අයිකෝනියම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සුළු ආසියාවේ ඇනටෝලියානු සානුවේ පිහිටා තුබුණු පැරණි fප්‍රිජියානු නගරයකි. තුර්කියේ ඇංකාරා නගරයට සැතපුම් 140ක් පමණ දකුණෙන් වූ අයිකෝනියම් නගරය දැන් හැඳින්වෙනුයේ කොනියා හෙවත් කොන්යා යන නමිනි. මෙය දැනට තුර්කියේ කොනියා නම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.

අයිකෝනියම් නගරය පිහිටා තුබුණු ප්‍රදේශය ක්‍රි.පූ.2600 පමණේ සිට ම ජනාවාසව පැවති බව පෙනේ. ක්‍රි.පූ.1400 සිට 1200 දක්වා කාලය අතරතුර මේ ප්‍රදේශය හිටයිට් අධිරාජ්‍යයට අයත්ව තුබුණේය. ඊට පසු මේ ප්‍රදේශය fප්‍රිජියානුවරුන්ට අයත් වූ පසු අයිකෝනියම් නමින් නගරයක් මෙහි ගොඩනඟන ලදි. ක්‍රි.පූ.හත්වන සියවසේ දී ලිඩියානු රාජ්‍යයට යටත් වූ මේ නගරය හයවන සියවසේ දී පර්සියානු අධිරාජ්‍යය යටතට ගැනිණ. ක්‍රි.පූ.සිව්වන සියවසේ දී පර්සියානු අධිරාජ්‍යය මැසිඩෝනියාවේ මහ ඇලෙක්සැන්ඩර් රජු විසින් යටත් කරගනු ලැබීම නිසා මේ නගරය ඉන් පසු ග්‍රීක අධිරාජ්‍යයට අයත් විය. සෙලියුසිද්වරුන්ගේ කාලයේ දී ග්‍රීක ශිෂ්ටාචාරය පැතිරයත් ම අයිකෝනියම් නගරයට පෙරදිග වෙළඳ මාර්ගයෙහි සන්ධිස්ථානයක් වශයෙන් වැදගත් තැනක් හිමි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රීක භාෂාව අධ්‍යාපනය හා සංස්කෘතිය මෙහි ක්‍රමයෙන් පැතිරිණ. එහෙත් මෙහි ජනකායයෙන් කොටසක් සිය සංස්කෘතියේ ආවේණික ස්වරූපය ද දේශීය සම්ප්‍රදායයන් ද රැකගත් බව පෙනේ. ක්‍රි.ව.3 වැනි ශතවර්ෂයේ දෙවෙනි භාගයෙහිත් fප්‍රිජියානු භාෂාව මෙම නගරයෙහි පැවතුණ බව ශිලාලේඛනයන්ගෙන් හෙළි වේ.

ග්‍රීකයන්ගෙන් පසු ක්‍රි.පූ.165 දී පමණ අයිකෝනියම් නගරය ගැලීෂියානු රාජ්‍යයට අයත්ව තුබූ බව පෙනේ. ගැලීෂියාව රෝම විජිතයක් වූ පසු ක්‍රි.පූ.25 සිට ක්‍රි.ව.295 දක්වා මේ නගරය ගැනුණේ එම ප්‍රදේශයේ කොටසක් හැටියටය. හේද්‍රියන් අධිරාජයාගේ කාලයේදී (117-138) අයිකෝනියම් නගරය රෝම ජනපදයක් හැටියට පිළිගන්නා ලදි. ක්‍රි.ව.235 දී ක්‍රිස්තියානි ධර්මසාකච්ඡා සභාවක් මේ නගරයේ දී පවත්වන ලද බව කියති. දැනට ලැබී ඇති සමහර පුරා වස්තූන්ගෙන් ද මේ නගරය එකල ක්‍රිස්තියානි ආගමේ වැදගත් මධ්‍යස්ථානයක්ව පැවති බව පෙනේ. පශ්චාත් රෝම අධිරාජ්‍ය යුගයේ දී හා බයිසන්ටයින් යුගයේ දී ද මෙය ඉතා ම සමෘද්ධිමත් නගරයක්ව පැවැත්තේය.

ක්‍රි.ව.660 සිට ශතවර්ෂ තුනක් තිස්සේ ම මේ නගරය වරින්වර අරාබි ජාතිකයන්ගේ ආක්‍රමණවලින් පීඩා ලැබීය.

මේ නගරය ශ්‍රීවිභූතියෙන් බැබළුණේ ක්‍රි.ව.1072-1074 දී පමණ සෙල්ජුක් තුර්කිවරුන්ගේ ආධිපත්‍යයට යටත් වීමෙන් පසුවය. ස්වල්ප කලකින් ම (1079 දී) සෙල්ජුක් රාජ්‍යයේ අගනුවර වශයෙන් තෝරාගත් හෙයින් මේ නගරය සියලු අංගෝපාංගයන්ගෙනු යුක්ත කොට නැවත ගොඩනඟන ලදි. සෙල්ජුක් අධිරාජ්‍යයේ වැටීමෙන් පසු 15 වන සියවසේ දී අයිකෝනියම් නගරය ඔටෝමන් රාජ්‍යයට අයත් විය.

පැරණි අයිකෝනියම් නගරයේ ගොඩනැඟිලි ආදියෙහි නටබුන් විශාල සංඛ්‍යාවක් දැනට මේ ස්ථානයේ ඇත. සෙල්ජුක් සුල්තාන්වරුන්ගේ මාළිගයේ හා මවුලානා රුම් පල්ලියේ නෂ්ටාවශේෂ මෙයින් ඉතා වැදගත්ය. (භූගෝල ශාස්ත්‍රීය තොරතුරු සඳහා "කොනියාව" බ.).

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිකෝනියම්&oldid=2306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි