අයින්ස්ටයින්, ඇල්බට්, (Einstein, Albert) 1879-1955

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්වාභාවික සංසිද්ධීන් අලුත් විධියකින් විවරණය කිරීම‍ට පටන්ගෙන සාපේක්ෂතාවාදය (බ.) ඉදිරිපත් කළ මොහු විසිවැනි ශත වර්ෂයේ විසූ අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි. මොහු ප්‍රකාශ කල මත නිසා මනුෂ්‍යයන්ගේ චින්තන ක්‍රමයෙහි මහත් විප්ලවයක් ඇති විය.

භෞතික විද්‍යාවේ ප්‍රගතියට එවක තිබුණ ලොකුම බාධා මොහුගේ මනැසට යොමු විය. එම විද්‍යාවේ පදනමෙහි ම යම්කිසි දෝෂයක් ඇති බව ද මොහුට පැහැදිලි විය. අයිසැක් නිව්ටන් (බ.) විසින් 17 වැනි ශත වර්ෂයේ දී, ගතිවිද්‍යාවත් (Dynamics) නක්ෂත්‍ර විද්‍යාවත් පිළිබඳව සකස් කර ගන්නා ලද නියමයන් හා මූල ධර්ම වෙනස් කළ යුතු බව අයින්ස්ටයින්ට වැටහිණ. එහෙයින් ක්‍රි.ව. 1905 දී ඔහුගේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදී. මේ වාදය අනුව ස්කන්ධය (mass) ශක්තියටත් (energy) ශක්තිය ස්කන්ධයටත් අන්‍යෝන්‍ය වශයෙන් පරිවර්තනය කළ හැකි ‍බව මොහු පෙන්වා දුන්නේ ය. පරමාණු බෝම්බය සැදීමට උ‍පයෝගී වූ මුල ධර්මය වනාහි අයින්ස්ටයින් සොයා ගත් E=MC2 යන සමීකරණයෙන් දැක්වෙන ස්කන්ධයත් ශක්තියත් අතර සම්බන්ධතාවයි. මේ සමීකරණයෙහි E යනුවෙන් ශක්තිය ද M යනුවෙන් ස්කන්ධය ද C යනුවෙන් ආලෝකයේ ප්‍රවේගය ද දැක්වෙයි. මොහු මේ මත නිවැරදි යැයි නිශ්චය වශයෙන් ඉදිරිපත් නොකර ඒවා පරීක්ෂණයට භාජන විය යුතුය යන්න යෝජනා කෙළේ ය. නානා රට වලට අයත් විද්‍යාඥයන්ගේ ප‍ර්යේෂණවලින් ඒවා නිදොස් බව ඔප්පු විය. අයින්ස්ටයින්ගේ මතවලට එකඟ වන්නට අනික් විද්‍යාඥයන්ට වැඩි කලක් ගත නොවීය. අයින්ස්ටයින් විද්‍යාවට නව මුහුණුවරක් දුන් චින්තකයකු ලෙස අප විසින් සැලකිය යුතුය. මේ ශතවර්ෂයේ දී භෞතිකවිද්‍යාවත් නක්ෂත්‍ර විද්‍යාවත් සම්බන්ධයෙන් කැරුණු ශ්‍රෙෂ්ඨතම නවීන ආවිෂ්කාරයන්ට පදනම් වූයේ මොහුගේ කෘතීන් ය.

අයින්ස්ටයින් උපන්නේ වර්ෂ 1897 දී ජර්මනියේ උල්ම් (Ulm) නග‍රයේ දී ය. මොහුගේ දෙමවුපියෝ යුදෙව් ජාතිකයෝ වූහ. ළමා කාලය ගත වූයේ තම පියාට අයත් විදුලි කම්හල් පිහිටි මියුනික් නුවරය. ක්‍රි.ව. 1894 දී අයින්ස්ටයින් පවුල ඉතාලියට ගොස් පදිංචි විය. අයින්ස්ටයින් ඉගෙනීම සඳහා ස්විට්සර්ලන්තයට ගියේය. මොහු ශිෂ්‍යයකුව සිටි අවස්ථාවේ ම ගණිත ‍භෞතික විද්‍යාවේ ප්‍රතිසංස්කරණය සඳහා පුරෝගාමීව ක්‍රියා කරන්‍නකු වෙතැයි කිසිවෙක් එකල නොසිතුවේය. ස්විට්සර්ලන්‍තයේ දී වර්ෂ 1900 දක්වා ජීවිතයාපනය සඳහා ගණිතයත් භෞතික විද්‍යාවත් උගන්වමින් සූරික් නුවරට අයත් බහු ශිල්ප ආයතනයේ (Polytechnic School) තවදුරටත් ඉගෙනීමෙහි ද යෙදුණේ ය. ගුරුවරයකු වි සිට අවුරුද්දක් ගත වූ පසු බර්න්හි නිෂ්පාදන ආරක්ෂක බලපත්‍ර (පේටන්ට්) කාර්යාලයේ පරීක්ෂක තනතුරට පත් විය. රක්ෂාවක් සෙවීමේ දි එහි තත්වය, වැටුප් ප්‍රමාණය, වැටුප් වැඩිවන ආකාරය ආදිය ගැන කිසිදු අපේක්ෂාවක් නොකොට තමාගේ අභිරුචීන්ට ගැළපෙන්නාවූ ද බුද්ධි විකාසනයට උපකාරි වන්නා වූ ද පරීක්ෂණ සඳහා සෑහෙන විවේකයකින් යුත් යම්කිසි වෘත්තියක් ලබා ගැනීම ඔහුගේ එක ම පරමාර්ථය විය. රක්ෂාව ලබා ගැනීමෙන් පසු මොහුගේ සිත කය වෙහෙසන ලද්දේ භෞතික විද්‍යාවෙහි ඒතාක් නොවිසඳුණාවූ ද මහත් ගැටලු වශයෙන් පැවතුණා වූ ද ප්‍රශ්නයන් නිරාකරණය කිරිම සඳහායි.

වර්ෂ 1909 වන තුරු මොහු නිෂ්පාදන ආරක්ෂක බලපත්‍ර කාර්යාලයේ රක්ෂාවෙහි නියුක්තව සිටියේය. සූරික් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන ලද පශ්චාත් උපාධිය ලබා ගෙන භෞතික විද්‍යාව පිළිබඳ මොහුගේ මුල් ලිපි පළ කලේ මේ කාල පරිච්ඡේදයෙහි දීය. ඒවා කොපමණ උසස් ලෙස පිළිගනු ලැබුවේ ද යත් මොහු සූරික් විශ්ව විද්‍යාලයේ සෛද්ධාන්තික ‍භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ මහාචාර්යවරයකු ලෙස පත්කර ගන්නා ලදී. මොහුගේ විශිෂ්ටත්වය පැහැදිලි වූ විට මොහුට 1913 දී බර්ලින් නගරයේ කයිසර්විල්හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ පදවිය පවරන ලදී. රාජකීය ප්‍රසියානු විද්‍යා ආයතනයේ සාමාජිකත්වය ද මොහුට ලැබිණ. මොහුගේ මුළු කාලය ම පර්යේෂණ උදෙසා කිසි අවහිරයක් නොමැතිව යෙදවීම පිණිස ප්‍රමාණවත් වූ වේතනයක් මොහුට දෙන ලදී. එංගලන්තයේ රාජකීය සංගමයේ සම්මාන සාමාජිකත්වය ද මොහුට පිරිනැමුණේය. 1921 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය. 1925 දී රාජකීය සංගමයේ කොප්ලි පදක්කම ද 1926 දී රාජකීය නක්ෂත්‍ර සංගමයේ රන් පදක්කම ද සාපේක්ෂතාවාදය සොයා ගැනීම නිමිතිකොට මොහුට ප්‍රදානය කරන ලදී. ජර්මනියේ බලය අත්පත් කරගත් හිට්ලර් එරට විසූ යුදෙව් ජාතිකයන්ට තාඩන පිඩන කරන්ට වන. අයින්ස්ටයින් පවා මින් නොගැළවිණ. එම නිසා 1930 හේ මුල් භාගයේ දි මොහුගේ සිත එංගලන්තයත් ඇමරිකාවත් දෙසට ඇදී ගියේය. හිට්ලර් විසින් අයින්ස්ටයින් කයිසර්-විල්හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ද බර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධූරයෙන් ද පහ කරන ලද්දේ, ඔහු විදේශයක සිටිද්දී මය. 1933 දී අයින්ස්ටයින් ඇමෙරිකාවේ නිව් ජ’සි ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපන ආයතනයෙහි ගණිතය පිළිබඳ මහාචාර්ය ධූරයට පත් විය. ස්වල්ප කලකට පසු ඇමෙරිකානු පුරවැසිබව ලැබූ මොහු සිය මරණය දක්වා ම ප්‍රින්ස්ටන්හි විසුවේය. තමන් වෙත 1952 දී පිරිනැමුණු ඊශ්‍රායලයේ ජනාධිපති පදවිය අයින්ස්ටයින් ප්‍රති‍ක්ෂේප කෙළේය. ඔහු සිය අවසාන කාල‍යේ දී ලෝක සාමය ඇති කරලීමට බලවත් පරිශ්‍රමයක් දැරීය. සංගීතය ප්‍රිය කළ මේ කුශාග්‍ර බුද්ධිමතා අතිදක්ෂ වයලින වාදකයෙක් ද විය. 1955 අප්‍රියෙල් 18 වැනි දා ප්‍රින්ස්ටනයේ සිය නිවසෙහි කලුරිය කළ මොහුගේ දේහය එදින ම ආදාහනය කරන ලදී.

දහනව වැනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී බොහෝ භෞතික විද්‍යාඥයන් විශ්වාස කෙළේ එවක භෞතික විද්‍යාවේ ආකෘතිය නිශ්චයාකාරයෙන් හැඩ ගැසී තිබුණ බවත් එහි අනාගත සංවර්ධනය ඒ සැලැස්මට අනුරූපව සිදු විය යුතු බවත් ය. එහෙත් ඒ අදහස් ඇතැම් අය අනුමත නොකළහ. ප්‍රධාන දුෂ්කරතාවන් දෙකකින් භෞතික විද්‍යාවේ ප්‍රගතියට එකල බාධා පැමිණි බව ඔවුහු දැන සිටියහ. ඉන් එකක් නම් අවකාශය තුළ පෘථිවියේ ඇති ප්‍ර‍වේගය පර්යේෂකයන්ට මැනිය නොහැකි බවය. සෑම පරීක්ෂකයකුටම සාධාරණ නිරපේක්ෂ කාලයක් (absolute time) ද නිරපේක්ෂ අවකාශයක් ද තිබෙන බව නිව්ටන්ගේ විශ්වාසය විය. එය එසේ නම් මේ අවකාශය ඔස්සේ පෘථිවිය වැනි වස්තුවක ප්‍රවේගය මැනිය හැකි විය යුතුය. එහෙත් කිසිදු යාන්ත්‍රික (mechanical), ප්‍රකාශක (optical) හෝ විද්‍යුත් චුම්බක (electromagnetic) උපක්‍රමයකින් මෙම ප්‍රවේගය මැනිය නොහැකි විය. භෞතික විද්‍යාවේ ප්‍රගතියට එවකට තිබුණ දෙවැනි බාධකය වූයේ උෂ්ණත්වය නියත ව පවත්වා තබා ගෙන ඇති විට දී කුහර සහිත වස්තුවක ඇතුළත් ව තිබෙන විකිරණ ශක්තියේ ඝටනාව සම්බන්ධ සිද්ධාන්තයත් ප්‍රායෝගික නිරීක්ෂණත් එකිනෙකට නොගැළපීමයි.

භෞතික විද්‍යාවේ ඒ තාක් නොවිසඳන ලද මේ ගැටලු දෙක ගැන අයින්ස්ටයින් සියුම් ලෙස අවුරුද්දක දී මොහු විසදුවේය. මොහුගේ වයස එවිට අවුරුදු 24 ක් විය. භෞතික විද්‍යාවේ දුෂ්කරතා එම විද්‍යාවේ සැලැස්මේ ම වූ අඩුලුහුඩුකම් නිසා ඇති වූ බව අයින්ස්ටයින්ට ඉතා ඉක්මනින් පැහැදිලි විය. එහෙයින් මුල් සංකල්ප පිරික්සා බැලීමට මොහු පටන් ගත්තේය. ‍සෑම පරීක්ෂකයකුට ම සාධාරණ වූ නිරපේක්ෂ අවකාශයත් කාලයත් පිළිබඳව එවක පැවති මත සියලු දුෂ්කරතාවන්ට හේතු වී පැවති බව ඉතා සැලකිල්ලෙන් කරන ලද සොයා බැලීම්වලින් එළිදරවු විය. භෞතික විද්‍යාවේ ප්‍රගතියට ඇති වී තිබෙන ඉහත කී බාධාවන් ඉවත් කිරීමට නම් මේ වැරදි මත බැහැර කළ යුතු බව මොහු ප්‍රකාශ කළේ ය. සෑම පරික්ෂකයකුටම ඔහුට අභිමත පරිදි අවකාශයක් උපයෝගී කර ගැනීමට හැකි බව ද කවර අවකාශයක් හෝ කාලයක් හෝ යොදා ගත්තේ වී නමුදු ස්වභාව ධර්මයාගේ නියතිය නොවෙනස්ව එසේ ම පවත්නා බව ද අයින්ස්ටයින් පෙන්වා දුන‍්නේ ය. මොහුගේ සාපේක්ෂතාවාදයේ පදනම මෙයයි. තවත් වස්තුවකට සම්බන්ධතාවක් ඇති වස්තුවක ප්‍රවේගය මැනිය හැකි වුවත් එහි නිරපේක්ෂ ප්‍රවේගය එසේ කවදාවත් මැනිය නොහැකිය. නිරපේක්ෂ ප්‍රවේගයක් නොමැති බව අයින්ස්ටයින් ප්‍රකාශ කෙළේ ය. ඔහුට නිරපේක්ෂ ප්‍රවේගය යනු නිරර්ථක සංකල්පයකි. අවකාශයෙහි දී පෘථිවියේ ප්‍රවේගය මැනිය හැකි යැයි සිතීම තර්කානුකූල නොවන බව මොහු පෙන්වා දී ඒ වෙනුවට අලුත් මතයක් ඉදිරිපත් කෙළේ ය. නිව්ටන් විසින් අදහස් කරන ලද පිළිවෙළට නිරපේක්ෂ අවකාශයක් හෝ කාලයක් හෝ නැති බව ද නිරපේක්ෂ යැයි සිතිය හැක්කේ අවකාශ-කාල සංයෝගය බව ද මොහු පෙන්වා දුන්නේ ය. ත්‍රිමාන ලෝකයක් තුළ වෙනස් වෙනස් වේලාවන්හි දී ස්වාභාවික සංසිද්ධි පහළ විය නොහැකි යැයි ද ඒවායේ පහළ විම වනුයේ චතුර්මාන ලෝකයක් තුළ පමණකැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහුගේ අනික් වැදගත් නිගමන වූයේ :

  1. කිසිම ද්‍රව්‍යාංශුවකට ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්නට නුපුළුවන;
  2. වස්තුවක ස්කන්ධය නියම නැත; එහෙත් එය නිරික්ෂකයාට පෙනෙන ආකාරයෙන් එම වස්තුවේ ප්‍රවේගය මත රඳා තිබේ;
  3. පදාර්ථයත් (matter) ශක්තියත් ස්වාධීන භූතාර්ථයෝ (entities) නොවෙත්; එහෙත් ඒවා එකිනෙකට පරිවර්තනශීලීය යන මේවායි.


අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිව්ටෝනියානු ගති විද්‍යාවේත් නක්ෂත්‍ර විද්‍යා‍වේත් නියමයන් වෙනස් කරන අතර ම, අභූත කල්පිතයක් මෙන් බොහෝ දුරට සලකන ලද ආලෝකය පිළිබඳ නිව්ටන්ගේ ලවකවාදයට (Corpuscular Theory) නව පණක් දුන්නේ ය. අයින්ස්ටයින් මේ ලවවලට ආලෝක ක්වොන්ටා යයි නම් කර, ආලෝකය විමෝචනය වී ක්වොන්ටම් වශයෙන් පරමාණුවලට අව‍ශෝෂණය වුව හොත් විකිරණයත් පදාර්ථත් අතරේ ඇති වන අන්තර්ක්‍රියාව සම්බන්ධයෙන් පැවති ගැටලු නැති වී යන බව පෙන්වා දුන්නේය. මැක්ස් ප්ලාන්ක් (බ.) විසින් ඉදිරිපත් කරන ලද ක්වොන්ටම්වාදයට (Quantum Theory) දැන් පවත්නා ස්වරූපය දුන්නේ අයින්ස්ටයින්ය.

නවීන විද්‍යාවට ඇල්බට් අයින්ස්ටයින්ගෙන් සැලසුණු සේවය ඉහමත්ය. ඒ කරණකොට ගෙන භෞතික විද්‍යාවේ විපර්යාස‍යක් ඇති වූවා පමණක් නොව විද්‍යාත්මක දර්ශනයෙහි සෑම අතින් ම වෙනස්කම් ද ඇති විය. ඔහුගේ කෘතීන් ගේ වටිනාකම මෙතෙකැයි අපේ ජීවිත කාලය තුළ දී හරි හැටි ප්‍රමාණ කළ නොහැකි ය. අවකාශයත් කාලයත් පිළිබඳ මොහුගේ මතයන්ගේ සාරගර්භතාව ප්‍රත්‍යක්ෂ විය හැක්කේ වර්තමාන යුගයට වඩා පරිකල්පන බුද්ධිය කීප වාරයකින් දියුණු වූ අනාගත යුගයක දී පමණෙකි. අයිසැක් නිව්ටන්ගේ මරණයෙන් අවුරුදු දෙසීයයකට පසු භෞතික විද්‍යාවට මුළුමනින් නව මුහුණුවරක් දුන් පුද්ගලයා වන ඇල්බට් අයින්ස්ටයින්ගේ නාමය මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ ආවිෂ්කරණ දෙකක් වූ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම්වාදය ද සම්බන්ධයෙන් සදානුස්මරණීය වනු නොඅනුමානය. අයින්ස්ටයින් විසින් විරචිත කෘතීන්ගෙන් සමහරක් නම් “සාපේක්ෂතාව යන්නෙහි අදහස”(Meaning of Relativity) “විශ්වය ගොඩනැඟුවෝ” (Builders of the Universe) “මට පෙනෙන ලෝකය” (The World as I see it ) හා “භෞතික විද්‍යාවේ පරිණාමය” (The Evolution of physics) යන මේයි.