අයිතිවාසිකමේ ආයාචනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Petition of Right). ඉංග්‍රීසි නීතිය යටතේ යටත්වැසියකුට කිරීටයට විරුද්ධව නඩු පැවරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන විශේෂ ක්‍රියාමාර්ගයට මේ නාමය දැන් ව්‍යවහාර වේ. සාමාන්‍ය නීතියට අනුව රටේ කිසිවකුට කිරීටයට විරුද්ධව රජුගේ ම උසාවියක නඩු පැවරිය නොහැක. නීතියට අනුව රජ තෙමේ තමාගේ සෑම උසාවියක ම අධිපතියායි. එහෙයින් ම ස්වකීය උසාවිවලින් කෙරෙන තීරණයන්ට ඔහු යටත් නොවේ. ඔහු විසින් පනවනු ලබන ආඥා ඔහුට ම විරුද්ධව ක්‍රියාවේ යෙදවිය නොහැකි බැවිනි. මේ දුෂ්කරතායෙන් මිදීම සඳහා අයිතිවාසිකමේ ආයාචනය පිළියෙල කරගන්නා ලද බව පෙනේ. මුල දී මෙය ඉදිරිපත් කරන ලද්දේ උසාවියකට නොව රජුට ම පෞද්ගලිකවය.

අයිතිවාසිකමේ ආයාචනය යන නමින් මුලින් හඳුන්වන ලද්දේ ක්‍රි.ව.1628 ජුනි මස 7 වන දා එංගලන්තයේ මහජන මන්ත්‍රී මණ්ඩලය මගින් පළමුවන චාල්ස් රජු වෙත ඔප්පු කරන ලද පෙත්සමයි. මේ රජුගේ විදේශ ප්‍රතිපත්තිය මහජන අප්‍රසාදයට ලක් වීම නිසා එංගලන්ත පාර්ලිමේන්තුව ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම සඳහා මුදල් වෙන් කිරීමට එකඟ නොවීය. එහි ප්‍රතිඵලය වූයේ රජු චිරාගත පුරුද්දට පටහැණිව නීතිවිරෝධී වූ අයබදු පැනවීමත්, යුද්ධහමුදාවට රටවැසියන්ගේ පෞද්ගලික නිවාසයන්හි ලැගුම් ගන්නට ඉඩ සැලැස්වීමත්ය. මේ ක්‍රියාවන්ට විරුද්ධව නැඟී සිටි මිනිසුන් රජු විසින් නීතිවිරෝධී ලෙස සිරභාරයට ගෙන සිරකර තබනු ලැබීම නිසා එංගලන්ත පාර්ලිමේන්තුව එම තත්වයෙන් මිදීමට මගක් සෙවීය. රජුගේ නීතිවිරෝධී ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව ඔහුට ම පෙත්සමක් ඉදිරිපත් කිරීමට එහි දී තීරණය විය. පාර්ලිමේන්තුවේ අනුමතිය නොමැතිව කිසිම ත්‍යාගයක්, ණයක් හෝ අයබද්දක් වැසියාගෙන් නොගන්නා ලෙසත්, රටේ නීතියට අනුව මිස ඊට පටහැණිව කිසිවකු සිරකොට නොතබන ලෙසත්, පෞද්ගලික නිවාසයන්හි යුද්ධභටයන්ට හෝ නාවිකභටයන්ට හෝ ලැගුම් ගැනීමට ඉඩ නොතබන ලෙසත්, රටේ සාමය පවතින කාලවල දී යුද්ධනීතිය නොපනවන ලෙසත් මහජන මන්ත්‍රීහු මේ අයිතිවාසිකමේ පෙත්සමෙන් රජුගෙන් ඉල්ලා සිටියහ. තවද ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ අලුත් ඉල්ලීම් නොවන බවත් රටේ මුල් බැසගත් චිරාගත චාරිත්‍ර අනුව ඉංග්‍රීසි ජාතිකයන් සතු සාධාරණ අයිතිය පමණක් බවත් එහි ම සඳහන් විය. අකැමැත්තෙන් වුවද මේ ඉල්ලීම්වලට එකඟ වන්නට චාල්ස් රජුට සිදුවිය.

අයිතිවාසිකමේ ආයාචනයට රජුගේ අනුමතිය ලැබීම එංගලන්තයේ ආණ්ඩුක්‍රම පිළිබඳ ඉතිහාසයේ වැදගත් සිද්ධියක් හැටියට සැලකේ. අයිතිවාසිකමේ ආයාචනයෙන් වහාම ලබාගැනීමට බලාපොරොත්තු වූ අරමුණු එසේ ඉටු නුවූ නමුත්, පසුව එයින් ඉතා වැදගත් ප්‍රතිඵල ලැබිණ. රජුගේ පෞද්ගලික අත්තනෝමතික අදහසට වඩා නීතිය උසස් බව මේ කරණකොටගෙන පිළිගන්නට සිදුවිය. එමෙන් ම මෙය දිව්‍යාධිකාරවාදය (බ.) නිසා ලැබී ඇතැ යි කියන අත්තනෝමතික රාජත්වය පිළිබඳ මතයට ද විරුද්ධව එල්ල කළහැකි බලවත් ආයුධයක් විය. කොටින් කියතොත් අයිතිවාසිකමේ ආයාචනය (මිනිසාගේ) සිවිල් නිදහසේ ආරක්ෂකයකු හැටියට පිළිගත හැකිය.

අයිතිවාසිකම් හා යුතුකම්. ඈත අතීතයේ සිට අයිතිවාසිකම් හා යුතුකම් යනු කවරේ දැයි යන්න ගැන විවිධ මත පැවතිණ. මේ මත විභාග කිරීමෙන් ඇත්ත වශයෙන් ම අයිතිවාසිකම් හා යුතුකම් මොනවා ද ඒ ඒ කාලවල එක් එක් මතයක් යෝග්‍ය හැටියට පිළිගන්නා ලද්දේ කවර හෙයින් ද යනු අපට තේරුම් ගත හැකි විය යුතුයි.

යථෝක්ත මත පැන නැංගේ ඒ ඒ වකවානුවල පැවති දේශපාලන දර්ශනයන් පදනම් කොට ගෙනය. නීතික සිද්ධාන්තය හෙවත් විශ්ලේෂික සිද්ධාන්තය නමින් දේශපාලනඥයන් හඳුන්වන අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ සිද්ධාන්තය ඇති වූයේ එනමින් ම හැඳින්වෙන දේශපාලන දර්ශනය ආශ්‍රයෙනි. මේ සිද්ධාන්තයට අනුව පාලකයා සර්වබලධාරීය. කොටින් කියතොත්, රාජ්‍යය වනාහි නීතිය ක්‍රියා කරවීම උදෙසා ඇතිකර ගන්නා ලද ජනතා සංවිධානයකි. රාජ්‍යය නිකුත් කරන හැම ආඥාවක් ම මෙහි දී නීතිය වශයෙන් ගැනේ. මේ සිද්ධාන්තයට අනුව අයිතිවාසිකම් යනු රාජ්‍යය විසින් ප්‍රදානය කරන ලද්දාවූ ද රාජ්‍යයේ බලය පිට වලංගුව පවතින්නාවූ ද යම් යම් පරිහාර (immunities) හා වරප්‍රසාදය. රාජ්‍යයට ප්‍රතිවිරුද්ධව පුද්ගලයාට කිසි ම අයිතිවාසිකමක් නැත යන අදහස මෙහි ගැබ්ය. තවද මේ මතය පරිදි කිසිදු අයිතිවාසිකමක් හොඳ නරක අනුව සකස් වී නැත. පුද්ගලයාට යම්කිසි අයිතිවාසිකමක් ඇත් නම්, එය අයිතිවාසිකමක් වූයේ රාජ්‍යය විසින් ප්‍රදානය කරන ලද බැවින් පමණි. මෙවැනි අයිතිවාසිකම් ලැයිස්තුවක් ඕනෑ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් අපට උපුටා දැක්විය හැකි නමුත්, ඒවා එතරම් වැදගත් නොවනු ඇත. රාජ්‍යය විසින් යම්කිසි අවස්ථාවක දී ප්‍රදානය කරනු ලබන හුදු පරිහාරයන් පමණක් වන බැවිනි. මූලික අයිතිවාසිකම් හැටියට සලකනු ලබන ඇතැම් අයිතිවාසිකම් අධිකරණය විසින් නොපිළිගන්නා ලද නම් ඒවා අයිතිවාසිකම් නොවන බව ද මේ සිද්ධාන්තයෙහි ගැබ්ව ඇත.

අයිතිවාසිකම් පිළිබඳ මේ මතය සදාචාරය හෝ දේශපාලනය හෝ පිළිබඳ සැලකිය යුතු කිසියම් සිද්ධාන්තයක් වශයෙන් අඩුපාඩු සහිත බව පෙනී යයි. කවර කරුණක් ආශ්‍රිතව අයිතිවාසිකම් පැන නඟී ද යන්න ගැන නීතිඥයා සැලකිලිමත් වන අතර, දේශපාලන විද්‍යාඥයා සැලකිලිමත් වන්නේ අයිතිවාසිකම්වල සම්භවය, ස්වභාවය හා පරමාර්ථය පිළිබඳවයි.

පේන්ගේ මතය: පේන් නම් දේශපාලන විද්‍යාඥයාගේ මතය අනුව සෑම අයිතිවාසිකමක ම පදනම වන්නේ පුද්ගලයා තුළ ඉහත සිට පැවති හිමිකමකි. එය බෙහෙවින් ම පියවි නීතිය හා පියවි අයිතිවාසිකම් මත ගොඩනැඟුණකි. මධ්‍යතන යුගයේ දී ද මෙවැනි සිද්ධාන්ත පැවති නමුත් පියවි අයිතිවාසිකම් සිද්ධාන්තය බහුල වශයෙන් පිළිගැනුණේ සමාජ ගිවිසුම් සිද්ධානතය ප්‍රචලිතව පැවති සමයේය. මේ සමාජ ගිවිසුම් සිද්ධාන්තය වූකලි සමාජයේ ප්‍රභවය හා දේශපාලන යුතුකම්වල ස්වභාවය පිළිබඳ වූවකි. මෙයින් ප්‍රකාශ වන අයිතිවාසිකම්, හුදෙක් රාජ්‍යයේ කැමැත්තෙන් ප්‍රදානය කරන ලද ඒවා හෝ පුද්ගලයාට සිය උපරිම තත්ත්වය ලබා ගැනීමේ දී වහල් වන අවස්ථා හෝ පමණක් නොවේ. විචාර බුද්ධිය පිළිබඳ පරම කේවල මූලධර්ම ද ඉන් ප්‍රකාශිතය. සමාජය පහළවන්නේ මේ මූලධර්ම සාක්ෂාත් කර ගැනීම පිණිසය. ඇමෙරිකන් ස්වාධීනතා ප්‍රකාශයේ මේ අදහස ඉතා මැනවින් ප්‍රකාශිතය. එනම් "දෙවියන් වහන්සේ හැම මිනිසකු ම මැවූයේ එක සමානවය. අහිමි කළ නොහැකි යම් යම් අයිතිවාසිකම් දෙවියන්වහන්සේගෙන් ඔහුට ලැබී ඇත. ජීවත්වීම හා නිදහස ද සුඛිතභාවය සලසා ගැනීම ද මින් සමහරකි. ප්‍රජාවන් අතර ආණ්ඩු පිහිටුවා ගනු ලබන්නේ මේ අයිතිවාසිකම් තහවුරු කරගැනීම පිණිසය" යනුයි.

මෙම සිද්ධාන්තයෙහි පහත සඳහන් කරුණු ගැබ්ව ඇත:-

1. මේ අයිතියාසිකම් වූකලි වෙනස් වන සමාජයක අවශ්‍යතා අනුව වෙනස් නොවන කේවල මූලධර්මයෝය.

2. මේවා වලංගුවීම පිණිස රජයේ හෝ සමාජයේ පිළිගැනීම අනවශ්‍යය. ඇත්ත වශයෙන් ම ඒවා තර්කගෝචර විශ්වයක කොටසක් වශයෙන් මිනිසා සතු, අහිමි කළ නොහැකි අයිතිවාසිකම්ය.

3. ඒවා න්‍යායානුකූල ලෙසත්, කාලනිර්ණය අනුවත් සමාජය ඇතිවීමට ඉහත සිට පැවතේ.

මේ සිද්ධාන්තයේ ලොකු ම අඩුපාඩුව නම් ඉන් අදහස් කැරුණු අයිතිවාසිකම් කිසිම නිශ්චිත සමාජ යහපතක් පිණිස නොවීමයි.

ලොක්ආදීන්ගේ මත: මේ අයිතිවාසිකම් මොනවාද යන ප්‍රශ්නය ඉබේ ම මතු විය. පේන් ඉඳුරා ම පිළිතුරු දෙමින් ඒ අයිතිවාසිකම් නම් නිදහස, දේපොළ අයිතිය, ආරක්ෂා සම්පන්න බව, පීඩනයට විරුද්ධව නැඟී සිටීම යයි පැවසීය. පේන් කෙසේ කියතත් හොබ්ස්ගේ මතය වූයේ මිනිසාට තමා කැමැත්තා වූ ද තමාට ලබාගත හැක්කාවූ හා රැකගත හැක්කා වූ ද, සෑම දෙයක් ගැන ම පියවි අයිතිවාසිකමක් ඇති බවය. ලොක්, රූසෝ ආදීහු මීට ද වෙනස් මත දැරූහ. අහිමි කළ නොහැකි, උල්ලංඝනය කළ නොහැකි අයිතිවාසිකමක් සේ ලොක් විසින් සලකන ලද දේපොළ පිළිබඳ අයිතිවාසිකම අද එසේ නොසැලකේ. මේ අතර කැරලි ගැසීමට අයිතිවාසිකමක් ඇද්ද නැද්ද යනු අද දක්වා මත භේදයට භාජනව පවතින්නකි.

මේ සිද්ධාන්තය සම්බන්ධයෙන් නැඟුණු තවත් ප්‍රශ්නයක් නම් "එම අයිතිවාසිකම් හිමියෝ" කවුරු ද යන්නය. හුදෙක් මනුෂ්‍යත්වය නිසා සෑම මිනිසකු තුළම මේ අයිතිවාසිකම් ආවේණිකව ඇතැයි කිවහොත්, බිළිඳුන්ට හා උම්මත්තකයන්ටත් ඒ අයිතිවාසිකම් හිමි දැයි ප්‍රශ්නයක් උපදී. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ අයිතිවාසිකම් එක සමාන ද යනු තවත් ප්‍රශ්නයකි. අහිමි කළ නොහැකි, තර්කගෝචර යම් යම් අයිතිවාසිකම් සමහර විට පරස්පර විරෝධී වනු ඇතැයි පෙන්වා දී තිබේ. මෙසේ එදා කේවල අයිතිවාසිකම් හැටියට ලොක් දැක්වූ නිදහස හා සමානතාව පිළිබඳ අයිතිවාසිකම් පරස්පර විරෝධී බව අද පෙනී ගොස් තිබේ.

තවද ප්‍රකෘතියෙන් නියත යයි සලකන, මේ කේවල මූලධර්ම කලින් කල වෙනස් වන බවත් පෙන්වා දී තිබේ. නිදසුනක් වශයෙන් අද දේපොළ පිළිබඳ අයිතිවාසිකම 18 වන ශතවර්ෂයේ කේවල අයිතිවාසිකමින් කෙතරම් වෙනස්දැයි කිවහොත්, අද පවත්නේ එදා පැවති අයිතිවාසිකම යයි කොහෙත් ම කිව නොහේ.

මෙසේ දේශපාලන විෂයයෙහි පූර්වනිගමනයක් මගින් පළල් නීති ඇති කිරීමට අපට නුපුළුවන. ඇත්ත වශයෙන් ම එසේ කිරීමත් අන්තරායදායකය. මෙවැනි කල්පනාමාත්‍ර මූලධර්ම බොහෝ විට එදිනෙදා දේශපාලන කටයුතු අනුව ඇති නොවීය. ප්‍රකෘති අයිතිවාසිකම් සිද්ධාන්තය හා එහි පදනම වූ රාජ්‍ය ප්‍රභවය පිළිබඳ සමාජ ගිවිසුම් සිද්ධාන්තයත් ඇඩ්මන්ඩ් බ’ක් විසින් බිඳ හෙළුයේ මේ තර්කය උඩය.

ග්‍රීන්, රිචී සහ ලැස්කි: කල් නොගොසින් ම රාජ්‍ය සජීව සමස්තයක් සේ සලකන ලද සංකල්පයක් පහළ වුණි. අයිතිවාසිකම් කේවල හෝ වෙනස් නොවන හෝ මූලධර්ම සේ නොව කිසියම් පරමාර්ථයක් අරමුණු කොට ඇති බව සලකනු ලැබීය. තම උපරිම තත්ත්වය ලබාගැනීම පිණිස තමා තුළ පවත්නා දක්ෂතා (තත්ත්වයන්) මත අයිතිවාසිකම් රඳා පවතී. මේ අදහස මුලින් ම පහළ කෙළේ තෝමස් හිල් ග්‍රීන් විසිනි. රිචී විසින් තවදුරටත් දියුණු කරන ලද එම මතය හැරල්ඩ් ජේ.ලැස්කි අතින් වඩාත් සකස් විණි. මේ මතයෙහි අඩංගු අයිතිවාසිකම් රාජ්‍යය විසින් පිරිනැමුණු වරප්‍රසාද නොව පුද්ගලයාට සිය උපරිම තත්ත්වය ලබා ගැනීමට ඉවහල් වන අවස්ථාවෝයි. මේ අවස්ථාවන් ආණ්ඩුව විසින් අනුමත කරනු ලැබූ අතර ම, ඒවායේ නියම වලංගුව ප්‍රජාවගේ කැමැත්ත මත රඳා පවතී.

මිනිසාට සිය උපරිම තත්ත්වය ලබා ගැනීමට ඉවහල් යම්කිසි සාධක සමුදායක් සමාජ ජීවිතයේ වේද, එම සාධක අයිතිවාසිකම් යයි ලැස්කි දක්වයි. සුශික්ෂිත පුද්ගලයන්ගෙන් සැදි සමාජයක් ඇතැයි යන්න මේ සිද්ධාන්තයෙන් අදහස් කෙරේ. සියලු අගයන් පිළිබඳ විනිසකරුත් ඒවායේ නිධියත් පුද්ගලයා වන බැවින් පුද්ගලයාගේ වැදගත්කම අවධාරණයෙන් කියැවේ. සැම අගයක් ම ලබාගත යුත්තේ සමාජය මගින් ම වුව ද ඒ සියල්ලක් සැලසෙන්නේ පුද්ගලයාට මය. ප්‍රජාවගේ ශුභසිද්ධිය පුද්ගලයාගේ සුඛිතභාවය මත ගොඩ නැඟී ඇති බැවිනි. අයිතිවාසිකම් පුද්ගල ව්‍යක්තිය මත රඳා පවත්නේය. මේ අතින් බලන විට අයිතිවාසිකම් පිළිබඳ මෙම සිද්ධාන්තය පෞද්ගලිකය.

එහෙත් ඇරිස්ටෝටල් කී පරිදි මිනිසා සමාජ ජීවියෙකි. යහපත් ජීවිතය පිළිබඳ සංකල්පය හා එය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් තත්ත්ව (සාධක) සමාජය තුළින් ම පහළ වූ දැයි. පරිසමාප්ත ව්‍යක්තිත්වය ලබා ගැනීමට සමාජ ජීවියකු වූ මිනිසාට පිළිවන් වන්නේ සමාජය මගින් ම බැවින් ඒ අතින් බලන විට අයිතිවාසිකම් සමාජය තුළින් පහළ වූ, සමාජ කැමැත්ත නිසා පවතින, සමාජ නිර්මාණයෝය. අයිතිවාසිකම් ඇතිවීමට නම් මිනිසකු විසින් සමාජයේ ඉටුකළ යුතු යුතුකම් ද විය යුතුයි. මිනිසා සිය ආධ්‍යාත්මික පරිපූර්ණතාව ලබාගත යුත්තේ ඔහු විසින් ඉටු කළ යුතු යුතුකම් මගිනි. එහෙත් මේ යුතුකම් ඉටු කිරීමට වුව ද ඔහුට කිසියම් අයිතිවාසිකම් සමුදායක් තිබිය යුතුයි.

අයිතිවාසිකම් පිළිබඳ මෙවැනි සංකල්පයක් මගින් මෙතෙක් පිළිගෙන තිබුණාට වැඩියෙන් නිදහස් වූ ද පළල් වූ ද අයිතිවාසිකම් පද්ධතියක් ඇති විය යුතුය. හුදෙක් පරම්පරාගත පුද්ගල අයිතිවාසිකම් පමණක් නොව රක්ෂාවක යෙදීමේ අයිතිය, නම්බුව (ආත්මගෞරවය) රැකගැනීමේ හා සමාජ ජීවිතයට අයත් පොදු ලාභප්‍රයෝජන ලබා ගැනීමේ අයිතිය, ආගමික නිදහසට හා පුද්ගල රැකවරණයට ඇති අයිතිය ආදී පෞද්ගලික අයිතිවාසිකම් ද ඉන් අභිප්‍රේතය.

නූතන සිද්ධාන්තය: තවද පුද්ගලයා විසින් තම සමාජයේ ශුභසිද්ධිය පිණිස පැසුණු බුද්ධිය යෙදවිය හැකි වන්නේ, ඒ සඳහා අවශ්‍ය බුද්ධි විකාශනය සමාජයෙන් සැලසුණහොත් පමණි. මෙයින් පැහැදිලි වන්නේ අයිතිවාසිකම් පද්ධතියෙහි කථාකිරීමේ අයිතිය, ප්‍රවෘත්ති පත්‍ර හා රැස්වීම් පිළිබඳ නිදහසේ අයිතිය වැනි චිරාගත අයිතිවාසිකම් පමණක් නොව, යෝග්‍ය ජීවන තත්ත්වයකට හා අධ්‍යාපනයට අයිතිවාසිකම් ද ඇතුළත් වියයුතු බවය. මේ අයිතිවාසිකම්වල ද ස්වභාවය හා ප්‍රමාණය මනුෂ්‍යයාගේ උපරිම තත්ත්වය ලබා ගැනීම නමැති මුල් අරමුණ අනුව නිශ්චිත වේ. කථා කිරීමේ නිදහස පවා අන්‍යයාගේ අයිතිවාසිකම් වලට හෝ සමාජ ශුභසිද්ධියට හානිකර අන්දමට පමණ ඉක්මවා යතොත් සීමා කටයුතුය. පුද්ගලයාගේ පැසුණු බුද්ධිය මහජන ශුභසිද්ධිය උදෙසා යෙදවීමට නම් ඔහුට දේශපාලන බලය හිමිකර ගැනීමට ඉඩප්‍රස්තාව තිබිය යුතුය. මේ දේශපාලන බලය වූ කලි ඡන්දබලය, නියෝජනය හා ආණ්ඩුවේ නිලතල දැරීම පිළිබඳ අයිතිවාසිකම් තුනෙන් උපදින්නකි. අයිතිවාසිකම් පිළිබඳ පැරණි මතයෙහි ආර්ථික කරුණු සම්බන්ධයෙන් කිසිවක් අඩංගු නොවීය. එහෙත් මෙම නූතන සිද්ධාන්තය අනුව සාධාරණ කොන්දේසි සහිතව වැඩකිරීමේ අයිතියක් හා කර්මාන්ත පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ද ප්‍රකාශිතය. පසුව කී කර්මාන්ත පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙහි කාර්මික අයිතිවාසිකම් ක්‍රමයක් හා වැඩකිරීමේ කොන්දේසි නිශ්චය කිරීම පිණිස සහභාගි වීමේ අයිතියක් ද අඩංගුය. මේ අනුව පැරණි සිද්ධාන්තයෙන් පිළිගන්නා ලද අයිතිවාසිකම්වලට වඩා නූතන සිද්ධාන්තයෙහි ගැබ්ව ඇති අයිතිවාසිකම් ප්‍රමාණයෙන් විශාලය.

මෙම නූතන අයිතිවාසිකම් සිද්ධාන්තය මඟින් සැලසෙන පුද්ගල අයිතිවාසිකම්, අන්‍යයාට ඔහුගේ උපරිම තත්ත්වය ලබා ගැනීමට ඉවහල් වන අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන පරිදි සීමා කටයුතු බැවින්, එම සිද්ධාන්තය අවශ්‍යයෙන් ම සුචරිත පදනමක පිහිටියේය. මිනිසා විසින් ඉෂ්ට කරගතයුතු සේ සමාජය විසින් අභිප්‍රේත යම් යම් පරමාර්ථයන් ඇති බව මෙහි ගැබ් වන අදහසය. අයිතිවාසිකම් පද්ධතියක පදනම වනුයේ පිළිගත් සමාජ චාරිත්‍ර හා විශ්වාස ජාලාවය. මිනිසා විසින් ලැබ ගත යුතු උපරිම තත්ත්වය පිළිබඳ අදහස සමාජයෙන් ම නැඟුණු අතර සමාජය මඟින් ම සාක්ෂාත් කර ගත යුත්තක් ද වේ. අයිතිවාසිකම් පිළිබඳ සිද්ධාන්තයේ අඩංගු කරුණු හා එම සංකල්පය කලින් කල වෙනස් වන්නේ මේ නිසාය. මේ වෙනස්වීම තේරුම් ගත හැක්කේ සමාජවිද්‍යානුකූලවය. උපරිම තත්ත්වය පිළිබඳ සංකල්පය හා ඊට සාධක වන කරුණු ආර්ථික හා සමාජ පරිසරයන්ටද ඒ ඇසුරින් හටගන්නා විශ්වාසයන්ට ද අනුව වෙනස් වන බැවිනි. යම් අවස්ථාවක දී යුක්ති ධර්මානුකූල යයි සලකනු ලබන්නේ සමාජ කරුණු අනුව ඉටුකර ගත හැකි දෙයය.

ඕනෑ ම අවස්ථාවක සමාජ කැමැත්ත මඟින් රැකෙන අයිතිවාසිකම් පද්ධතියක් පවත්නේය. මේවා පැරණි කේවල සිද්ධාන්තයෙන් ප්‍රකාශිත පියවි අයිතිවාසිකම් නොවේ. සමාජ ගිවිසුම් සිද්ධාන්තවලින් දැක්වෙන අයිතිවාසිකම් වැනි ඓතිහාසික හා පියවි අයිතිවාසිකම් ද නොවේ. අයිතිවාසිකම් සමාජයේ ප්‍රභවයට කලින් සිට පැවැත්තේ යයි එම සමාජ ගිවිසුම් සිද්ධාන්තයන්ගෙන් පැවසෙන බැවිනි. එහෙත් ඒවා අන් ලෙසකින් ඓතිහාසික අයිතිවාසිකම් යයි ද කිව හැකිය. කිසියම් අවස්ථාවක හෝ ස්ථානයක සමාජ ජීවිතයේ තත්ත්වයන් ද සභ්‍යත්වයේ ස්වභාව ලක්ෂණය ද අනුව එම අයිතිවාසිකම් පැන නැඟිය යුතු නිසාය. නොවෙනස් වන නිත්‍ය අයිතිවාසිකම් මාලාවක්ය යන අදහසින් ඒවා පියවි අයිතිවාසිකම් සේ නොගැනේ. එහෙත් කාලානුරූපව ද සමාජ තත්වානුරූපව ද ඒවා පිළිගත යුතුය යන අදහසින් පියවි අයිතිවාසිකම් සේ ගැනේ.

පෘථුල අයිතිවාසිකම්: තවද මේ නිසා රජය පිළිගන්නා නීත්‍යනුකූල අයිතිවාසිකම් පද්ධතියට වඩා මෙම අයිතිවාසිකම් පළල්ය. එසේම ගැඹුරු පදනමක් මත පිහිටා ඇත. හුදෙක් රාජ්‍යය පිළිගන්නා අයිතිවාසිකම් පමණක් නොව පුද්ගලයාට සිය උපරිම තත්ත්වය ලබා ගැනීමට අවශ්‍ය වන සියලු ම සමාජ සාධක අඩංගු වන බැවින් ඒවා පළල්ය. ඒවා ගැඹුරු පදනමක් මත ගොඩනඟා ඇතැයි කිව හැක්කේ, රාජ්‍යයේ පදනම වූ මහජන කැමැත්ත මත රඳා පවතින බැවින් හා වලංගු වනු පිණිස රාජ්‍යයේ පිළිගැනීම ඒවාට අනවශ්‍ය බැවිනි.

අයිතිවාසිකම් නොනැසිය දී රැකගැනීම වුව ද රාජ්‍යයේ පාලනෝපක්‍රම හෝ නීතිය හෝ මඟින් සිදුවන්නක් නොවන බව මින් පෙනේ. මෙයින් උද්ගත වන ප්‍රශ්නය නම්, මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් සඳහන් ලියවිලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ම අන්තර්ගත කිරීමෙන් ඇතැම් රටවල් විසින් පනවනු ලබන අයිතිවාසිකම් පනත්, අයිතිවාසිකම් හෙවත් මානව නිදහස යන මේවා රැකීමෙහි ලා ප්‍රයෝජනවත් වේ ද යන්නයි. මෙය මතභේදයට භාජනව ඇති ව්‍යාකූල කරුණකි.

ආණ්ඩු ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වීමෙන් අයිතිවාසිකම් පනත් ද එහි ම අංගයක් බවට පත්වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි පවිත්‍රත්වය අයිතිවාසිකම් පනත්වලට ද පැවරේ. පුද්ගල නිදහස උදෙසා සටන් කිරීමේ හා විධායක බලයේ අත්තනෝමතික පාලනයට විරුද්ධව නැඟී සිටීමේ පුරුද්දක් නැති රටවලට මෙම අයිතිවාසිකම් පනත් මගින් යම් ප්‍රමාණයක ප්‍රයෝජනයක් ඇතිවිය හැක. මේ නිසා එයට ඇඟිලි ගැසීමෙන් රාජ්‍යය තුළ කැරලි කෝලාහලවලට පවා මුල් විය හැකි කැළඹීම් හා අසමගිකම් ඇති විය හැකිය යන භීතියෙන්, පාලකයන් එසේ නොකිරීමට වග බලා ගනු ඇත.

අනික් අතින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩු ව්‍යවස්ථාවෙහි අයිතිවාසිකම් ප්‍රඥප්තියක් අන්තර්ගත කොට ඇත. එම ප්‍රඥපතියේ අංගයක් වූ පසළොස්වන සංශෝධනයෙන් කළු (නීග්‍රෝ) ජනයාගේ දේශපාලන නිදහස සහිතක කරතත්, එය විධායක මණ්ඩලය මගින් හෝ අධිකරණය මගින් හෝ මෑතක් වනතුරු ම නියම ලෙස ක්‍රියාවේ යොදා නොතිබිණ. මෙයින් පැහැදිලි වන්නේ අයිතිවාසිකම් පනතක් මානව නිදහස සහතික කිරීමට නියම බවය.

එහෙත් මහා බ්‍රිතාන්‍යයේ මෙවැනි අයිතිවාසිකම් පනතක් නොමැත. ඥානවන්ත කවර ආණ්ඩුවක් වුව ද උල්ලංඝනය නොකිරීමට පරිස්සම් වන විධියේ මූලික මූලධර්ම සමුදායක් එරටෙහි ඇත එරට ජනතාව දේශපාලන දැනුම ඇති සුපරීක්ෂ්‍යකාරී වැසියන් කොටසක් බැවින් ද අයිතිවාසිකම් උදෙසා සටන් කොට ඔවුන්ට පළපුරුදු ඇති බැවින් ද අයිතිවාසිකම් පනතක් හෝ අන්කිසි ලියවිල්ලක් හෝ ආණ්ඩු ව්‍යවස්ථාගත කිරීම අවශ්‍ය නොවීය. ආණ්ඩු ව්‍යවස්ථාගත අයිතිවාසිකම් පනතක් නැතිවත් රටේ ප්‍රජාව අයිතිවාසිකම් රැකගැනීම සඳහා සටන් කිරීමට සූදානම්ව සිටිතොත් මානව නිදහස රැකෙන බව මින් පෙනේ.

කර්තෘ:ඒ.ජේ.විල්සන්

(සංස්කරණය:1963)