අලකේශ්වර
අලකේශ්වර යනු පුද්ගල නාමයක් නොව පෙළපත් නාමයකි. සංස්කෘත තත්සම ශබ්දයක් වූ අලකේශ්වර යන්න දෙමළ හා මලයාලම් යන දෙබස්හි අලගක්කෝනාරයි සිටී. අලකේශ්වරයන් ගිරිවංශයට අයත් වූ බව චූළවංසයෙහි හා නිකාය සංග්‍රහයෙහි සඳහන් වේ. මොවුන් කේරල දේශයේ වංචිපුරයේ රදල පෙළපතකින් පැවැත ආ බව පෙනේ.
ලංකා ඉතිහාසයෙහි අලකේශ්වරයන් කිහිප දෙනකුන් ගැන ම සඳහන් වේ. මේ නමින් සිටි ඇමතියකු ගැන පළමුවෙන් ම සඳහන් වනුයේ කිත්සිරිමෙවන් කැලණි ශිලාලිපියෙහිය (ක්‍රි.ව. 1344). "විශිෂ්ට වංචී පරපුරෙන් පැමිණි නිස්සංක අලගක්කෝනාර නම් අමාත්‍ය ශ්‍රේෂ්ඨයාණන්ගේ පරම්පරාවෙන් පැවැත ආ දසවැනි අලගක්කෝනාර නම් අමාත්‍යෝත්තමයාණන්" යනුවෙන් එහි මොහු හැඳින්වේ. ඒ අනුව මෙම අලකේශ්වර මන්ත්‍රීන් මෙරටෙහි මුල්බැසගත් බලගතු පරම්පරාවකට අයත් වූවෙකි. අලකේශ්වර නමින් ඇමතියකු ගැන පළමුවෙන් ම සඳහන් වනුයේ යටකී ශිලාලිපියෙහි වුව ද ගිරි වංශාභිජාත මන්ත්‍රීන් ගැන ඊට පෙරත් නොයෙක්වර සඳහන්ව ඇති බව ද පොළොන්නරු කාලයේ විසූ කිත්නගරගිරි ආදි මහා සෙන්පතීන් ගිරිවංශයට අයත් වූවන් සේ සැලකිය හැකි බව ද සමහරෙක් දක්වති.
අලකේශ්වර පෙළපතේ අයට අමරගිරිවැසි යන නාමය ද යොදා තිබීමත් සතර කෝරළයේ ඉඩම් කිත්නගරගිරින්ට ප්‍රදානය කරන ලද බව දක්වන දෙවනගල ලිපිය කොටා ඇති ගල පුරාණයේ දී අමරගිරි පර්වතය නමින් ප්‍රසිද්ධ වී තිබීමත් ඔහු ගිරිවංශයට අයත් වූ බවට සාධක වශයෙන් දක්වති. අලගක්කෝනාර නම් ඇමතියාගේ සහාය ඇතිව එම විහාරයෙහි අලුත්වැඩියා කිරීම් ආදිය කරන ලද බව කැලණි ලිපියෙහි සඳහන් වේ. තව ද පස්වැනි විජයබාහු රජුගේ රාජ්‍යසමයට අයත් වූ කෑරගල මුල් ලිපියෙහි ද අලගක්කෝනාර කෙනෙකු හා ඔහුගේ සොහොයුරිය වූ පද්මාවතී දේවිය ගැන සඳහන් වේ. කෑරගල ලිපියෙහි සහ කිත්සිරිමෙවන් කැලණි ශිලාලිපියෙහි කාලසීමාවන් එකිනෙකට ඉතා කිට්ටු බැවින් මේ දෙකින් ම හඳුන්වන්නේ එක ම තැනැත්තා බව සිතිය හැකිය. 1344 දී ලංකාවට පැමිණි ඉබන් බතූතා, කුනාකර් නම් රාජධානියෙහි විසූ 'අල්කෝනාර්' නම් රජකු ගැන විස්තර කරයි. අරාබි බසින් 'අල්කෝනාර්' යයි සඳහන් වන්නේ සිංහල අලගක්කෝනාර ගැන විය යුතු බව දැන් පිළිගෙන තිබේ. ඉබන් බතූතා මොහු ගැන කරන විස්තරයක මොහු ලංකාවේ රාජපදවිය දැරූ බවත් රට වැසියන් මොහුට විරුද්ධව නැඟී සිට මොහුගේ ඇස් අන්ධ කර පුතා බලයට පත් කළ බවත් සඳහන් කර තිබේ. මෙම අලගක්කෝනාර කිත්සිරි මෙවන් කැලණි ලිපියෙහි හා කෑරගල ලිපියෙහි දැක්වෙන තැනැත්තා ම වියහැකි යයි පරණවිතාන මහතා අදහස් කරයි. එහෙත් කිත්සිරිමෙවන් කැලණි ශිලාලිපිය පිහිටුවන ලද්දේත් ඉබන් බතූතා මෙහි ගොඩ බැස්සේත් 1344 දී බව දැන් නිසැක බැවින්, ශිලාලිපියෙහි ඇමතියකු හැටියට සඳහන් 'අලගක්කෝනාර'ට එම වර්ෂයේ දී ම මෙරට රජකම හිමිවීමත් මඳ දිනකින් ම ඔහුගෙන් රජකම උදුරා ඔහුගේ පුත්‍රයාට එය පවරනු ලැබීමත් සැක සහිත සේ පෙනේ. අපට ලැබී ඇති අන් එක ම ග්‍රන්ථයකවත් මෙම සිද්ධිය සඳහන් වී නොමැත. මෙරට උසස් තත්වයක් දැරූ අලකේශ්වරයන් කීපදෙනා අතුරෙන් ප්‍රථමයා මෙම අලකේශ්වර ලෙසත් ඔහුගේ දෑස් අන්ධ කරනු ලැබීමෙන් පසු රජ බවට පත් කරනු ලැබුවාවූ ද නමින් අලකේශ්වර විය යුතු යයි සලකනු ලබන්නාවූ ද ඔහුගේ පුත්‍රයා දෙවැන්නා ලෙස ගිණිය යුතු බවත් පරණවිතාන මහතා දක්වයි.
නිශ්ශංක අලකේශ්වර හෙවත් අලකේශ්වර ප්‍රභූ රාජයා:
තුන්වැනි නිශ්ශංක අලගක්කෝනාර යන නමින් ද ප්‍රසිද්ධ වූ මොහු ගැන පළමුවෙන් ම අපට අසන්නට ලැබෙන්නේ ගම්පළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ කාලයේ දීය. මොහු ඉබන් බතූතා අල්කෝනාර් නමින් හඳුන්වන යට දැක්වුණු පළමුවැනි අලකේශ්වරයන්ගේ බෑනණුවන් යයි සලකනු ලැබේ. අර්ථනායක සහ දේවමන්ත්‍රීශ්වර යන නම් ඇති සොහොවුරන් දෙදෙනකු මොහුට සිටි බව ගම්පළ යුගයෙහි ලියා ඇති සාහිත්‍ය ග්‍රන්ථයන්ගෙන් හෙළිවේ. මොහු තුන්වැනි වික්‍රමබාහු රජු හා පස්වැනි භුවනෙකබාහු රජුත් යටතේ ප්‍රභුරාජ පදවිය දැරුවේය. හෙතෙම දක්ෂ යුද්ධ සේනාධිපතියෙක් ද දක්ෂ පාලකයෙක් ද විය. රාජාවලියෙහි තුන්වැනි වික්‍රමබාහු රජුගේ රාජ්‍ය සමය පිළිබඳ විස්තරය පටන් ගැනෙන්නේ අලකේශ්වරයන් රයිගම ද ආර්ය චක්‍රවර්තීන් යාපනයෙහි ද පස්වැනි පරාක්‍රමබාහු රජුගේ බෑනණුවන් ගම්පළ ද පාලනය කළ බව දක්වමිනි. එළු අත්තනගලුවංශයෙහි හා නිකාය සංග්‍රහයෙහි ද මොහු ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කර ඇත. නිශ්ශංක අලගක්කෝනාර එකල සිටි ප්‍රබල ඇමතියා ලෙස හඳුන්වන නියම්ගම්පාය ලිපිය ඔහු වණික් වංශයට අයත් බව සඳහන් කරයි. ඉන් ඔහුගේ පවුලේ ආදිමයන් වෙළෙඳුන් වූ බව පෙනේ. ක්වේරෝස්ගේ සටහන්වලින් ද ඒ බව තවදුරටත් ඔප්පු වේ. එහෙත් පසු කාලයෙහි සිටි අලකේශ්වරයෝ රටේ ඉමහත් දේශපාලන බලයක් ඇති කරගෙන සිටියහ. ඔවුන් අත්පත් කරගත් බලය මුදුන්පෙත්තට ම නැංගේ මේ නිශ්ශංක අලගක්කෝනාරයන්ගේ කාලයෙහිය. යුද බිමෙහි හා දේශපාලන බිමෙහි ලත් ජයග්‍රහණයන් නිසා පමණක් නොව බුද්ධශාසනයේ හා අධ්‍යාපනයේ දියුණුවට කළ අනුග්‍රහය නිසා ද මොහුගේ කීර්ති කදම්බය පැතිර ගිය බව නිකාය සංග්‍රහයෙහි එන විස්තරයෙන් හෙළි වේ.
ජයවර්ධනපුර කෝට්ටය ගොඩනඟන ලද්දේ මොහු විසිනි. එකල යාපනේ රජ කළ ආර්යචක්‍රවර්ති නම් දෙමළ රජු සිංහල ප්‍රදේශයන්හි තම බලය පතුරුවාගෙන සිටි බව කියැවේ. මෙම අලගක්කෝනාරයන්ගේ අදහස වූයේ ආර්ය චක්‍රවර්තීන්ගේ බලය නැති කරලීම හා විදේශික වෙළඳාම පාලනය කිරීමත්ය. ජයවර්ධනපුර බලකොටුව තැනුවේ එම අදහස මුදුන් පමුණුවා ගැනීමටය. ආර්යචක්‍රවර්තීන්ගේ බදු අය කරන්නන් මරණයට පත්කිරීම නිසා ආර්යචක්‍රවර්තීහු අලකේශ්වරයන් හා යුදට වන් බව රාජාවලියෙන් පෙනේ. කෙසේ හෝ මෙම යුද්ධයෙන් දෙමළ සේනා පරාජය වූ හෙයින් සිංහලයන්ගේ ස්වාධීනත්වය රැකිණ. මේ නිසා අලගක්කෝනාරයන්ට ලංකා ඉතිහාසයෙහි වැදගත් තැනක් හිමි විය. අවුරුදු 20කට නොඅඩු කාලයක් මොහු දේශපාලන කටයුතුවල ප්‍රභූත්වය ඉසුලුවේය. මින් පසු අලකේශ්වරයන් පිළිබඳ ඉතිහාසය තරමක් අවුල් සහිත හෙයින් ඔවුන් පිළිබඳ යම්කිසි නිගමනයකට බැසීම අපහසුය. අලගක්කෝනාර ප්‍රභූරාජයන්ට පසු ඔහු පුත් කුමාර අලකේශ්වර බලයට පත් වූ බව පෙනේ. මව්පසින් බලයට පැමිණීමේ මලබාර් සිරිත මෙහි ප්‍රචලිතව තුබූ හෙයින් කුමාර අලකේශ්වරයන්ට වැඩි කල් සිහසුනෙහි සිටීමට නොහැකි විය. අලගක්කෝනාර ප්‍රභූරාජයන්ගේ බෑනණු වූ වීරඅලකේශ්වර බලයට පත්විය. එහෙත් කල් නොයවා ම සිංහාසනය පිළිබඳව වීරඅලකේශ්වර හා ඔහුගේ බාල සොහොයුරු වීරබාහු ඈපා අතර සටන් ඇති විය. මින් වීරබාහු ඈපාණන්ට ජය අත්වූයෙන් වීරඅලකේශ්වර ඉන්දියාවට පලා ගියේය. නිකාය සංග්‍රහයෙහි දැක්වෙන පරිදි වීරබාහු ඈපා (බ.) කාර්‍යක්ෂම පාලකයකු වූ බව පෙනේ. 1399 දී පමණ වීරඅලකේශ්වර ආපසු රාජ්‍ය පාලනය අත්පත් කර ගත්තේය. අලගක්කෝනාර ප්‍රභූ රාජයන් නිසා අලකේශ්වර පවුල ශ්‍රේෂ්ඨත්වය ලැබුව ද මොහුගෙන් පැවත එන්නන් අතර මෙසේ ගැටීම් ඇති වූයෙන් කෙමෙන් ඔවුන්ගේ බලය හීන විය. 1411 දී වීරඅලකේශ්වර චීනුන් විසින් සිරකරුවකු වශයෙන් අල්ලා ගනු ලැබූයෙන් අලකේශ්වර පෙළපතේ බලය සහමුලින් ම නැතිවී ගියේ යයි සිතිය හැක. අලගක්කෝනාර පවුල බලය අත්කර ගැනීමට දබර කරද්දී පස්වැනි බුවනෙකබා ගම්පළ රජ කරමින් විසී යයි පරණවිතාන මහතා දක්වයි.
ලංකාව චීනුන් විසින් ආක්‍රමණය කරන ලද බව හා එකල පාලකයා වූ අ-ලි-කූ-නෙයි-වු-යුල් චීනයට අල්ලා ගෙන ගිය බව චීන පොත්වල ද සඳහන් වේ. අලිකූනෙයිවුයුල් නමින් හඳුන්වා ඇත්තේ වීරඅලකේශ්වරයි. චීන අගරජු විසින් මොහු පසුව මුදා හරිනු ලැබූ බව සඳහන්ය.
රාජාවලියෙහි සහ කූටෝගේ ඉතිහාසයෙහි ප්‍රභූ රාජ අලගක්කෝනාරයන් (අලකේශ්වරයන්) පරාක්‍රමබාහු ඈපාණන් රජකමට පත් වන තෙක් ජීවත්වූහයි සඳහන්ය. වීරඅලකේශ්වර හා වීරබාහු ඈපා යන සොහොයුරන් දෙදෙනා අතර ඇති වූ සටනේ දී දුර්වල රජකු කෝට්ටේ රජකමට පත්කොට ගෙන රටේ නියම පාලනය තමා අතට ගැනීමේ අදහසින්, වීරබාහු ඈපාට විරුද්ධව වීර අලකේශ්වරයන්ට මොහු රහසින් උදවු දුන්නේ යයි ද එහෙත් වීරඅලකේශ්වර මේ සටනින් පැරද ඉන්දියාවට පලාගියෙන් අලකේශ්වර ප්‍රභූරාජයන් ගේ අදහස ව්‍යර්ථ වූයේ යයි ද සඳහන්ය. ටික කලකට පසු ඉන්දියාවෙන් යුද සෙනඟක් සමග පැමිණි වීරඅලකේශ්වර සිය සොහොයුරු වීරබාහු ඈපාණන් පරදවා හවන විජයබාහු යන නමින් කෝට්ටේ රජ බවට පත්වීමෙන් කෝට්ටේ රජකමට පත්විමට අලකේශ්වර ප්‍රභූරාජයා කෙරෙහි වූ බලාපොරොත්තුව නැවතත් සුන් වූ බව ද ඉහත සඳහන් ග්‍රන්ථයන්හි සඳහන් වේ.
යටකී පරිදි, වීරඅලකේශ්වරයන්ට චීන ආක්‍රමණයකට මුහුණ පාන්නට සිදු විය. මේ ආක්‍රමණයේ දී අලකේශ්වර ප්‍රභූරාජයා වීරඅලකේශ්වරයන්ට විරුද්ධව චීනුන්ට උදවු දුන්නේය. මෙසේ කෙළේ කෝට්ටේ රාජ්‍යය තමා අයත් කරගන්නා අදහසිනි. වීරඅලකේශ්වර චීනයට අල්ලාගෙන යනු ලැබූයෙන් මොහුගේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ලැබිණ. මොහු කෝට්ටේ සිට රට පාලනය කළ බව සඳහන් වේ. මුදා හරින ලද වීරඅලකේශ්වරයන් මොහු විසින් රහසේ මරවන ලද බව කූටෝ සඳහන් කර ඇත. මොහු ඔටුනු නොපැලඳ ම කෝට්ටේ රජු හැටියට පෙනී සිටියේය. එහෙත් අභිෂේක කිරීමට නියමව තිබූ අවස්ථාවේ දී ශ්‍රී පරාක්‍රමබාහු ඈපාණන් (පසුව සවැනි ශ්‍රී පරාක්‍රමබාහු රජු) අතින් මොහුට මැරුම් කන්නට සිදු විය. කෝට්ටේ රජ වූ මෙම සවැනි ශ්‍රී පරාක්‍රමබාහු (බ.) චීනයට අල්ලාගෙන ගිය සිංහල රජුගේ පුත්‍රයා යයි රාජාවලියෙහි සඳහන් වේ.