අරම විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි රජමහා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පරණකූරු කෝරළේ තුන් පළාත පත්තුව බද රහලගල කඳුවැටියට පහළින් මෙය පිහිටියේය. විහාරය වළගම්අබා රජු විසින් කරවන ලදැයි සැලැකේ. නිශ්ශංකමල්ල රජු මෙය ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවේ. මෙහි සුරක්ෂිතව ඇති පුරාණ තුඩපතක විහාරය පිළිබඳ පුරාවෘත්තය සඳහන් වේ. ඒ අනුව අරම විහාරය පිහිටි ස්ථානය පූර්වයෙහි රහතුන් විසූ ශුද්ධ භූමියකි. වළගම්බා රජු මෙහි දෙමහල්පායක් ද ධාතු චෛත්‍යයක් හා සංඝාරාමයක් ද පුෂ්පාරාමඵලාරාමයන් ද කරවා බෝධිචෛත්‍යයක් ද අරම යනුවෙන් නම් කොට ගම්බිම් ද ඊට පූජා කළ බව එම තුඩපතෙහි සඳහන් වේ.

ජරාවාස වී ඇති පැරණි මළුව, ගජසිංහ ආකෘතියෙන් නිමවූ කොරවක්ගල්, ගල්කුලුනු සහිත පඩිපෙළ හා විහාරය අසල පිහිටි ගල්සන්නස ද අරම විහාරයේ පුරාවස්තු අතර වේ. දැනට මෙහි අලුත් විහාර මන්දිරයක් ඉදි කොට තිබේ. පැරණි බුද්ධ ප්‍රතිමා සියල්ල ම පාහේ නෂ්ටප්‍රායව ඇත. මේවා අතර, අත්පාවල මැටි බදාම ගැළවී ගිය. දැවයෙන් තැනූ සිටිපිළිමයක් ද වේ. වුවත් අතිශයින් ශාන්ත ස්වරූපයක් උසුලයි.

වළගම්බා රජු සැඟවී සිටි තැනකැ රහලගලේ ගල්ගුහාව ද අරම විහාරය අසල පිහිටා තිබේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරම_විහාරය&oldid=3067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි