඹය නැට්ටෙන් වෙන් වූ අතර අඹ නැට්ටෙන් වැගිරෙන යුෂ බිඳක් රජුගේ ඇසෙහි වැටී ඇස අන්ධ වෙයි.

කලක් පවත්නා අණසක ගුවනේ කැරකී තිබෙන් ට

උලක් ඇන්න ලෙස අඹ කිරි වැටුණේ පඬි නෙත මැකෙන් ට

එයින් බිය පත් වූ රජ අඹය රන් ඔරුවක තබා කාවේරි නදියේ පාකර හරින ලෙස අණ කරයි. ග‍ඟේ පාවී ගිය ඔරුව මානායර නම් ධනවත් වෙළෙඳකුටත් ඔහුගේ භාර්‍ය්‍යාව වන මරක්කාලිටත් හමුවෙයි. ඔවුහු අඹය රැගෙන ගොස් රන් බඳුනක බහා තබත්. ස්වල්ප දිනකට පසු ශක්‍රයා ඔවුන් ඉදිරියට පැමිණ තමා අඹයක් සොයා ඇවිදින බව කියයි. තමන්ට ලැබුණු අඹය ගැන සිහිවී එය ගෙන ඒමට යන වෙළෙන්දා හා ඔහුගේ බිරිය අඹය වෙනුවට බඳුනෙහි දකින්නේ බිළිඳු කුමාරිකාවකි. ඔවුන් විසින් ඇති දැඩි කරනු ලැබූ එම දැරිය ශෝභාසම්පන්න වූ ද ගුණවත් වූ ද කුමරියක් වූවාය. සුදුසු වයසට පැමිණි විට ඈ පාලඟ නම් කුමාරයකු සමඟ විවාහප්‍රාප්ත වූවාය.

සුද්ද පතිනි රන් කළසේ පුන්සඳ මෙන් වැඩී යස ට

ළමා වයස පසුවුණු කල සැලවී පාලඟ සරණෙ ට

ප්‍රධාන කථා ශරීරය මෙය වුව ද රඟපෑමේ විස්තර අතින් ඒ ඒ පළාත්වල කථාවස්තුවෙහි සුළු‍ වෙනස්කම් දක්නා ලැබේ. රබලිය පළාතේ, හාස්‍යෝත්පාදක ගද්‍ය සංවාදයක අනුසාරයෙන් රඟ දැක්වෙන කථාව, අඹය විදීමට ස්වල්ප වේලාවකට පළමුව පද්‍ය මාධ්‍යය ගනී; අඹ විදමනේ කව් ගායනා කිරීම ආරම්භ වෙයි. හිඟන්නකුගේ වෙස්ගෙන පැමිණෙන ශක්‍රයා සබයට ඇවිත් නොයෙක් උසුළු විසුළු කරමින් සිට, අඹය විදීමේ අවස්ථාව දැක්වෙන කවිය ආරම්භ වෙන විට, ඉදිකරන ලද තොරණ වෙත එළඹ එහි එල්ලා තිබෙන රිදී අඹවල්ලට විදියි. අඹය විදීම නාට්‍යයේ උච්චාවස්ථාව වුව ද කපුරාළලා තවදුරටත් ගායනාව කරගෙන යති.

බෙරලපනාතර පළාතේ මෙය කෙරෙන්නේ මීට මඳක් වෙනස් අන්දමිනි. අඹ අත්තක් මැද සැඟවුණු රිදී අඹ වල්ලක් මඩුවේ වහලේ එල්ලනු ලැබේ. රඟ මඬලේ අසුනක හිඳගත් එක් නළුවකුගේ නළලෙහි ඇසක් ඇඳ තිබේ. ඔහු පඬිරජය. රජුගේ උයන්පල්ලා මෙන් සැරසුණු කපුරාළ සබයට එයි. රජුගේ උයනෙහි හටගත් අරුම පුදුම අඹය ගැනත් තමා එය කැඩීමට තැත්කළ අයුරුත් එම ව්‍යායාමය නිෂ්ඵල වූ අයුරුත් ඔහු කවියෙන් කියයි. ගද්‍යයෙන් ද තේරුම් කරයි. අඹය කැඩීමට වහලට නඟින්ට තැත් කරන කපුරාළ බිමට ලිස්සා වැටීම ආදි නොයෙක් අවස්ථා නරඹන්නන්ගේ හාස්‍යයට හේතු වේ. අන්තිමේ දී කපුරාළ මහලු හිඟන්නකුගේ වෙස් ගත් ශක්‍රයා ලෙස සැරසී දුනු හී රැගෙන අඹය විදීමට එයි. ඔහු බිම ඉඳගෙන අඹයට විද ඉන්පසු නැවත කපුරාළගේ වෙස් ගෙන නරඹන්නන්ට සෙත් වඩයි.

අඹ විදමන සාමාන්‍යයෙන් සැලකෙන්නේ පත්තිනි දෙව්දුවගේ උත්පත්ති කථාව මෙනි. එහෙත් මානව විද්‍යාඥයා ජනයා අතර පවතින ජනකථා, දේවකථා හා වෙනත් මිථ්‍යාකථා ලේසියෙන් බැහැර නොකරයි. සමාජයට ඒවා අර්ථාන්විත වන්නේ කෙසේදැයි සොයන්ට තැත් කරයි. මේ අන්දමින් සලකන කල්හි අඹ විදමනෙහි සමාජ අර්ථය මේයයි සිතිය හැකියි:-

අඹ විදමන වනාහි රජුගේ ඒකාධිපතිත්වයට හා දේවත්වය ආරූඪ කරගැනීමට විරුද්ධත්වය පළකිරීමකි. පඬිරජුගේ නළලෙහි වූ ඇස එම ඒකාධිපතිත්වය හා දේවත්වය හඟවන සංකේතයක් වැනිය. අඹ විදමන 14 වැනි ශතවර්ෂයෙන් පසුව ඇතිවී යයි ද, එය ඉන් පෙර වූ මූහමල විදීම නම් වූ පූජාවිධියක් වෙනුවට ඇතිවී යයි ද සිතන්නට ඉඩ තිබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඹවිදමන-2&oldid=2288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි