අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඒර). ඒකාබද්ධ රාජ්‍යයේ ම කොටසක් වූ උතුරු අයර්ලන්තය නම් ප්‍රදේශය හැර අයර්ලන්තයේ සෙසු කොටස් අයර්ලන්ත සමූහාණ්ඩු ප්‍රදේශයයි. මෙහි විශාලත්වය වර්ග සැතැපුම් 27,136කි. ඉන් වර්ග සැතැපුම් 536ක් පමණ ගංගා, විල් ආදියට කැප වී තිබේ. අයර්ලන්ත සමූහාණ්ඩුවේ අගනුවර ඩබ්ලින්ය.

භූවිද්‍යාත්මක කරුණු, භූමිලක්ෂණ හා දේශගුණය පිළිබඳව "අයර්ලන්තය" බලන්න.

අයර්ලන්ත සමූහාණ්ඩුවේ ජනගහනය 29,60,593කි (1951). ලෙන්ස්ටර් කවුන්ටිය ආශ්‍රිත නැගෙනහිර බද පළාත්වල වර්ග සැතැපුමකට 175 දෙනකු පමණ වසන අතර සෙසු පළාත්වල ජනගහනය වර්ග සැතැපුමකට 90 දෙනකු පමණ වේ. 1841 සිට 1950 දක්වා ම අයර්ලන්ත සමූහාණ්ඩුවේ ජනසංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වූ බව වාර්ෂික ජනලේඛනයන්ගෙන් පෙනේ. 20 වැනි ශතවර්ෂයෙහි මුල් භාගයේ දී අයර්ලන්ත සමූහාණ්ඩු ප්‍රදේශයෙහි ජන සංඛ්‍යාව 8%ක් පමණ අඩු වී යැයි ගණන් බලා ඇත.

අයර්ලන්ත සමූහාණ්ඩුවේ ජනගහනයෙන් 94%ක් පමණ රෝමානු කතෝලිකයෝය. සෙස්සෝ මෙතෝදිස්ත රෙපරමාදු ආදි වෙනත් ක්‍රිස්තියානි සභාවලට අයත් වෙති.

අයිරිෂ් හා ඉංග්‍රීසි භාෂා අයර්ලන්ත සමූහාණ්ඩුවේ රාජ්‍ය භාෂාය.

ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මෙහි දෙවෙනි ලෝක යුද්ධය නිසා ආර්ථික ක්‍රමය මෙන් ම කෘෂිකාර්මික ක්‍රමය ද මඳක් වෙනස් විය. 1954 දී සම්පාදිත සංඛ්‍යාලේඛනවලින් පෙනී යන අන්දමට අයර්ලන්ත සමූහාණ්ඩුවේ වගා කරන ලද ඉඩම් අක්කර 36,86,456ක් තිබේ. සතුන් ඇතිකිරීම මෙහි ඉතා ම දියුණු කර්මාන්තය වන හෙයින් වගා කරන ලද බිම් පෙදෙසින් වැඩි කොටස සත්වාහාර වැවීම සඳහා යොදා තිබේ. පලතුරු හා හණ වගාකිරීමට ද මනුෂ්‍යාහාර සඳහා බෝග වැවීමට ද යොදා ඇත්තේ වගා කළ බිම් පෙදෙසින් 1/10ක් පමණි.

ඕට්, තිරිඟු, බාර්ලි, ටර්නිප්, ගෝවා සහ හණ සමූහාණ්ඩු ප්‍රදේශයෙහි ප්‍රධාන වැවිලි ය. 1925 දී පමණ බීට් සීනි කර්මාන්තය නඟාලීමට රජය රුකුල් දුන් හෙයින් ඉන් පසුව මෙහි සීනි බීට් වැවීම ද දියුණු විය. ඕට්, අර්තාපල් හා ගෝවා සෑම පළාත්වල ම වවන නමුත් බාර්ලි දකුණු ප්‍රදේශවලට පමණක් සීමාවී ඇත. මධ්‍යම තැනිතලාවේ තණබිම් කිරිපට්ටි පාලනයේ දී ප්‍රයෝජනවත් වෙයි. ඌරන් හා අශ්වයන් ද මෙහි ඇති කරති. මස් පිණිස බටහිර ප්‍රදේශයන්හි ඇතිකරන ගවයන් නැගෙනහිර මීත් ප්‍රදේශයේ සරු තණබිම්වලට යවා තරකර එංගලන්තයට යවත්.

කෘෂිකාර්මික අමුද්‍රව්‍ය ආශ්‍රිත කාර්මික දියුණුවක් අයර්ලන්ත සමූහාණ්ඩු පෙදෙසේ ඇත. ධාන්‍ය පිටි ඇඹරීම ද රසකැවිලි, වෙඬරු, කේජු, උකු කළ කිරි, බීට් සීනි, ජල්ලි වර්ග සකස් කිරීම හා මත්පැන් පෙරීම ද fප්ලැක්ස් හණවලින් රෙදි විවීම හා ලණු ඇඹරීම ද සබන්, ඉටිපන්දම්, කඩදාසි, සපත්තු හා රසායන ද්‍රව්‍ය නිපදවීම ද ප්‍රධාන කර්මාන්තයෝය.

අයර්ලන්ත සමූහාණ්ඩු ප්‍රදේශයේ ඛනිජ නිධි දුලබ නිසා එහි යකඩ හා වානේ කර්මාන්තය වැනි කර්මාන්ත දියුණු නොවීය. දිගු කලක් තිස්සේ කෘෂිකාර්මික නිෂ්පාදතියන් ලෝක වෙළඳපොළට සපයා ඒ පිළිබඳ ප්‍රසිද්ධියක් හා පළපුරුද්දක් ලැබූ නිසා අයර්ලන්ත සමූහාණ්ඩුව එම කෘෂිකාර්මික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත අත්නොහැරීම ද වෙනත් වර්ගයේ කර්මාන්ත දියුණු නොවීමට හේතු වන්නට ඇත.

1925 දී ෂැනන් ගංගාව ආශ්‍රිතව ආරම්භ කරන ලද ජලවිදුලිබල ව්‍යාපාරය ප්‍රදේශයේ කාර්මික දියුණුවට මහත් රුකුලක් විය. ලිfපි, අ'න් ආදි ගංගා කීපයක් ම ආශ්‍රිතව ඉන් පසුව අරඹන ලද ජලවිදුලිබල මධ්‍යස්ථාන රාශියක් ම අයර්ලන්ත සමූහාණ්ඩු ප්‍රදේශයන්හි තිබේ. ඉන්ධන වශයෙන් පීට් යොදා බලය සපයන මෝල් කීපයක් පෝටාලින්ටන්, ඇලන්වුඩ් හා ඩබ්ලින් ආදි ස්ථානයන්හි ඇත.

අයර්ලන්ත සමූහාණ්ඩුවේ ප්‍රධාන වරාය ඩබ්ලින්ය. ඒ හැර කෝක්, ගෝල්වේ, වෝටර්fපඩ් ලිමරික් හා ඩන්ඩෝක් නැව්තොටමුණු වශයෙන් වැදගත්ය. රට අභ්‍යන්තරයෙහි ක්‍රමානුකූලව සකස් කළ ජලමාර්ග සැතපුම් 566ක් පමණ තිබේ. ග්රෑන්ඩ් කැනෑල් හා රෝයල් කැනෑල් ප්‍රධාන ඇළවල්ය. විශේෂයෙන් ම පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් පසු දියුණු වූ දුම්රිය මාර්ග ද මහා මාර්ග හා ගුවන්සේවාව ද මනාව සංවිධානය කර ඇත. ඩබ්ලින් ප්‍රධාන ගුවන් තොටුපළයි. ඒර් ලින්ගුස් ටියොරන්ටා (Aer Lingus Teoranta) අයර්ලන්ත සමූහාණ්ඩුවේ ගුවන් සේවාවයි. (අයර්ලන්තය බ.)

ඉතිහාසය: (මුල් කාලය පිළිබඳ තතු අයර්ලන්ත‍ය යන ශීර්ෂය යටතෙහි දැක්වේ). කලක සිට පැවති දේශපාලන කැළඹිලිවලට පසුව 1948 දෙසැම්බර් මස නීතිගත කරනු ලැබූ අයර්ලන්ත සමූහාණ්ඩු පනතට අනුව, 1949 අප්‍රියෙල් 18 වැනිදා අයර්ලන්ත සමූහාණ්ඩුව පිහිටුවන ලදි. ඉක්බිති එරට පොදුරාජ්‍ය මණ්ඩලයෙන් වෙන් වී පූර්ණ ස්වරාජ්‍යයක් විය. එසේ වුව ද එක්සසත් රාජධානිය හා අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යය යන දෙරටේ ජනයා දෙරටෙහි දී ම විදේශිකයන් ලෙස නොසලකන බවට ගිවිස ගන්නාලදි. ආර්ථික සංවර්ධන කටයුතුවල දී ද දෙරට ‍අන්‍යෝන්‍ය සබදකමින් ක්‍රියා කරන්නට තීරණය කරගති. බඩු හුවමාරුව සඳහා සවිස්තර වෙළඳ සම්මුතියකට ද එළඹිණි. උතුරු අයර්ලන්තය සමඟ ද ආර්ථික සම්බන්ධතා තර කරනලදි. එසේ වුව ද අයර්ලන්තය දෙකට බෙදා තිබීමට විරුද්ධව සමූහාණ්ඩුව කළ උද්ඝෝෂණයේ දී එක්සත් රාජධානියෙන් වත් උතුරු අයර්ලන්තයෙන් වත් සමූහාණ්ඩුවට උපකාරයක් නොලැබිණි. සමූහාණ්ඩුව උතුරු අත්ලන්තික් ගිවිසුම් (නැටෝ) සංවිධානයට බැඳීම ප්‍රතික්ෂේප කෙළේ මීට විරෝධය පළකිරීමක් වශයෙනි. අයර්ලන්ත සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැ‍ඳෙන්ට කළ වෑයම රුසියාවේ විරුද්ධත්වය නිසා නිෂ්ඵල විය.

අයර්ලන්ත සමූහාණ්ඩුවේ ප්‍රථම මහා මැතිවරණය පැවැත්වුණේ 1951 මැයි 30 වැනිදාය. අගමැති කොස්ටෙලෝ මහතාගේ පක්ෂයට ආසන 147න් 40ක් ලැබුණි. එහෙත් කොස්ටෙලෝගේ පක්ෂයට සහයෝගය දුන් අනෙක් පක්ෂ බොහෝ දුරට පරාජයට පත්වීම හේතුකොටගෙන ඒමන් ද වැලේරා මහතා අගමැති ධුරයට පත්විය. Fපියනා fපෝල් නමැති ඔහුගේ පක්ෂයට අසුන් 69ක් හිමි විය. 1952 දී ඕ'කෙලි මහතා දෙවන වරටත් ජනාධිපති පදවියට තෝරා පත්කර ගන්නා ලදි. සමාජ හා ආර්ථික සංවර්ධනය කෙරෙහි සැලකිල්ල යොමු කළ ද වැලේරා ආණ්ඩුව කෘෂිකර්මයේ දියුණුව හා ග්‍රාම සංවර්ධනය සඳහා කටයුතු කෙළේය. කර්මාන්ත සංවර්ධනයසඳහා ද කටයුතු කළ එම ආණ්ඩුව අයිරිෂ් භාණ්ඩ අලෙවිය සඳහා විදේශීය වෙළඳපොළවල් සෙවීමෙහි ද නිරත විය. 1954 දී පැවැත්වුණු මැතිවරණයේ දී ද වැලේරාගේ පක්ෂයට ලැබුණේ ආසන 65ක් පමණකි. ආසන 60ක් ලැබූ කොස්ටෙලෝගේ පක්ෂය අනික් පක්ෂ කීපයක ද සහාය ඇතිව ආණ්ඩුව පිහිටුවීය.

අයර්ලන්ත සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව එරක්තාක් (Oireachtas) යන නමින් හැඳින්වේ. එය ජනාධිපතිවරයකුගෙන් ද මන්ත්‍රී මණ්ඩල ද්වයකින් ද සමන්විතය. ජනාධිපතිවරයා අවුරුදු හතක සේවා කාලයක් සඳහා මහජනයා විසින් කෙළින් ම පත්කරගනු ලැබේ. රාජ්‍යයේ නීත්‍යනුකූල ප්‍රධානියා ඔහුය. දෝල් එයාරින් (Dail Eireann) නම් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින් තෝරාගනු ලබන අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. තඑසික් (Taoiseach) නමින් හැඳින්වෙන අගමැතිවරයා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැමැත්ත ඇතිව තෝරාගනු ලබන කැබිනට් මණ්ඩලය ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබේ. ඔහු අගමැතිවරයාගේ අවවාදය පරිදි පාර්ලිමේන්තුව කැඳවීම ද විසුරුවා හැරීම ද කරයි. සෑම ව්‍යවස්ථාවක් ම නීතිගතවීමට ඔහුගේ අත්සන අවශ්‍යය. ඔහු යුද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරියා ද වේ. පාර්ලිමේන්තුව විසින් ඔහු වෙත එවනු ලබන යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවීමට ඔහුට බලය තිබේ. ඇතැම් අවස්ථාවක යෝජනාවක් සම්බන්ධයෙන් ජනමතයක් ලබා ගැනීමට ද ඔහුට බලය තිබේ. ජනාධිපතිවරයාට උපදෙස් දෙන මණ්ඩල දෙකකි. එකක් කැබිනට් මණ්ඩලයයි. අනික නිලබලයෙන් පත්වන සාමාජිකයන් කීප දෙනකුන්ගෙන් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් කීපදෙනකුන්ගෙන් ද සෑදි රාජ්‍ය උපදේශක මණ්ඩලයකි. නිලබලයෙන් එහි සාමාජිකයන් වන්නේ අගමැති, හිටපු ජනාධිපතිවරුන් හා අගමැතිවරු, අග්‍ර විනිශ්චයකාරයා, හයිකෝට් නමැති අධිකරණයේ අධිපති, උභය මන්ත්‍රීමණ්ඩලයන්හි සභාපතිවරුන් හා ඇටෝර්නි ජනරාල්වරයා යන අය ය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තෝරා පත්කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට අනුවයි. මෙම මණ්ඩලය සාමාජිකයන් 147 දෙනකුගෙන් සෑදී තිබේ. 1936 දී අවලංගු කරන ලද උත්තර මන්ත්‍රී මණ්ඩලය 1937 දී නැවත පිහිටුවන ලදි. එහි සාමාජික සංඛ්‍යාව 60කි. මොවුන් අතුරෙන් 11ක් අගමැතිවරයා විසින් පත් කරනු ලබන මන්ත්‍රීහුය. 6 දෙනෙක් විශ්වවිද්‍යාලයන් මගින් තෝරා ගනු ලැබූ මන්ත්‍රීහුය. 43 දෙනෙක් නානා වෘත්තීන්හි නියුක්ත අය අතුරින් තෝරා ගනු ලැබෙත්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනා සංශෝධන කිරීමට ද 90 දිනක් පමා කිරීමට ද උත්තර මන්ත්‍රී මණ්ඩලයට බලය ඇති නමුත් එම යෝජනා සම්පූර්ණයෙන් ම නිෂ්ප්‍රභ කිරීමට බලයක් නැත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණය උසස් ම අධිකරණ ආයතනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ නඩු මුලින් හයිකෝට් නමැති අධිකඍණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. එසේ වුව ද, එහි තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපැල් ගත හැක. අපරාධ පිළිබඳ ඇපැල් උසාවියකුත්, අපරාධ නඩු පිළිබඳ කටයුතු බාර මහ උසාවියකුත් අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යයෙහි තිබේ. ප්‍රාදේශික වශයෙන් දිස්ත්‍රික් උසාවි තිහක් ද සංචාරක උසාවි නවයක් ද තිබේ. සියලු ම විනිශ්චයකාරවරුන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යයෙහි මූලික අධ්‍යාපනය සඳහා ගාස්තු අයකිරීමක් නැත. ද්විතීයික අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යනු ලබන්නේ ආගමික සභාවන් විසිනි. උසස් අධ්‍යාපනය සඳහා ඩබ්ලින් විශ්වවිද්‍යාලය හා අයර්ලන්ත ජාතික විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යනු ලැබේ.

(සංස්කරණය:1963)