අයිල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහලයන්ගේ තොවිල්, ගම්මඩු, දෙවොල්මඩු ආදී ජනපූජෝත්සවවල දී ඉදිකරනු ලබන නිර්මාණ කීපයක් ම අයිල නමින් හැඳින්වේ. යකුන්ට දොළ දීම නමින් හැඳින්වෙන ආහාර දීම සඳහා කෙහෙල් පතුරුවලින් සකස් කරගනු ලබන "තටු" අයිල විශේෂයකි. දොළ පිදේනි ඇර තැබීම උදෙසා අඩි හතරක් පමණ උසට සිටුවන ලද කෝටු මත ගොක්කොළ මල් ආදියෙන් සරසා සාදනු ලබන මැසි තවත් අයිල විශේෂයකි.

රජමහා කන්කාරි නමැති උත්සවයේ දී සාදනු ලබන අයිල "මුල් අයිල" නමින් හැඳින්වේ. කොහොඹා කංකාරි උත්සවයේ අයිල "කඩ අයිල" නමි. කැන් සහිත කෙසෙල් ගස් දෙකක් දෙපස සිටුවා තනනු ලබන අයිල "ගවරමල අයිල" හෙවත් "මුවමල අයිල" නමින් හැඳින්වේ.

අයිල තැනීම හා අයිල කැප කරනු ලබන භූතයන් පිළිබඳ විස්තර දැක්වෙන කවි, යාදිනි ආදිය තොවිල්වල දී ඇතැම්විට කියැවෙයි. ඇතැම් තොවිල් කවියක පෙනෙන පරිදි අයිල තනනු ලබන්නේ මැදියක් තුන්දොළහ, මෙලෙයියක් තුන්දොළහ, මහා ගුරුන්නාන්සේ, කුඩා ගුරුන්නාන්සේ, කංසායෝගි මෙලෙයියක් තුන් කට්ටුව ආදී නම්වලින් හැඳින්වෙන භූතයන් සඳහාය. අයිල තබන කවි නමින් හැඳින්වෙන කවි හතක් ඇතැම් තොවිලයක එයි. පහත සඳහන් වන්නේ අයිල සම්බන්ධ තොවිල් කවියකි.

අග්නි දිගින් අයිලය සරසා ලා

අයිල මුදුන පිදවිලි කැප කර ලා

නව අතු ගෙන අයිලේ සරසා ලා

අබූත යකු පුද ගන් ලෙඩ හැර ලා

උස් පුවක් ගස් සතරක් මුලින් කපා, කොළ ද සහිතව අඩි හතරක් පමණ පරතරය තබා කොටුවක් කොට සිටුවා කරටිවලට අඩි හයක් පමණ පහතින් මැස්සක් බැඳ සාදනු ලබන අයිල විශේෂයක් ද වෙයි. අඩි හතරක පමණ පරතරය ඇතිවන සේ ගොරක අතු දෙකක් සිටුවා තවත් අයිල වර්ගයක් ගරායකුන් නැටීම සඳහා සාදනු ලැබේ. බිම සිට අඩි හයක් පමණ ඉහළින් ගොරක අතු දෙක හරහට බඳිනු ලබන පොල්ලක් උඩට ගොඩ නැඟුණු වෙස්මුහුණ බැඳි ඇදුරා හෝ කපුරාළ එම අයිලය ඔබට මොබට වේගයෙන් පදිමින් බලා සිටින්නන් බිය ගන්වන පෙළපාළියක් දක්වයි. මෙය අයිල පැදීම යනුවෙන් හැඳින්වේ. අයිල පැදීම අවසාන වන්නේ ඇදුරා ගොරක අත්තක් කඩාගෙන බිමට පැනීමෙනි. මේ වනාහි වස්දොස් නැති කරන ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිල&oldid=2322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි