අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජයවීර බණ්ඩාර මනම්පෙරුම මොහොට්ටාල යන නම්වලිනුදු හැඳින්වුණු මෙතෙමේ සොළී දේශයෙන් පැමිණි ශිව භක්තික වඩක්කර ජාතිකයෙකි. රාජාවලියේ දැක්වෙන පරිදි ආඬියෙකි. සීතාවක රාජසිංහ රජු ශිව භක්තිය ගැන්වූ හේ එරජුගේ මරණයෙන් පසු රාජ්‍යය ලබාගනු වස් නොයෙක් කැළැඹිලි ඇති කෙළේය. රාජාවලියේ එක් පිටපතෙක මොහු ගැන "වෙණ්ඩු මලයිත්තම්" යනුවෙන් සඳහන්ව ඇති බව පෝල් ඊ. පීරිස් මහතා පවසයි.

සන්නාසි කණ්ඩායමක් සමග ඉන්දියාවෙන් පැමිණි අරිට්ඨකීවෙණ්ඩු කුඩා කලදීම හිරභාරයේ පෘතුගීසි ගෙදරක ඇති දැඩි විය. ධෛර්යයත් රණශූරත්වයත් නිසා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් අරිට්ඨකීගේ දක්ෂභාවය ගැන පැහැදුණු සීතාවක රජතුමා ඔහු කැඳවා "මනම්පෙරුම" නාමය දී මොහොට්ටාල තනතුරට පත් කර ගත්තේය. පෘතුගීසීන් හා සටන් කරනු වස් රජ තෙමේ මොහු ගෙන් විශාල සේවයක් බලාපොරොත්තු වූයේය. මනම්පෙරුම මොහොට්ටාල එක් දිනෙක මහ ගබඩාවේ වී විකිණීමේ කාර්යයෙහි යෙදී සිටිය දී සීතාවක ආක්‍රමණය කිරීමට උඩරටින් පැමිණි බළඇණියක් පලවා හැරියේය. මෙයින් ප්‍රමුදිත වූ රජ තම යකඩදෝළිය සරණ පාවා දීමෙන් ඔහුට සැලැකිලි දක්වීය. පසුව සේනාධිපති පදවියට පත්කරනු ලැබූ මනම්පෙරුමගේ කීර්තිය දිනෙන් දින වැඩි වන්නට විය. එහෙයින් ම නොයෙක් සම්පත් ඔහු වෙත ගලා ආයේය. හෙතෙම රජුගේ බල සම්පන්න සේනාපතියකු බවට පමණක් නොව රජුගේ අනුශාසකත්වයට ද පත් වූයේය. රජයේ සියලු ම වැදගත් කාර්යර්‍ය්‍ය මොහුට පැවරී තිබුණේය. ශ්‍රීපාදස්ථානයේ ආදායම් මොහුට පැවරී තිබුණේය. රාජසිංහ රජුගේ අවසාන අවුරුදු කීපය තුළ දී මෙතෙම ගල්බ‍ොඩ කෝරළයත් පරණකූරු කෝරළයත් භාරව සිටියේය.

පියරජු මරා ඉක්බිති ශෝකයට පත් රාජසිංහ රජතුමා එම පාපකර්මයෙන් මිදීමට ක්‍රමයක් ඇද්දැ යි භික්ෂූන්ගෙන් ඇසීය. පිතෘඝාතක අකුශලයෙන් මිදීමේ මඟක් නැති බව බුදුදහම් ලෙසින් පැවසූ කල්හි හේ භික්ෂූන් කෙරෙහි කළකිරී මනම්පෙරුම මොහොට්ටාලගෙන් උපදෙස් ගැනීමට අදහස් කෙළේය. බුදුසමය මැඩ ශිව භක්තිය පතුරුවා ලීම පරමාර්ථය කරගෙන සිටි මේ දෘඪ ශිව භක්තිකයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අදහස් කෙළේ ශිවාගම වැලඳගෙන එක්ටැමික‍ොවිලක් තනවා දුන් විට යථෝක්ත පාපකර්මය අහෝසි වන්නේ යැයි රජුට දැන්වීය. එතැන් සිට ශිවභක්තික වූ රජ ද බුදුසමයේ විනාශයට බොහෝ දේ කෙළේය.

රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක පෙදෙසේ බලයට පැමිණ සිටි මෙතෙමේ රජුගේ මුනුබුරකු වූ ද එතුමාගේ ඇවෑමෙන් රාජ්‍යයට පැමිණියා වූ ද රාජසූරිය කුමරු මරවා රාජ්‍යය ලබාගැනීමට නොයෙක් උපක්‍රම යෙදීය. නික පිටියේ බණ්ඩාර රාජ්‍ය පාලනයට පත් වූ පසු ඔහු යටතේ සෙනෙවිරත් පදවියක් ලබාගත් හේ අලුත් කූරුවේ ඔරුතොට දී පෘතුගීසීනට විරුද්ධව යුද්ධයක් ක‍ොට විශිෂ්ට ජය අත්කර ගත්තේය. නැවතත් රාජ්‍ය ලෝභයෙන් මඬනා ලද මනම්පෙරුම මේ ජයග්‍රහණයෙන් ලද ගෞරවයට වඩා උසස් ගෞරවයක් ලබමි යි සිතා රාජ්‍යයට උරුමකම් කීමේ බලාපොරොත්තුවෙන් නිකපිටියේ බණ්ඩාර ගේ සහෝදරිය සරණ පාවා ගැනීමට උත්සාහ දැරීය. රාජසිංහ රජුගේ සොහොයුරිය වූ ද, මොහුට කරුණාව දැක්වූවාවූ ද මැණික් බිසෝ බණ්ඩාර මේ අදහසට විපක්ෂ නොවූවාය. එහෙත් අනික් සිංහල ප්‍රධානීහු මේ වැඩපිළිවෙළ අනර්ථකර වූවක් හැටියට සැලකූහ. විදේශිකයකු තම රාජ්‍යයේ බලයට පැමිණ සිටිනු දැකීමට නොරිසිව මනම්පෙරුම මොහොට්ටාල කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වූ මහ අතපත්තු ආරච්චි, මොහු කලින් "කොක්කනම්පය්ය" සිහිකරවන නොයෙක් ඇනුම් බැනුම් සහිත ලිපියක් ලියා රාජ්‍යයේ හැම තැනෙකම පතළ කෙළේය. මේ ඇනුම්පද වලින් යුත් නින්දා සහගත වචන හැමදෙන ම පාහේ කියන්නට වූහ. ඉන් ලැජ්ජාවටත් භයටත් පැමිණි මනම්පෙරුම තමා මහත් අනතුරක වැටුණේ යැයි සිතා අඹුදරුවනුත් සිය හමුදාවෙන් විශාල කොටසකුත් රැගෙන මැණික්කඩවරට ගොස් එහි කඳවුරු බැඳගත්තේය.

ඉන්පසු තම නාමය ජයවීර බණ්ඩාර (මේ නාමය ධර්මපාල රජු විසින් දෙන ලද්දක් බව රාජාවලියෙහි සඳහන් වේ.) යයි වෙනස් කර ගත් අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් හෙවත් මනම්පෙරුම තෙමේ ධර්මපාල රජුගේ සහ පෘතුගීසීන්ගේ උපකාරයෙන් රජවීමට මාන බලනුයේ ධර්මපාල රජු හා එක් ව සීතාවකට අයත් ප්‍රදේශ බොහොමයක් ම ඒ රජුට අල්ලා දුන්නේය.

සීතාවක බලය බිඳී යෑමෙන් පසු පෘතුගීසීහු තමන් ලක්දිවින් පලවා හරවනු වස් දෘඪ වීර්යයෙන් කටයුතු කළ මහනුවර විමලධර්මසූර්‍ය්‍ය (කොනප්පු බණ්ඩාර) රජු සමග යුද්ධ කිරීමට ඉටා ගත්හ.ඒ සඳහා පිටත් කරන ලද යුද්ධ සේනාව සමග ජයවීර බණ්ඩාර ගියේය. ජයවීර බණ්ඩාර සහ පෘතුගීසි සේනාපතීන් යටතේ පැමිණෙන පෘතුගීසි-සිංහල සේනාවනට මුහුණ දීමට තමාට ශක්තිය නැති බව තේරුම් ගත් විමලධර්ම සූර්යයා රජ ඊට උපායක් යෙදීය. පෘතුගීසීන් අල්ලා දී තමා විමලධර්ම සූර්ය රජුට යටත්ව පහතරට රජ කරන බවට පොරොන්දු වෙමින් ජයවීර බණ්ඩාර විසින් විමලධර්මසූර්ය රජුට ලියන ලද්දක් සේ හැඟවෙන ලිපියක් ලියා එය පෘතුගීසි නායකයන් අතට පත් කෙළේය. මේ පුවත අසා භයට පත් පෘතුගීසීහු ජයවීර බණ්ඩාර ගැන සැක කොට ඔහු දන්තුරේ දී මරා දැමූහ. මේ නිසා පෘතුගීසීන් කෙරෙහි කළකිරුණු සිංහල හේවායන් විමලධර්ම සූර්ය රජුගේ පක්ෂයට ගියෙන් පෘතුගීසීහු යුද්ධයෙන් පරාජය වූහ.

(සංස්කරණය: 1965)