අර්ධමාගධී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යතන යුගයට අයත් ඉන්දු ආර්ය භාෂාවන් අතුරෙන් පැරණි ප්‍රාකෘතයකි. ත්‍රිපිටකාගත බෞද්ධ ග්‍රන්ථයන්ගේ භාෂාව 'මාගධික නිරුත්ති' සංඛ්‍යාත පාලි භාෂාව වූවාක් මෙන් පැරණි ජෛන ග්‍රන්ථයන්ගේ භාෂාව වූයේ අර්ධමාගධියයි. හේමචන්ද්‍රාචාරීහු ඍෂීන්ට අයත් භාෂාවය යන අරුතින් ඊට ආර්ෂ යන නාමය ව්‍යවහාර කරත්. සමවායාංග සූත්‍රයෙහි එන "භගවංව ණං අද්ධමාගහාඵ භාසාඵ ධම්මමා ඉක්ඛඉ" වැනි පාඨයන්ගෙන් ජෛන තීර්ථාකර මහාවීරයන් වහන්සේ අර්ධ මාගධී භාෂාවෙන් ධර්ම දේශනා කළ බවත්, භගවතී සුත්‍රයෙහි එන "දෙවාණං අද්ධමාගහාඑ භාසාඑ භාසන්ති" වැනි පාඨයන්ගෙන් දෙවිවරුන් කථා කරන බස අර්ධ මාගධී යයි ජෛන ලබ්ධිකයන් පිළිගත් බවත් පෙනේ. මෙසේ හෙයින් දේව වාණී හෙවත් දේව භාෂා යන නමුදු අර්ධමාගධියට ව්‍යවහාර වෙයි.

සංස්කෘත ශබ්දයන්හි දක්නා රකාරය ලකාර බවට පෙරළීමත්, අකාරාන්ත පුල්ලිංගික නාමයන්ගේ ප්‍රථමා විභක්ති රූපය එකාරාන්තව සිටීමත් වැනි මාගධියට විශේෂ වූ ලක්ෂණයන්ගෙන් අර්ධයක් මෙම ප්‍රකෘතයෙහි දක්නා හෙයින් එය අර්ධමාගධී නාමයෙන් ව්‍යවහාර වී යයි ඇතැමුන් පවසන අතර තවත් කෙනෙක් නිශීථ චූර්ණයෙහි එන “මගහද්ධ විසය භාසානිබද්ධං අද්ධ මාගහං” යන පාඨයක් සාධක කොට ගෙන මගධ දේශයෙන් අර්ධයෙක ප්‍රචලිත වූ හෙයින් මේ බස අර්ධමාගධී නම් වී යයි කියත්. මගධ දේශයෙහි කිනම් කොට්ඨාසයක අර්ධ මාගධිය ප්‍රචලිත වී දැයි ඉඳුරා කිව නොහැකි වුවත් මහාවීරයන්වහන්සේ මගධ දේශයෙහි යම්කිසි පෙදෙසක මේ බසින් දම් දෙසන්ට ඇති බැව් සිතාගත හැකියි. ජෛන ග්‍රන්ථ මුළුල්ලම දක්නට ලැබෙන්නේ අර්ධ මාගධියෙන් නොවේ.

ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වැනි ශත වර්ෂය පමණේ දී ජෛන ලබ්ධිකයන් අතර ශ්වේතාම්බර දිගම්බර භේදය ඇති විය. මේ දෙපක්ෂයේ ම ධර්ම ග්‍රන්ථ සමුදායය ජෛන සිද්ධාන්ත හෙවත් ජෛන ආගමයයි හඳුන්වනු ලැබේ. ජෛන සිද්ධාන්ත අතුරෙන් මුල් ග්‍රන්ථ ඇත්තේ අර්ධමාගධියෙනි. එම ග්‍රන්ථ අතුරෙනුදු පද්‍ය ග්‍රන්ථ හා ගද්‍ය ග්‍රන්ථ අතර භාෂා විලාසයෙහි මහත් වෙනසක් දක්නට ලැබේ. ආයරංග සුත්ත (ආචාරාංග සූත්‍ර), සූය ගඩංග (සූත්‍ර කෘතාංග), උත්තරජ්ඣයන (උත්තරාධ්‍යයන) වැනි පද්‍ය ග්‍රන්ථයන්ගේ භාෂාව ගද්‍ය ග්‍රන්ථයන්ගේ භාෂාවට වඩා සර්වප්‍රකාරයෙන්ම පැරණි බැව් පෙනේ. ජෛන ආගම ග්‍රන්ථයන්ට මූලාශ්‍රය වූ "පූර්ව" ග්‍රන්ථ අභාවයට යෙමින්, සියලු ම ධර්ම ග්‍රන්ථයන්හි ඇති වූ වෙනස්කම් කරණකොටගෙන නානා වාද විවාද හටගනිමින් තිබිය දී දේවර්ධික්ෂමා ශ්‍රමණ නමැති ගණධරයකු විසින් ක්‍රිස්තු වර්ෂයෙන් 5 වැනි සියවස පමණේ දී ආගම ග්‍රන්ථ සියල්ල විමසා සකස් කොට පිළියෙල කරන ලදි.

සාහිත්‍යය:

ජෛන සමය ක්‍රමයෙන් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පැතිරී ගිය හෙයින් ශ්වේතාම්බරයන්ට අයත් ආගම ග්‍රන්ථයන්ගෙන් බාහිර වූ අවශේෂ ග්‍රන්ථ අර්ධමාගධී ලක්ෂණ කීපයකින් ද යුක්ත වූ මහාරාෂ්ටියෙන් ලියන ලදි. ඊට ජෛන මහාරාෂ්ට්‍රි‍ යයි කියනු ලැබේ. ජෛන මහාරාෂ්ට්‍රි‍ ග්‍රන්ථයන්හි ජෛන ශ්‍රවකාදීන්ගේ චරිතාපදාන, නොයෙක් විසිතුරු කථා ආදිය අන්තර්ගතය. කක්කුක සෙල්ලිපිය ජෛන මහාරාෂ්ට්‍ර්යෙන් රචනා කරන ලද්දකි.

දිගම්බර ජෛනයන්ගේ ධර්ම ග්‍රන්ථ බෙහෙවින් රචනා කොට ඇත්තේ අර්ධමාගධී ලක්ෂණ බහුල වූ ශෞරසේනී විශේෂයකිනි. ඊට ජෛන ශෞරසේනී යයි ව්‍යවහාරයි. කුන්දකුදාචාරීන්ගේ පවයණසාරය හා කාර්තිත්කේය ස්වාමීන්ගේ කත්තිගෙයාණුපෙක්ඛාව ද විශිෂ්ට වූ ජෛන ශෞරසේනී ග්‍රන්ථ දෙකකි.

ශ්වේතාම්බරයන්ගේ පිළිගැනීම පරිදි ජෛන සිද්ධාන්ත හෙවත් ආගම ග්‍රන්ථ මේයි:

අංග 12 යි.

උපාංග 12 යි.

ප්‍රකීර්ණක 10 යි.

ඡෙද සූත්‍ර 6 යි.

කෙවල ග්‍රන්ථ 2 යි.

මූල සූත්‍ර 4 යි.

ග්‍රන්ථ සංඛ්‍යාව 46 යි.‍

ශ්වේතාම්බරයන් හා දිගම්බරයන් අතර ආගම ග්‍රන්ථ පිළිබඳව නොයෙක් මතභේද ඇතත් ද්වාදසාංග, මූලික වූත් අත්‍යන්තයෙන් වැදගත් වූත් ග්‍රන්ථ බව දෙපක්ෂය ම එකහෙළා පිළිගනිත්. නිගණ්ඨනාතපුත්‍ර මහාවීරයන්ගේ පරිනිර්වාණයට සමීප සමයෙහි සිට ක්‍රිස්තු වර්ෂයෙන් 5 වැනි සියවස පමණ දක්වා කාල පරිච්ඡේදය තුළ දී කලින් කල පවත්වන ලද ධර්ම සංගීතිවල දී එතෙක් කල් වාචනා මාර්ගයෙන් ගෙන එන ලද ආගම ග්‍රන්ථ හැකි තන්හි දී පූර්ව ග්‍රන්ථයන්ගේ ද ආශ්‍රයෙන් සකස් කරනු ලැබ 5 වැනි ශතවර්ෂයෙහි දී ග්‍රන්ථාරූඪ කරන ලදී. එහෙයින් ඇතැම් ආගම ග්‍රන්ථයන්ගේ ස්වරූපය ඉතා පැරණි යයි කිව යුතු වුවද සමහර ග්‍රන්ථයන්ගේ හෝ ඉන් සමහර කොටස් වල ස්වරූපය ඒ සා පැරණි නොවන බැව් ද වියතුන්ගේ පිළිගැනීමයි. මෙසේ ජෛන භික්ෂුවකගේ ආචාර සම්පත්තිය පිළිබඳ විස්තරයක් කෙරෙන ආචාරාංග සූත්‍රයෙහි ‍ප්‍රථම සූයක්ඛන්ධය දෙවන සූයක්ඛන්ධයට හාත්පසින් ම පැරණි බවත් පළමු සූයක්ඛන්ධය පවා විභින්න වූ පද්‍ය ඛණ්ඩයන්ගෙන් සමන්විත බවත් සාහිත්‍ය විචාරකයෝ පවසත්.

බෞද්ධ විනය ග්‍රන්ථයන්හි දැක්වෙන භික්ෂු ප්‍රතිපත්තීන්ට වඩා හාත්පසින් ම කඨෝර වූත් උග්‍ර වූත් පිළිවෙත් සමූහයක් ජෛන භික්ෂුව උදෙසා අනුදැන ඇති බව ආචාරාංග සූත්‍රයෙන් පැහැදිලි වේ.

විවිධ ලබ්ධිකයන්ගේ දෘෂ්ටීන් හඳුන්වා ඒවාහි දොස් දක්වමින් ජෛන භික්ෂූන් නොමඟ යෑමෙන් වළකා ජෛන සමය කෙරෙහි ඔවුන්ගේ ශ්‍රද්ධාව හා භක්තිය ආරක්ෂා කර ගැනීම දෙවන සූත්‍ර කෘතාංගයෙහි පරමාර්ථය වේ. එහි ද මුල් කොටස් දෙවැන්නට වඩා පැරණි බවක් පෙනේ. තෙවන ස්ථානාංගය (ඨානංගා) හා සිව්වැනි සමවායාංගය (සමවායංග) ද නන් වැදෑරුම් දෑ සංඛ්‍යා පිළිවෙළින් සඳහන් කිරීම කරණ කොටගෙන පාලි අංගුත්තර නිකායට අනුරූප වේ. භගවතී ව්‍යාඛ්‍යා ප්‍රඥප්ති (භගවතී වියාහ පන්නත්ති) සංඛ්‍යාත වු පස්වැනි අංගයෙහි ප්‍රධාන ජෛන භික්ෂූවක් වු ගෞතම ඉන්ද්‍රභූතීන් හා මහාවීරයන් අතර ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් ද ඉතිහාස සංවාද මුඛයෙන් ද ඉදිරිපත් කරන ලද නානා ජෛන ඉගැන්වීම් හා මහාවීරයන්ගේ ජීවන චරිතය පිළිබඳ නොයෙක් විස්තර ද ඇතුළත් වේ.

නායාධම්මකහාඔ හෙවත් ඥාතාධර්මකථා සංඛ්‍යාත වූ සවැනි අංගය ජෛන ඉගැන්වීම් හෝ දෘෂ්ටාන්ත ගැබ්වී ඇති විවිධ කථාවස්තූන්ගෙන් සමන්විත වේ.

උවාසගදසාඔ හෙවත් උපාසකදශාඃ නමැති සත්වැනි අංගයෙහි නියම ගිහි පිළිවෙත් හා ඒවා පුරමින් සිද්ධි උපයා අවසානයෙහි දිව්‍යත්වයට පැමිණි ජෛන ලබ්ධික අගාරික ශ්‍රාවකයන් පිළිබඳ කථාවස්තු දැක්වේ.

අංතගඩදසාඹ හෙවත් අන්තකෘතදශා සංඛ්‍යාත අටවැනි අංගයෙහි ජෛන සමය අනුව පිළිවෙත් පිරීමෙන් භවයාගේ අන්තයට ප්‍රාප්ත වූ හෙවත් විමුක්තිය ලබාගත් ජෛන භික්ෂූන් පිළිබඳ කථා වස්තු සමූහයක් ඇතුළත් වේ. එසේ ම අණුත්තරොවවාඉයදසාඹ හෙවත් අනුත්තරෞපපාතික දශඃ නම් ලත් නව වැනි අංගයෙහි ජෛන සමයානු කූල ප්‍රතිපත්ති පූරණයෙන් අනුත්තර විමාන පසෙහි උපන් ජෛන භික්ෂූන් පිළිබඳ කථා රැසක් එයි.

පණ්හ වාගරණා ඉං හෙවත් ප්‍රශ්න ව්‍යාකරණානි නම් දසවැනි අංගයෙහි පඤ්ච මහා ව්‍රතයන් ගැන ද ඒවා පිරීමෙන් හටගන්නා කුසල් ගැන ද නොයෙක් ජෛන ඉගැන්වීම් ඇතුළත් වේ.

විවාග සුළං හෙවත් විපාක ශ්‍රැතම් නමැති එකොළොස්වැනි අංගයෙහි කුශලාකුශල කර්මයන් ඉෂ්ටානිෂ්ට විපාක දෙන අයුරු පැහැදිලි කෙරේ.මහාවීරයන්වහන්සේගේ ශ්‍රාවක ගෞතම ඉන්ද්‍රභූතීහු දුක් විඳිනා නොයෙක් පුද්ගලයන් දැක ඔවුන් එසේ දුකට පත් අයුරු මහාවීරයන්ගෙන් විමසත්. උන්වහන්සේ ඒ අය අතීතයෙහි දී අකුශල කර්මය කළ අයුරුත් ඒවායේ ප්‍රතිඵල දැන් විඳිනා බවත් අනාගතයෙහි ඔවුන්ට යන කල දසාවත් අවසානයෙහි සුගතිගාමී වන අයුරුත් දක්වමින් කථාවස්තු ගෙන හැර පාත්.

දිට්ඨිවාය හෙවත් දෘෂ්ටිවාද නම් ලත් දොළොස් වැනි අංගයෙහි ජෛන සූත්‍රයන්ගේ අවබෝධයට උපකාරීවන පරිකර්ම විධි, මිථ්‍යා දෘෂ්ටි බිඳ හෙළන අයුරු, තීර්ථඩ්කරාදීන් පිළිබඳ කථා පුවත් ආදි විවිධ තොරතුරු ඇතුළත් වේ.

එක් එක් අංගයක් ආශ්‍රයෙන් විවිධ ජෛන ඉගැන්වීම් හා කථා වස්තු ඇතුළත් උපාංගයක් ද වෙයි. ඒ හැර ආර්යයන් හා ම්ලේච්ඡයන්, චන්ද්‍ර සූය්‍යී නක්ෂත්‍රාදිය, භාරත වර්ෂය, ද්වීප හා සාගර, නිරයවල්, තීර්ථඩ්කරයන්ට වැඳීමට දෙව්ලොවින් එන දෙවිවරුන්, නොයෙක් රජුන් ආදි විෂයයන් පිළිබඳ නානා විස්තර ද දොළොස් උපාංගයන්හි ඇතුළත් වේ.

බෙහෙවින් ම පද්‍යමය වූ ‍ප්‍රාකීර්ණක (පඉණ්ණ) ග්‍රන්ථයන්හි ජෛන සමය පිළිබඳ නානා ව්‍රත, තපස්කම්, උපවාස කොට මිය යෑම, විවිධ ප්‍රත්‍යා ඛ්‍යාන ආදි ප්‍රකීර්ණකරූපී වත්පිළිවෙත් හා ගුණ දහම් පිළිබඳ විස්තර ද ඒවාට නිදසුන් වශයෙන් කථාවස්තු ද දක්නට ලැබේ.

සවැදෑරුම් ඡේද සූත්‍රයන්හි බෙහෙවින් ම ඇත්තේ ජෛන භික්ෂුභික්ෂුණීන්ගේ සමාචාර ශීලය හෙවත් විනය පිළිබඳ ශික්ෂා ආදියයි. කාලපරිච්ඡේද වශයෙන් ගෙන බලන කල ඡේද සූත්‍ර පසුව රචිත බවත් බෘහත්කල්පසූත්‍රය වැනි ඇතැම් කොටස් ඉතා පැරණි බවත් වියතුන්ගේ පිළිගැනීමයි.

නාන්දී සූත්‍රය (නන්දි සුත්ත) සහ අනුයෝග ද්වාරය (අණුඔගදාර) ද කිසිවිටෙක ප්‍රකීර්ණක සංඛ්‍යාවෙහි ලා ගනු ලබතත් බොහෝ විට මූල සූත්‍රයන්ට කලින් හෝ පසුව හෝ ගනු ලැබේ. මේ දෙකම ඇත්තේ බෙහෙවින් ම ගද්‍යයෙනි. අනුයෝගද්වාරය ප්‍රශ්නෝත්තර මුඛයෙන් දක්වා තිබේ. දේවර්ධි ගණින් විසින් විරචිත යයි සම්මත නාන්දී සූත්‍රය මහාවීරයන්ගේ ගුණ වර්ණනයකින් ආරම්භ වී සූවිසි තීර්ථකඅංකරයන් ද එකොළොස් ගණධරයන් ද දේවර්ධි ගණීන්ගේ ආචාය්‍යී වූ දූසගණීහුගෙන් අවසන් වන ස්ථවිරාවලිය ද සඳහන් කරයි. මෙම සූත්‍රද්වය ජෛන සමයට අයත් දැයට පමණක් සීමා නොවී අර්ථශාස්ත්‍ර කාමශාස්ත්‍ර කාව්‍ය නාටක ගණිත මිනිත ව්‍යාකරණාදි විවිධ ලෝකායත විද්‍යාවන් පිළිබඳ ව ද විස්තර සඳහන් කරන හෙයින් විශ්වකෝෂයක ස්වරූපයක් ගනී.

උත්තරාධ්‍යයන (උත්තරජ්ඣයණ), ආවශ්‍යක (ආවස්සය), දශ‍වෛකාලික (දසවෙයාලිය) සහ පිණ්ඩනිර්යුක්ති (පිංඩනිජ්ජුත්ති) යන සතර මූල සූත්‍ර නාමයෙන් හැඳින්වේ. තුන්වැනි සතරවැනි සූත්‍රයන්ට ඔඝනිර්යුක්ති (ඔහනිජ්ජුත්ති) යන නාමය ව්‍යවහාර වෙි.විවිධ කාලපරිච්ඡේදයන්හි රචිත ඛණ්ඩයන්‍ගෙන් යුක්ත යයි කියනු ලැ‍බෙන උත්තරජ්ඣයණය එහි ඇතුළත් වන කථා වස්තුන්ගේ රසවත්කම අතින් බලතත්, ගැබි වි ඇත්තාවු සාර වු ජෛන සමයානුකූල ඉගැන්විමි අතින් බලතත්, සුත්තනිපාතය හා ධමිමපදය වැනි ‍බ‍ෞද්ධ ග්‍රන්ථයන්හි දක්නා ස්වර්ණමය උප‍දේශ වාක්‍යයන්ට න‍ොදෙවැනි ආප්ත භාෂිතයන්ගේ බහුලත්වය අතින් බලතත් සෙසු ජෛන සුත්‍ර බොහොමයක් අභිභවා සිටි.

දෙවන මූල සූත්‍රය වන ආවශ්‍යක (ආවස්සය) සූත්‍රයෙහි සෑම ජෛන ලබ්ධිකයකු දිනපතා පිළිපැදිය යුතු 'ආවශ්‍යක' ගුණ ධර්ම සයත් ඒ පිළිබඳ කථාවස්තු ආදී තොරතුරුත් ඇතුළත් වේ.

දශවෛකාලික (දසවෙයාලිය) සූත්‍රයෙහි ජෛන භික්ෂු ජීවිතය පිළිබඳ ශික්ෂා හා ආප්තෝපදේශ ද කථාවස්තු කිහිපයක් ද දක්නට ලැබේ.

භද්‍රබාහු නම් ගණධරයන් විසින් සංගෘහිත යයි කියනු ලබන පිණ්ඩනිර්මුක්තියෙහි හෙවත් පිණ්ඩ නිජ්ජුත්තියෙහි ජෛන භික්ෂු ජීවිතයට හා භික්ෂු සමාචාර ශීලයට අදාළ විවිධ තොරතුරු විස්තර කෙරේ.

භාෂා ලක්ෂණ:

අර්ධමාගධී භාෂාව පිළිබඳ දීර්ඝ විස්තරයක් ඒ.ඇම්. ඝටගේ මහතුන්ගේ අර්ධමාගධී භාෂා ප්‍රවේශය නමැති ග්‍රන්ථයෙහි එයි. අර්ධමාගධියට විශේෂ යයි කිව හැකි මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් පමණක් පහත දැක්වේ.

1. සංස්කෘතයෙහි පදයක මධ්‍යයෙහි තනිව හෙවත් අංයුක්තව යෙදෙන කකාරය මහාරාෂ්ට්‍රි ආදි ප්‍රකෘතයන්හි මෙන් ලොප් නොවී බෙහෙවින් ගකාර බවට පැමිණේ: දාරක>දාරග . ලොක > ලොග; ආකෘතිඃ >ආගිඊ.

2. එබඳු ම වූ ගකාරය මහාරාෂ්ට්‍රියෙහි මෙන් ලොප් නොවී බෙහෙවින් අවශිෂ්ට වේ: ආගමන> ආගමණ; භගවාන්> භගවං

3. දකාරය කිසිවිටෙක අවශිෂ්ට වේ+: උදාර> උදාර; ප්‍රදක්ෂිණ>පදක්ඛිණ, පයාහිණ.

4. අනාදි තනි පකාරය සාමාන්‍යයෙන් ව බවට හැරේ: උපාසක >උවාසග ; ගෘහපතිඃ> ගාහාවර්; ජම්බුද්වීපම්>ජම්බුද්දීවං.

5. අනාදි තනි යකාරය අවශිෂ්ට වේ: ප්‍රයත්ත> පයත්ත.

6. අනාදි තනි වකාරය කිසි විටෙක අවශිෂ්ට වේ: යාවත්> ජාව.

7. සාමාන්‍ය ප්‍රකෘත රීතියට අනුව අනාදි වූ අසංයුක්ත ක, ග, ච, ජ, ත, ද, ප, ය, ව යන අක්ෂර ලොප් වන විට උද්ධෘත්ත ස්වරයට යකාරාගමය වේ. අර්ධ මාගධියෙහි දී ලොප් වූ ව්‍යඤ්ජනයට පූර්වයෙන් ඇති ස්වරය ආ, උ, ඔ යන මොවුන් ගෙන් එකක් වී නම්, එය උද්ධෘත්ත ස්වරය හා විසදශ ද වී නමි, යකාරාගමය නොකරනු ලැබේ: කාතර>කායර; ආතුර> ආදර.

8. පදයක ආදියෙහි ඇති දන්ත්‍ය නකාරය විකල්ප වශයෙන් ද මධ්‍යයෙහි යෙදෙන නකාරය නිත්‍ය වශයෙන් ද මූර්ධන්‍ය බවට පැමිණේ.

9. සන්ධිස්ථානාදියෙහි විශේෂ යුක්තියක් නො මැතිවත් හ්‍රස්ව ආකාරය දීර්ඝකර තිබෙනු නොයෙක් විට දක්නට ලැබේ: ජං+එව=ජාමෙව (සං,යමෙව);තං + එව = තාමෙව; බිප්පං + එව = බිප්පා මෙව;එවං + එව = එවමෙව ; ජෙණ + එව=ජෙණා මෙව (සං. යෙනෛව); තෙණ + එව = තෙණා මෙව; තණං+ අවි = තණාමවි (සං. තෘණමපි).

10. දීර්ඝ ස්වරයකින් පරව යෙදෙන ඉති යනු ඉ වේ. එ ඔ ඇතුළු වූ හ්‍රස්ව ස්වරයකින් පරව යෙදෙන ඉති ශබ්දය ත්ති යී දක්නට ලැබේ.

11. සංස්කෘත ශබිදයක ආදියෙහි ඇති යකාරය බ‍ෙහෙ‍වින් ඡ බවට පෙරළේ.කිසිවිටෙක ලොප් ද වෙි: යථානාමක>ඡහාණාමඅ; යාවඡ්ඡිව >ඡාවඡ්ඡිව;යථාඛ්‍යාත>අහක්ඛාය;යාවත්තථා >ආවකහා.

12. ගද්‍යයෙහි පවා සමාසයක පද දෙකක් අතරෙහි අනුස්වාරය හෝ හල් මකාරය යොදනු ලැබේ: නිරයංගාමී, උට්ඨංගාරව, ගොණමා ඉ, සාමාඉයමාඉයාඉං

13. නාම වර නැඟීමෙහි දී දක්නා විශේෂ රූප ද කිහිපයකි.

(i)පුමලිඟුවෙහි දී ප්‍රථමා ඒක වචන විභක්ති ප්‍රත්‍යය බෙහෙවින් - එයනුයි. එහෙත් සමහර විට -ඔ යනු ද යෙදේ.

(ii) සප්තමී ඒක වචන විභක්ති ප්‍රත්‍යය සාමාන්‍යයෙන් - සි යනුයි. එහෙත් සමහර විට —එ හා —ම්මි යනු ද යෙදේ : ලොගංසි, ධම්මංසි, ධම්මෙ,ධම්මමිමි.

(iii) චතුර්ථි ඒක වචන විභක්තිය —ආඑ යනුයි දෙවාඑ, සවණයා එ,ගමණා එ, අට්ඨාඑ, අසුභාඑ.

(iv) සංස්කෘතයෙහි දක්නා ඇතැම් ශබ්දයන්ගේ අනුසාරයෙන් අයථාසාදෘශ්යයෙන් සිද්ධ වූ රූප ද රැසකි: වයසා, කායසා,බලසා, ජොගසා, කම්මුණා,ධම්මුණා.

14. ආඛ්‍යාත වරනැඟීමේ දී අතීත කාලයෙහි ප්‍රථම පුරුෂ ඒකවචනයෙහි දී හොත්රා, හුත්ථා (අභූත්), පහාරෙත්ථ, පහාරෙත්ථා වැනි රූප ද,බහු වචනයෙහිදී — අංසු, —ඉංසු යන ප්‍රත්‍යයන්ගෙන් අන්ත වන ආහංසු, පුච්ඡිංසු, ගච්ඡිංසු, ආභාසිංසු වැනි රූප ද ඉතා සුලභ වේ.

15. අර්ධමාගධියෙහි දී විශේෂයෙන් දක්නා පූර්ව ක්‍රියා ද කිහිපයකි:

(i) කට්ටු (කෘත්වා), සාහට්ටු (සංහෘත්ය), අවහට්ටු (අපහෘත්ය) යනාදි —ට්ටු යන්නෙන් අන්ත වන පුර්ව ක්‍රියා රූප,

(ii) ච ඉත්තා(ත්‍යක්ත්වා), විඋට්ටිත්තා(චිත්‍රැට්‍ය), පාසිත්තා, පරෙත්තා, පාසිත්තාණං, කරෙත්තාණං යනාදී වශයෙන් -ඉත්තා,— එත්තා, —ඉත්තාණං, — එත්තාණං යනාදී ප්‍රත්‍යයන්ගෙන් අන්ත රූප,

(iii) දුරුහිත්තු, ජාණිත්තු, වහිත්තු යනාදි වශයෙන් ඉත්තු—ප්‍රත්‍යයෙන් අන්තවන රූප,

(iv) කිච්චා (කෘත්වා), නච්චා (ඥාත්වා), සොච්චා (ශ්‍රැත්වා), හොච්චා (භුක්ත්වා), චිච්චා හෝ වෙච්චා (ත්‍යක්ත්වා) යනාදි වශයෙන් —ච්ච ප්‍රත්‍යයෙන් අන්තවන රූප,

(v) පරියාණියා, පරියාණිය (පරිඥාය), වියාණියා, වියාණිය, දුරු හියා, දුරු හිය යනාදි වශයෙන් —ඉයා, —ඉය යන ප්‍රත්‍යයෙන්ගෙන් අන්තවන රූප,

(vi) විඋක්කම්ම (ව්‍යති ක්‍රම්‍ය),නිසමිම (නිශම්‍ය),සමිච්ච (සමෙත්‍ය), සංඛාඵ (සංඛ්‍යාය), අණුවීඉ (අනුවීය), ලද්ධං, ලද්ධුණ (ලබිධිවා) යනාදි වශයෙන් බෙහෙවින් සංස්කෘත පූර්වක්‍රියාවන් හා සම්බන්ධයක් හඟවන, ඒවායින් වැඩුණාක් මෙන් පෙනෙන රූප යන මොව්හුයි.

16. සංස්කෘතයෙහි ඇති තුමන්ත රූප අර්ධ මාගධියෙහි දී බෙහෙවින් — ඉත්තඑ,— එත්තඑ යන මේවායින් අන්ත වේ: කරිත්තඑ, ගච්ඡිත්තඵ, භුඤ්ජිත්තළු, උවසමිත්තඑ, ඔවාය ඉත්තඑ.

17. සංස්කෘතයෙහි ඍකාරාන්ත ධාතූන්ගෙන් සිද්ධ අතීත කෘදන්ත රූප අර්ධමාගධියෙහි ඩකාරාන්ත වේ : කඩ (කෘත), මඩ (මෘත), අභිහඩ (අභිහෘත), වාවඩ (ව්‍යාපෘත), වියඩ (විකෘත),විත්ථඩ (විස්තෘත).

18. අර්ධමාගධියෙහි විශේෂණ පදයන්ගේ තාරතම්‍යාදි අර්ථයන් ප්‍රකාශ කරන විට —තර යන අර්ථයෙහි —තරාඅ, —තරාය, —තරාග (සං.—තර + ක) යන ප්‍රත්‍යයෝ යෙදෙත් : අප්පතරාඑ, අකන්තතරාළු,මූඪතරාඵ, මූඪතරාගෙ.

19. අර්ධමාගධී ශබ්ද අතුරෙහි නොයෙක් විශේෂ රූප ද දක්නට ලැබේ : දොච්ච (ද්විතීය), තච්ච (තෘතීය), ජායා (යාත්‍රා), උප්පි (උපරි), පුඩේා(පෘථක්).

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අර්ධමාගධී&oldid=4082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි