අයිසන්ස්ටයින්, සිර්ගේ ඇම්.

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Eisenstein, Sergei M.) 1899-1948. සුප්‍රසිද්ධ රුසියන් නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවර නැව් කර්මාන්ත හිමි ධනකුවේරයකුගේ පුත්‍රයකු වූ මොහු ගෘහ නිර්මාණ ශිල්පය හා ඉංජිනේරු විද්‍යාව හදාළේය. රුසියන් විප්ලවයට අනතුරුව ඇතිවූ කැළඹීම් සහිත කාල පරිච්ඡේදයෙහි දී කලාව පිළිබඳව ඔහුගේ උනන්දුව වර්ධනය විය. කලක් නාට්‍ය නිෂ්පාදනයෙහි හා වේදිකා සැරසිලි නිර්මාණයෙහි නියුක්තව සිටි මොහු "සෝවියට් තාත්විකවාදය" යන නමින් තමා හැඳින්වූ තාත්වික සම්ප්‍රදායට අනුකූලව නාට්‍ය නිෂ්පාදනය කළේ ය. 1923 දී ඔහු නිපදවූ "ගෑස් වෙස්මුහුණු" නමැති නාට්‍යය රඟ දක්වන ලද්දේ නාට්‍යශාලාවක නොව ගෑස් කර්මාන්තශාලාවක ය.

සිය ශිල්පක්‍රමයට වඩාත් උචිත වූයේ චිත්‍රපටි මාධ්‍යයය යන හැඟීම සමහරවිට ඔහු තුළ මේ අවධියේ දී පහළ වෙන්ට ඇත. 1924 දී ඔහු "වැඩ නැවැත්වීම" නම් වූ තම ප්‍රථම චිත්‍රපටිය නිපදවීය. 1905 විප්ලවය දක්වන චිත්‍රපටියක් නිපදවන ලෙස රුසියන් ආණ්ඩුව අයිසන්ස්ටයින්ට ආරාධනය කළේය. ඔඩෙස්සාහි සිදුවූ කැරැල්ල පිළිබඳ දර්ශනයක් ද ඊට ඇතුළත් කිරීමට සිතූ ඔහු එම ස්ථානය නැරඹීමට ගිය නමුත් එම කැරැල්ල මහජනයා කළ සටනේ සංකේතයක් වශයෙන් දැක්විය හැකි බව ප්‍රත්‍යක්ෂ කොටගෙන එම සිද්ධිය අලළා චිත්‍රපටියක් නිපදවී ය. ඒ වනාහි 1925 දී මුලින් ම පෙන්වනු ලැබූ ලෝක ප්‍රසිද්ධ "පොටෙම්ප්කින් යුද්ධනෞකාව" නම් වූ චිත්‍රපටියයි. "ලොව සෙලවූ දින දහය" "(Ten Days that shook the World)", "ඇලෙක්සැන්ර් නොව්ස්කි", "බියකරු ඉවාන්" (Ivan the Terrible) යන චිත්‍රපටි ද අයිසන්ස්ටයින්ගේ නිෂ්පාදන වේ. 1930 දී ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ඔහු පැරමවුන්ට් නිෂ්පාදන ආයතනය මගින් චිත්‍රපටිගත කිරීම සඳහා "ඇමෙරිකානු ශෝකාන්ත නාට්‍යය" (American Tragedy) නමැති නාට්‍යය සකස්කළ නමුත් එය ප්‍රතික්ෂේප කරන ලදි. රුසියාවට නැවත පැමිණි අයිසන්ස්ටයින් ආණ්ඩුවේ නියමය අනුව "බෙශින් ඕවිට" (Bezhin Meadow) නම් වූ රුසියන් ගොවියන් පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දක්වන චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට පටන් ගත් නමුත්, පසුව එය 'ඕනෑවට වඩා ශෛලීගතය" යන විවේචනය නිසා නතර කරන ලදි. තවත් චිත්‍රපටි කීපයක් ම නිපදවීමට ඔහු අදහස් කළ නමුත් ආණ්ඩුවේ නිලධාරීන්ගේ විරෝධය නිසා කළ හැකි නොවී ය.

අයිසන්ස්ටයින් චිත්‍රපටි සිද්ධාන්තවාදීන් අතර අග්‍රගණ්‍යයකු සේ ගැණේ. ඔහු විසින් චිත්‍රපටිකලාව පිළිබඳ පොත් කීපයක් ම ලියන ලද්දේ ය. ඒ පිළිබඳව නොයෙක් අවස්ථාවල කථා ද පැවැත්විය. චිත්‍රපටිය හා චිත්‍රකලාව, චිත්‍රපටියේ මනෝවිද්‍යාව යනාදී වශයෙන් කාණ්ඩ දහයකින් යුත් විශාල ග්‍රන්ථයක් කිරීමට ඔහු අදහස් කරගෙන සිටි නමුත් එම කාර්‍ය්‍යය ඉෂ්ටකිරීමට ඔහුට අවකාශ නොමැති විය.

අයිසන්ස්ටයින් ප්‍රකාශ කළ එක් මතයක් චිත්‍රපටි සංස්කරණය පිළිබඳ වැදගත් සිද්ධාන්තයක් විය. සැකෙවින් කියතොත් ඒ මෙසේයි: එකිනෙකින් වෙනස් රූප දෙකක්, එකකට පසුව අනික ඉදිරිපත් කිරීමෙන් නරඹන්නා තුළ ඇතිවන හැඟීම ඒ රූප දෙකේ එකතුවට වඩා කිසිවකින් අධික වේ යනුයි. මේ මතය ඇතිවීමට හේතුවක් වූයේ චීන රූපාක්ෂර ක්‍රමය කෙරෙහි ඔහු තුළ වූ ඇල්මයි. ඒ ක්‍රමය අනුව ඇසේ රූපය හා වතුර බින්දුවක රූපය එක්කළ කල්හි ඒ දෙකෙන් ම වෙනස් වූ "හැඬීම" වාචී සංකේතය ලැබේ. චිත්‍රපටි සංස්කරණයේ ද මෙවැන්නක් සිදුවන බව ඔහු කීවේය. මෙම සංස්කරණ විධිය පිළිබඳ හොඳ ම නිදර්ශනත්, එහි අනර්ඝතාව ස්ඵුට කරවන සාක්ෂිත් ඔහුගේ චිත්‍රපටිවල ම පළවෙයි. විශේෂයෙන් ම "පොටෙම්ප්කින් යුද්ධ නෞකාව" නමැති චිත්‍රපටියේ එන ඔඩෙස්සාහි පඩිපෙළ මත දර්ශනය මේ සම්බන්ධයෙන් බොහෝ විට දක්වනු ලැබේ. මේ දර්ශනය චිත්‍රපටි ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම දර්ශනයක් හැටියට සැලකේ. ඉන් ජනිත වන තියුණු හැඟීම 1925 දී එය මුලින් ම පෙන්වූ අවස්ථාවේ මෙන් ම අදත් ඇති කෙරේ. එහි නව්‍යත්වය හා සිත් කම්පා කරවන ස්වභාවය විස්මය ජනක බව විචාරකයෝ එකහෙළා පවසති.

ත්‍රිමාන චිත්‍රපටිය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීම ද ආරම්භ කළ ඔහු එය සම්පූර්ණ කිරීමට පෙර මිය ගියේ ය.

(සංස්කරණය:1963)