අර්තාපල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2-83-1.jpg
(සොලානුම් ටුබ‍ෙරෝසුම්—Solanum tuberosum L.).

අර්තාපල් වනාහි දුර්වල සිනිඳු කඳක් ද බොහෝ අතු ද ඇති මිටි වූ බහු වාර්ෂික පැළෑටියකි. එහි උස අඩි 3ක් පමණ වේ. කොළ අක්‍රමවත් ලෙස පක්ෂවත් (pinnate)ය. මලක් අඟල් 1, 1/2ක් පමණ පළල්ය, චක්‍රාකාරය. මල වල පැහැය ඒකාකාර නොවේ. විවිධ ප්‍රභේදවලට අයත් සුදුපාට, නිල්පාට, හෝ දම්පාට වූ මල් හටගන්නා අර්තාපල් ප්‍රභේද ඇත. ඵලය වටකුරු බදරිය (berry)කි. එද හටගන්නේ සමහර ප්‍රභේදවල පමණෙකි. එහෙත් බොහෝ දියුණු කරන ලද නවීන ප්‍රභේදවල ඵල හට ගැනීමක් නැත. දුම්කොළ හා තක්කාලි පැළෑටි මෙන් අර්තාපල් ද සොලනා සේ කුලයට අයත්ය. පොළොව යට සෑදෙන අල හෙවත් ආකන්ද (tubers) මාර්ගයෙන් අර්තාපල් පැළෑටිය අලිංගිකව බෝ වෙයි. පැළෑටියේ ප්‍රරෝහයෙහි (shoot) පහටියේ කොළ වල කක්ෂයන්හි (axils) තිබෙන අංකුරවලින් ක්ෂීණ ‍රෛසෝම හෙවත් භූගත කඳන් ඇති වේ. ඒ කඳෙහිත් එහි හටගන්නා අතුවලත් කෙළවර මහත් වීමෙන් අර්තාපල් අල සෑදේ. අලයෙහි අංකුර ඇති බැවින් අර්තාපල් අලය මුලක් නොව කඳක් බව පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන. එහි එක් කෙළවරක හෝ ඊට ළඟින් හෝ අග්‍රස්ථ අංකුරයක් තිබේ. අලය වටේට සර්පිලාකාරව පිහිටි දුර්වල කොළ කක්ෂවල පාර්ශ්වික අංකුර දක්නට පිළිවන. එහෙයින් අර්තාපල් අල වනාහි භූගත කඳේ පර්ව (internodes) කිහිපයකි. දුඹුරු පාට පිට ලෙල්ල තුනී වල්ක (cork) පටක ස්තරයකින් යුක්තය. අර්තාපල් අලය ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ඉන්ද්‍රියයකි. අලයෙහි අංකුරවලින් වැඩෙන පැළෑටිය පෝෂණය වනුයේ එහි ගබඩා වී ඇති පිෂ්ටය මගිනි.

2-83-2.jpg

විලි, පේරු හා මෙක්සිකෝ යන රටවල උස් මිටියාවත් මේ පැළෑටියේ ජන්මභූමීහුය. ක්‍රි.ව.200 පමණේ දීත් පේරුවේ අර්තාපල් භාවිත කළ බව වාර්තා වී ඇත. එම කාලයේ දී සෑදූ අර්තාපල් සටහන් ඇති මැටි බඳුන් හමු වී තිබේ. පළමුවරට පේරුවේ සිට ස්පාඤ්ඤයට අර්තාපල් ගෙන ගියේ 16 වැනි ශතවර්ෂයේ දී වන්නට පිළිවන. ක්‍රි.ව.1565 දී යුරෝපයට පළමුවෙන් අර්තාපල් ගෙන ගිය බවට සාක්ෂ්‍ය තිබේ. මුල් බිමෙහි වැවෙන වල් අර්තාපල් පැළෑටි මේ වන තුරුත් දක්නට ලැබේ. ඒවා වැඩි දියුණු කරන ලද අර්තාපල් වර්ගවලට කිට්ටු වූ සමානකම් දක්වයි. ක්‍රි.ව.1772න් පසු කාලයෙහි ජර්මනියේ කෘෂිඵලයක් මෙන් අර්තාපල් වවන ලදි. ක්‍රි.ව.1840 දී අයර්ලන්තයේ ධාන්‍ය හා වෙනත් බෝග වෙනුවට අර්තාපල් බහුල ලෙස වචන ලදී. ඊට පසු අයර්ලන්තයේ ප්‍රධාන ආහාරය බවට පත් වූයේ අර්තාපල්ය. 1846 දී ඇති වූ කොළ රෝගයකින් අයර්ලන්තයේ අර්තාපල් වගාව විනාශ වූ විට එරට දරුණු දුර්භික්ෂයක් ඇති විය.

2-84-1.jpg

අර්තාපල්වලින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. එහි ප්‍රධාන ම වටිනාකම ඇත්තේ මනුෂ්‍ය ආහාරයක් වශයෙනි. හාල් හැරුණු විට ලෝකවාසීන්ගේ ප්‍රධාන ආහාරය අර්තාපල් යයි කියන්නට පිළිවන. දුප්පත් පොහොසත් කවුරුත් මේ ආහාරයට ප්‍රිය කරති. අර්තාපල් කෑම පිණිස පිළියෙල කිරීමට ද ඉතා පහසුය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිපදවන ගොවි ද්‍රව්‍ය අතර හයවැනි ස්ථානය අර්තාපල්වලට ලැබේ. ජර්මනියේ ඊටත් වඩා අර්තාපල් නිපදවති.

අර්තාපල්වල විශ්ලේෂණය පහත දැක්වෙන පරිදි වේ:- ජලය 78%; පිෂ්ට 18%; ප්‍රෝටීන් 2.2%; අළු 1% සහ මේද 1%. B1, B2 සහ C විටමින් වර්ග ද සැලකිය යුතු ප්‍රමාණයෙන් තිබේ. පිෂ්ට, ග්ලූකෝස්, සායම් සහ කාර්මික මද්‍යසාර ආදියද අර්තාපල්වලින් නිපදවනු ලැබේ. රෙදිපිළී කර්මාන්තයෙහි ද ගව ඌරු ආදී සතුන්ගේ ආහාර පිණිස ද අර්තාපල් භාවිත කරනු ලැබේ.

2-84-2.jpg

අර්තාපල් පැළෑටිය යුරෝපයට ගෙනා පසු එහි අපූර්ව වෙනස් වීම් ඇතිවීමෙන් වර්තමාන අර්තාපල් පැළෑටිය වර්ධනය වී තිබේ. බොහෝ වෙනස් වීම් සිදු වී ඇත්තේ බෝ කිරීමේ නවීන ක්‍රම නිසාය. දැන් අර්තාපල් ප්‍රභේද සිය ගණන් ඇත. වඩා පැරණි ප්‍රභේද කල් යත් යත් අභාවයට යයි. ඒ අඩුපාඩුව අලුත් ප්‍රභේදවලින් පුරවනු ලැබේ. අර්තාපල් පැළෑටියට බහුල ලෙස සෑදෙන රෝගය නම් ෆිටොප්ටෙරා ඉන්ෆෝපස්ටන්ස් දිලීරයෙන් ඇති කරන බ්ලයිට් නමැති කොළ රෝගයයි.

අර්තාපල් ගොවිතැන: 1909යේ පටන් ලක්දිව ද අර්තාපල් වවනු ලැබේ. ඉක්බිති 1948න් පසු කරන ලද පරීක්ෂණවලට අනුව ග්‍රේට් ස්කොට්, ඩියුක් ඔප් යෝක්, එපිකියර්, වෝරාන්, අප් ටු ඩේට් සහ ඇල්ජිපා මෙරටෙහි වැවීමට සුදුසු වර්ග යැයි සොයාගෙන ඇත. දම් පාට සිවියක් ඇති නුවරඑළි අර්තාපල් (සෝලානුම් කොමර් සෝනි) ද තරමක් සාර්ථකව වැවීමට පිළිවන.

අර්තාපල් සඳහා සුදුසු පස නම් ගැඹුරු වූද හොඳින් දිය සීරාව බැස යන්නා වූ ද දිරූ කොළ ආදිය බහුල වූ ද යම්තම් අම්ල ගතියෙන් යුක්ත, සැහැල්ලු සාරවත් පසයි. වැස්ස ද වාතයේ තෙතමනය ද අඩු, පැ. 65°ත් 75°ත් අතර උෂ්ණත්වයක් ඇති, අඩි 3,000කට වඩා උස් ප්‍රදේශ අර්තාපල් ගොවිතැන සඳහා ඉතා ම යෝග්‍යය.

සිටුවීම පිණිස ගන්නේ අඟල් 3/4ක් පමණ දිගට මොරෙයියන් අදිනු පිණිස තබන ලද අවුන්ස 3/4 සිට අවුන්ස 1,1/2ක් දක්වා බර ඇති නීරෝග අල හෝ ලොකු අලවල කැබලිය. සිටුවීමට මොරෙයියන් ශක්තිමත් කරනු පිණිස මේවා අවිගස්සා ගත යුතුයි. කොම්පෝස්ට් හෝදිරූ ගොම හෝ දැමූ පාත්තිවල අඩියක් පරතරය ඇතිව මොරෙයියන් සිටුවිය යුතුය. වැස්ස අධික ප්‍රදේශවල පස් කඳු ගසා ද ජල සම්පාදනය කළ යුතු නම් ඇගිලිවල ද සිටුවීමට පිළිවන. අර්තාපල් සිටුවිය යුත්තේ තද වැසි කාලයෙන් පසු ජනවාරියේ සිට මාර්තු මාසය දක්වාය. ජලසම්පාදනය කළ යුතු වදුල ඇති ඉඩම්වල නම් ජූනි-ජූලි කාලයෙහි සිටු විය යුතුය. අල හාරා ගැනීම ඒ ඒ වර්ගයට අනුව මාස තුන හතරක දී කළ හැකිය.

අර්තාපල්වලට රෝග කීපයක් ම වැලදේ. රෝගී පැළෑටි විනාශ කිරීම අත්‍යවශ්‍යය. පැළය අඟල් 6ක් දික් වූ පසු දින 10කට වරක් සුදුසු දිලීරනාශකයක් ඉසීමෙන් බ්ලයිට් රෝගය වළකා ගත හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අර්තාපල්&oldid=3963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි