අර්ථ ශාස්ත්‍රය (ආර්ථික විද්‍යාව)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජයෙහි ඇති මනුෂ්‍ය හා ද්‍රව්‍ය සම්පත් පාලනය වන අන්දම විස්තර කෙරෙන සිද්ධාන්ත සමුදායයක් ඇති කරලීම අර්ථ ශාස්ත්‍රයෙහි පරමාර්ථය වේ. අර්ථ ශාස්ත්‍රය සඳහා ඉංග්‍රීසි භාෂාවෙහි යෙදෙන Eeonomics යන වචනය කුටුම්බවාචී ග්‍රීක වචනයකින් බිඳුණකි. 'ආර්ථික ක්‍රමය' යනුවෙන් කියැවෙන සංවිධානය වූ ඒකකයට ඉතා ම සරල නිදසුන වශයෙන් දැක්විය හැක්කේ කුටුම්බය හෙවත් පවුලයි. අර්ථ ශාස්ත්‍රය මගින් විසඳීමට අපේක්ෂා කැරෙන ප්‍රධාන ප්‍රශ්න කල්පිත වශයෙන් ගනු ලබන පවුලක සංවිධානයෙහි දැක්ක හැකිය. පවුලේ අය විසින් ස්වකීය ජීවනෝපාය සලසා ගැනීම සඳහා සිය ශ්‍රම ශක්තිය හා තමන් සතුව පවත්නා සම්පත් ද උපයෝගී කරගත යුතු වේ. මේ සම්බන්ධයෙන් ඔවුනට මුහුණ පාන්නට සිදුවන මූලික ප්‍රශ්න පහකි.

පළමු කොට ම කිනම් භාණ්ඩ හා සේවා සැපයිය යුතු දැයි මොවුන් විසින් තීරණය කරගත යුතු වේ. කුඹුරක් කොටා වී වපුරමු ද? නැතහොත් හේනක් කොටා කුරක්කන් වපුරමුද? එසේ නැත් නම් එළවළු වවමුද? නැතහොත් රෙදි හෝ පැදුරු විවීම සඳහා ශ්‍රමශක්තිය යොදමුද? යනාදි වශයෙන් පවුලේ අය සතු ස්වාභාවික සම්පත්වල තත්වයට හා ප්‍රමාණයටත් ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට හා දක්ෂතාවන්ටත් සරිලන පරිදි ප්‍රශ්න රාශියක් විසඳා ගතයුතු වන්නේය.

දෙවනුව, තමන් නිපදවන එක එක භාණ්ඩ වර්ගයකින් කවර ප්‍රමාණයක් නිපදවිය යුතු ද යන්න තීරණය කළයුතු වේ.

යම්කිසි භාණ්ඩයක් නිපැදවීමට ශ්‍රමශක්තිය හා ස්වාභාවික සම්පත් නොයෙක් අයුරින් ගළපා ගත හැකි හෙයින්, ඒ ඒ භාණ්ඩ කවර පරිද්දෙකින් නිපදවිය යුතු ද යන්න තෙවනුව නිශ්චය කළයුතු වේ. මේ වූකලි නිෂ්පාදන විධිය පිළිබඳ පැනයකි. සී සෑමට ලීයෙන් තැනූ නඟුලක් ගත යුතුද? එසේ නැතහොත් යකඩින් තැනූ නඟුලක් ගත යුතුද? යම්කිසි කාර්යයක් උදෙසා යන්ත්‍රෝපක්‍රම පාවිච්චි කිරීම අවශ්‍යමද ? එසේ නම් පාවිච්චි කළ යුත්තේ කෙබඳු යාන්ත්‍රික උපකරණ ද? යනාදී වශයෙන් පැන නැඟෙන ප්‍රශ්න මීට නිදසුන් වේ.

පවුලේ අය විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සමූහය ඔවුනොවුන් අතර කෙසේ බෙදාගත යුතු ද යන්න සිවුවැනිව තීරණය කළ යුතු ප්‍රශ්නයයි.

පවුලට අයත් ස්වාභාවික සම්පත් රාශියෙන් කෙතරම් ප්‍රමාණයක් නිෂ්පාදන කටයුතු සඳහා යෙදිය යුතු ද යන්න අවසාන වශයෙන් හෙවත් පස්වනුව නිශ්චය කරගත යුතු වේ. පවුලක කටයුතුවල දී මෙම ප්‍රශ්න සාමාන්‍යයෙන් තීරණය කරනු ලබන්නේ ගෘහමූලිකයා විසිනි.

සාමාන්‍ය වශයෙන් කියතොත්, අර්ථ ශාස්ත්‍රයෙහි මූලධර්ම වැඩි හරියකින් විග්‍රහ වන්නේ පවුලකට වඩා බෙහෙවින් විශාල වූ සංවිධානයක් වන ධනවාදී ආර්ථික ක්‍රමයක දී යථෝක්ත ප්‍රශ්න විසඳෙන අන්දමය. ධනවාදී ආර්ථික ක්‍රමය යනුවෙන් ගැනෙන්නේ ඉඩකඩම්, ශ්‍රමය, යන්ත්‍රෝපකරණ යන නිෂ්පාදනෝපාය සියල්ලක් පෞද්ගලික අයිතිය පිට පවත්නා වූ ද එක් එක් පුද්ගලයාට තම තමාගේ පෞද්ගලික ලාභය තකා ක්‍රියා කිරීමට නිදහස ඇත්තාවූ ද ආර්ථික ක්‍රමයකි (ධනවාදී ක්‍රමය බ.). ධනවාදී ආර්ථික ක්‍රමයන්හි දී ධනපති නිෂ්පාදකයන් විසින් හෝ ව්‍යවසායකයන් විසින් හෝ නිපදවනු ලබන භාණ්ඩ සියල්ලක් ම මුදල්වලට හුවමාරු වේ. එසේ හෙයින් භාණ්ඩයන් අතර විනිමය අනුපාතය (exchange ratio) මැනෙනුයේ එක් එක් භාණ්ඩයක් සඳහා ගෙවන මිල අනුවයි.

භාණ්ඩ නිපැදවීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් පැනනගින තීරණාත්මක ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා පවුලක ආර්ථික ක්‍රමයෙහි දක්නා ගෘහමුලිකයා වැනි වූ මූලික පාලකයෙක් ධනවාදී ක්‍රමයෙහි නැත. ආර්ථික සිද්ධාන්තයන්ගෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යය නම් ලක්ෂ සංඛ්‍යාත නිෂ්පාදකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ තීරණ ධනවාදී ආර්ථිකක්‍රමයක් යටතෙහි එකිනෙකට ගැළපී සංවිධානයවන අන්දම පහදාලීමයි. සමහර අවස්ථාවන්හි 'ධනවාදී ආර්ථික ක්‍රමය' යන්න සමස්ත ධනවාදීලෝකය යන අර්ථයෙහි යෙදිය හැකිය. එහෙත් ජාති-රාජ්‍යය (Nation State) සංවිධාන ඒකකය හැටියට ගෙන, ජගත් ධනවාදි ආර්ථික ක්‍රමය එකිනෙකට සම්බන්ධ වූ ධනවාදී ආර්ථික ක්‍රම කිහිපයක් එක්වීමෙන් සැදුණක් සේ සැලකීම සාමාන්‍ය සිරිතයි.

ඉතිහාසය:

අර්ථ ශාස්ත්‍රය විග්‍රහ කිරීමේ දී ධනවාදී ජාති-රාජ්‍යය මූලික ඒකකය වශයෙන් තෝරාගැනීමට හේතු, අර්ථ ශාස්ත්‍රයේ විකාසය පිළිබඳ පසුබිම පරීක්ෂා කිරීමෙන් පහසුවෙන් වටහා ගත හැකි වේ. මෙකල අර්ථ ශාස්ත්‍රය සමාජ අධ්‍යයන ගණයෙහි දී එක් විෂයයක් ලෙස සැලකෙන නමුත්, එය සමාජඅධ්‍යයන විෂයයන් හා නුදුරු සම්බන්ධකමක් දක්වන දර්ශනවාදය හා දේශපාලනය යන විෂයයන් ප්‍රභව කොට ඇත්තකි. අර්ථ ශාස්ත්‍රයට විෂය විය යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් කරන ලද ආදි ම විමර්ශනයන්ගෙන් සමහරක් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් යන ග්‍රීක දාර්ශනිකයන්ගේ කෘතීන්හි දක්නට ලැබේ.

ජාතියක් සතුව පවත්නා ස්වාභාවික සම්පත් සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව ඇතිවන තර්ක විතර්ක අත්‍යන්තයෙන් වැදගත් වූයේ 16 වන 17 වන සියවස්හි දී යුරෝපයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටී ගොස්, එකිනෙක හා තරඟ කළ ජාති-රාජ්‍යයන් බිහිවීමෙන් පසුවය. එහෙයින්,ආර්ථික වාද ඉදිරිපත් කිරීමෙහි දී ජාති-රාජ්‍යය පදනම් කොට ගැනීම ස්වාභාවික වූත් නිරායාසයෙන් ම සිද්ධ වූත් දෙයකි. ජාති-රාජ්‍යය ප්‍රබල කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති සකස් කොටලීම ඒ අවධියෙහි දී රචිත අර්ථ ශාස්ත්‍රීය කෘතීන්ගේ පරමාර්ථය විය. එවක බල පැවැත්වූ අර්ථශාස්ත්‍රීය මත සාමූහික වශයෙන් ගෙන ඊට 'වාණිජවාදය' (බ.) (Mercantilism) යන නම දී තිබේ. එකල අර්ථශාස්ත්‍රය පිළිබඳව පතපොත ලියූවන් අතුරෙහි ඉතාමත් ප්‍රකට ලේඛකයා ලෙස සැලකිය හැක්කේ සර් විලියම් පෙටී (බ.) ය.

වාණිජ වාදයේ ගැබ් වූ අදහස් අනුව යමින් රජය ආර්ථික ජීවිතය සම්බන්ධයෙන් බොහෝ දුරට මැදිහත් වීම 18 වැනි ශතවර්ෂයේ මධ්‍ය භාගය වන විට ඒ ඒ ධනපතීන්ගේ විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයේ ධනපතීන්ගේ වැඩකටයුතුවලට මහත් අවහිරයක් බවට පත්ව තිබිණ. ඇඩම් ස්මිත් (බ.) නමැති ස්කොට් ජාතික අර්ථශාස්ත්‍රඥයා 'ජාතීන්ගේ ධනයේ ස්වභාව හා හේතූන් පිළිබඳ විමර්ශනයක්' (1766) 'An Inquiry into the Nature and Causes of the Wealth of Nations' නම් සුප්‍රසිද්ධ ග්‍රන්ථය පළ කෙළේ මේ අවස්ථාවේ දීය.එවක් පටන් සියවසකටත් අධික කාලයක් ගතවන තුරුම ආර්ථික මූලධර්ම හා සිද්ධාන්ත සියල්ලකට පදනම වූයේ මේ ග්‍රන්ථයයි. මෙම කෘතිය අතිශයින් වැදගත් වනුයේ පෙර නොවූ විරූ අලුත්ම මත හෙවත් වාද ඉන් ප්‍රකාශ වූ නිසා නොව, ආර්ථික කරුණු සම්බන්ධයෙන් එවක දැනගන්නට ලැබී තිබුණු දෑ ක්‍රමවත් අයුරින් එහි සංග්‍රහ කොට තිබීමත් ධනවාදී ආර්ථීක ක්‍රමය උපරිම ලාභ ලබාගැනීම් සංඛ්‍යාත එකම පොදු මූලධර්මයක් අනුසාරයෙන් විග්‍රහ කොට දැක්වීමත් නිසාය. මනා අවබෝධයක් ඇතිව ස්වාර්ථ සාධනයෙහි නිරතවන පුද්ගලයා එහෙයින් ම මුළු ආර්ථික ක්‍රමයට ම හැකිතාක් යහපත සැලසෙන අන්දමට ස්වකීය ආර්ථික කටයුතු මෙහෙයනු ඇතැයි මෙම ග්‍රන්ථයෙහි පෙන්වා ඇත. ඇඩම් ස්මිත් මෙහි දී නිෂ්පාදකයන් ඔවුනොවුන් අතරද ගැනුම්කරුවන් ඔවුනොවුන් අතර ද කරනු ලබන නිදහස් තරඟයේ (තරඟය බ.) අගය වර්ණනා මුඛයෙන් කියා පෑවේය. මේ කෘතියට අනුව බැසගත් ප්‍රයෝගික නිගමනයන්ගෙන් සෑම එකක් ම වාණිජවාදීන්ගේ නිගමනයන්ට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ විය. ඇඩම් ස්මිත් අබාධ වෙළඳාම (බ.) අනුමත කළ අතර ම ආර්ථික කටයුතු කෙරෙහි රජයේ ඇඟිලි ගැසීම හැකිතාක් අඩුවිය යුතු බව ද ප්‍රකාශ කෙළේය.

ඇඩම් ස්මිත්ගේ හා ඔහුට අනතුරුව ඒ ආසන්න කාලයෙහි පහළ වූ අර්ථශාස්‍ත්‍රඥයන්ගේ ඉගැන්වීම්වල ඒසා මහත් සාම්‍යයක් නොමැති වුවද. එසේ ම ඔවුන් අතුරෙන් නායකයා යයි අවිවාදයෙන් පිළිගැනුණු තැනැත්තකු නොමැති වුවද ඒ සියල්ලන් පොදුවේ ගෙන ඔවුන්ට සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥ පරපුර (Classical School of Economists) යන නම ව්‍යවහාර කරනු ලැබේ. ඇඩම් ස්මිත් හැරුණු විට සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් අතරින් රිකාඩෝ, මැල්තස්, ජේම්ස් මිල් හා ජෝන් ස්ටුවර්ට් මිල් යන මොවුහු ද සුප්‍රකටය. සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් අතුරෙන් වැඩිදෙනකු ඉංග්‍රිසි ජාතිකයන් වුව ද ඔවුන් ඉගැන්වූ ශාස්ත්‍රිය සිද්ධාන්ත යුරෝපා මහාද්වීපයෙහි මෙන් ම ඇමෙරිකාවේ ද ප්‍රචලිත විය. සම්භාව්‍ය යුගයේ අර්ථශාස්ත්‍රීය ඉගැන්වීමිවලට ජේ.බී. සේ (J. B. Say) නමැති ප්‍රංස ජාතිකයාගෙන්ද වැදගත් සේවයක් ඉටු විය. පසු කාලයේ දී සම්මත වූ ආර්ථික මතයන් කෙරෙහි විශාල බලපෑමක් දැක්වූයේත්, පැරණි සම්භාව්‍ය විද්වතුන් පිරිස අතුරින් වඩාත් කැපී පෙනෙන ලේඛකයා වූයේත් ඩේවිඩ් රිකාඩෝ (බ.) යයි කිව හැක. මොහු විසින් ලියන ලද 'දේශපාලන ආර්ථික ක්‍රමය පිළිබඳ මූලධර්ම' (Principles of Political Economy) නමැති ග්‍රන්ථය සියුම් තර්කණය අතින් විශිෂ්ටය. කාල් මාක්ස් (බ.) ද සම්භාව්‍ය ශාස්ත්‍රඥයන්ගේ සංඛ්‍යාවෙහි ලා ගිණිය යුතුය. ඔහුගේ 'ප්‍රාග්ධනය' (Das Kapital) නමැති කෘතියට පදනම වූයේත් මේ අර්ථශාස්ත්‍රඥ පරපුරේ මූලධර්මයි. සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ආර්ථික විග්‍රහ සියල්ලක් ම ගෙතුණේ වටිනාකම පිළිබඳ ශ්‍රමවාදය වටාය. ධනවාදී ආර්ථික ක්‍රමයක දී ඒ ඒ භාණ්ඩයන්ගේ හුවමාරුව සිදුවන්නේ එම භාණ්ඩ නිපදවීම සඳහා යොදනු ලබන මනුෂ්‍ය ශ්‍රම පැය ගණනෙහි අනුපාතයට අනුවය යනු මේ ශ්‍රමවාදයෙන් කියැවේ. ධනවාදී ආර්ථික ක්‍රමයෙහි අගය ගෙනහැර දැක්වීම පිණිස ඇඩම් ස්මිත් හා ඔහුට පසුව පහළ වූ අර්ථ ශාස්ත්‍රඥයන් විසින් උපයෝගී කොට ගන්නා ලද යට කී ශ්‍රමවාදය කාල් මාක්ස් විසින් උපස්තම්භක කොට ගන්නා ලද්දේ නිෂ්පාදන මාර්ගයන් ධනපති පන්තිය සතුව පැවැත්ම කරණ කොටගෙන ශ්‍රම ඵලයෙන් ශ්‍රමිකයන්ට හිමි විය යුතු ‍ප්‍රමාණයෙන් කොටසක් බදුකුලී,පොළී හා ලාභ වශයෙන් ධනපති පන්තිය පැහැර ගන්නා බව පෙන්වා දීම සඳහාය. ශ්‍රමඵලයෙන් කොටසක් මෙසේ පැහැර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධනපති හා කම්කරු පන්ති අතර ඇතිවන පන්ති සටනින් දේශපාලන හා ආර්ථික විප්ලවයක් ඇතිවී, සමාජවාදී සමාජයක් පැන නඟින බව ඔහුගේ අදහස විය. මෙම අලුත් සමාජවාදී ක්‍රමයෙහි දී ආර්ථික කටයුතු පෞද්ගලික ලාභය පෙරටු කොට ගෙන නොව ජනතාවගේ සමාජ අවශ්‍යතාවන් අනුව පාලනය වනු ඇතැයි ද ලාභය තකා කැරෙන නිෂ්පාදනය වෙනුවට සමාජ ශුභසිද්ධිය සඳහා සැකසූ හෙවත් සැලසුම් කළ නිෂ්පාදනයක් ඇති වේ යයි ද සැලකිණි. (ආර්ථික සැලසුම; මාක්සියානු අර්ථ ශාස්ත්‍රය යන ලිපි බ.)

මාක්ස්වාදය ධනවාදී සමාජයේ පදනම දෙදරවමින් මෙසේ බලවත් ලෙස ඊට පහර දුන් සමයෙහි ම චිරාගත (සනාතනික) ආර්ථික සිද්ධාන්ත මුළුමනින් ම වෙනස් වී ගියේය. ඒතාක් පැවැති වටිනාකම පිළිබඳ ශ්‍රමවාදය බැහැර කොට ඒ වෙනුවට පාරිභෝගිකයාගේ මනෝවෘත්තීන්ට අනුකූල වූ වටිනාකම් වාදයක් සකස් කොට ගන්නා ලදී. භාණ්ඩවල විනිමය වටිනාකම ඒ භාණ්ඩයන්ගේ ආන්තික උපයෝගිතාවන් (උපයෝගිතාව බ.) ඇසුරෙන් නිශ්චය වන බව මෙම වාදයෙන් කියැවේ. වටිනාකම පිළිබඳ මේ ආන්තික උපයෝගිතාවාදය නොයෙකුත් සංශෝධනයන්ට භාජන වී ඇතත් අද වනතුරුත් එය වටිනාකම පිළිබඳ පිළිගත් සිද්ධාන්තය වශයෙන් පවතී.‍ ඔස්ටි‍‍රියාවේ ‍‍‍ෆ‍ොන් වීසර් හා බෝමි බවර්ක්, ස්විට්සර්ලන්තයේ ලියොන් වාල්රස්‚ ඉතාලියේ පරේතෝ සහ එංගලන්තයේ ඇල්‍ෆ්‍රඩ් මාෂල් හා ජේ.ආර්. හික්ස් යන මොවුහු මේ නව සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ ගණයට අයත් ප්‍රධාන ලේඛකයෝයි.

සම්භාව්‍ය, නව සම්භාව්‍ය යන දෙගණයට අයත් අර්ථ ශාස්ත්‍රඥයන් ප්‍රස්තුතයක් කරා පිවිසෙන ආකාරයෙහි ඉඳුරා කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබේ. භාණ්ඩ නිෂ්පාදනය කිරීම උදෙසා වැය වන යමක් අනුව එක් එක් භාණ්ඩයෙහි විනිමය අනුපාතය තීරණය වන බව සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ විශ්වාස කළෝය. එහෙත් නවසම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ ඉල්ලුමෙහි සාමාජික හා පන්තිගත ස්වරූපය මුළුමනින්ම පාහේ නොසලකා හැර, භාණ්ඩයක වටිනාකම නිගමනය වන්නේ අගය පිළිබඳ ස්වාධීන නිර්ණායකයක් වූ පාරිභෝගික ඉල්ලුම අනුව යයි පැවසූහ. පාරිභෝගික ඉල්ලුම ස්වාධීන විචල්‍යයක් නොවන බව ද එය ජනතාව අතර ආදායම් බෙදී ඇති අන්දම හා නිෂ්පාදන මාර්ග පිළිබඳ අයිතිය අනුව වෙනස්වන බව ද ඔවුහු අමතක කළහ. ධනවාදී ක්‍රමය පාරිභෝගිකයාගේ ඕනෑඑපාකම් අනුව ක්‍රියාකාරී වූ බව ආන්තික උපයෝගිතා වාදයෙහි ගැබ්වී ඇත්තා වූ ද නොයෙක් විට සවිස්තර ලෙසත් තර්කානුකූල ලෙසත් ඉදිරිපත් කරනු ලැබුවා වූ ද අදහසක් විය. ආන්තික උපයෝගිතා සිද්ධාන්තාවලිය වැදගත් වනුයේත් මේ හේතුවෙනි. වෙනත් විධියකින් කියතොත්, ආර්ථික ක්‍රමයක් සම්බන්ධ මූලික ප්‍රශ්න හැටියට යට දැක්වුණු ද්‍රව්‍ය හා ශ්‍රමසම්පත් යොදා බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්න අන්තිමේ දී විසඳනු ලැබෙන්නේ වෙළඳපොළෙහි පාරිභෝගික ඉල්ලුම් ක්‍රියාකාරී වන අන්දම අනුවය. ඒ සා තර්කානුකූල මඟකින් නොපැමිණිය ද ඇඩම් ස්මිත් හා අනික් සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් බැස සිටියේත් පාරිභෝගික ආධිපත්‍යය යනුවෙන් හැඳින්වෙන මේ නිගමනයට මය.

වර්තමාන අර්ථ ශාස්ත්‍රයෙහි අඩංගු වන දෑ:

වර්තමාන අර්ථශාස්ත්‍රයෙහි සංග්‍රහ වන දෑ පරිසමාප්ත වශයෙන් නොවුවද පහත දැක්වෙන පරිදි බෙදා දැක්වීම ප්‍රයෝජනවත් විය හැකිය:—

1. පාරිභෝගික ඉල්ලුම පිළිබඳ සිද්ධාන්තය. වෙළඳපොළේ දක්නා විවිධ භාණ්ඩයන්ට අය කරනු ලබන මිල අනුව, කිසියම් භාණ්ඩයක් සඳහා ඇතිවන ඉල්ලුම් ප්‍රමාණය නිශ්චය කරවන කරුණු වි‍‍ග්‍රහ කිරීම මෙම සිද්ධාන්තයෙහි පරමාර්ථ යයි.

2. මිල හා වටිනාකම පිළිබඳ සිද්ධාන්තය.

3. නිෂ්පාදන සිද්ධාන්තය. මනුෂ්‍ය හා ද්‍රව්‍ය සම්පත් විවිධ කර්තව්‍යයන් අතර බෙදී යෑම කෙරෙහිත්, ශිල්පීය උපක්‍රම ලබා ඇති දියුණුව අනුව එම සම්පත් සංයෝජනය කෙරෙන ආකාරය කෙරෙහිත් බලපාන හේතූන් විග්‍රහ කිරීම මෙයින් අපේක්ෂා කරනු ලැබේ.

4. භාණ්ඩ සහ ආදායම් බෙදීයෑමේ සිද්ධාන්තය. මේ වනාහි මුළු නිෂ්පාදිතය, එක් අතකින් නිෂ්පාදන ක්‍රමයෙහි සහභාගි වන්නන් අතර ද අනික් අතින් සමාජයේ ඒ ඒ කොට්ඨාස අතර ද බෙදී යන අයුරු පිළිබඳ විමසීමකි.

5. මූල්‍ය සිද්ධාන්තය. මුදල් හා (බැංකු ආදි) මුදල් ආයතන ආර්ථික ක්‍රමයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බල පවත්වන අන්දම මින් විග්‍රහ වෙයි.

6. අන්තර්ජාතික වෙළඳාම් සිද්ධාන්තය, නානා ජාතීන් අතර කැරෙන භාණ්ඩ හුවමාරුව නිශ්චය කරවන සාධකයන්ගේ හේතු හා ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයක් මින් කෙරේ.

7. සේවා නියුක්තිය හා ආර්ථික වෘද්ධිය පිළිබඳ සිද්ධාන්තය.

නූතන ආර්ථිකවාදය මුළුමනින් ම පාහේ පූර්වෝක්ත සිද්ධාන්ත යටතෙහි සංග්‍රහ කොට දැක්විය හැකිය. කිසියම් ආර්ථික ප්‍රශ්නයක දී හෝ එබඳු ගැටලු සහිත අවස්ථාවක දී එම ප්‍රශ්නය විසඳීමෙහි ලා ආර්ථික සිද්ධාන්ත උපයෝගි කොට ගැනීම ව්‍යවහාරික අර්ථ ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වේ. එය වූ කලි අර්ථ ශාස්ත්‍රයෙහි වෙන ම ශාඛාවක් හෝ ආර්ථික වාදයෙන් ඉඳුරා ම වෙන්ව අධ්‍යයන‍ය කළ ‍හැකි ශික්ෂණයක් හෝ නොවේ.එහෙත් අර්ථ ශාස්ත්‍රය හැදෑරීම කෙළවර දී ප්‍රතිෂ්ඨා සහිත බවට පමුණුවා ලන්නේ එ් මේ ව්‍යවහාරික අර්ථශාස්ත්‍රය මැයි.

ආර්ථිකවාදයේ විවිධ අංශයන් පිළිබඳ ප්‍රශ්න අතර යමි අන්දමක අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබෙතත් එම ප්‍රශ්න එකිනෙකින් වෙන්ව පවත්නා බවක් සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ සැලකූහ. නව සම්භාව්‍ය සම්ප්‍රදායට අයත් වර්තමාන අර්ථ ශාස්ත්‍රඥයෝ ඒ අංශ සියල්ලක්ම නොබෙදුණු හෙවත් එකට බැඳී පැවති සමස්තයක් ලෙස සැලකූහ. එහෙයින් ඔවුන් භාණ්ඩ මිල, නිපදවනු ලබන ප්‍රමාණය, නිෂ්පාදන සාධකයන් සංයෝජනය කෙරෙන ආකාරය හා නිෂ්පාදිතය බෙදා හැරීම යන මේ දෑ පිළිබඳව ඇතිවන ප්‍රශ්න සියල්ලට ම හේතු දැක්වූයේ 'ආන්තික මූල ධර්මය' (බ.) නමැති පොදු මූල ධර්මයක් අනුවය. නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරුව යැයි අර්ථශාස්ත්‍රයෙහි සිද්ධාන්ත වශයෙන් කරන ලද සම්භාවිත වර්ගීකරණය හුදෙක් අර්ථාවබෝධය සුකරකරවන උපායක් පමණක්ය යනු ඔවුන්ගේ මතය විය.

නව සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් තමන් විසින් විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්නය හැටියට ගන්නා ලද්දේ වෙළඳ මිල නමින් හඳුන්වනු ලබන්නා වූ භාණ්ඩ මිල, නිෂ්පාදන සාධකයන්ගේ මිල යන මේවා විවරණය කිරීමයි. ඔවුන්ගේ මතයේ හැටියට දේපොළවලින් හෝ ශ්‍රම ශක්තියෙන් හෝ ලබන ආදායම් සියල්ල ම නිෂ්පාදන සේවාවන්ට ලැබෙන මිලයි. එමෙන් ම වෙළඳ මිල සියල්ලක් ම ඉල්ලුම හා සැපයුම නමැති බලවේග දෙකේ ප්‍රතිඵලය හැටියට ද ඔව්හු සැලකූහ. ඉල්ලුම් යන බලවේගය ආන්තික උපයෝගිතාවේ ශ්‍රිතයක් හැටියට ද සැපයුම නිෂ්පාදන වියදම් මත රඳා පවතින්නක් හැටියටද සැලකිණ. නිෂ්පාදන වියදම් පළමු කොට මුදලින් කෙරෙන වියදම් ලෙස ගණන් ගනු ලැබූ නමුත් අන්තිමේ දී එම වියදම් නිෂ්පාදන සේවාවන් සැපයීමේ දී ඇතිවන මානසික අනුපයෝගිතාව (subjective disutility) හා සම්බන්ධ කොට සැලකිය හැකි බව පෙන්වන ලදී. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර තරඟය නිසා ඉල්ලුම හා සැපයුම අතර සමතුලිතතාවක් ඇති විය. වෙළඳ මිලත් නිපදවන ලද භාණ්ඩ ප්‍රමාණයත් තීරණය වූයේ එම සමතුලිතතාව අනුවය. එනම්, නිෂ්පාදනයට අවශ්‍ය ශ්‍රමය සැපයීමෙන් කම්කරුවන් ලබන ආදායම ද එසේම නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමෙන් එම ප්‍රාග්ධන හිමියන් ලබන ආදායම ද යන නිෂ්පාදන සාධකයන්ගේ ප්‍රතිලාභය තීරණය වූයේ ඒ දෙපක්ෂයේ ම ආන්තික ඵලදායිතාව අනුව ය. මෙහිලා ප්‍රාග්ධනයේ ඵලදායිතාව ප්‍රාග්ධන හිමියාගෙන් සැලසෙන්නක් සේ ගැනිණ.

එක්දහස් නවසිය තිස් ගණනක් වනතුරු වෙළඳ පොළක සිද්ධීන් හැදැරීමේ දී අර්ථ ශාස්ත්‍රඥයන් විසින් සලකා බලන ලද්දේ තරඟකාර වෙළඳපොළ පමණි. මේ නිසා පහත සඳහන් නිගමනයට එළඹීමට සිදු විය. එනම් කුමන භාණ්ඩයකට වුවද වෙළඳ පොළෙහි ඇති විය හැක්කේ එකම එක මිලක් යයි ද එම මිල යථෝක්ත භාණ්ඩයේ ඒකකයක් නිපදවීම සඳහා යන අඩු ම වියදම් ප්‍රමාණයට සම වූවකැයි ද යන්නය. පෞද්ගලික නිපදවන්නන්ට වෙළඳ පොළෙහි රැඳී සිටිය හැකි වූයේ නිෂ්පාදනය සඳහා හැකි තරම් වියදම් අඩු කර ඉතා සුළු ලාභයක් පමණක් ගනිමින් නිෂ්පාදිතය හැකිතරම් අඩුමිලට විකිණීමෙන් පමණි (ලාභ බ.). නිෂ්පාදකයන් අතර තරඟය කාර්යක්ෂමතාවට හේතුවක් වන අතර ම සාධාරණ මිලට බඩුවක් සැපයීමේ මාර්ගයක් ද විය. පාරිභෝගික ඉල්ලුමේ වෙනස් වීම් අනුව ලාභ ප්‍රමාණය අඩු වැඩි වන අන්දමට විවිධ කර්මාන්ත සඳහා මනුෂ්‍ය හා ද්‍රව්‍ය සම්පත් මුඵල්ල බෙදා හැරීම සිදු විය. නිෂ්පාදනය සඳහා යොදන ප්‍රාග්ධනයට ලැබෙන ලාභයේ අඩු වැඩිකම අනුව යථෝක්ත සම්පත්වලට එක් නිෂ්පාදන කටයුත්තකින් තවත් නිෂ්පාදන කටයුත්තක් කරා යෑමට නිදහස ඇතැයි කල්පනා කරන ලදි. එහෙත් වැඩිකල් යන්නට පෙර ධනවාදී ක්‍රමය යටතේ ඇතිවුණු වෙනස්වීම් අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සිද්ධාන්ත ඉක්මවා ගියේය. ව්‍යාපාරිකයන් රිසිසේ සම්බන්ධ වී කටයුතු ගෙන යෑමේ නිදහස ද ව්‍යාපාරික නිදහසේම ගැබ් වී පැවැත්තේය. කල් යත් යත් ධනවාදය යටතේ කරන ලද නිෂ්පාදන කටයුතු, සංඛ්‍යාව අතින් ශීඝ්‍රව අඩු වී ගිය ව්‍යාපාරික ආයතන අතලොස්සකට සීමා විය. වෙළඳ සමාගම් කීපය බැගින් ඉඳුරා එක් වී ඒකාබද්ධ ආයතන බවට නොපෙරළුණ ද, තරඟකාරී බලවේග සීමා කරවනසුලු වූ සංගත (Tru- sts), කාටල (Cartels), සම්මේල (Syndicates) ආදී අනේකප්‍රකාර සංයෝජිතයන් (සමාබද්ධ සංස්ථා) හා එබඳු තවත් උපක්‍රම ඇති විය. 19 වන සියවසෙහි අවසාන හරිය වන විට තරඟකාරී ධනවාදය ඒකාධිකාරී ධනවාදය බවට පෙරළී තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, චිරන්තන ආර්ථික සිද්ධාන්තයන්ට ප්‍රතිෂ්ඨාභූතව පැවැති විවිධ කල්පනා පවා අතථ්‍ය වී ගියේය. ඒ සමඟ ම බොහෝ ආර්ථික සිද්ධාන්ත සැබෑ ජීවිතය හා නොගැළැපෙන්නට වන, පූර්ණ තරඟවාදයේ එල්බගෙන කරන ලද මිල හැඩගැස්වීමේ න්‍යාය පිළිබඳ විග්‍රහය මීට කදිම නිදසුනකි. තරඟයක් ඇති විය හැක්කේ මනුෂ්‍ය හා ද්‍රව්‍ය සම්පත්වලට කිසියම් කර්මාන්තයකට පිවිසී මට හෝ ඉන් ඉවත්වීමට ඉඩකඩ ඇති තාක් පමණි. පරිමාණය වැඩිවත්ම ඵලය වැඩි වී යන බැවින් ව්‍යාපාරික ආයතනයන්ට තමන්ගේ ව්‍යාපාර විශාල කිරීමෙන් නිෂ්පාදන මිල අඩු කිරීමට හැකි විය. මෙසේ විශාල කරන ලද වෙළඳ ව්‍යාපාරික ආයතන සිය තරඟකරුවන් මැඬ ගෙන, අන්තිමේ දී එම කර්මාන්තයන්හි ආධිපත්‍යයක් ලබා ගත්තේය. ඒ සමඟ ම, මහා පරිමාණ නිෂ්පාදනයෙන් අත්වනවාසි තත්වය අධික ලාභ ලබන එබඳු කර්මාන්තයකින් අලුත් ව්‍යාපාරිකයන් බැහැර කොට ලීමෙහි එකහෙළා සමත් විය.

එක්දහස් නවසිය තිස් ගණන් වල දී ඒකාධිකාර ධනවාදී ක්‍රමයට සරිලන අන්දමට මිල සිද්ධාන්ත සකස් කිරීමට යටතේ නැතහොත් ඒකාධිකාර ක්‍රමය යටතේ ප්‍රයත්නයක් දරන ලදි. 1933 දී කේමිබ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෝන් (Joan) රොබින්සන් මහත්මිය 'අපූර්ණ තරඟයේ ආර්ථීක සිද්ධාන්ත' (Economics of Imperfect Com petition) නමැති ග්‍රන්ථය පළ කර වූවාය. එම අවුරුද්දේම 'ඒකාධිකාර තරඟය පිළිබඳ සිද්ධාන්තය' (Theory of Monopolistic Competition) නම් ග්‍රන්ථයක් ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ඊ.එච්. වෙම්බලින් මහතා විසින් පළ කරනු ලැබීය. පූර්ණ තරඟය නියම වශයෙන් සිදුවන්නක් නොව අනියම් වශයෙන් හටගනු දක්නා සිද්ධියක් බව පිළිගෙන, මිල සිද්ධාන්තය සකස් කිරීමට දරන ලද ප්‍රමාණවත් යයි කිවයුතු ප්‍රථම ප්‍රයත්නය මෙම ග්‍රන්ථයන්ගේ රචනය බව කිව හැකිය. වෙළඳපොළවල්, විශේෂයෙන්ම කාර්මික නිෂ්පාදිතයන් පිළිබඳ වෙළඳ පොළවල්, නා නා ප්‍රකාර ඒකාධිකාර ලක්ෂණයන්ගෙන් සමන්විත බව අවබෝධ විය.පූර්ණ තරඟයත් ශුද්ධ ඒකාධිකාරයත් වෙළඳපොළෙහි අන්ත දෙකක් වුවද එහි නියම ස්වරූපය වනුයේ ඒ දෙක ම අඩු වැඩි වශයෙන් සමිමිශ්‍රත වී පැවැත්මයි. වෙළඳ පොළේ අපූර්ණ තරඟකාරී ස්වභාවයට හේතු වූයේ ප්‍රචාරය කිරීම, වෙළඳ හන් නම් (brand names) හා ස්වාධිකාරබල (patent rights) වැනි දේයි. මේවා පිහිට කරගෙන, නිෂ්පාදකයාට තම තම භාණ්ඩයේ මිල හා අලෙවිය කෙරෙහි තරමක පාලනයක් පවත්වා ගත හැකි විය. පූර්ණ තරඟකාරී නිපදවන්නකුට විකිණිම හා භාණ්ඩ මිල කෙරෙහි මෙවැනි බලයක් නොතිබිණි.පුර්ණ තරඟකාර වෙළඳ පොළක් ඇතැයි පිළිගත් විට විනා යම්කිසි භාණ්ඩයක වෙළඳ මිල ‍එම භාණ්ඩය විකිණිය හැකි අඩුම මිල වශයෙන් ගිණිය හැකි යයි තර්ක කළ නොහැකි විය. එමෙන් ම, නිෂ්පාදකයාට ලැබෙන ලාභ ප්‍රමාණය ඔහුට එම නිෂ්පාදනයෙහි රැඳී සිටීමට අවශ්‍ය වූ අඩු ම ලාභ ප්‍රමාණය යි තර්ක කීරිමට ද නුපුළුවන. අපූර්ණ තරඟ ක්‍රමය යටතේ නම් සිය සැපයුම සීමා කිරීමෙන් නිෂ්පාදකයකුට ස්වකීය ලාභ ප්රමාණය වැඩි කර ගැන්මට අවකාශයක් තිබේ. එහෙත් අපූර්ණ තරඟය සම්බන්ධ විග්‍රහ සකස් කරනු ලැබුවේ භාණ්ඩයෙක මිල, එහි ආන්තික වියදම හා ආන්තික ආදායම සම වන තන්හි නිශ්චය වන්නේය යන සාමිප්‍රදායික සිද්ධාන්තාවලිය පිහිට කොට ගෙන මැයි (ආන්තික සිද්ධාන්තය බ).

එහෙත් මේ මතය ඔස්සේ යමින් අපූර්ණ තරඟය යටතේ නැතහ‍ොත් ඒකාධිකාර ක්‍රමය යටතේ මිල හැඩගැසෙන ආකාරය සම්බන්ධයෙන් ස්ථිර විනිශ්චයක් කට හැකි වන්නේ පෞද්ගලික විකුණුම්කරුවා තම භාණ්ඩයට සමාන භාණ්ඩ විකුණන්නන්ගේ ක්‍රියා කලාපය ගැන නොතකා තම අභිමතය පරිදි තම භාණ්ඩ මිල හා නිමැවුම් ප්‍රතිපත්ති නිශ්චය කරගන්නේය යන කල්පිතයෙහි පිහිටි තාක් පමණකි. වැඩි කල් නොගොස් ම මේ බව වැටහිණ. (ඒකාධිකාරය හා අල්පාධිකාරය බ.). එහෙත් මෙවැනි කල්පිතයක් ප්‍රතිෂ්ඨාරහිත බවට පමුණුවන සාධක දෙකක් විය.(1) ප්‍රභින්න භාණ්ඩයක් (differentiated product) අලෙවි කරන විකුණුම්කරුවන්ගේ සංඛ්‍යව කෙතරම් විශාල වුව ද ඔවුනතර පවත්නා තරඟ ප්‍රමාණය, ප්‍රභින්න භාණ්ඩ අතර ඇති ආදේශකශීලත්වයේ (Substitu tability) ප්‍රමාණය අනුව වෙනස් වීම නොවැළැක්විය හැක්කකි. එසේ හෙයින් පෞද්ගලික විකුණුම්කරුවාට තමා හා උග්‍ර තරඟයක යෙදී සිටින්නවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධව සිහි කල්පනාවෙන් කටයුතු කීරිමට සකස් කිරීමට සිදු වෙයි.‍ (2) ඇමෙරිකාවේ තාවකාලික ආර්ථික කාරක සභාවේ (Temporary National Economic Committee) වාර්තාව බඳු පර්යේෂණයන්ගෙන් එක් වැදගත් කරුණක් හෙළි විය. එනම් කාර්මික නිෂ්පාදන අතුරෙන් බොහොමයක් ම ව්‍යාපාරික ආයතන අතලොස්සක වසඟයට පත්වී හුදෙක් ඒ ආයතන මඟින් පාලනය කරනු ලබන බවට පත්වනසුලු බවයි. මෙසේ වෙළඳ පොළෙහි මුඛ්‍ය ලක්ෂණය වූයේ වෙළඳ පොළ තරඟකාරී ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වනු වෙනුවට තම වෙළඳාම හැකිතාක් දුරට අධික කර ගැනීමට යත්න දරන ව්‍යාපාරිකයන් ස්වල්පදෙනකුගෙන් සමන්විත වීමය. ඵනම්, ඵ්කාධිකාරය හෙවත් අපූර්ණතරඟය වෙනුවට අල්පාධිකාරය (බ.) ක්‍රියාකාරී වීමය.

විකුණුම්කරුවන් දෙදෙනකුගෙන් සමන්විත වූ ද්වි-අධිකාර වෙළඳ පොළෙහි භාණ්ඩ මිල පිළිබඳ අනියමිතතාව කූර්නෝ (Cournot) නම් ප්‍රංස ජාතික අර්ථශාස්ත්‍රඥයා පෙන්වා දී තිබුණ ද අල්පාධිකාර සිද්ධාන්තය මෑතක් වන තුරු විශේෂ සැලකිල්ලට පාත්‍ර නොවීය. තරඟකාරී විකුණුම්කරුවන් අතර අ‍න්‍යෝන්‍යාධීනතාවක් ඇති බව පිළිගත් විගස, සම්මත සිද්ධාන්තාවලියෙහි ගැබ්ව තිබෙන වියදම් හා ආදායම් ශ්‍රිත පදනම් කොට කෙරෙන විග්‍රහ අර්ථශූන්‍ය වේ. අල්පාධිකාර ක්‍රමය යටතේ භාණ්ඩ මිල හා නිමැවුම තීරණය වන ආකාරය පැහැදිලි කළ හැක්කේ ව්‍යාපාරික ආයතනයන්ගේ කටයුතු පිළිබඳ නියම තත්වය වටහා ගැනීමෙනි. කර්මාන්තයේ නියම ව්‍යුහය, ඒ ඒ වෙළඳ ආයතනයන්ට තරඟ කළ හැකි විවිධ ක්‍රම, අලුත් ව්‍යාපාරික ආයතනයන්ට කර්මාන්තයට පිවිසීමේ දී ඇති වන පහසුකම් හෝ දුෂ්කරතා, එතෙක් කල් පිළිපදින ලද චාරිත්‍ර, වාරිත්‍ර, සාමිප්‍රදායික පැවතුම් සහ ඇතැම් විට අධ්‍යක්ෂකයන්ගේ මානසික ගති ගුණ පවා අල්පාධිකාරය යටතේ ඇති විකුණුම් ප්‍රතිපත්ති කෙරෙහි බලපානා බව පෙනේ. මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ අතුරෙන් ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝල් සහ හිච් යන දෙදෙනාගේ පරීක්ෂණ ඉතා වැදගත්ය. මේ පරීක්ෂණ පදනම් කොට ගෙන හෝල් සහ හිච් මිල පිළිබඳ 'පූර්ණ වියදම්' සිද්ධාන්තයක් ඉදිරිපත් කළෝය. මේ සිද්ධාන්තයෙන් කියැවෙන හැටියට අල්පාධිකාර ආයතනයන් මගින් භාණ්ඩ මිල නියම කරනු ලබන්නේ සාමාන්‍ය මූලික වියදම්වලට ලාභ ප්‍රමාණයක් හා ක්ෂය ප්‍රතිභාගයක් (depreciation allowance) එකතු කිරීමෙනි. වර්තමාන වෙළඳ පොළවල් විග්‍රහ කිරීමෙහි ලා ආන්තික සිද්ධාන්තයන් උපයෝගී කරගැනීම ප්‍රයෝජනවත් ද නැද්ද යන්න ගැන දැන් බෙහෙවින් සැක පහළ වී තිබේ.

පුද්ගලයන්ගේ මැදහත්වීමක් නැතිව හුදෙක් වෙළඳපොළෙහි බලවේගයන්ගේ ම ක්‍රියාකාරිත්වයෙන් හටගන්නා ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ මිල උස් පහත් වන බවක් ද පූර්වෝක්ත පරීක්ෂණයන්ගෙන් ඔප්පු නොවේ. භාණ්ඩ මිල විකුණුම්කරුවන් විසින් සිතාමතා නියම කරන්නක් බව පිළිගැනීමට සිදු වූ නිසා, සම්භාව්‍ය හා නව සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් විසින් ඒ සා ගරු කොට සලකන ලද මිල යන්ත්‍රයෙහි වැදගත්කම හීන වී ගියේය. සමාජය සතුව පවත්නා ද්‍රව්‍යමය සම්පත් විවිධ කර්තව්‍යයන් අතුරෙහි බෙදී යන්නේ නිපදවන්නන්ගේ ලාභ ප්‍රමාණය අඩු වැඩි වීම අනුවය යන කාරණය සමහර විට සත්‍ය වුවත්, ඉන් ඇතිවෙන අවසාන ප්‍රතිඵලය භාණ්ඩ පරිභෝජකයන්ගේඉල්ලුම හා ඕනෑඑපාකම් අනුව හටගන්නක් යයි තවදුරටත් තර්ක කිරීමට ඉඩක් නොලැබිණි

මෙසේ සම්මත මිල සිද්ධාන්තාවලියෙහි ඇති ප්‍රයෝජනවත්කම ගැන පහළ වී ඇති සැක කරණ කොට ගෙන බෙදා හැරීමේ සිද්ධාන්තය කෙරෙහි ද එබඳු ම විමතියක් පහළ වී තිබේ. අර්ථශාස්ත්‍රයේ එක් විෂයක් ක්ෂේත්‍රයක දී ආන්තික සිද්ධාන්තයන් ගැන පහළ වූ ශංකාපරවශතාව අනෙක් ක්ෂේත්‍ර කරාත් යෑම නොවැළැක්විය හැක්කකි. දේපළ හිමියන් හා ප්‍රාග්ධන අයිතිකරුවන් ලබන ආදායම ඒවායේ ආන්තික ඵලදායීතාව හා සම්බන්ධ වූවකැයි සැලකීමට නුපුළුවන් විය. සාමූහික කේවෙල් කිරීම (collective bargaining) වැඩී යත් ම, වැටුප් යනු කම්කරුවන්ගේ ආන්තික ඵලදායිතාවෙහි ප්‍රතිඵලයක් යැයි පිළිගැනීම අපහසු විය. මක්නිසාද යත්, වැටුප් යනු එක් අතකින් වෘත්තීය සංගම් ද අනික් අතින් ස්වාමි පක්ෂය ද ඔවුනොවුන් අතර කේවෙල් කර ඇතිකරගන්නා ගිවිසුමෙක ප්‍රතිඵලයක් පමණක් වන බැවිනි.

සේවානියුක්ති හා ආර්ථිකවෘද්ධි සිද්ධාන්තය:

සමිභාව්‍ය හෝ නවසම්භාව්‍ය කිසිම අර්ථශාස්ත්‍රඥයකු ජාතික නිෂ්පාදනයේ ප්‍රමාණය නිර්ණය කරන බලවේග කවරේ ද කියා හෝ සේවානියුක්ත මට්ටම නිර්ණය කෙරෙන සාධක කවරේ ද කියා හෝ සොයා බලා තිබුණේ නැත. (මාක්ස් හා මැල්තස් වැනි) එකකු දෙන්නකු හැර මේ අර්ථශාස්ත්‍රඥයෝ, ඉල්ලුම සැපයුමට අනුරූප වන බැවින් පොදු අධිනිෂ්පාදනයක් ඇති විය නොහැකිය යන සර්වසම්මත උපන්‍යාසය මත පිහිටා තරගෝපක්‍රම නිසා ආර්ථීක ක්‍රමය සතු සම්පත් සමිපුර්ණයෙන් ම ‍නිෂ්පාදනය සඳහා යෙදෙනු ඇතැයි සිතා ගත්හ.ධනවාදී ක්‍රමයේ දී ඉබේ ම වාගේ පූර්ණ සේවා නියුක්තිය නිසා ඇති වන ගතියක් තිබේය යන විශ්වාසය මිථ්‍යාවක් බව ඉඳුරා ඔප්පු වී තිබුණු නමුදු , ගතානුගතික අර්ථශාස්ත්‍රඥයෝ තවදුරටත් එම විශ්වාසයෙහි එල්බ ගෙන සිටියෝය. අර්ථශාස්ත්‍රඥයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් පැවැති වාදයන්ගේ සම්පූර්ණ නිස්සාරත්වය ඇතැම් විට ඔවුන්ට ම නොපෙනෙන්ට ඇති නමුත් 1930න් ආරම්භ වුණු වර්ෂවල සිදු වූ මහා වෙළඳ පරිහානියෙන් පසු මහාජනයාට නම් පෙනී ගියේය.

ජෝන් මේනාඩ් කේන්ස් (කේන්ස් සාමි) යුග පෙරළියක් කළ 'සේවානියුක්තිය, පොළීය හා මුදල් පිළිබඳ පොදු සිද්ධාන්තය' (The General Theory of Employment, Interest and Money) (1936) නම් ග්‍රන්ථය කෙළේ මහා වෙළඳ පරිහානියේ විෂම ප්‍රතිඵල හටගෙන තිබුණ කාලයේය. මේ පොත නිසා ආර්ථික චින්තනයෙහි විප්ලවයක් ඇති වී යයි සලකනු ලැබේ. "ධනවාදයේ ස්වයංක්‍රිය සාධක මගින් පූර්ණ සේවානියුක්තිය, නිසැකයෙන් ම සිද්ධ නොවේ; පූර්ණ සේවානියුක්තියට වඩා ඌන තත්වයන්හි දී ද ආර්ථික තත්වය සමතුලිතව පැවැතිය හැකිය"යි තර්ක කරමින් කේන්ස් අර්ථශාස්ත්‍රඥයා ජේ.බී. සේගේ න්‍යාය බැලූ බැල්මට සහේතුක සේ පෙනුණත් සැබැවින්ම නිසරු මතයක් බව ඔප්පු කෙළේය. කේන්ස්ට කලින් සිටි අර්ථශාස්ත්‍රඥයන් අතින් සිදුවුණු ප්‍රධාන වරද නම් පොළියේ ප්‍රමාණය අනුව මූලධන සැපයීමෙහි හා ඉල්ලුමෙහි සමතාවක් ඇති වේ යයි තර්ක කරමින් ඔවුන් පොළී ප්‍රමාණයෙහි පාලනකාරී බලය කෙරෙහි විශ්වාසයක් තැබීමයි. පොළී ප්‍රමාණය මුදල් හා සම්බන්ධ ලක්ෂණයක් පමණකැයි ද එයින් සමතාවක් ඇති කෙරෙන්නේ මුදල් සැපයීමෙහි හා ඉල්ලුමෙහි පමණකැයි ද කේන්ස් තර්ක කෙළේය. කේන්ස්ගේ තර්කයේ හැටියට, මුදල් ඉතුරු කිරීමත් ආයෝජනයත් අතර සමතුලිතතාව රැකෙන්නේ ජාතික ආදායම අඩුවැඩි වීම මඟිනි.

කේන්ස්ගේන් පසු අර්ථශාස්ත්‍රඥයන් වැඩි වැඩියෙන් තම අවධානය යොමුකොට ඇත්තේ ආර්ථික උච්චා වචනය හෙවත් නැඟිම් බැසීම් හා ආර්ථික වෘද්ධිය පිළිබඳ ප්‍රශ්න කෙරෙහිය. මූලධන ආයෝජනය, වෘද්ධියට හේතු වන ප්‍රධාන සාධකය බව පිළිගෙන තිබෙන අතර ම, අනාකුල අඛණ්ඩ වෘද්ධිය රඳා පවත්නේ ආයෝජන ප්‍රමාණය හා ඉතුරු කිරීමේ ප්‍රමාණය අතර ඇති සබඳකමක් මත බවත් ධනවාදී ක්‍රමය යටතේ මේ සබඳකම නොදක්නා ලදැයි කිව හැකි තරමට ම වාගේ කලාතුරකින් පමණක් ඇති වූවක් බවත් ආර්.ඇ‍ෆ්. හැරඩ්, ජෝන් නොදක්නා ලදැයි කිව හැකි තරමට ම වාගේ කලාතුරකින් පමණක් ඇති වූවක් බවත් ආර්.ඇ‍ෆ්. හැරඩ්, ජෝන් රොබින්සන්, ජේ.ආර්. හික්ස්, ඊ. ඩෝමර් හා නිකලස් කැල්ඩෝර් ආදි අර්ථශාස්ත්‍රඥයන් විසින් පෙන්වා දී තිබේ. වෘද්ධිය පිළිබඳ මේ වාද යම් යම් කරුණු අතින් තරමක් දුරට වෙනස් කොට, නොදියුණු ආර්ථික ක්‍රම පවත්නා රටවල සංවර්ධනය පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කිරීමට යොදාගෙන ඇත. මේ කාරණය පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්.ඒ. ලුවිස්ගේ 'ආර්ථීක වෘද්ධිය පිළිබද සිද්ධාන්තය' (Theory of Economic Growth) සුප්‍රකට ග්‍රන්ථයකි.

අර්ථශාස්ත්‍රයේ ක්‍රම විද්‍යාව:

සම්භා‍ව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ කෘතීහු එකල පැවැති ආර්ථික ගැටලු පදනම් කොට ගෙන ම කරන ලද්දාහු වෙත්. මේ අධ්‍යයන, ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ප්‍රයෝජනවත් විය යුතුය යනු ඔවුන්ගේ දැඩි විශ්වාසය විය. ඇඩම් ස්මිත් අබාධ වෙළඳාමෙහි යෝග්‍යතාව පෙන්නා දුන්නේය. රිකාඩෝ ධනපතියා හා ඉඩම් හිමියා අතර ඇති ඝට්ටනය පැහැදිලි කෙළේය. මැල්තස් ශිස්‍රව වැඩෙන ජන ගහනයක් නිසා පැන නගින ගැටලුව කෙරෙහි ස්වකීය අවධානය යොමු කෙළේය.

ඉතාමත් ම සරල තරඟකාරී ආර්ථික ක්‍රමයක විද්‍යමාන වූ ආර්ථික සම්බන්ධතා පිළිබඳ සෛද්ධාන්තික න්‍යාය සමුදායයක් ඇතිකරලීම නවසම්භාව්‍ය අර්ථශා‍ස්ත්‍රයන්ගේ අදහස විය. ඔවුන් විසින් සොයාගත් මේ න්‍යායයෝ විද්‍යාත්මක නියමයන් හා සම කක්ෂයෙහි ලා ගනු ලැබූහ. අවකලනය (Differential Calculus) හා ඛණ්ඩ ඡ්‍යාමිතිය (Coordinate Geometry) නම් ගණිත ක්‍රම ආර්ථික විග්‍රහයන්හි දී වැඩි වැඩියෙන්ම භාවිත කිරීම නවීන අර්ථශාස්ත්‍රඥයන් අර්ථ ශාස්ත්‍රයට ගැන්වූ විද්‍යාත්මක ස්වරූපයට හොඳ ම නිදසුනකි.

සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ විග්‍රහයට භාජන වූයේ ආනුභවික කරුණු වුව ද ඒ සඳහා ඔවුන් යෙදූ ක්‍රම විද්‍යාව නව සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් ගේ ක්‍රමය මෙන් ම අපෝහන (deductive) ක්‍රමයක් විය. සරල වූ කල්පිත කීපයක් ගෙන ඉන් උපයාගත් නිගමන, අනුක්‍රමයෙන් සැබෑ ආර්ථික ක්‍රමයන්හි පවත්නා තත්වයට ළඟා කිරීමට ඔව්හු තැත් කළහ. නිදසුනක් වශයෙන්, භාණ්ඩ මිල පහත් වූ විට ඉල්ලුම වැඩි වේය යන න්‍යාය පිහිටා ඇත්තේ යමක් මිල දී ගැන්මෙහි දී මනුෂ්‍යයා උපයෝගිතාව උපරිම කරගැන්මට තැත් කරන්නේය යන කල්පිතය මතය. මේ නිසා ඔවුන්ගේ මූල ධර්මවල හා සිද්ධාන්තවල නිවැරදි බව රඳා පවත්නේ ඔවුන් විසින් පිළිගන්නා ලද කල්පිතයන්ගේ නිවැරදි බව කෙරෙහිය. මේ අපෝහන ක්‍රමය නිසා අර්ථ ශාස්ත්‍රය වඩ වඩාත් සෛද්ධාන්තික වූයේත් අර්ථශාස්ත්‍රීය විග්‍රහයන් සැබෑ තත්වයෙන් බොහෝ ඈත් වූයේත් මනුෂ්‍යයාගේ හැසිරීම කෙරෙහි බලපෑ වැදගත් සාමාජික සාධක හා ආයතනික කරුණු නොසලකා හළ බැවිනි.

යථෝක්ත අපෝහන විග්‍රහයන්ට ඌනපූරණ වශයෙන් යම්කිසි න්‍යායයන් සමූහයක හරිවැරදි පිරික්සීම පිණිස අභ්‍යුහන (inductive) විග්‍රහ ද ඇතැම් විට යොදනු ලැබීය.පාරිභෝගික ඉල්ලුමද රටරටවල් අතර රන් සංචලනය ද සංඛ්‍යා විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමත්, පිරික්සීමත්, මිල හැඩගැසීමේ ආකාරය පිළිබඳ ආනුභවික විග්‍රහයන් කීරීමත් අර්ථ ශාස්ත්‍රයෙහි සුප්‍රකට ක්‍රම වේ.ආර්ථික කරුණු කෙරෙහි බලපාන සාධකයන්ගේ සංකීර්ණත්වය කරණකොටගෙන, අභ්‍යුහන විග්‍රහාත්මක අධ්‍යයන බොහෝවිට අපෝහන ක්‍රමයන් මගින් එළඹ ගන්නා සරල න්‍යායයන්ට පටහැනිව සිටිනු පෙනේ.

අර්ථශාස්ත්‍රීය සිද්ධීන් පිළිබඳ කරුණු විද්‍යාත්මකව හදාරන්නට යෑමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී, විසිවැනි ශතවර්ෂයේදී බෙහෙවින් ප්‍රචලිත වූ මතයක් නම්, අර්ථ ශාස්ත්‍රයට විෂය වනුයේ යම් යම් නිර්දිෂ්ට පරමාර්ථයන් මුදුන් පමුණුවා ගන්නා මං සොයා බැලීමේ කාර්යය මිස ඒ පරමාර්ථයන් හොඳ ද නරකද යනු විමසා බැලීම නොවේය යන්නයි. පරමාර්ථයන්හි හොඳ නරක සම්බන්ධයෙන් උදාසීනව පැවැත්ම අර්ථ ශාස්ත්‍රයෙන් අපේක්ෂා කෙරේ යයි සැලකිණ යයි සැලැකිණ. මහාචාර්ය ලයනල් රොබින්සන්ගේ 'ආර්ථික විද්‍යාවේ ස්වභාව හා එහි වැදගත්කම' (Nature and Significance of Economic Science) නමැති ග්‍රන්ථය යථෝක්ත මතය ඉතාමත් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කළ කෘතිය ලෙස ගිණිය හැකි වේ. ආර්ථික විද්‍යාව වූ කලි ඇතැම් නිර්දිෂ්ට පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමෙහි ලා දුර්ලභ සම්පත් (විශේෂ අපේක්ෂිත කර්තව්‍යයන් අතර බෙදා) උපයෝගී කරගන්නා අයුරු පරීක්ෂා කර බැලීම පිළිබඳ වූ විද්‍යාව යයි හෙතෙම තර්ක කෙළේය. මෙම විග්‍රහය ආර්ථීක පරමාර්ථයන්ගේ හොඳ නරක විමසා බැලීමට ඉඩ නොතබන අතර ම කවර සමාජයකට වුවද අවිශේෂයෙන් ගැළපෙන්නා වු වූ සාර්වභෞම ආර්ථික න්‍යායයන් ඇතැයි යන්නක් ද හඟවයි. ආර්ථික විද්‍යාව මේ අයුරින් විග්‍රහ කොට දැක්වීමේ ප්‍රතිඵලය වූයේ ධනවාදී ක්‍රමය සාර්වත්‍රික වූත් චිරස්ථායී වූත් (එක ම) සමාජ සංවිධානය ලෙස ගෙන, නොදැනුවත්වම වාගේ එය හුවා දැක්වීමය.

අර්ථ ශාස්ත්‍රයේ විකසනය හා කිසිසේත් නොගැළපෙන්නා වූ යථෝක්ත විග්‍රහය පිළිගැනිණි නම් සාමාජික-ආර්ථික ප්‍රශ්න කෙරෙහි අර්ථශාස්ත්‍රඥයන්ගේ සැලැකිල්ල යොමු වීම වැළකෙනු පමණක් නොව ආර්ථික චින්තනය එදිනෙදා ජීවිතයට අදාළ නොවන්නක් බවට පැමිණ එහි ප්‍ර‍ාණවායුව දුරු වී යනු ද නියතයි. කුමක් හෙයින් ද යත් අර්ථශාස්ත්‍රය පිළිබඳ ඇතැම් ශ‍්‍ර‍ෙෂ්ඨතම කෘතීන් ලියැවී ඇත්තේ, කිසියම් පරමාර්ථයක මනෝඥ බව ගැන කර්තෘ තුළ දැඩි විශ්වාසයක් ඇතිවීමේ හෝ එසේ නැත් නම් පවත්නා සමාජය කෙරෙහි ඔහු තුළ එපමණටම දැඩි වූ අසන්තුෂ්ටියක් ඇති වීමේ හෝ ප්‍රතිඵලයක් වශයෙන් බැවිනි.

වර්තමාන ආර්ථික සාහිත්‍යයෙන් වැඩිහරියක නිස්සාරතාවක් හා සමකාලීන ප්‍රශ්නයන්ට නොඅදාළ බවක් දක්නට ලැබේ නම් ඒ සම්බන්ධයෙන් දොස් කිවයුත්තේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ ඊනියා විද්‍යාත්මක අධ්‍යයන මාර්ගයටයි. අර්ථ ශාස්ත්‍රය කෙරෙහි සැලකිල්ල යොමුවීමට ප්‍රධාන හේතුව වනුයේ එය හා සාමාජික ප්‍රශ්න අතර ඇති කිට්ටු සම්බන්ධතාව වේ. යම්කිසි ප්‍රශ්නයක හුදු ආර්ථීක අංශය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සමාජ විද්‍යාඥයකු වශයෙන් අර්ථශාස්ත්‍රඥයකුට කළ නොහැකි දෙයකි. යම්කිසි සමාජ සංවිධානයක ඇති දුෂණයන් නොදුටුවන්ව සිටීම හෝ අවශ්‍ය වෙනස්කම් කිරීමට මැදහත් නොවී සිටීම අර්ථශාස්ත්‍රඥයන්ට කළ නොහැකිය.

අර්ථ ශාස්ත්‍රය වූ කලි සමාජව්‍යුහයෙහි එක්තරා අංශයක්-ඇතැමි විට ඉතාමත් වැදගත් යයි කිවයුතු අංශය-විග්‍රහ කොට දැක්වි‍‍මෙි ක්‍රමයකැ යි කීම ඒ පිළිබඳව කළ හැකි හ‍ොඳ ම හැඳින්වි‍මයි. එබඳු විග්‍රහයක් ඵලදායි වනුයේ සමාජ ව්ද්‍යාව, මානව විද්‍යාව,දේශපාලන විද්‍යාව ආදි අනිත් සමාජ විද්ව්ද්‍‍යාවන්යාගේ පිපිටුවහල ද ලබාගත් තරමට බව අමතක නොකළ යුතුය.

කර්තෘ: එචි.ඒ. ද ඇස්. ගුණසේකර

(සංස්කරණය: 1965)