අරාබි මුහුද
ඉන්දියන් සාගරයේ වයඹ දිග කොටස වූ අරාබි මුහුද නැගෙනහිරින් ඉන්දියාවටත්,උතුරෙන් බලුකිස්ථානයට සහ දකුණු පර්සියාවටත්, බටහිරින් අරාබියටත් මැදි වී පිහිටියේය. උත්තරාක්ෂාංශ 10°-15° දී අරාබි මුහුද ඉන්දියානු මහා සාගරයට සම්බන්ධ වේ. බටහිරින් අරාබි වෙරළේ සිට නැගෙනහිරින් ඉන්දියානු වෙරළ දක්වා වැඩිම පළල සැතැපුම් 1,500ක් පමණ වේ. අරාබි මුහුදෙහි අඩි 13,000 සිට 16,500 දක්වා ගැඹුරු වූ තැන් ද සොයාගෙන ඇත. අරාබි මුහුදේ සිට අසල භූමිභාග තුළට නෙරාගොස් ඇති මුහුදු ඛණ්ඩ කීපයක් වෙයි. වයඹ දිගට පර්සියානු වරායෙන් කෙළවර වන ඕමන් බොක්කත්, නිරිත දිගට බාබ් - එල් - මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ රතුමුහුදට සම්බන්ධව ඇති ඒඩන් බොක්කත් ඉන් ප්‍රධානය. ඉන්දියානු වෙරළෙහි ඇති කච් සහ කැම්බේ වරායවල් ද අරාබි මුහුදෙහි ශාඛාය. සින්ධු ගඟ අරාබි මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවයි. ඉන්දියාවේ නර්මදා සහ තප්තියන ගංගාවෝ ද අරාබි මුහුදට වැටෙත්. සොකෝත්‍රා සහ ලකදිව් අරාබි මුහුදෙහි පිහිටි ප්‍රධාන දූපත්ය.
දකුණු ආසියාවේ දේශගුණය කෙරෙහි බලපාන වාසුළි කුණාටු බොහොමයක් උපදින්නේ අරාබි මුහුදේය. මැයි, ජූනි සහ ජූලි යන මාස වාසුළි උපදින ප්‍රධාන කාලයයි. මේ නිසා ලංකාවට ද ඉතා තද වැසි ලැබෙන අවස්ථා ඇත.
ඈතඅතීතයේ පටන්ම අරාබි මුහුදෙහි පැවතුණු වෙරළාසන්න නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු ග්‍රීක සාහිත්‍යයෙහි සඳහන් වෙයි. නියාර්කස් නමැත්තකු මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවක් රැගෙන ඉන්දියාවේ සිට උතුරු අරාබි මුහුද හරහා දකුණු පර්සියාවට යාත්‍රා කළ බවත්, මෝසම් සුළං ගැන පළමුවෙන් ම සොයා ගැනීමේ ගෞරවය ලබා ඇති හිපාලුස් නමැත්තකු අරාබියේ සිට, අරාබි මුහුද හරහා ඉන්දියාවට ගිය බවත් ඉතිහාස ගත වී ඇත. ආදියෙහි පටන් ම නාවික සහ වාණිජ කටයුතු වලට සම්බන්ධ වූ වැදගත් වරායවල් කීපයක් ම අරාබි මුහුදේ ඇත. ඒඩන්, බස්රා, බොම්බාය සහ කරච්චිය එයින් ඉතා ම වැදගත් ඒවාය. (ඉන්දියන් සාගරය ද බ.)