අලංකාර ශාස්ත්‍රය
අලංකාර ශාස්ත්‍රය යන නමින් හැඳින්වෙන්නේ සංස්කෘත සාහිත්‍යයෙහි භාවිත වූ විචාර රීති හා ක්‍රම විවේචනය කරන සාහිත්‍ය අංශයයි. පුරාණයෙහි සිට ම අලංකාරයන්ගේ ප්‍රයෝගය හා විවරණය විවේචනයට භාජන වූ හෙයින් “අලංකාර ශාස්ත්‍රය” යනුවෙන් මුළු සංස්කෘත විචාර සාහිත්‍යය ම හැඳින්වේ.
සංස්කෘතයේ ඉපැරණි යුගයට අයත් වෛදික සාහිත්‍ය කෘතීන්හි අලංකාර ශාස්ත්‍රයේ මූලික තතු හා ඇතැම් රීති සටහන් වී ඇත. “අරං” නිපාතය සහිත වු “අරංකෘත්” යන කෘදන්ත නාමයෙන් "වචන අලංකාර කරන්නකු" හෙවත් "කවියකු” අදහස් කරන ලද බව ඍග්වේද පාඨවලින් හෙළිවේ.
"කණ්ඩාසො වෘක්තබර්හිෂඃ
භවිෂ්මන්තො අරංකෘතඃ" (1.14.5)
“අරංකෘත” යන කර්මකාරක කෘදන්තය එහි යොදා ඇත්තේ “වචන සැරසීමේ” අර්ථයෙනි. ඍග්වේද මන්ත්‍රයන්හි විවිධාකාරයෙන් යොදා ඇති ශබ්දාලංකාර හා අර්ථාලංකාර එකල කවීන් අතර ද අලංකාර ක්‍රමයක් ප්‍රචලිත වූ බව හෙළි කරයි. මන්ත්‍රයන්ගේ අක්ෂර පද හා වචන ද්විත්ව කිරීම පමණක් නොව සර්වනාම, සංඛ්‍යානාම ආදිය ද තාලයක් අනුව කිහිප වාරයක් ක්‍රමවත්ව යෙදීම වෛදික කවීන්ට අභිමත වූ බව පෙනේ. මේ හැර එළිසම ප්‍රයෝගය ද සමහර මන්ත්‍රයන්හි වෙසෙසින්ම යොදා තිබෙනු දක්නට ලැබේ. මෙබඳු ශබ්දාලංකාර ක්‍රමවලින් වෛදික කවීහු සෑහීමට පත්නොවූහ. උපමා, රූපක, උත්ප්‍රේක්ෂා ආදි සරල අර්ථාලංකාර සෘග් වේදයෙහි බහුලව යෙදේ. විරෝධ, අතිශයෝක්ති, ශ්ලේෂ ආදි අලංකාර යොදා අදහස් විසිතුරු කොට කියා පෑමට ද කවීහු තැත් කළහ. වේදාංග සාහිත්‍යයට අයත් නිරුක්ති වේදාංගයෙහි අලංකාර ශාස්ත්‍රීය විෂයයන් සංග්‍රහ කොට ඇත්තේ වෛදික භාෂාවේ ප්‍රයෝග හා ලක්ෂණ විවේචනය සම්බන්ධයෙනි.යාස්කාචාරීන්ගේ නිරුක්තයෙහි එන වෛදික භාෂා ලක්ෂණ වින්‍යාසය ද ඍග්වේද ප්‍රයෝග ආශ්‍රයෙන් අලංකාර විවේචනය ද අලංකාර ශාස්ත්‍රයේ මූලික ශාස්ත්‍රීය විවරණයක් ලෙස ගිණිය යුතුය. එහෙත් පැරණිතම සංස්කෘත සාහිත්‍යයෙහි අලංකාර ශාස්ත්‍රයට අයත් විශේෂ ග්‍රන්ථ කිසිවක් දක්නට නොලැබේ. කාව්‍ය රීතිය අනුව සකස් වුණු සාහිත්‍ය කෘතීහු ද නැත්තාහ.
ශාස්ත්‍රීය විෂයයක් ලෙස අලංකාර ශාස්ත්‍රය පළමුවරට සංග්‍රහ කරන ලද්දේ භරත මුනිහු විසින් රචිත නාට්‍ය ශාස්ත්‍ර නමැති ග්‍රන්ථයෙහිය. එහි 16 වැනි පරිච්ඡේදයෙන් දියුණු මුහුණුවරක් ගත් අලංකාර ශාස්ත්‍රීය රීති හා සිද්ධාන්ත කිහිපයක් භරත විස්තර කරයි. අලංකාර වර්ග 4ක් (උපමා, රූපක, දීපක හා යමක), ගුණ 10ක්, දෝෂ 10ක් හා ලක්ෂණ 36ක් ද නම් කොට ඒවා පිළිබඳ සවිස්තර විවේචනයක් ද ඔහු ස්වකීය ග්‍රන්ථයෙහි ඇතුළත් කරයි. ප්‍රධාන වශයෙන් සංස්කෘත නාට්‍ය කලාව හා සංගීත ශාස්ත්‍රය විවේචනය කිරීම සඳහා නාට්‍ය ශාස්ත්‍රය රචනා කරන ලද හෙයින් එහි අලංකාර ශාස්ත්‍රය විවේචනයට පාත්‍ර වී ඇත්තේ නාටක විචාර විධීන් යටතෙහිය. නාට්‍ය කලා විචාරයෙහි ඉතාමත් ම අගනා විචාර රීතියක් වූ රසවාදය අලංකාර ශාස්ත්‍රීය රීතියක් ලෙස ද භරතයන් විසින් හඳුන්වනු ලැබේ. නාට්‍ය ශාස්ත්‍රයෙහි (VI,VII වන පරිච්ඡේදයන්හි) මැනවින් විවේචනය වන රසවාදය අලංකාර ශාස්ත්‍රයෙහි විශිෂ්ට රීතියක් බවට පත් වූ අතර සෑම ලලිත කලාවකට ම යෝග්‍ය වූ සම්මත විචාර විධියක් ලෙස ද භාරතීය කලාවිචාරයෙහි ගැනේ.
රසවාදය
කාව්‍යයක් කියවීමෙන් හෝ නාට්‍යයක් නැරඹීමෙන් හෝ කලා කෘතියක් දෙස බැලීමෙන් හෝ කෙනෙකුන් ලබන ආස්වාදය කවරේ ද, එය කෙසේ ඇතිවේ දැයි පැහැදිලි කර දීමට රසවාදය තැත් කරයි. “විභාවානුභාවව්‍යභිචාරිසංයොගාද්. රසනිෂ්පතිඃ”(විභාව, අනුභාව, ව්‍යභිචාරි නමි භාවභේදයන් සංයෝග වීමෙන් රසය නිපදී) යන භරතාචාරීන්ගේ සිද්ධාන්තය රසවාදයේ මූලික විග්‍රහය ලෙස ගැනේ. රසය විඳීමට පෙර භාවභේදයන් එක්වී ස්ථායිභාවයක් ලෙස ඒවා කුළු ගැන්වී අවසානයෙහි රසාස්වාදය සිදුවේ. රති,හාස, ශෝක, ක්‍රෝධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය යන මේ ස්ථායිභාව අට පිළිවෙළින් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත යන රස අට දනවයි. එක්එක් රසය භාවයක් අනුව දැනවෙන අයුරු භරතමුනි තෙමේ සවිස්තරව ගෙන හැර දක්වමින් සිය කෘතියෙහි රස අටක් විවේචනය කෙළේය. පසු කලෙක ශාන්ත රසය එයට එක් කොට රස නවයක් සමහර විවේචනයන්හි සංග්‍රහ කරන ලදි.
අග්නි පුරාණයෙහි පරිච්ඡේද කිහිපයක (336–346) අලංකාර ශාස්ත්‍රීය විෂයයන් ගැන දැක්වෙන විස්තරය ඉතිහාස නයින් බලන විට ඉතා වැදගති. භරතගෙන් පසු අලංකාර ශාස්ත්‍රයේ එක් දියුණු පියවරක් එහි සටහන් වෙතැයි නිගමනය කළ හැකිය. අලංකාර ශාස්ත්‍රයට අයත් ප්‍රධාන මාතෘකා වන කාව්‍ය විග්‍රහය, කාව්‍ය ප්‍රභේද, රසභාව සම්බන්ධය, රීති වර්ග, අලංකාර ප්‍රභේද, ගුණදෝෂ භේදය යනාදි දෑ ගැන විස්තර එහි සැපයේ.
අලංකාරවාදයේ විවරණ අවධිය
මින් පසුව උදාවූ අවධිය අලංකාර ශාස්ත්‍රයේ ප්‍රධාන තැනක් ගත් අලංකාරවාදයේ විවරණය හා විවේචනය සඳහා කැප වූවකි. භාමහ, දණ්ඩින්, උද්ගට හා රුදුට අලංකාරවාදයට මුල් තැනක් දී විචාර කෘතීන් නිපදවූහ. මේ කෘතීන් අතුරෙන් භාමහගේ “කාව්‍යාලංකාරයෙහි ”ද දණ්ඩින්ගේ කාව්‍යා දර්ශයෙහි ”ලංකාර රීතිය පිළිබඳ අංග සම්පූර්ණ විවේචනයක් දැක්වේ. කාව්‍යය “ශබ්ද” “ අර්ථ ” යන අංග ද්වයෙන් සමන්විත යයි විග්‍රහ කොට එය හොබවන “අලංකාර” (කාව්‍යශොභාකරාන් ධර්මාන්) වෙන් වශයෙන් විස්තර කිරීමට හා වර්ග කොට දැක්වීමට දණ්ඩින් ද භාමහ ද තැත් කරත්. මේ යුගයේ බෙහෙවින් ප්‍රචලිත වූ වැදගත් ම කෘතිය වශයෙන් සලකනු ලබනුයේ කාව්‍යාදර්ශයයි. පළමුවන පරිච්ඡේදයෙහි කාව්‍ය විෂයයන් ගැන ලුහුඬු හැඳින්වීමක් ද වෛදර්භ, ගෞඩීය යන ශෛලීන් හා දශගුණයන් ගැන විස්තර ද ඇතුළත් වේ. දෙවන පරිච්ඡේදයෙහි එන සවිස්තර අර්ථාලංකාර විවරණයෙහි අලංකාර විග්‍රහයක් සහිතව අලංකාර විශේෂ 35ක් විස්තර කරනු ලැබේ. තෙවැනි පරිච්ඡේදයෙහි එවැනි ම ශබ්දාලංකාර විවරණයක් ද දණ්ඩින් සපයයි. මේ කොටසෙහි යමක පිළිබඳ විශේෂ විවේචනයක් ද ගෝමූත්‍රිකා ආදි චිත්‍රබන්ධ වර්ග පිළිබඳ විස්තරයක් ද ඇතුළු කොට තිබේ. එහෙත් මේ දෙකොටසෙහි ම අලංකාර වර්ගවලට ඔහු දක්වා ඇති නිදසුන් කිසිවක් කාව්‍ය කෘතීන්ගෙන් උපුටා ගත් බවක් නොපෙනේ.
භාමහගේ කාව්‍යාලංකාරය පරිච්ඡේද හයකින් යුත් විවේචනාත්මක කෘතියකි. මෙය කාව්‍යාදර්ශයට වඩා පැරණි යයි සමහර විවේචකයෝ සිතත්. මෙහි සංග්‍රහ වන විෂයයයෝ කාව්‍යාදර්ශයෙහි විස්තර වන විෂයයන්ට බෙහෙවින් ම සමාන වෙත්.
පරිච්ඡේද 6කින් යුත් අලංකාරසාරසංග්‍රහය රචනා කළ උද්භටයෝ භාමහ අනුගමනය කරමින් අලංකාර වර්ග 41ක් වින්‍යාස කරත්. භාමහ හා උද්හට මෙන් අලංකාර වාදයට මුල් තැනක් දුන් රුද්‍රටයෝ තම කෘතිය ද කාව්‍යාලංකාරය යයි හඳුන්වත්. ඔහුගේ කෘතියෙහි රස, රීති හා ගුණ ගැන ද සඳහන් වන නමුත් එහි විශේෂ ලක්ෂණය නම් අලංකාර රාශියක් වර්ග කොට උදාහරණ සහිතව ඒවා විස්තර කිරීමයි.
ඉහත සඳහන් ආලංකාරිකයන් සිව්දෙනාගේ ග්‍රන්ථයන්හි අලංකාරවාදය ස්ථිර වශයෙන් පිළිගනු ලැබුණු අතර එයට විශේෂයෙන් සම්බන්ධ වූ මහාකාව්‍ය වර්ණනා සම්ප්‍රදාය එහි ආභාසයෙන් හැඩ ගැසෙන්ට විය. මේ විචාරකයන් අතුරෙන් දණ්ඩින්ගේ බලපෑම කවීන් හා විචාරකයන් අතර පමණක් නොව පාලි, සිංහළ, දෙමළ සාහිත්‍යයන්ට අයත් අලංකාර ශාස්ත්‍රීය කෘතීන්හි ද පැහැදිලිව දක්නට ලැබේ. දණ්ඩින්ගේ කාව්‍යාදර්ශයේ අනුවාද මේ භාෂා තුනෙන් ම බිහිවිය.පාලියේ එක ම අලංකාර ග්‍රන්ථය වූ “සුබෝධාලංකාරය” කාව්‍යාදර්ශය අනුව රචිත කෘතියකි. පරිච්ඡේද පහකට බෙදන ලද ගාථා 369කින් යුත් මෙය සංඝරක්ඛිත මහාස්වාමීන් විසින් රචිතයි. සිංහල සාහිත්‍යයෙහි වැදගත් තැනක් ගත් සියබස්ලකර කාව්‍යාදර්ශයේ පරිවර්තනයක් බව එහි සඳහන් නොවී ඇතත් එය බොහෝ දුරට ම සිංහල සාහිත්‍යයට ගැළපෙන අයුරින් සකස්කොට ගන්නා ලද කාව්‍යදර්ශයේඅනුවාදයකි. දණ්ඩ්‍යලංකාරම් නමින් කාව්‍යදර්ශ යේ දෙමළ පරිවර්තනයක් පල්ලව රජකු වූ පළමු වන නරසිංහවර්මන් රජුගේ සමයෙහි දී කරන ලදි. එකල පටන් ලක් රජවරුන් පල්ලව රජුන් සමඟ දැඩි සම්බන්ධකම් ඇති කර ගෙන සිටි හෙයින් ඔවුන් සංස්කෘත සාහිත්‍යයට දැක්වූ සැලකිල්ල අප රජවරු ද දැක්වූහ. පල්ලව පඬිවරුන් කාව්‍යාදර්ශය ශ්‍රෙෂ්ඨ අලංකාර ශාස්ත්‍රීය කෘතියක් ලෙස පිළිගත්තාක් මෙන් සිංහල කවිවරු ද එය උසස් කෘතියක් ලෙස සලකමින් එහි බලපෑමට අවනත වූහ.
රීතිවාදය
නවවන සියවසෙහි විසූ වාමන නව මඟක් ගත් විචාරකයකු ලෙස හැඳින්විය හැකිය. රීතිවාදය අලංකාර වාදයට වඩා උසස් විචාර විධිය ලෙස ඔහු සලකයි. “රීතිරාත්මා කාව්‍යස්‍ය ”යන පාඨයෙන් එය පැහැදිලි වේ. ඊට පෙර විචාරකයන් රචනයෙහි දී භාවිත කළ පද්‍යශෛලිය පමණක් ම නොයොදා සූත්‍ර හා වෘත්ති (භාෂ්‍ය) ද යොදා ඔහු විචාරවිධීන් කාව්‍යාලංකාර සූත්‍රයෙහි මැනවින් විවේචනය කරයි. ඔහුගේ විචාරක්‍රමයේ විශේෂ ලක්ෂණය නම් සාහිත්‍යානුසාරයෙන් විචාරවිධීන් පිරික්සා බැලීමයි. කාලිදාස, අමරු, භවභූති ආදි ශ්‍රෙෂ්ඨ කවීන්ගේ කෘතීන්ගෙන් උපුටා ගත් පද්‍ය තමන් බැස ගත් නිගමනයන්ට නිදසුන් වශයෙන් ඔහු ගෙන හැර දක්වයි.
ධ්වනිවාදය
වාමනයන්ගෙන් පසු අලංකාරශාස්ත්‍රය වශයෙන් ඔහු ගෙන හැර දක්වයි. දියුණු වී වැඩුණේ සාහිත්‍ය විචාරයට හා විවේචනයට විවේචකයන් පොලඹවමිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දහවන සියවසෙහි පළමුවරට ධ්වනිවාදය ඉදිරිපත් කරන ලදි. එය ධ්වන්‍යාලෝකයෙහි අංගසම්පූර්ණ විවේචනයකට පාත්‍ර වේ. මේ ග්‍රන්ථයෙහි යොදනු ලැබූ කාරිකා හා වෘත්ති යන කොටස් දෙක අතුරෙන් කාරිකා (පද්‍ය) 129ක් පමණ “ධ්වනිකාර” නාමයෙන් සඳහන් කොට ඇති පූර්ව කාලීන රචකයකු විසින් සම්පාදනය කරන ලදැයි ද එයට භාෂ්‍යයක් වශයෙන් භාවිත (ගද්‍යමය) “වෘත්ති” කොටස් පමණක් ආනන්දවර්ධනයන් විසින් සපයන ලදැයි ද යනු වැඩිදෙනකුන් පිළිගත් මතයයි. ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි සඳහන් වන “ස්ඵෝට” නම් පදය හා “ධ්වනි”ශබ්දය අතර සම්බන්ධකමක් දක්වමින් ධ්වනිවාදයේ මූලාරම්භය “වාක්‍යපදීය” වැනි ව්‍යාකරණාත්මක ග්‍රන්ථයන්හි සඳහන් ශබ්දවිද්‍යාත්මක මතවලින් පැන නැඟිණැ යි විචාරකයෝ පවසත්. කාව්‍යාර්ථය හා“ වාච්‍යා ”“ප්‍රතීයමාන” වශයෙන් දෙවැදෑරුම් යයි ද එයින් වාච්‍යාර්ථය අලංකාර ප්‍රයෝගයට සීමා වන අතර “ප්‍රතීයමාන ”අර්ථය හෙවත් “ ව්‍යංගාර්ථය ” වස්තු ධ්වනි, අලංකාරධ්වනි, රසධ්වනි යනු වශයෙන් ත්‍රිප්‍රකාර බැව් ධ්වන්‍යා ලෝකයෙහි විස්තර කරනු ලැබේ. ධ්වනි ප්‍රභේද අතුරෙන් රසධ්වනිය ශ්‍රේෂ්ඨ බැව් එහි ම පවසනු ලැබෙන හෙයින් ධ්වනිවාදය රසවාදය මුල් කොටගෙන නිපදවුණු දියුණුවි චාර රීතියක් ලෙස දැක්විය හැකිය. එහෙයින රසධ්වනි යන නමින් ද හැඳින්වෙන මේ විචාරරීතිය සංස්කෘත සාහිත්‍යවිචාරයේ උසස් ම රීතිය ලෙස පිළිගනු ලැබේ. සංස්කෘත සාහිත්‍යවංශයෙහි කාව්‍ය‚නාටක කෘතීන් රැසක් ද ප්‍රාකෘත සාහිත්‍යයෙහි කාව්‍යරචනා ද පිරික්සා බලමින් ඒවා ආශ්‍රයෙන් “ධ්වනිය කාව්‍යයේ ආත්මය ය ” යන්න (කාව්‍යස්‍ය ආත්මාධ්වනි: ) සනාප කිරීමට ආනන්දවර්ධනාචාරීහු තැත් කළහ.
ධ්වනිවාදය අලංකාර ශාස්ත්‍ර ඉතිහාසයෙහි කෙතරම් බල පෑවේ ද යත් එය තවත් දුරට සනාථ කිරීමෙහි නිරත වූ එයට පක්ෂ වූ විචාරකයෝ ද එය නිෂ්ප්‍රභ කිරීමට තැත් කළ විරුද්ධවාදීහු ද ඉන් පසු ශතවර්ෂ ගණනක් ම විචාර ග්‍රන්ථ යපයන්ට වූහ.ධ්වන්‍යාලෝකයට වැදගත් භාෂ්‍යයක් සැපයූ අභිනවගුප්තයෝ ධ්වනිවාදයේ ගැටලු නිරාකරණය කරමින් රසවාදය ධ්වනිවාදයට සම්බන්ධ වන අයුරු ධ්වන්‍යාලෝකලෝචනයෙහි පැහැදිලිව විස්තර කළහ. අභිනවගුප්ත හුදෙක් භාෂ්‍යකරුවෙක් පමණකැයි නොසැලකිය යුතුයි. ඔහුගේ තියුණු විචාර බුද්ධිය, ශාස්ත්‍රීය විමර්ශන ශක්තිය හා විවේචනාත්මක ශෛලිය නිසා සංස්කෘත අලංකාර ශාස්ත්‍රය එවක දියුණු විචාර විද්‍යාවක් ලෙස හැඩ ගැසෙන්නට වන. එහෙයින් ඔහු ශ්‍රෙෂ්ඨ චින්තකයකු හා ශාස්ත්‍රීය විවේචකයකු ද ලෙස අලංකාර ශාස්ත්‍ර ඉතිහාසයෙහි භරතයන්ට නොදෙවැනි තැනක් උසුලයි. 11 වන සියවසෙහි කාව්‍ය ප්‍රකාශය රචනා කළ මම්මටයෝ ද ධ්වනිවාදයට තවත් පැහැදිලි විවරණයක් සැපයූහ. කාරිකා, වෘත්ති සහිත මේ කෘතියෙහි උල්ලාස හෙවත් පරිච්ඡේද දහයකි. ධ්වනිවාදය විවේචනය කරන අතර කර්තෘ එතෙක් ප්‍රචලිතව වැඩි ආ සාහිත්‍යරීති හා අලංකාර වාද විවාද සියල්ලක් ම වාගේ මැනවින සංග්‍රහ කරයි. විශාල සාහිත්‍ය විෂයයක් අංග සම්පූර්ණව තුලනාත්මකව විවේචනය කිරීමෙන් ඔහු වැදගත් සාහිත්‍ය සේවයක් කළ බැව් හෙළිවේ. 14 වන සියවසෙහි විසූ විශ්වනාථයෝ ද “සාහිත්‍ය දර්පණයෙහි ” එන තම කාව්‍ය විවේචනයෙහි රස - ධ්වනි රීතිය විශේෂයෙන් සංග්‍රහ කළහ. “කාව්‍යං රසාත්මකං වාක්‍ය”යන ඔහුගේ කාව්‍ය විග්‍රහය ආප්ත මතයක් ලෙස විවේචකයන් විසින් දැන් පිළිගනු ලැබේ. විශ්වනාථයෝ මුළු අලංකාර ශාස්ත්‍රයේ සවිස්තර ඉතිහාසානුකූල විවේචනයක් සපයති. මම්මට විවේචනයට පාත්‍ර නොකළ විෂයයක් වූ නාට්‍ය කලාව ද ඔහු සංග්‍රහ කරයි. භරත හා ධනඤ්ජය මෙන්ම විශ්වනාථ ද ශ්‍රෙෂ්ඨ නාට්‍යකලා විවේචකයකු ලෙස සලකනු ලැබේ. පරිච්ඡේද දහයකින් යුක්ත වූ කෘතියක් වන සාහිත්‍යදර්පණයෙහි කර්තෘ භාවිත කොට ඇති ශෛලිය සුගම ග්ලිෂ්ට එකකි. අලංකාර ශාස්ත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ආධුනිකයකුට වුවත් ලබාදෙන අන්‍දමේ සරල ස්වරූපයක් එහි දක්නට ලැබේ. එහි දසවන පරිච්ඡේදයේ එන අලංකාර විශේෂ පිළිබඳ විග්‍රහාත්මක විවේචනය මුළු අලංකාර සාහිත්‍යයෙහි ම දක්නට ලැබෙන සාරවත්,තුලනාත්මක, ශාස්ත්‍රීය අලංකාර විවේචනය බව වැඩි දෙනෙකුන්ගේ පිළිගැනීමයි.
ධ්වනි විරෝධීහු
ධ්වනි විරෝධී මතධාරීන් අතර භට්ටනායක හා මහිමභට්ට යන දෙදෙන ප්‍රමුඛ විචාරකයන් ලෙස ගැනෙත්.“ හෘදයදර්පණ ” කර්තෘ වූ භට්ටනායකයෝ කාව්‍යරසාස්වාදයට තුඩු දෙන “ භාවකත්ව ” හා “භෝජකත්ව ”නම් ක්‍රම දෙකක් ගෙන හැර දක්වා ධ්වනිවාදයෙහි ප්‍රධාන අංගයක් වූ “ව්‍යඤ්ජනා ව්‍යාපාරය” වෙනුවට “රසවර්චනා ” නම් ව්‍යාපාරයක් සඳහන් කළහ. හෘදයදර්පණය ග්‍රන්ථයක් වශයෙන් දක්නට නොලැබෙතත් අභිනව ගුප්තයන්ගේ “ ධ්වන්‍යාලෝචනයෙහි ”සඳහන් වන එයින් උපුටා ගත් මතවලින් භට්ටනායකයන් ධ්වනිවාදයට විරුද්ධව ගෙන හැර දැක්වූ අදහස් හා තර්ක කවරේ දැයි නිගමනය කර ගත හැකි වේ . ධ්වනිවාදය බිඳ හෙළීම සඳහා මහිමභට්ටයෝ කාව්‍යධ්වනිය අනුමානය යයි හැකි වේ. ධ්වනිවාදය බිඳ හෙළීම සඳහා “ව්‍යක්ති විවේක”යෙහි තම අදහස් ගෙන හැර දැක්වූ ඔප්පු කිරීමට වෙහෙසුණු විචාරකයෙකි.
විවිධ අලංකාර වාද
කාව්‍යයෙහි “චාරුත්වය” හෝ “සෞන්දර්යය” කවරේ දැයි පැහැදිලි කර දීම ධ්වනිවාදයේ ප්‍රධාන අරමුණ වූ හෙයින් විචාරකයන් එකල සිට යෙදූ මේ වචන හා ඒවායේ පර්යාය ශබ්ද අලුත් අලංකාරවාද බිහි කිරීමට හේතුභූත විය. “විච්ඡිත්ති”, “චක්‍රෝක්ති” “චමත්කාර”යන වචන ඇසුරු කොට විවිධ වාද පැන නැඟුණි. ක්ෂේමේන්ද්‍රයන් විසින් නිපදවන ලද “ඖචිත්‍යවාදය” රසය පෝෂණය කිරීමට “ඖවිත්‍යය” අවශ්‍ය බව පවසයි. ආනන්දවර්ධනයන්ගේ මතයක් මුල් කොට ගෙන “ඖවිත්‍යය රසයේ ජීවිතය” ලෙස හඳුන්වමින් එය චමත්කාරය දනවන අයුරු ඖචිත්‍ය විචාර චර්චවෙහි ඔහු විස්තර කෙළේය. ආනන්ද වර්ධනයන්ගේ සමකාලීනයකු වූ කුන්තකයෝ (භාමහගේ කාලයේ භාවිත කරන ලද) "වක්‍රෝක්ති ය” (වාචා වෛචිත්‍ය්‍රම් විවිඡිත්ති:) කාව්‍යයේ ආත්මය ලෙස විග්‍රහ කොට අලුත් මතයක් ඉදිරිපත් කරන්ට තැත් කළහ. ධ්වනිවාදය හා රසවාදය ද “වක්‍රෝක්තිය” යටතෙහි සංග්‍රහ කළ හැකිය යනු ඔහුගේ නිගමනයයි.
රස අටක් හෝ නවයක් ඇතැයි ගතානුගතිකව භාරතගේ කාලයේ සිට පිළිගැනුණු මතය මෙකල එලෙසම පිළිගැනීමට විචාරකයන් මැළි වූ බව පෙනේ. රසයන්ගේ විවිධත්වයක් පෙනෙන නමුදු ඒවායේ සාධාරණ අරමුණක් ඇති බව සමහර විවේචකයන්ට අවබෝධ විය. භෝජයන්ගේ “සරස්වතීකණ්ඨාභරණය” රසවාදය සංග්‍රහ කරමින් ගෙනහැර දක්වන ප්‍රධාන මතය නම් රස අතුරෙන් ශෘංගාර රසය සැබෑ රසය බවයි. විශ්වනාථයන් පවා වෙනත් විවේචකයකු පැවසූ මතයක් තහවුරු කරමින් “රසෙ සාරඃ චමත්කාරඃ”යී රසයේ හරය ගැන සිත් යොමු කළ බැව් පෙනේ. සාහිත්‍යයෙහි පමණක් නොව පොදුවේ සෑමකලාවක ම ගැබ් වූ රසය හෝ චමත්කාරාත්මක ආස්වාදය කවරේ දැයි විග්‍රහ කොට බැලීම එවක සමහර බුද්ධිමත් විවේචකයන්ට අභිමත වූවකි. ඇතම් අය මේ කලාත්මක රසය ජීවිතයේ ලැබිය හැකි උසස් ම ආස්වාදය යයි සිතා භාවනානුයෝගීව විඳිය හැකි බ්‍රහ්මාස්වාදය හා එය සමාන යයි තර්ක කිරීමට පෙලඹුණාහ. 17 වන සියවසෙහි ජගන්නාථ විසින් රචිත රසගගාධරයෙහි මෙසේ එය විස්තර කරනු ලැබේ. “(කාව්‍යයෙහි) රමණීයත්ත්වය ලෝකෝත්තර වූ ආස්වාදයක් හෙවත් රසයක් දනවන ඥානයට විෂය වූවකි.” (රමණීයතා ච ලොකොත්තරාහ්ලාදජනකඥාන ගොචරතා).
පශ්චාත්කාලීන විචාර කෘතීන්හි දක්නට ලැබෙනුයේ එතෙක් අලංකාර ශාස්ත්‍රයේ සම්මත වූ මත හා රීති පිළිබඳ සවිස්තර විවරණ සහ විවේචන පමණකි. ඒවායින් ප්‍රතිභාන්විත මතයක් අලුත් වාදයක් හෝ හෙළි නොවේ. සාධාරණ අලංකාර ශාස්ත්‍රීය සිද්ධාන්තයන් සංග්‍රහ විවරණ සපයන විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් 11 වන සියවසේ සිට 16 වන සියවස තෙක් කෙමෙන් වැඩිණ. හේමචන්ද්‍රයන්ගේ “කාව්‍යානුශාසනය”, විද්‍යාධරයන්ගේ “ඒකාවලිය”, විද්‍යානාථයන්ගේ “ප්‍රතාපරුද්‍රයශොභූෂණය”, වාග්හටයන්ගේ “කාව්‍යානුශාසනය”, රාජ ශේඛරයන්ගේ “කාව්‍ය මිමාංසාව” හා ක්ෂේමේන්ද්‍රයන්ගේ “කවිකණ්ඨාහරණය” මෙහි ලා වැදගත් කෘතීන් වශයෙන් සැලැකිය යුතුය. කාව්‍යමීමාංසාව හා කවිකණ්ඨාභරණය විචාරාත්මක කෘතීන්ට වඩා කවීන්ට ප්‍රයෝජනවත් අත්පොත් ලෙස සකස් විණි. මේ යුගයෙහි අවසාන භාගයේ අලංකාර වාදයට අදාළ ග්‍රන්ථ කිහිපයක් පළ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. රුය්‍යකගේ “අලංකාර සර්වස්වය” කේශවමිශ්‍රයන්ගේ “අලංකාර ශේඛරය"‚ අප්‍යදීක්ෂිතගේ “කුවලයානන්දය” හා “චිත්‍ර මීමාංසාව” මේ ගණයෙහි ලා සැලකෙන ප්‍රධාන කෘතීහුය. සංස්කෘත සාහිත්‍යයේ පරිහානිය ද අලංකාර ශාස්ත්‍රයේ පරිහානිය ද අතර මහත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් පැවති බව මේ ග්‍රන්ථවලින් පැහැදිලි වේ.
(කර්තෘ: ජේ. තිලකසිරි)
(සංස්කරණය: 1965)