අයන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අයන ශබ්දය ගමන, මාර්ගය, මාස හයක කාලය, රක්ෂාස්ථානය ආදි අර්ථයන්හි වැටේ. මෙහි අයන යනුවෙන් ජ්‍යොතිශ්ශාස්ත්‍රයෙහි උගන්වන පරිදි හිරුගේ ගමන් මාර්ගය අදහස් කෙරෙයි. එය දෙයාකාරය. උත්තරායණ දක්ෂිණායන වශයෙනි.මකර රාශියේ පටන් මිථුන රාශියේ අවසානය දක්වා ඇති රාශි සයෙහි හිරු ගමන් කරන කාලය උත්තරායණ නමින් ද කටක රාශියේ පටන් ධනු රාශ්‍යන්තය දක්වා ඇති රාශි සය හිරු වළඳන කාලය දක්ෂිණායනය නමින් ද ජ්‍යෝතිෂ ශාස්ත්‍රයෙහි සඳහන් වේ. උත්තරායණ කාලයෙහි සූර්‍ය්‍යයා නාඩි වෘත්තයෙන් උතුරෙහි භ්‍රමණය වන බැවින් ඊට උත්තරායණ යන නම යොදා තිබේ. දක්ෂිණා යන කාලයෙහි රවි නාඩි වෘත්තයෙන් දකුණෙහි භ්‍රමණය වන බැවින් ඒ කාලයට ඒ නම දී තිබේ. ශුභ ග්‍රහයන් උත්තරායණයෙහි ද පාප ග්‍රහයන් දක්ෂිණායනයෙහි ද බලවත් වන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි දැක්වේ.

උත්තරායණයෙහි හිරු කලා විස්සක් වැළඳූ සමය ද දක්ෂිණායනයෙහි හිරු නිරංශවූ දිනාන්ත සමය ද පුණ්‍යකාල වශයෙන් සලකති. උත්තරායණය දෙවියනට දිවාකාලය ද දක්ෂිණායනය නිශාකාලය ද වේ යයි සලකති. හිරු උත්තරායණයෙහි ගමන් කරන කල්හි ගෘහප්‍රවේශ, විවාහාදී ශුභකර්ම ද දක්ෂිණායනයෙහි හැසිරෙන කල වෙනත් කටයුතු ද කිරීමට නියමිතය.

කල්පාරම්භයේ දී අස්විද නැකතේ මුල හා මේෂ රාශි ආරම්භය ද එක ම රේඛාවකට කෙළින් පිහිටි නමුදු රාශිචක්‍රයේ භ්‍රමණයන් තාරකා චක්‍රයේ නිශ්චලභාවයත් හේතුකොටගෙන මේ ස්ථාන දෙක අතර අවුරුදු පතා විකලා 50.26ක පමණ පරතරයක් ඇති වේ. මීට අයන හෙවත් අයනාංශක යන නම ව්‍යවහාර වේ. මෙපරිද්දෙන් එකතු වී සෑදුණ අයනාංශක ප්‍රමාණය වර්ෂයක් පාසා පංචාංග ලිත්වල ඇතුළත් කර තිබේ. මුල් කාලයේ දී අයනයන්ගේ අභාවය නිසා නිරයණ මේෂාදි වශයෙන් ව්‍යවහාරයෙහි පැවැත්තේය. නිරයණ ග්‍රහස්ඵුටයක් සෑදූ කල ග්‍රහයා සිටින නියම ස්ථානය නොලැබෙන බැවින් ඒ වර්ෂයට අයත් අයනාංශ ප්‍රමාණය ඊට එකතු කිරීමෙන් සායන ග්‍රහස්ඵටය හෙවත් ග්‍රහයා සිටින නියම ස්ථානය නිශ්චය කරනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයන&oldid=2294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි