අරූපාවචර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සතර අරූපධ්‍යානයන්හි කුශල විපාක ක්‍රියා වශයෙන් උපදනා දොළොස් සිත අරූපාවචර නම් වෙයි. අරූපභවයෙහි කළ තෘෂ්ණාව ද ආකාසානඤ්චායතනාදි චතුර්විධ අරූපභවය ද අරූප යයි කියනු ලැබේ. පටිසන්ධි වශයෙන් අරූපභවයෙහි හැසිරේනුයි අරූපාවචර නම්වේ. අරූපාවචර භූමි සතරකි: ආකාසානඤ්චායතනය,විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය සහ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි. එහි ඇතුළත් ආකාස යයි කියන ලද කසිණුග්ඝෘටිමාකාසය (කිසුණු ඉඟුළු අහස) අරමුණු කොට උපන් ප්‍රථම අරූපාවචරධ්‍යානය ආකාසානඤ්චායතන නම් වෙයි. ඒ ආකාසානඤ්චායතනයෙහි වූ විඤ්ඤාණය අරමුණු කොට උපන් දෙවැනි අරූපධ්‍යානය විඤ්ඤාණඤ්චායතන නම් වෙයි. පළමුවන ආරූප්‍යයෙහි පැවැති ආකාසය පිළිබඳ අකිඤ්චනභාවය (කිසිවක් නැති බව) අරමුණු කොට උපදනා තුන්වැනි අරූප ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතන නම් වේ. ආකිඤ්චඤ්ඤායතනය අරමුණු කොට උපදනා සතර වැනි ආරූප්‍යය නෙවසඤ්ඤානාසඤ්ඤායතන නම් වේ.

මේ සතර අරූපධ්‍යානයෝ ම මුලින් මුලින් පැවැති ධ්‍යානයාගේ අරමුණු ඉක්මවීමෙන් උපදනාහුය. එහි අංග වශයෙන් රූපාවචරපඤ්චම ධ්‍යානයෙහි මෙන් උපෙක්ඛා එකග්ගතා යයි අංග දෙකක් ම වෙයි. කුශල විපාක ක්‍රියා වශයෙන් එක් එක් අරූප ධ්‍යානය තුන් වැදෑරුම් වෙයි. ක්‍රියා චිත්තයෝ සතර දෙන කුශල චිත්තය හා සමාන වූවාහු ක්ෂීණාශ්‍රවයන්ගේ සන්තානයෙහි උපදනා හුය. ශෛක්ෂ පෘථග්ජනයන්ගේ සන්තානයෙහි නූපදනාහු වෙත්. විපාක චිත්තයෝ සතරදෙනා කුශලය හා සමාන වූවාහු සතර වැදෑරුම් අරූප භවයෙහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්තිවිපාක ඉපදවීමෙහි සමර්ථවූවාහු වෙත්.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරූපාවචර&oldid=3566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි