අයනය-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ion). තනි පරමාණුවකට හෝ අණුවක් සෑදීම සඳහා එක් වන පරමාණු කාණ්ඩයකට හෝ වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් හෝ ඉලේකට්‍රෝන කීපයක් ලැබීමේ හේතුවෙන් එසේ නැතහොත් එවැන්නකින් ඉලෙක්ට්‍රෝන එකක හෝ ඉලේකට්‍රෝන කිහිපයක් ඉවත් වීමේ හේතුවෙන් එකී පරමාණුවට හෝ පරමාණු කාණ්ඩයට විද්‍යුත් ආරෝපණය (electric charge) වීමෙන් අයනයක් සෑදෙයි. මෙසේ අයනය වනාහි විද්‍යුදාරෝපිත පරමාණුවකි. නැත් නම් එසේ වූ පරමාණු කාණ්ඩයකි.

සැලකිය යුතු තරමක බලයක් ඇති X කිරණ වැනි විකිරණ ධාරාවක් ද්‍රව තුළින් හෝ වායු තුළින් හෝ යැවූ විට එහි ඇත්තාවූ පරමාණු අයන බවට පත්වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් සෑදෙන අයන ධන - ආරෝපිත වෙයි. ඉලෙක්ට්‍රෝන එක් වීමෙන් ඍණ - ආරෝපිත අයන සෑදෙයි. සාමාන්‍ය වශයෙන් පරමාණුවක කේන්ද්‍රය සෑදී ඇති න්‍යෂ්ටිය වාට ඉලෙක්ට්‍රෝන ගමන් ගනිමින් සිටී. ඒවා න්‍යෂ්ටිය හා සසඳන විට ඉතා සැහැල්ලුය; ඒවායේ විද්‍යුත් ආරෝපණය ඍණ එකකි. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන එකක් හෝ ඉවත් වූ විට ඍණ ආරෝපණයක් ඉවත් වීමෙන් එම පරමාණුව ධන ආරෝපිත අයනයක් බවට පත් වෙයි. පරමාණුවකට, ඍණ-ආරෝපිත මේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ලැබුණහොත්, එය ඍණ-ආරෝපිත අයනයක් බවට පත් වෙයි. පරමාණු කාණ්ඩයකට ද වන්නේ මෙසේමයි.

ලවණ වැනි ඝන ද්‍රව්‍ය අණුවල කොටස් අයන වශයෙන් ඇත; ඒවා එකට බැඳී තිබෙන්නේ විද්‍යුත්-ස්ථිතික (electro-static) බලවලිනි. මෙවැනි ද්‍රව්‍ය, ජලය වැනි ද්‍රවවල ද්‍රවණය වූ කල එම විද්‍යුත් - ස්ථිතික බලය හීන වී ලවණය අයනවලට විච්ඡේදනය වෙයි. මෙවැනි ද්‍රාවණයක් තුළින් විද්‍යුතයට ගමන් ගත ‍හැකිය. එසේ විද්‍යුත් ධාරාවක් යවනු ලැබූ විට එය විද්‍යුත්විච්ඡේදනයට (electrolysis) භාජන වෙයි. විද්‍යුත්විච්ඡේදනයෙහි දී භාවිත කරනු ලබන කැතෝඩය (බ.) දෙසට ගමන් ගන්නා ධන අයන කැටායන (cations) නමි. ඇනෝඩය දෙසට යන අයන ඇනායන (anions) නමි. සාමාන්‍ය ද්‍රාවණයක කැටායන සහ ඇනායන එක තරමට තිබෙන බැවින් එවැන්නක් විද්‍යුත් - උදාසීන වේ.

ලවණයක හෝ අම්ලයක හෝ ක්ෂාරයක (alkali) හෝ වූ හයිඩ්රජන් නැත්නම් ලෝහ ඛණ්ඩකය ධන අයන දෙන අතර, අලෝහ (nonmetals) ද SO4, OH වැනි ඛණ්ඩක ද ඍණ අයන දෙයි. අයනයක ඇති ආරෝපණ වර්ගය ද එසේ ලැබුණු ආරෝපණ ප්‍රමාණය ද එහි සංකේතය ලියා ඊළඟින් ම මේ ආකාරයට සඳහන් කරනු ලැබේ:- H+, Ca++, Cl-, SO4--, H+ අයනයෙන් ඉලෙක්ට්‍රෝනයක් නැති වී තිබෙන අතර Ca++ අයනය සෑදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් නැතිවීමෙනි. Cl- අයනයට එක ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ලැබී තිබෙන අතර SO4 අයනය සෑදීමට වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබී තිබේ.

ඍණ අයන සහ ධන අයන හැරුණු විට, "ද්විකායනය" (zwitterion) නමින් දන්නා තුන් වැනි වර්ගයක අයනයක් වෙයි. මෙය ඍණ ආරෝපණය ද ධන ආරෝපණය ද යන ආරෝපණ දෙක ම දරයි. ඒවා සාමාන්‍යයෙන් ඇත්තේ දිග දාමයක දෙකෙ‍ළවරෙහිය ; ඇමයිනෝ-අම්ල විශේෂයෙන් මේ සඳහා නිදසුන් වේ. H2NCH2 COOH යන අණුවෙන් H+2N. CH2. CO O- යන ද්විකායනය ලැබෙයි. මෙහි දී COOH ඛණ්ඩකයෙන් ප්‍රෝටෝනයක් ඉවත් වී NH2 ඛණ්ඩකයට සම්බන්ධ වීමෙන් අභ්‍යන්තර ලවණයක් සෑදෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයනය-2&oldid=2297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි