අරාබි සාහිත්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවසේ අවසාන විසිපස්වස තුළ ආරම්භ වී, හත් වැනි සියවසේ මුල් පස්විසි වස තුළ ඉස්ලාම් භක්තිය පහළවීමත් සමඟ කෙළවර වුණු පළමුවන අරාබි සාහිත්‍ය යුගය ධර්මාධර්ම විචාර ශූන්‍ය වූ අවිද්‍යා යුගය නමින් හඳුන්වනු ලැබේ. අටවැනි සහ නවවැනි සියවස් තුළ දී පහළ වුණු පණ්ඩිත ජනයා අතින් සංස්කරණය වී ග්‍රන්ථාරූඪ වන තෙක් අරාබි ජනයා අතර පැවති ධර්මෝපදේශ, ආප්තෝපදේශ, ප්‍රස්තාව පිරැඑ, පුරාණවෘත්තාන්ත ආදී ගද්‍යපාඨ ස්වල්පයක් ද පද්‍ය විශාල සංඛ්‍යාවක් ද හු‍‍ද‍ෙ‍ක් වාචනාමාර්ගයෙන් ගෙන එන ලදී. කවියා එකල සමාජයේ උසස් තැනක් දැරීය. ඔහුගේ බලපෑම ද විශාල විය. කවියාගේ මුවින් ගිළිහෙන දෑ අනාගත වාක්‍ය සේ පිළිගනු ලැබීය.යම්කිසි උත්තර මානුෂික බලයක මහිමයෙන් ඒ ශක්තිය ඔහු ලබා ගන්නා බව ජනයාගේ විශ්වාසය විය. ගෝත්‍රයේ විශිෂ්ටකම් සිහිපත් කරවීම, යුදෙහි දි මෙන් ම සාමයෙහි දී ද ගෝත්‍රිකයන්ගේ ජයග්‍රහණ හා සමත්කමි පැසසීම හා සතුරන් අපහාසයට ලක් කොට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට ගෝත්‍රිකයන් උනන්දු කරවීම කාව්‍යකරණයෙහි පරමාර්ථයන් ලෙස සලකනු ලැබීය. ප්‍රාග්-ඉස්ලාමික පද්‍ය රචනා අරාබිවරුන්ගේ එදිනෙදා ජීවිතයෙහි හා සිතුම් පැතුම්වලත් සත්‍ය වාර්තාවක් වශයෙන් වැදගත් වනුයේ එහෙයිනි.

ප්‍රාග්–ඉස්ලාමික යුගය‍:‍

මේ දක්වා අවශීෂ්ටව පවත්නා අතිපැරණි අරාබි පද්‍යනිබන්ධයෝ කාව්‍යරචනා වශයෙන් අතිශයින් කමනීයහ.ඵ් නිබන්ධ ගුරැ‍ ක‍ොට ගැන්මට විරුද්ධව යමි යමි විරෝධී ව්‍යාපාර කලින් කලින් පහළ වි ඇතත් ඵ්වා‍‍‍‍ය‍ෙ ඛලපැම ඉඳුරා ම වළකා ලිිමට සමත් ඛලවෙිගයක් පසු යුගයක පහළ න‍ොවීය.ප්‍රධාන කොට ම ශෘංගාරමය වුත් ප්‍රශස්තිමය වුත් උප‍‍දේශාත්මක වුත් පද්‍ය ඛණ්ඩයන්ග‍ෙන් සමුපේත කොට විරචිතකසීදා නම් දීර්ඝ පද්‍යනිබන්ධ කාල්පනික පද්‍ය විශේෂයන් අතුරෙන් වැදගත් තැනක් ගනී. ඇතැම් විට පවුලේ අය පවා දෙවැනි කොට ඇලුම් කරනු ලැබුවාවු ද යුද්ධයේ දී මෙන් ම සාමයේදීත් එක සේ ප්‍රයෝජනවත් වූ ද ඔටුවා සහ අශ්වයා ගැන විශේෂ‍ය‍ෙ‍න් ‍ද වෙනත් හීලෑ සතුන් හෝ වල්සතුන් ගැන සාමාන්‍ය වශයෙන් ද ඇතැම් විට කාන්තාරයේ ස්වාභාවික දර්ශන ගැන ද මනහර වැනුම් මෙම රචනාවෙහි දක්නට ලැබේ. තවද එකල ජනප්‍රියව පැවැතුණු කෙටි කාව්‍ය විශේෂදෙකකි. එනම් සතුරු ගෝත්‍රිකයන් හා කළ යුද්ධවල දී ඔවුන්ට විරුද්ධව බලවත් අවියක් සේ පරිහරණය කරන ලද උපහාසාත්මක කාව්‍ය සහ මළවුන්ගේ ගුණ ගැයිම සඳහා රචිත අනුශෝචනාත්මක කාව්‍ය ද වෙයි. අල් ඛංසා (බ.) වැනි කිවිවරියෝ එබඳු අනුශෝචනාත්මක කාව්‍ය රචනාවෙහි අතුල්‍ය කීර්තියක් ඉසුලුහ.

ප්‍රාග්–ඉස්ලාමික යුගයේ දී බිහිවුණු කාව්‍ය සංග්‍රහයයන් අතර 'ඉම්රු’උල්-කෑස්', 'සූහයේර්' සහ 'තරෆ' වැනි උසස් ම කවියන් විසින් රචිත ඉතා රමණීය නිබන්ධ (ගීතකාව්‍ය) හතක් ඇතුළත් "මුඅල්ල කාත්" නමැති සංග්‍රහය ද මුෆද්දල් ඉබ්න් යලා නම් කිවියා විසින් සංගෘහිත හෙයින් "මුෆද්දලිය්‍යාත්" නම් ලත් සංග්‍රහය ද අබු තම්මාම් (1–850) සහ බුහ්තුරි (?–897) යන කිවියන් විසින් සංගෘහිත කෙටි කාව්‍යයන්ගෙන් යුක්ත වූ "හමාසා" නමැති කාව්‍ය සංග්‍රහය ද ඉතා ජනප්‍රියව පවත්නේය. ඒ අවධියෙහි විසූ එක් එක් කවියාගේ පද්‍ය මුළු මනින්ම පාහේ "දීවාන්" නමින් දන්නා ග්‍රන්ථවල වෙන් වෙන් වශයෙන් දක්නට ලැබේ.

කුරානය:

මහම්මත්තුමන් වෙත දෙවියන් වහන්සේ විසින් ටිකින් ටික එළිදරවු කරන ලද වාක්‍යයන්ගෙන් සමන්විත යයි ඉස්ලාම් භක්තිමතුන් විශ්වාස කරන ධර්ම ග්‍රන්ථය වන කුරානය අරාබි සාහිත්‍යයේ ප්‍රමුඛස්ථානය ගනී. සාහිත්යික අගය අතින් පෑ ප්‍රාතිහාර්යයක් ලෙස සාමාන්‍යයෙන් පිළිගනු ලබන එය අර්ථාලංකාරයන්ගෙන් මෙන්ම ශබ්දාලංකාරයන්ගෙන් ද අනූන ගද්‍ය නිබන්ධයකි. මේ ශ්‍රේෂ්ඨ කෘතිය කෙරෙහි පවතින මහත් භක්තිය එවක් පටන් ඇරඹුණු සෑම සාහිත්‍ය ව්‍යාපාරයක් කෙරෙහි ම බෙහෙවින් බලපෑවේය.වර්තමාන කාලයේ පවා අරාබි භාෂාව හා සාහිත්‍යය මේ ග්‍රන්ථයෙන් නොවෙන් කළ හැකි සේ ඒ හා බැඳී පවතී.

මුල් කාලිප්වරුන්ගේ (632–661) සහ උමයියාද් කාලිප්වරුන්ගේ කාලය (661–750):

ගෝත්‍රික සංවිධානයේ අවශ්‍යාංගයන් වූ වංශාභිමානයත් යුක්තිගරුකභාවය හෝ ධර්මිෂ්ඨත්වය කිසිදු අපේක්ෂාවක් නොමැතිව හුදෙක් බල පුළුවන්කාරකමින් ම ක්‍රියාකිරීමට යොමුවීමත් පරම්පරාගතව එන බද්ධ වෛරයත් ඉස්ලාම් ධර්මයෙහි ප්‍රකාශිත සාර්වජනීන සහෝදරත්වය හා කිසිසේත් නොගැළපෙන බව වැටහීයත්ම, පැරැණි පරමාර්ථයන් කෙරෙහි එල්බ ගත් කවීන් සමාජ විරෝධීන් ලෙස සලකා ඔවුන් මැඩ පැවැත්වීම අවශ්‍ය සේ පෙනිණ. උපහාසාත්මක කාව්‍ය රචනය අපහාස කිරීම් ගණයෙහි ලා නඩු පැවරිය හැකි වරදක් බවට එවක රජය මගින් නීති පනවන ලදින්, ඒ සඳහා තිබුණු ඉඩකඩ ද ඇහිරී ගියේය. මෙයින් ඉස්ලාම් ආගම ව්‍යාප්ත වුණු ප්‍රථම දශක කීපය තුළ දී කාව්‍ය නිර්මාණය තරමක් දුරට පිරිහී ගියේය. එහෙත් මහම්මත්තුමාගේත් එතුමා ගේ ඇවෑමෙන් පසු ඉස්ලාම් භක්තිකයන්ගේ නායක කාලිප් පදවියට පත්වුවන්ගේත් අනුග්‍රහය ලබමින් සදාචාර ගුණ වගාව පිණිස සිය කලාව ඉතා දක්ෂ ලෙස මෙහෙයැවූ හස්සාන් බින් දාබිත් සහ කබි බින් සුභයේර් ආදී බොහෝ විශිෂ්ට කිවියෝ වූහ. පරම්පරාවක් දෙකක් ඇතුළත දී ගෝත්‍රික යුද්ධ පිළිබඳ වියරුවෙන් මිදී සියලු දෙනා කෙරෙහි පැතිරී ගිය ප්‍රේමය කාව්‍යකරණයට ලක් විය. සාම්ප්‍රදායිකව පැවත ආ කසීදා කාව්‍යයේ ශෘංගාරාත්මක වූ ප්‍රාරම්භ කොටස උමර්බින් අබි රබීයන්ගේ (?-719) රචනයන් වැනි අමුතු ම ප්‍රේම කාව්‍ය ගණයක් පහළ වීමට උපකාරී විය. කාමභෝගීන්ගෙන් පිරි නගරයන්ගෙන් ඈත් වූ කාන්තාර ප්‍රදේශවල කාමගුණ නිශ්‍රිත නොවූ හුදු ප්‍රේමය පිළිබඳව තැනුණු "මජ්නුන් සහ ලයිලා" ප්‍රධාන කොට ඇති ජනගීත හා අද්භූත රසය ගැබ් වූ ප්‍රබන්ධ කථා අරාබි සාහිත්‍යයේ පමණක් නොව, වෙනත් ඉස්ලාමික සාහිත්‍යයන්හි ද පෙරදිග අන් සාහිත්‍යයන්හි ද මහත් කීර්තියක් උසුලයි. මේ අතරම උමයියාද් පරම්පරවට අයිති වූ රජවරු දේශපාලන බල ලෝභයෙන් පැරැණි ගෝත්‍රිකයන් අතර පැවති ඊර්ෂ්‍යා ක්‍රෝධාදි දුර්ගුණ අවුස්සා, ප්‍රතිපත්ති විරහිත ඇතැම් කවියන් ද අල්ලසින් පොලඹවා ඔවුන් ලවා සිය අදහස් මුදුන් පමුණුවා ගත්හ. විරුද්ධ ගෝත්‍රිකයන් හෙළා දැකීමේ අදහස්වලින් ද දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් ද තමන්ට හිතපක්ෂ රජුන්ගේ ප්‍රශංසාවන්ගෙන් ද පිරි කාව්‍යයන් නිර්මාණය කිරීමෙහි ලා ‍‍ෆරස්ඩක්, ජරීර් සහ ක්‍රිස්තු භක්තිකයකු වූ අබිතල් යන කවි තුන් කට්ටුව ප්‍රසිද්ධය. ලයිලා-අල් අඛ්‍යලියියා වැනි කිවිවරියෝ අනුශෝචනාත්මක කාව්‍යයන් කලකට පෙර මෙන් මහත් උද්‍යෝගයෙන් රචනා කරන්නට වන්හ.

අබ්බාසිද් පෙළපත (750–1258):

අබ්බාසිද් රාජ කාලයේ දී අරාබිවරුන් තුළ කලින් ජාතියට සීමා වී පැවති පටු අහංකාර හැඟීම් වෙනුවට ලෝකව්‍යාප්ත පුළුල් අදහස් පහළ වන්නට විය. මේ කරණකොට ගෙන අධිරාජ්‍යයට අයිති වූ පර්සියානු, ක්‍රිස්තු භක්තික සිරියානු, ඉන්දියානු හා යුදෙව් යන විවිධ ආගමිකයන්ගේ ද නානා ජාතිකයන්ගේ ද බුද්ධි ප්‍රභාවය සංකලනය වීමෙන් අරාබි සාහිත්‍යයෙහි සියලුම අංග ඉතා ඉක්මනින් සංවර්ධනය විය. අටවැනි සහ නව වැනි සියවස්වල දී කුරානය ආරක්ෂා කර ගැනීමේ දැඩි අවශ්‍යතාව නිසා හින්න ස්වරූපයෙන් පැවති අරාබි භාෂාවේ භාෂා ව්‍යවහාරය සකස් කරන ලදි. අරාබි භාෂාවෙන් ඡන්දශ් ශාස්ත්‍රය බිහිකොට කෝෂ ග්‍රන්ථ සම්පාදනය ඇරඹූ අල් ඛලීල්ගේ (?-791) ශිෂ්‍ය සිබවයන් විසින් අරාබි භාෂාව මැනවින් විභාග කොට දක්වන උසස් ශාස්ත්‍රීය වියරණ ග්‍රන්ථයක් සපයන ලදි.

කාව්‍යය:

භෞතික ශිෂ්ටාචාරයේ සංවර්ධනයත් සමඟ සුඛෝපභෝගී ජීවිතය වැඩියත් ම, ඒතාක් කාන්තාරබද ජීවිතයෙන් ලත් මාතෘකා වෙනුවට නගර ජීවිතය ඇසුරු කළ නොයෙක් දෑ කිවිඇසට ලක් වන්නට විය. හාරූන් අල් රෂීද්ගේ හිතමිත්‍ර අබූ නූවාස් (?-810) විසින් ස්ත්‍රී සමාගමය, මද්‍ය පානය හා දඩකෙළිය යන ශීර්ෂයන් මාතෘකා විරචිත නිබන්ධයන්ගෙන් එවක රාජසභාව ආශ්‍රයෙන් පැවති විනෝද ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිවේ. කාටත් පාහේ පුරුදුවීගෙන ආ මේ විනෝදකාමී ජීවිතයෙහි දොස් දැක්වීම් වශයෙන් විරචිත කාව්‍යයන්ට හොඳ ම නිදසුන වනුයේ අබුල් අතාභියා (?-829) විසින් එතෙක් කවි සමයට හුරුව ආ කිවි බස් දුරලා ගැමි බසින් රචනා කරන ලද උපදේශ කාව්‍යයි. කල් යෑමේ දී එක් අතකින් ක්‍රිස්තියානි ඥානවාදීන්ගේ (Gnostics) හා නවප්ලේටෝනික මතධාරීන්ගේ අදහස් රටේ පැතිරී යෑමෙන් ද තවත් අතකින් ඉන්දියානු බහුදේවවාදය හා ගැටීමෙන් ද පස්කම් සැප පමණ දැන අනුභව කිරීම හෝ ඉන් හාත්පසින් වැළකීම පිළිබඳ අදහස් පහළ වී, අනතුරුව ඒ අදහස් සියුම් වූ සුපිවාදය බවට පෙරළිණ. මේ සු‍පිවාදය අනුව ලියන ලද ගද්‍ය සාහිත්‍යය ඉතා පුළුල්ය. ඒ අතරම කයිරෝවේ විසූ ඉබිනුල් ෆාරිද් (1181–1235) සහ දමස්කසයේ විසූ ඉබ්නුල් අරාබි (1165–1240) යන කවීහු සුපිවාදය විවරණය කරමින් පද්‍ය සාහිත්‍යයක් නිපදවූහ. පැරණි සම්ප්‍රදායෙන් වෙන්ව නිදහස් ලෙස සිතන්ට වන් කවීන් ස්වල්ප දෙනකුන් සිටිය ද, පැරැණි සම්භාවනීය සාහිත්‍ය සම්ප්‍රදායට අබු තම්මාම් සහ බුහ්තුරි යන කිවිවරු නවවැනි සියවසේ දී ද මුතනබ්බ කිවියා දහවැනි සියවසේ දී ද නව පණක් දුන්හ. අරාබි සාහිත්‍යයේ මහා කාව්‍ය නැති බව දුටු ඉබ්නුල් මුටාස් (861–908) නම් අබ්බාසිද් රාජවංශිකයෙක් දීර්ඝ වූ ඓතිහාසික කාව්‍යයන් නිපදවා නවකාව්‍ය සම්ප්‍රදායක් ඇති කැරැවිය. ස්පාඤ්ඤයේ දී අරාබි කාව්‍යයට අපුරු නව්‍යලක්ෂණ දෙකක් එක්වීය. ඒ නම් ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ අත්‍යන්ත සංවේදිතාව සහ ප්‍රේමය පිළිබඳ අද්භූතරූපී හැඟීම් ද යනුයි. කෝර්දෝවාහි ඉබ්න් සයිදුන් කවියා තුළ (1003–71) වල්ලාද නම් කුමරිය කෙරෙහි පැවති ප්‍රේමය පළකිරීම් වස් ඔහු විසින් විරචිත කාව්‍යත් සෙවිල්හි රජකම් කළ මුතමිද් (1069-91)ගේ ඛේදජනක අත්දැකීම් විෂය කොට රචිත කාව්‍යත් මේ කාලයේ පද්‍ය සාහිත්‍යයට කදිම නිදසුන් වේ. ලේශමාත්‍රයකිනුදු වෙනස් විය නුහුණු ප්‍රාග්-ඉස්ලාමික කාව්‍ය ස්වරූපය අනියම් ඡන්දසින් බැඳි ජනකාව්‍යයේ බලපෑමෙන් දෙදරා ගියේත් ස්පාඤ්ඤයේ දීය. බටහිර ආසියානු පෙදෙසේ අරාබි කාව්‍යය රසවත් කමින් හීන වන්නට වූයෙන්, 13 වැනි සියවසේ විසූ සුපිවරයකු වූ බූසිරිගේ ව්‍යාජ ස්වරූපී බුර්ද්‍ර ගිීත කාව්‍යය කෙරෙහි මහත් ඇල්මක් ඇති වී ගියේය. එසේ වූයේ එහි පෙනෙන අපූර්ව චින්තාත්මක වූ හෝ කාව්‍ය රසාත්මක වූ අගයක් නිසා නොව එහි ගැබ් වී යයි සිතූ අභිචාර ලක්ෂණ නිසායි.

ලලිත සාහිත්‍යය:

මුබාරද් (?-898) විසින් කරන ලද කාමීල් නම් ප්‍රබන්ධය වැනි වූ මුල් ලලිත කෘතීහු සන්දර්භය අතින් උසස් නොවූහ. ඒවා විනීත අධ්‍යාපනයකට හා ආචාර සම්පන්නතාවට අවශ්‍ය යයි එවක පෙනී ගියාවූ වැදගත් කාව්‍යඛණ්ඩ හා ඒවායේ ව්‍යාඛ්‍යා, විවිධ දේශනා, ආප්තෝපදේශ,පරිහාසෝක්ති, ඉතිහාස කථා යනාදියෙන් පරිපූර්ණ වීය. තවත් ප්‍රවීණ ලේඛකයකු වූ ජාහිස් (?–869) විවිධ විෂයයන් උපන්‍යාස කොට ගෙන උසස් රචනයන් කෙළේය. අරාබි-ඉස්ලාමික සාහිත්‍යයෙන් මෙන් ම ග්‍රීක, පර්සියානු සහ ඉන්දියානු සාහිත්‍යයන්ගෙන්ද සුභාෂිත පාඨ රාශියක් උපුටා සංග්‍රහ කරන ලදි. පර්සියානු පෙළපතකට අයිති වූ ඉබිනුල් මුකෆ්ෆා (?−759) ශිෂ්ට ආචාර විධි පිළිබඳ කෘතීන් සහ "කලිලහ් ව දිම්නහ්" නම් කතාව ද පර්සියානු භාෂාවෙන් ඉතා ව්‍යක්ත ලෙස අරාබි භාෂාවට පරිවර්තනය කළේය. සංස්කෘත පංචතන්ත්‍රයේ අනුවාදය වූ අරාබි කලිලහ් සහ දිම්නහ් කතාව තිරිසන් සතුන්ගේ මාර්ගයෙන් සියුම් ලෙසත් ප්‍රියජනක ලෙසත් නොයෙක් උපදෙස් ඉගැන්වීමෙහි සමත් වූයෙන් බොහෝ දෙනාගේ සිත් ගන්නට වන. ලෝකයේ වෙනත් බොහෝ රටවල සාහිත්‍යයන්ට ද පංචතන්ත්‍රය ප්‍රවේශ කර වූයේ මේ අරාබි පරිවර්තනයයි. රාජාධිකරණ සභාවල නියුක්තව සිටි ලිපිකරුවන් මෙන් ම ඇමතිවරුන් ද උසස් වියතුන් වූයෙන්, රාජකාර්යයන් පිළිබඳව ඔවුන් නිකුත් කළ ඇතැම් ප්‍රකාශන ද සැපයූ ලියකියමන් ද වැදගත් සාහිත්‍ය රචනා සේ මේ දක්වා ආරක්ෂා කරනු ලැබෙයි. අබ්බාසිද් සමයේ අවසන් කොටසෙහි දී, කෘත්‍රිමභාවය හා අලංකාර ශෛලිය සාහිත්‍ය ලක්ෂණ වශයෙන් පැතිරෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මකාමා නමැති අද්භූත කථා ප්‍රබන්ධ විශේෂයක් බිහිවුණේය. පළින් පළ ගොස් සිය වියත්කමින් සුරුබුහුටිකම් පා ජීවත් වන, ප්‍රතිපත්තියක නොපිහිටි, සූර තැනැත්තකුගේ ජීවිතයෙහි එන සිද්ධියක් මකාමා ප්‍රබන්ධයක කථා ශරීරය වෙයි. එම ග්‍රන්ථයක මුඛ්‍ය ලක්ෂණය වනුයේ භාෂා ව්‍යවහාරය අතින් කර්තෘ දක්වන සාමර්ථ්‍යය වුව ද සමාජයත් සිරිත් විරිතුත් ජනතාවත් ඇතැම් විට උපහාසයට ලක් කරවන පරිහාසෝක්ති ද එහි බහුලය. මකාමා කථා ප්‍රබන්ධයන්ගේ ඉතා වැදගත් සංග්‍රහය ද කර තිබෙන්නේ හරීරි (?−1122) විසිනි. ලේඛකයාගේ විවිධ විෂයගත දැනීම පිළිබිඹු කරවන දර්පණතලයක් මෙන් අභිමත විස්තරයක් හෝ වර්ණනයක් ඇතුළත් කළ හැකි සුපුරුදු කල්පිත ප්‍රබන්ධ සැකිලි රචනය කිරීම අබුල් අලා අල්-ම` අර්රිගේ "රිසාලතුල් ඝුෆ්‍රාන්" නමැති කෘතියෙන් කුළුගැන්විණ. දාර්ශනික කවියකු වශයෙන් සඳහන් වන මොහුගේ දැනීම භාෂාවට හෝ සාහිත්‍යයට පමණක් සීමා නොවී, ආගම්, දර්ශන, ආචාරධර්ම ආදි විෂයයන් කරා ද පැතිර පැවැත්තේය. ඔහු කිසිදු පැකිලීමක් නොමැතිව සමකාලීන පාණ්ඩිත්‍යයට සහ සමාජ චාරිත්‍රවලට උපහාස එල්ල කිරීම එම ග්‍රන්ථයේ අතුල්‍ය ලක්ෂණයකි. මෙහි කවි සංකල්පය මහම්මත්තුමාගේ ස්වර්ගාරෝහණය පිළිබඳව ඉස්ලාම් භක්තිකයන් අතර පැවත එන සාම්ප්‍රදායික මතය පිට රඳා ඇතත්, ආකෘතිය අතින් මෙය ඩාන්ටේ කිවියාගේ "ඩීවීනා කොම්මෙඩියා" නම් ග්‍රන්ථයට පවා මඟ පෑදු මුල් කෘතියක් වශයෙන් සලකනු ලැබේ.

බොහෝ විට ගැයුම් වැයුම් කරන අතර ම කතන්දර කියා දිවි උපයාගත්තවුන් වටා රැස් වී ශෘංගාරාත්මක හා අද්භූතරූපී කථා ප්‍රබන්ධවලට ද කථා චක්‍රවලට ද ඇහුම්කන් දීම සාමාන්‍ය මහජනයා අතර ජනප්‍රිය විය. එයින් වැඩි හරියක් පාරසික-ඉන්දියානු පරම්පරාගත කථා වුව ද "සීරතු අන්තර" වැනි හුදු අරාබි කථා ද විය. ලෝක ප්‍රසිද්ධව පවතින අරාබි නිශොල්ලාසයේ සාරය ද ඉන්දියානු කථා මුල් කොට ගත් පර්සියානු අනුවාදයක පිළිබිඹුවකි. එය පසළොස්වැනි සියවසේ දී පමණ මිසරයේ දී අවසන්වරට සකස් වනතුරු වැඩෙමින් හැඩගැසෙමින් පැවැත්තේය.

දාර්ශනික සාහිත්‍යය:

අබ්බාසිද් පෙළපතට අයත් රජවරු ග්‍රීක විද්‍යාවට සහ දර්ශනයට හාත්පසින් ම අනුග්‍රහ කළහ.බෙහෙවින් ම සිරියානු ක්‍රිස්තු භක්තිකයන්ගේ ආධාර ඇතිව ග්‍රීක ග්‍රන්ථයන්ගේ පරිවර්තන පහළ වෙත්ම, මුස්ලිම් දාර්ශනිකයෝ ස්වකීය ඉස්ලාම් ඇදහිලිවලට ආධානගාහී නොවී, ග්‍රීක ඉගැන්වීම්වල ආභාසය ලබා ගැනීමටත් ඒ අනුසාරයෙන් අලුත් අදහස් නිපැදවීමටත් ප්‍රයත්නයක් දැරූහ. අල් පරාබී (?–950)ගේ සහ ඉබ්න් සීනා (980–1037)ගේ කෘති මෙයට කදිම නිදසුන් සේ ගත හැකියි. "දාර්ශනිකයන්ගේ විනාශය" නමැති කෘතියෙන් ඝසාලි (1058–1111) දර්ශනයට අයත් අවිවලින් ම ඊට නිර්දය ලෙස පහර දෙන තුරු ආගම හා දර්ශනය අතර තරගය අවිනිශ්චිතව පැවැත්තේය. සත්‍යය සහ සාමය සොයා යෑම ගැන තමාගේ අත්දැකීම් පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් ඇතුළත් "මෝහයෙන් මුදවන්නා" නමැති ඝසාලිගේ ආත්ම චරිතය ශ්‍රෙෂ්ඨ සාහිත්‍ය කෘතියකි. ස්පාඤ්ඤයේ විසූ ඉබ්න් රුෂ්ද් (?–1198) සසාලිගේ අභියෝගය පිළිගෙන "විනාශයේ විනාශය" නමැති කෘතියෙන් දර්ශනයට නව පණක් දීමට තැත් කෙළේය. සුපිවාදය පැතිරීම සමඟ මේ තරගය ත්‍රිකෝණ එකක් විය. මේ මත තුන ම හැදෑරීමෙන් ද එක් මතයක් අනික් මතයකට පටහැනි නොවන අයුරු විෂමතාවන් දුරලීමෙන් ද මුස්ලිම්වරුන් ලත් ඉෂ්ට ප්‍රතිඵල ඉබ්න් තුපයිල් (?-1186)ගේ "හයි බින් යක්සාන්" නමැති දාර්ශනික ප්‍රබන්ධ කථාවෙන් දතහැකියි.

තවද වෙනත් ආගමික සහ දාර්ශනික ක්‍රම සමඟ, විශේෂයෙන්ම ඉන්දියානු සහ බෞද්ධ ආගම් හා දර්ශන සමඟ, සසඳමින් තුලනාත්මක අධ්‍යයන ඇරඹීම කෙරෙහි ද මුස්ලිම්වරුන්ගේ අවධානය යොමු විය. විවිධ ආගම් පිළිබඳ මුස්ලිම්වරුන්ගේ දැනීම ෂාහ්ර්ස්තානි (?–1153)ගේ "ආගම් සහ නිකායයෝ" යන ග්‍රන්ථයෙන් හෙළිවේ. දහවැනි සියවසේ අවසන් කොටසේ දී බස්රා නුවර විසූ ශාස්ත්‍රධරයන් කණ්ඩායමක් විසින් සිය නම් හෙළි නොකොට "පාරිශුද්ධියේ සහෝදරයන්" විසිනැයි පළ කරවන ලද ශ්‍රෙෂ්ඨ දර්ශනසාර සංග්‍රහයක අපරදිග රටවල බාලාම් සහ ජොස‍ෙෆත් යන නමින් දන්නා බෝධිසත්වයන් හා භාග්‍යවතුන් වහන්සේ යන අර්ථය ඇති, බුදාසෆ් සහ බිලවූහර් නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් පාඨ ඇතුළත් වේ. දාර්ශනික හැඟීම් සහ එම අදහස් අරාබි කාව්‍ය සාහිත්‍යයෙහි ද ගැබ් වන්නට විය. ජීවිතය දුක්මුසු වශයෙන් දක්නා සර්වාශුභවාදී හැඟීම්, මාංස වර්ජනය ආදිය වැනි ඉන්දියානු චින්තනයට හා ජීවිතයට අදාළ අදහස්වලින් ගහන වූ අබුල් අලා අල්-ම'අර්රි (973–1057) නමැත්තාගේ කාව්‍ය මීට හොඳ ම නිදසුන් වේ.

ඵෙතිහාසික සහ භුගෝල විද්‍යාත්මක සාහිත්‍යය:

පැරැණි ඉතිහාසඥයෝ නොයෙක් සිදුවීම් පිළිබඳ පෞද්ගලික දැනීමක් ඇත්තවුන්ගේ වාර්තා සහ ඔවුන්ගේ නම් ද පිටපත් කරගැනීමේ ඉතිහාස ලේඛන ක්‍රමය අනුගමනය කළෝය. තබරි (838–923)ගේ ඉතිහාසය මෙසේ සම්පාදිත වූ අතිවිශාල කෘතියකි. ඉතිහාසකරණයට සියරට පමණක් නොව සමස්ත ලෝකය ම විෂය විය යුතු බව මුල් අවධියේ සිට ම මුස්ලිම්වරුන් පිළිගෙන තිබුණු නමුත්, මුස්ලිම් නොවූවන්ගේ ඉතිහාසය කෙරෙහි තරමක් දුරට වුවත් සැලකිලි දක්වා ඇති බවක් පෙනෙනුයේ නව වැනි සියවසට අයත් යකූබ් සහ දහවැනි සියවසට අයත් හම්ස අල් ඉස්පහානි යන ලේඛකයන්ගේ කෘතීන්ගෙන්ය. කල්යෑමේ දී, ඉතිහාස ලේඛනයන්හි තුබුණු පරස්පරවිරෝධී තැන් ඉවත් කොට ඒවාට පද්‍ය ඛණ්ඩ හා උද්ධෘත පාඨ ඇතුළත් කොට කියැවීමට රුචි උපදවන අයුරු එම ඉතිහාස කථා සකස් කරන ලදි. මසූදි (?–957) නමැති ලේඛකයා ඉන්දියාව සහ ලංකාව ආදි පෙරදිග රටවල දී තමා සියැසින් දුටු දේ අනුව ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ස්වභාව ධර්මය පිළිබඳ කරුණු සංග්‍රහ "රන්දෙණි හා මිණි ආර" නමැති ග්‍රන්ථය ලියා දේශ විවරණ ඉතිහාස ලේඛනය අරාබි සාහිත්‍යයට පුරුදු කළේය. "ජාතීන්ගේ අත්දැකීම" නමැති ග්‍රන්ථය තැනූ මස්කවයෙහ් (?-1030) ඉතිහාසයෙන් ගත හැකි ගුරුහරුකම් පෙන්වාදිමට ප්‍රයත්නයක් දරු පළමු වැන්නාය. ඉතිහාසයේ දර්ශනය පිළිබඳ පියා සේ සලකනු ලබන ඉබ්න් බල්දුන් (1332-1406) කවර ඉතිහාසයකට වුවත් සාධාරණ වූ පුළුල් මූලික සිද්ධාන්ත සොයා ගත්තේය.

අරාබිවරු, ටොලමිගේ භූගෝල විද්‍යාත්මක ක්‍රමය සහ පාරසික ඉන්දියානු සම්ප්‍රදායේ සමහර කරුණු උගත් වහා ම, ඒවා සහාය කොට ගෙන ලෝකයේ බොහෝ රටවලින් තමන් ලබා ගත් පුළුල් අත්දැකීම් ගොනු කිරීමෙහි යෙදුණාහ. නවවැනි සිය වසේ මුල් භාගයෙහි ලියන ලද ඉබ්න් හුර්ද්‍රද්බිහ්ගේ ග්‍රන්ථ වැනි මුල් අවධියට අයත් කෘති රාජ්‍ය පාලන කාර්යයන් උදෙසාත් වන්දනාකරුවන්ට මාර්ගෝපදේශ වශයෙනුත් රචනා කරන ලදි. විවිධ ආර්ථික සහ සාමාජික තොරතුරු ගැප් කොට ප්‍රාණවත් ශෛලියකින් විරචිත මුකද්දසි (946−?)ගේ ග්‍රන්ථය රටතොට පිළිබඳ තොරතුරු දැනගැනීමට පුල පුලා සිටි ජනතාවගේ ඥාන පිපාසය සංසිඳ වීමෙහි ලා සමත් විය. සිසිලියේ දෙවැනි රොජර් රජුගේ නියෝගය පිට ඉද්‍රිසි (1100–66) විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය අතිවිස්තීර්ණ එකකි. එය සකස් කොට ඇත්තේ ඊට පෙර පැවැති පොතපත ද අමුතුවෙන් කරුණු සෙවීම සඳහා නොයෙක් රටවලට යවන ලද විශේෂ නියෝජිතයන්ගේ වාර්තා ද ආධාර කොටගෙනය. අල්-බිරූනි (973–1048) සම්පාදනය කළ ග්‍රන්ථ ඒවායේ ශාස්ත්‍රීයත්වය කරණ කොටගෙන විශේෂ ගණයක ලා සලකනු ලැබේ. එවායින් ඉන්දියාව පිළිබඳ ඔහුගේ කෘතිය එරටෙහි ජීවිතය සහ චින්තනය සපුරා පිළිබිඹු කරන චිත්‍රයක් වැන්න. ටැන්ජියර්හි සිට ඉන්දියාව දක්වා ඇති රටවල ද, ලංකාව, මාලදිවයින් සහ චීනය යන රටවල ද දක්නා ස්වාභාවික, දේශපාලන සහ සාමාජික තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සපයන දේශාටකයකු වූ ඉබ්න් බතූතා (?–1378)ගේ ලේඛන ද ඒ ගණයෙහි ම වැටේ. නවවැනි සහ දහවැනි සියවස්වල දී ඉන්දියානු සහ ශාන්තිකර සාගරයන්හි පිහිටි සියලු රටවල් පිළිබඳව වෙළෙඳුන් හා නාවිකයන් විසින් සපයන ලද විස්තර ඇතුළත් "ඉතිහාස දාමය" සහ "ඉන්දියාවේ ආශ්චර්ය" වැනි වාර්තා කථා ද ඉතා වැදගත්ය. නාවිකෝපදේශ අත්පොත් අතුරෙන් ශ්‍රෙෂ්ඨ වනුයේ 1498 දී වස්කෝ ද ගාමාට ඉන්දියානු වෙරළ කරා ඊමට මාර්ගෝපදේශනය කළ ඉබ්න් මාජිද්ගේ කෘතියයි. සංස්කෘතික වටිනාකමක් ඇති විද්‍යාත්මක සාහිත්‍ය කෘතීන් අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ බිවාරිස්මි (?-820) නමැති ලේඛකයාගේ ග්‍රන්ථයි. ග්‍රීක හා ඉන්දියානු ග්‍රන්ථ ඇසුරු කළ ඔහු පසු කාලයේ දී අරාබි ඉලක්කම් යයි යුරෝපයයහි ප්‍රසිද්ධියට පත් ඉන්දියානු අංඩ්කන ක්‍රමය ව්‍යවහාරයට පත් කෙළේය. වීජ ගණිත විද්‍යාව පිළිබඳව "අල්-ජෙබිර් ව'ල්-මුකාබලහ්" නමැති කෘතියක් කොට වීජ ගණිතය (ඇල්ජිබ්‍රා) බිහි කෙළේය. ජ්‍යෝතිශ් ශාස්ත්‍රීය සංග්‍රහයන් ද සම්පාදනය කළේය.

වර්තමාන කාලය:

දීර්ඝ වූ අඳුරු කාලපරිච්ඡේදයකින් පසු සිරියාව හා මිසරය යන දෙරටෙහි අරාබි සාහිත්‍යයේ නවෝදයක් ඇති විය. මේ නවෝදයේ මුල් අවධියේ දී පැරැණි සාහිත්‍යය ආදර්ශයට ගනු ලැබිණ. නාසිෆ් යාසිජි (1800–71)ගේ මකාමාත් නමැති කෘතිය ඊට නිදසුනි. අධ්‍යාපන කටයුතු සහ ග්‍රන්ථ පරිවර්තන මගින් බටහිර ලෝකය හා ඇතිවුණු සම්බන්ධතා නිසා අලුත් ලේඛක සම්ප්‍රදායක් ඇති විය. ඊට අයත් ලේඛකයෝ ප්‍රධාන වශයෙන් ප්‍රංස සාහිත්‍යය ඇතුළු බටහිර සාහිත්‍යය අනුව මුළුමනින් ම ස්වදේශිය සාහිත්‍යය හැඩගැස්විය යුතු බව කීහ. කවර වෙනස්වීමකට වුවත් විරුද්ධ වෙමින් පුරාණ සම්ප්‍රදාය ම අගය කළවුන්ගේ විරෝධය අඩු වී ගියේ ආගමික හා සාහිත්යික කෘතීන් රචනා කළ උසස් පඬිවරයකු වූ මහම්මත් අබ්දුහ් (?-1905) නිසාය. පැරැණි උරුමය ගැන ආඩම්බර වූ හෙතෙම අලුත් ආභාසයක් ලබාගැනීමට හෝ ප්‍රතිසංස්කරණාදියක් කිරීමට විරුද්ධ නොවූවෙකි.

එසේ ද වුවත් ජාත්‍යනුරාගය වැනි අලුත් දෑ විෂය කොට ගැනීම හැර, පද්‍ය සාහිත්‍යයේ වැඩි වෙනසක් නොවීය. වර්තමාන කවියන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයා සේ සලකනු ලබන ෂවිකී (?-1932)පැරැණි සම්ප්‍රදාය අනුගමනය කළ කෙනෙකි. ගද්‍ය සාහිත්‍යයෙහි ඇති වූ සැලකිය යුතු වෙනස නම් කෘත්‍රිම අලංකාර සහිත භාෂා විලාසය වෙනුවට ඉතා සරල සෘජු කථා ශෛලියක් බිහි වීමයි. පත්‍ර සඟරා සාහිත්‍යය වර්ධනය වීමෙන් ද ඊට රුකුලක් ලැබිණ. මෙතෙක් අරාබි සාහිත්‍යයට කිසිසේත් නුපුරුදුව පැවති නාට්‍යය සහ නවකථාව වැනි නව සාහිත්‍යාංග දැන් දැන් අනුකරණ අවස්ථාව ඉක්මවා නිර්මාණ අවධිය කරා එළඹ සිටී. ස්වකීය පාණ්ඩිත්‍යය ගැන ද ප්‍රසිද්ධියක් උසුලන තාහා හුසාන්, මහ්මුද් තයිමූර් සහ තව්ෆීක් අල්-හකීම් මේ නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි කීර්තිධර ලේඛකයෝයි.

කර්තෘ: ඇස්.ඇම්. යූසුෆ්

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරාබි_සාහිත්‍යය&oldid=3530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි