අය'ටන්, එඩ්වඩ් ආර්.
(Ayrton). (1882-1914) ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ඉංග්‍රීසි ජාතිකයෙකි. එච්.සී.පී.බෙල් මහතා ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය උසුලන කාලයේ දී අය'ටන් මහතා ඔහුගේ සහකාර නිලධාරි තැන වශයෙන් කටයුතු කෙළේය. බෙල් විශ්‍රාම ලැබීමට කලින් නිවාඩු ගත් තුන්මස් කාලය ඇතුළත කොමසාරිස් ධුරයෙහි වැඩ බැලූ අය'ටන් 1912 දෙසැම්බර් 8 වෙනි දින ස්ථිර වශයෙන් එම පදවියට පත් විය.
ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳීමට පෙර මොහු එංගලන්තය, ජර්මනිය, මිසරය හා ඉන්දියාව යන රටවල පුරාවිද්‍යා කටයුතු පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබීය. මිසර දේශයේ බිබාන් එල්-මුලුක්හි කරන ලද පුරාවිද්‍යා කටයුතුවල දී මහාචාර්‍ය්‍ය නෙවිල් සහ තියඩෝර් ඩේවිස් යන පුරාවිද්‍යාඥයන් හා එකට කටයුතු කළ අය'ටන් මිසර චිත්‍රලේඛන විද්‍යාව ද මැනවින් හැදෑරුවෙකි. මිසර පුරාවිද්‍යා සඟරාවේ පළ වූ මරණ දැන්වීමක අය'ටන් තරුණ පෙළේ මිසර පුරාවිද්‍යාඥයන් අතුරෙන් උදාර සේවයක් ඉටු කිරීමේ පෙරනිමිති බෙහෙවින් ම පහළ කළ තැනැත්තකු වශයෙන් හඳුන්වයි.
බෙල් විසින් අරඹන ලද පුරාවිද්‍යා කටයුතු සාර්ථක ලෙස පවත්වා ගෙන ගිය අය'ටන් තමා කටයුතු කළ ස්වල්ප කාලය තුළ ලංකා පුරාවිද්‍යාවට අගනා සේවයක් ඉටු කළේය. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, යාපහුව වැනි රාජධානිවල නටබුන් ස්ථාන හෙළිපෙහෙළි කිරීම හා කැණීම, පැරණි ගොඩනැඟිලි හඳුනාගැනීම හා ඒවායේ සංරක්ෂණ සහ පාලන කටයුතු අය'ටන් විසින් ක්‍රමවත් ලෙස කරගෙන යන ලදි. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාවක් ද ඔහු අතින් පිළියෙල විය. (ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව, 1912-13). "රතන පාසාදය" හා "තපෝවන ආරාම" ගැන පළමුවරට ශාස්ත්‍රීය පුරාවිද්‍යාත්මක සංග්‍රහයක් (Memoirs of the Archaeological Survey of Ceylon, Vol. I.) මුද්‍රණය කිරීම පිණිස අය'ටන් විසින් සටහන් සකස් කරන ලද නමුත් ඔහුගේ අකාල මරණය නිසා එය ඇණ හිටියේය. ඔහුගෙන් පසු පුරාවිදු අදිකාරි බවට පත් හෝකාට් මහතා විසින් 1924 දී එම සංග්‍රහය ප්‍රකාශයට පමුණුවන ලදි.
අය'ටන්ගේ පර්යේෂණ අතුරෙන් ඉතා වැදගත් සේ ගැණෙනුයේ අනුරාධපුරයෙහි පිහිටි, සිව්වැනි මිහිඳු රජු (ක්‍රි.ව.956-972) විසින් ප්‍රතිසංස්කරණය කරවන ලද දළදා මන්දිරය නියම වශයෙන් හඳුනා ගැනීමයි. ඊට පෙර දළදා මැඳුර වශයෙන් වරදවා හඳුන්වන ලද්දේ ථූපාරාම චෛත්‍යය අසල පිහිටි කුඩා ගොඩනැඟිල්ලකි. කනිට්ඨ තිස්ස රජු (167-186) විසින් අභයගිරි විහාරයේ උපෝසථාගාරය ලෙස කරවන ලද රතනපාසාදය ද අය'ටන් විසින් හඳුනාගන්නා ලදි. ඒ මහතා විසින් මෙහි කරන ලද පුරාවිද්‍යා කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් රතනපාසාදය පිහිටියේ ගජබා රජුගේ කාලයට (ක්‍රි.ව.114-136) අයත් පැරණි ගොඩනැඟිල්ලක් මත බව ද හෙළි විය. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි මාළිගා නමින් දන්නා ගොඩනැඟිලි කීපයක් ද අය'ටන් විසින් කණින ලදි. මේවා ගැන ක්‍රමවත් පර්යේෂණ පැවැත්වූ හෙතෙම ඒ ගොඩනැඟිලි "මාළිගා" නොව තපෝවනයෙහි පාංශුකූලික භික්ෂූන් සඳහා ඉදිකරන ලද ආරාම යයි තීරණය කෙළේය. රතනපාසාදය හා තපෝවන ආරාම පිළිබඳ සම්පූර්ණ විස්තර හා බිම් සැලැසුම් අය'ටන් විසින් පිළියෙල කරන ලද සංග්‍රහයෙහි ඇතුළත් වේ. ඉහත දැක්වූ පුරාවිද්‍යා කටයුතු හැරුණු විට "දුටුගැමුණු සොහොන" යයි නම් ලද ගොඩනැඟිල්ල කැණීම හා අනුරාධපුර පැරණි නගරය වටේ පිහිටි ප්‍රාකාරය කැණීම ද අය'ටන් අතින් සිදු වූ විශිෂ්ට සේවාවෝයි. අනුරාධපුර සමයට අයත් ගොඩනැඟිලි කිහිපයක ම නිර්මාණ සමයයන් අනුක්‍රමයෙන් දක්වන්නට හැකිවීම කරණකොටගෙන ද අය'ටන් ට විශේෂ ගෞරවයක් හිමි වේ. "දුටුගැමුණු සොහොන" සොහොනක් නොව පොළොන්නරු යුගයට අයත් ආගමික ගොඩනැඟිල්ලක් බව අය'ටන් තීරණය කෙළේය. අභාග්‍යයකට මෙන් මේ ස්ථානය හා නගර ප්‍රාකාරය පිළිබඳව ඔහු විසින් සපයන ලද සටහන් අවශිෂ්ට වී නොමැතියි. අනුරාධපුරයේ ඇතුළු නගරය කැණීමේ දී එහි රාජධානි සමයෙන් මෑත යුගයට අයත් ගෙවල් පෙළක නෂ්ටාවශේෂයන් අතර තිබී කැටයමින් අලංකාර කරන ලද කුරුසියක් ද අය'ටන් ට සම්බ විය. එය පෘතුගීසි සමයට අයත් එකක් විය යුතුය යනු ඔහුගේ නිගමනය වූයේය. දකුණු පළාතෙහි පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදී සිටි අය'ටන් මහතා 1914 මැයි මස 18 වැනිදා තිස්සමහාරාම වැවේ ගිලී අකල් මරණයකට ගොදුරු විය.
(සංස්කරණය:1963)