අයිඩහෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වයඹ දිගින් පිහිටා ඇති ජනපදයකි. ප්‍රමාණය වර්ග සැතැපුම් 83,557 ක් පමණ වේ. කෝරළ 44 කින් සමන්විත මෙය ඛනිජ ද්‍රව්‍යවලින් ආඪ්‍ය බැවින් "මැණික් රාජ්‍යය" යනුවෙන් ද ප්‍රසිද්ධය. අයිඩහෝ ජනපදය පිහිටා ඇත්තේ උත්තරාක්ෂාංශ 42° හා 49°ත් බටහිර දේශාංශ 111° 3´ සහ 117° 15´ත් අතරය. මෙය උතුරින් කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියා පළාතෙන් ද නැගෙනහිරින් මොන්ටානා, වයෝමිං යන ජනපදවලින් ද දකුණින් යූටා, නවාඩා යන ජනපදවලින් ද බටහිරින් ඔරිගන් හා වොෂිංටන් යන ජනපදවලින් ද සීමා වී තිබේ.

අයිඩහෝ ජනපදය උතුරු, මධ්‍යම හා දකුණු යයි ප්‍රධාන භූගෝලීය ප්‍රදේශ තුනකට බෙදේ. උපඇල්පයින් ප්‍රදේශයක් වූ උතුරු ප්‍රදේශයෙහි ඇතැම් කඳු මුදුන් අඩි 8,000කටත් වඩා උසය. සෙන්ට් මේරීස්, සෙන්ට් ජෝ, කූට්නේ, මෝයි, ක්ලාක්fපෝක්, ප්‍රීස්ට් යන ගංගාවෝ මේ කඳුවලින් ගලා බසිත්. විල් අතුරෙන් ප්‍රීස්ට්, පොන්ද්රේ, හේඩන් සහ කෝර්දලේන් ප්‍රධානය. මධ්‍යම ප්‍රදේශය සම්පූර්ණයෙන් ම වාගේ කඳු සහිතය. ක්ලියර්වෝටර් සහ සැමන් යන ගංගා මේ ප්‍රදේශය පුරා විහිදී යයි. මෙහි ප්‍රධාන කඳුකර හා කොට්ඨාස ද මේ ගංගාවල නම් ම දරයි. අයිඩහෝ ජනපදයේ ඉතා ම උස් කඳු මුදුන වූ බෝරාකූටය (12,655) ලොස්ට් රිවර් කඳු වැටියට අයත්ය. දකුණු ප්‍රදේශයේ ස්නේක් ගංගාව, ජනපදයේ ගිනිකොන සීමාවේ සිට බටහිර සීමාව දෙසට ලාවා පසින් සෑදුණු නිම්නයක් හරහා විහිදී යයි. ග්‍රේස් සහ බෙයාර් යන විල් ද ජනපදයේ විශාල ම කෘත්‍රිම ජලාශය වූ ඇමෙරිකන් පෝල්ස් ජලාශය ද මේ ප්‍රදේශයේ ගිනිකොන පාර්ශ්වයෙහි පිහිටියේ වේ. සෝර්ටූත් කඳු සමූහයට අයත් කඳු මුදුන් අඩි 11,000කටත් වඩා උසය. අයිඩහෝ ජනපදයෙහි සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 4,000කි. වියළි සානු ලක්ෂණ දැක්වෙන එහි උස්බිම් අතරෙහි බොහෝ කැනියම්(canyon) හෑරී තිබේ.

මෙහි සාමාන්‍ය ජනවාරි උෂ්ණත්වය පැ.අංශක 26.5කි. සාමාන්‍ය ජූලි උෂ්ණත්වය පැ.68.4°කි. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.45.8°කි. දේශගුණයෙහි සීමාන්තික බව මෙපමණ දුරට වුවත් මැඬ පැවැත්වෙන්නේ පැසිfපික් සයුරේ සිට අවුරුද්ද මුළුල්ලේ හමන බටහිර හුළඟේ බලපෑම නිසායි. එයින් අඟල් 17.2ක සාමාන්‍ය වර්ෂාපතනයක් ද මේ ජනපදයට ලැබේ. බටහිර කොටසෙහි වර්ෂාපතනය සාමාන්‍යයෙන් අඟල් 30ට අධිකය.

මේ ජනපදයෙන් 2/5ක් පමණ ප්‍රදේශය පයින්, ලාච්, fපර් සහ ස්ප්‍රෑස් ගස්වලින් යුත් වනාන්තර වලින් වැසී පවතී. එයින් ඇතැම් කොටස් ජනාවාසයෙන් තොර ආරක්ෂිත කැලෑ වේ. නිරිතදිග ප්‍රදේශය අර්ධකාන්තාර ලක්ෂණයෙන් යුක්තය. උතුරු කඳුකරයෙහි තණබිම් වෙයි.

ඛනිජ සම්පත් අතින් අයිඩහෝ මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එක්සත් ජනපද රාජ්‍යයේ විශාල ම රිදී නිෂ්පාදන ස්ථානය සන්ෂයින් ආකරය යි. මේ ජනපදයේ උපදින අඤ්ජන, යපස් සහ රබර් ප්‍රමාණයෙන් මෙන්ම වර්ගයෙන් ද උසස්ය. ඇමෙරිකාවේ නිපැදවෙන පොස්පේට්වලින් සියයට අසූ පහක් ම ලැබෙන්නේ අයිඩහෝ ජනපදයෙනි. වර්ෂයක් පාසා නිෂ්පාදනය කෙරෙන රන්, රිදී, තඹ, ඊයම්, සින්ක් යන ලෝහවල වටිනාකම පවුම් 400,00,000ක් පමණ වේ.

ගොවි කර්මාන්තය හා සතුන් ඇතිකිරීම: වාරිමාර්ගවල ආධාරයෙන් ගොවිතැන් කරන ගොවිපළවල් සංඛ්‍යාවෙන් මේ ජනපදය දෙවැනි වන්නේ කැලිපෝනියා ජනපදයටත් කොලොරාඩෝ ජනපදයටත් පමණි. ඇමෙරිකන් පෝල්ස්, මිල්නර්, ඇරෝරොක්, ඇන්ඩසන් රාන්ච්, බ්ලැක් කැන්යන්, සැමන් රිවර්, මිනිඩෝකා, කැස්කේඩ් යන වාරිමාර්ග ක්‍රම ඇති කිරීමෙන් විශේෂයෙන් ස්නේක් නිම්නයෙහි අක්කර 25 ලක්ෂයකට අධික ප්‍රදේශයක් ගොවිතැනට යොදවා තිබේ. තිරිඟු, බීට්, බෝංචි, අර්තාපල්, ඕට්, බාර්ලි ආදිය මෙහි ප්‍රධාන වැවිලිය. බටහිර පෙදෙසේ ඇපල්, පීච්, පේර, චෙරි ආදී පලතුරු ප්‍රධාන වශයෙන් වවනු ලැබේ. ගව, බැටළු ආදි සතුන් ඇති කිරීම සරු කර්මාන්තයක් බවට පත් වී තිබේ. ඇල්fපැල්fපා වැවීම ද ජලසම්පාදනයෙන් කරනු ලැබේ. වාරිමාර්ග මධ්‍යස්ථානවලින් ජල විදුලිය ද නිපදවනු ලැබේ.

කර්මාන්ත: ලී ඉරීම, ධාන්‍ය පිටි කිරීම, හම් පදම් කිරීම සහ ලෝහ වාත්තු කිරීම අතීතයේදී මෙහි පැවැති කර්මාන්තය. ආහාර ටින්වල ඇහිරීම හා වියැළීම පිළිබඳ කර්මාන්තශාලා, ලෝහ කර්මාන්තශාලා ඇතුළු වෙනත් නොයෙක් කර්මාන්තශාලා ඇතිවීම නිසා දැන් මෙහි විශාල කාර්මික දියුණුවක් දක්නට ලැබේ.

1870 දී 15,000ක සුළු ජනගහනයක් පැවති මේ රාජ්‍යයේ 1950 ජනගහනය 5,88,637කි. අයිඩහෝ රාජ්‍යයේ ප්‍රධාන නගරය බොයිසී (34,000) ය. පෝකටෙලො (26,000), අයිඩහෝ ‍fපෝල්ස් (19,000) යන නගරද්වය දෙවැනි තෙවැනි තැන් ගනී.

ආණ්ඩුක්‍රමය: අයිඩහෝ ජනපදය පාලනය වන්නේ 1889 දී සම්මත වුණු ආණ්ඩු ව්‍යවස්ථා පනතක් අනුවය. 1950 වන විට එම පනතට වරින්වර එකතු කරන ලද සංශෝධන 58 ක් විය. මෙහි ආණ්ඩුව විධායක අංශයකින් හා ව්‍යවස්ථාදායක අංශයකින් ද සමන්විතයි. විධායක නිලධාරී මණ්ඩලය පාලක සහ උපපාලක නිලධාරීන් දෙදෙනකුගෙන් ද රාජ්‍ය භාණ්ඩාගාරික, ඇටෝර්නි ජනරාල්, රාජ්‍ය ගණකාධිකාරී, මහජන අධ්‍යාපන අධිකාරි හා ආකර පරීක්ෂක යන නිලධාරීන්ගෙන් ද යුක්තය. උත්තර මන්ත්‍රණ සභාව සහ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය යනුවෙන් ව්‍යවස්ථාදායක අංශයේ ආයතන දෙකකි. පළාත් පාලනය කෝරළ කොමසාරිස් මණ්ඩලයකින් සිදු කරනු ලැබේ.

ඉතිහාසය: මෙහි ඉතිහාසය ඔරිගන්, වොෂිංටන් යන ජනපදවල ඉතිහාසය හා බැඳී පවතී. යුරෝපීයයන් පළමුවන වරට මෙහි පදිංචි වූයේ 1836 දීය. මෙහි රන් ඇති බව 1860 දී සොයාගන්නා ලදි. එහෙයින් රන් සොයා මිනිසුන් මෙහි ගලා ඊමෙන් අයිඩහෝ ඉතිහාසයේ වැදගත් වෙනස්කම් ඇතිවන්ට විය. එම වර්ෂයේ දී ම අයිඩහෝහි ප්‍රථම ස්ථිර ජනපදයක් ඇතිවිය. මෙය 1863 දී වෙන ම ප්‍රදේශයක් බවට පත් වන තුරු ම වොෂිංටන් ප්‍රදේශයේ කොටසක්ව තිබිණි. අයිඩහෝ ප්‍රදේශයට ඇතුළත්ව තිබුණු මොන්ටානා 1864 දී ද වයෝමිං 1868 දී ද එයින් වෙන් කරනු ලැබීය. 1877 දී නෙස් පර්ස් රතුඉන්දියානුවෝ එක්සත් ජනපද හමුදාවක් පරදවා පලවා හැරියහ. එහෙත් මඳ කලකින් යටත් වූ ඉන්දියානුවෝ 1894 වන විට වනගත පෙදෙස්වලට ගොස් පදිංචි වූහ. මෙය ජනපදයක් වශයෙන් එක්සත් ජනපද රාජ්‍යයට ඇතුළත් කරගන්නා ලද්දේ 1890 දීය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිඩහෝ&oldid=2310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි