අයිතිය හා බුත්තිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ownership and Possession). අයිතියත් බුත්තියත් අතර වෙනස සෑම නීතික්‍රමයෙක ම දක්නට ලැබේ. අයිතිය වනාහි නීතියට අදාළ වූ ද නීතියෙන් ම සමන්විත වූ ද කාරණයකැයි කියත්. අයිතිය යනුවෙන් අදහස් කැරෙන දෙය සම්පූර්ණයෙන් ම නීතික්ෂේත්‍රයට අයත් වේය යනු එහි තේරුමයි. බුත්තිය යනු ඇති තතු පිළිබඳ වූ කාරණයකි. එනම් පුද්ගලයකුත් දෙයකුත් (වස්තුවකුත්) අතර භෞතික වශයෙන් පවත්නා සම්බන්ධය වේ. එසේවතුදු යමකු බුත්තිය සතුව සිටින්නේ කිනම් අවස්ථාවක ද යන්න නිශ්චය කිරීමට තනි සාධකයක් නොමැති නිසා, අයිතියත් බුත්තියත් අතර පවතී යයි සැලකෙන වෙනස එතරම් ප්‍රත්‍යක්ෂ නොවන බැවින් බුත්තිය ද නීතියට අයත් කාරණයක් බවට පත්ව ඇත. තවද බුත්තිය, පවත්නා තත්වය පිළිබඳ කාරණයක් වුවද, අයිතියෙහි ප්‍රතිඵල මෙන් ම බුත්තියෙහි ප්‍රතිඵල ද අයිතිවාසිකම් සංඛ්‍යාවෙහි ලා ගැණෙයි.

ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය වස්තුවක් පිළිබඳව නීතියේ සඳහන් වන පරිදි යම් යම් හිමිකම් යමෙක් බුත්ති විඳින්නේ ද, ඔහුට ඒ වස්තුව අයත් යයි සලකනු ලැබේ. අපේ නීතියට අනුව ඉඩමක අයිතිය ලබාගන්නා ප්‍රධාන මාර්ග නම්: (1) අනුන්ට නොපවරන ලද, රජය සතු ඉඩම් රජයේ සින්නක්කරයකින් පවරනු ලැබීම, (2) ඔප්පුවකින් අයිතිය පවරනු ලැබීම, (3) බුත්තියට සවි වීම, (4) කිසියම් ව්‍යවස්ථා පනතක් අනුව සතු කර ගැනීම යන මේවායි. චංචල දේපළ ප්‍රධාන වශයෙන් ලබාගන්නේ ඒවා තමන් වෙත පවරා ගැනීමෙනි. සියුම් ලෙස පිරික්සා බැලීමේ දී අයිතිය යනු හුදු තනි අයිතිවාසිකමක් නොව හිමිකම් කීම්, වරප්‍රසාද සහ බලතල වශයෙන් සංයුක්ත වූ අයිතිවාසිකම් සමස්තයක් බව පැහැදිලි වන්නේය. මේ අනුව තමාට අයිති ඉඩමට අනුන් වැද්ද නොදී ඉවත් කිරීමට ද, සිය ඉඩම කැමති පරිදි බුත්ති විඳීමට හෝ ඉන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ද, එය අනෙකකුට පැවරීමට ද ඉඩම් හිමියකුට අයිතිවාසිකම් තිබේ. මෙකී අයිතිවාසිකම් පුද්ගලයන් කවර සංඛ්‍යාවකට විරුද්ධව වුව ද වලංගු වේ. එම නිසා අයිතිය යනු හුදෙක් පුද්ගලයකුත් වස්තුවකුත් අතර පවත්නා සම්බන්ධයක් පමණක් නොව ඒ වස්තුවට සම්බන්ධී පුද්ගලයකුත් (අයිතිකරුත්) අන් පුද්ගලයනුත් අතර ඇති සම්බන්ධයක් ද වේ. අයිතිකරුගේ හිමිකම් නීතියෙන් ආරක්ෂා වේ. යමකු නීතිවිරෝධීව විඳින බුත්තිය නියම අයිතිකරුට නැවත ලබාගැනීමට ඇති ප්‍රධාන මාර්ගය නම් රෙයී වින්ඩිකාටියෝ (rei vindication) හෙවත් අයිතිය ඔප්පු කිරීමේ නඩුවක් කීමය. යථෝක්ත අයිතිවාසිකම් දෙදෙනකුන්ට හෝ ඊට වැඩි ගණනකට අයත් කල්හි ඔව්හු හවුල් අයිතිකරුවන් වශයෙන් ගැණෙත්. එබඳු අවස්ථාවක දී අනික් හවුල් අයිතිකරුවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි ද සැලකීමක් ඇතිව එකී දේපළ සාධාරණ ලෙස බුත්තිවිඳීමේ අයිතිය සෑම හවුල් අයිතිකරුවකුටම ඇත්තේය. අයිතිවාසිකම්, වරප්‍රසාද හා අයිතියේ බලතල යන සියල්ල එකකු කෙරෙහි නොපැවරී කිහිපදෙනකුන් අතර බෙදී ඇති කල්හි යම් පුද්ගලයකුගේ අයිතිවාසිකම් සෙසු පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට වඩා දීර්ඝ කාලයක් පවතී ද ඔහු පමණක් ම නියම අයිතිකරු වශයෙන් සලකනු ලැබේ. අයිතිය සම්බන්ධ වූ හිමිකම්, වරප්‍රසාද හා බලතල යන සියල්ල එක් එක් නීතික්‍රමය විසින් නිශ්චය කරගනු ලැබේ. අයිතිය අද සමාජ සංස්ථාවක් වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලැබේ. මේ පිළිගැනීම දැනට නීතියෙහි ඇතිවෙමින් පවත්නා වෙනස්වීම් මගින් මැනැවින් පිළිබිඹු වේ. පැරණි අදහසට අනුව අයිතිය යන සංකල්පයෙන් අභිප්‍රේත වූයේ හුදෙක් පුද්ගලයාගේ ප්‍රයෝජනය වුව ද දැන් දැන් එයින් වැඩියෙන් වාච්‍ය වනුයේ පොදු ප්‍රයෝජනයයි. පොදු නවීන සමාජ රටාවට අදාළ වන සේ අයිතිය පිළිබඳ සංකල්පය සකස් කර ගැනීමේ අදහසින් පනවනු ලබන ව්‍යවස්ථා හේතුකොට ගෙන, අයිති වූ දෙය පාවිච්චි කිරීම, ප්‍රයෝජනයට ගැනීම හා අන්සතු කිරීම පිළිබඳව මෙතෙක් අයිතිකරු සතුව තුබූ සීමා රහිත හිමිකම් ක්‍රමයෙන් වඩවඩා සීමා කරනු ලබමින් පවතී.

බුත්තිය පිළිබඳ සංකල්පය භෞතික වශයෙන් කෙරෙන පාලනය හා ඉතා සමීප සම්බන්ධයක් හඟවන එකකි. එහෙත් බුත්තියක් ඇති විය හැක්කේ භෞතික පාලනයෙන් ම පමණකි. එබඳු පාලනයක් ඇති සෑමවිටම බුත්තියක් ඇතිවිය යුතුමය යන රීතියට අපවාද නිර්දේශ කිරීමට ප්‍රායෝගික අවශ්‍යකම් සලකා ගෙන සෑම නීති ක්‍රමයකට ම සිදු වී තිබේ. එම නිසා භෞතික වශයෙන් පාලනය ඇති සමහරුන්ට බුත්තියේ ලාභප්‍රයෝජන නොලැබෙන අතර, භෞතික වශයෙන් පාලනය නොමැති සමහරු බුත්තිය අයිතිවූවන් වශයෙන් සලකනු ලබත්. පළමු කොටසට අයත් වූවන් කෙරෙහි දේපළ භාරය හෙවත් අත් අඩංගුවේ තබාගැනීම පමණක් ඇතැයි සලකත්. බුත්තිය යන පදය නියම වශයෙන් ම නීතියෙහි යෙදෙන අර්ථයෙන් ව්‍යවහාර කරනු ලබන්නේ භෞතික පාලනය ඇතිව හෝ නැතිව හෝ බුත්තියෙන් ලාභප්‍රයෝජන ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් පමණි. ප්‍රස්තුත කාරණය ගැන සැලකිලි නොදක්වා, නියමිත විටෙක යමකු වෙත බුත්තිය තිබේ ද නැද්ද යන ප්‍රශ්නය නිරාකරණය කිරීම කිසිසේත් පහසු කරුණක් නොවේ. මීට හේතුව නම් බුත්තිය නීතියේ නොයෙක් අංශවල වැදගත් මූලික කරුණක් වීමත්, ඒ ඒ අංශවල විවිධ ප්‍රතිපත්තීන්ට අනුකූල ලෙස වුවමනා කරන පාලන ප්‍රමාණය අඩු වැඩි වී යෑමත්ය. එම නිසා එක් නීති අංශයක ප්‍රතිපත්තිවලට අනුව බුත්තිය ලැබීමට ප්‍රමාණවත් වන කරුණු තවත් නීති අංශයක ප්‍රතිපත්තීන්ට අනුව බුත්තිය ලැබීමට ප්‍රමාණවත් නොවිය හැකිය.

නිශ්චල දේපළ බුත්ති විඳින්නාගේ බුත්තියට බාධාවක් හෝ කරදරයක් හෝ ඇති කළ හැකි ක්‍රියාවන්ගෙන් ඔහු ආරක්ෂා කරනු ලැබීම නීතියෙන් සිදු වෙයි. හෙතෙම නීතිවිරෝධි ලෙස තවෙකකු විසින් බුත්තියෙන් ඉවත් කරන ලද්දේ නම් එසේ ඉවත් කරන්නා නියම දේපළ හිමියා වුව ද, බුත්තිය ලබාගැනීමේ නඩුවක් මඟින් සිය බුත්තිය නැවත ලබාගැනීමට බුත්තිකරු සමත් වන්නේය. බුත්තියට ඇති විශාලතම වාසිය වනුයේ මෙබඳු නඩුවක් කීමට ඇති බලයයි. එසේ නඩුවක් කීමේ දී නඩු කියන්නා විසින් තම අයිතිය ඔප්පු කිරීම හෝ බුත්තිය නීත්‍යානුකූලව ලද්දක් බව පෙන්වාදීම හෝ අනවශ්‍ය වීම ඉතා සැලකිය යුතු කරුණකි. අයිතිකරු වශයෙන් එකී දේපළ බුත්ති විඳි බව පමණක් ඔප්පු කිරීමත් තමා බුත්තියට අහිමි කරන ලද්දේ නීතිමාර්ගයෙන් නොවේ යයි පෙන්වා දීමත් ඒ සඳහා ප්‍රමාණවත් වේ. බුත්තියෙන් ලැබෙන වෙනත් වාසි ගැන සලකා බලන කල එය අයිතියට ඉතා කිට්ටු වී ඇතැයි ගිණිය හැක්කේ බුත්තිය මඟින් අයිතිය ද ලබා ගත හැකි බැවිනි. කිසිවකුට අයත් නොවූ වනසතකු වැනි චංචල වස්තුවක් යමකුගේ අත් අඩංගුවට ගැනීමෙන් හෝ අයිතිකරුවකුගේ හිමිකම් පිළිනොගෙන ඔහුගේ දේපළ, (බුත්තියට සවි වීමේ කාලසීමාව වන) දසවසක් මුළුල්ලේ බුත්ති විඳීමෙන් හෝ අයිතිය ලබාගත හැකිවීම නිදසුනි.

කර්තෘ:ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිතිය_හා_බුත්තිය&oldid=2311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි