අලම්පූර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ හයිදරබාද් ප්‍රදේශ රාජ්‍යයට අයත් රයිවූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි. තුංගභද්‍ර නදියේ බටහිර ඉවුරට නුදුරු මේ ග්‍රාමය එහි ඇති පැරණි දේවාල සයක් ගැන ප්‍රසිද්ධය මේ දේවාල ද ග්‍රාමනාමයෙන් ම හැඳින්වෙයි.අයිහෝළේ දෙවොලට මෙන් මේ දේවාල සයට ද ප්‍රාකාරවලින් පරික්ෂිප්ත කිරීමෙන් ආරක්ෂා සංවිධාන යොදා තිබේ. ඉන්දු - ආර්යය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ශිඛරයන්ගෙන් සමන්විත වූ හෙයින් මේවා හත්වන සියවසේ අග භාගයට අයත් යයි පුරාවිද්‍යාඥයෝ සලකති. මේ දේවාල අතුරෙන් විශාලතම දෙවොල දිගින් අඩි 75 ක්ද පළලින් අඩි පනහක් ද වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ අංගයක් නම් ලම්බාකාර ස්තම්භරේඛා පංක්තියකින් සමන්විත අමලශිලාවක (ශිඛර මස්තකය ආශ්‍රිත කොටසක) ආකාරයෙන් යොදන ලද කොත් කැරැල්ලය. විශාලතම දෙවොලේ ප්‍රතිමාඝරය හා කුලුනුවලින් නිම කළ ශාලාව ද හැඩහුරුකමින් හා පිහිටීමෙන් සත්වන සියවසට අයත් ඇල්ලෝරාවේ ලෙන් විහාරයක් වු රාවණ-කා-බායි ලෙනට බෙහෙවින් සමානය. මේ දේවාල ආදිතම වාලුක්‍යයන්ගේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ද ලබා ඇති බව පෙනේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලම්පූර්&oldid=4580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි