අල්මාරිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙරට සාමාන්‍යයෙන් හැම ගෙයක ම පාහේ දක්නට ඇති ගෘහ භාණ්ඩයකි. අල්මාරිය යනු පෘතුගීසි තත්සම ශබ්දයකි. නොයෙක් ඉන්දියානු භාෂාවන්හි ද මේ ශබ්දය ව්‍යවහාරයට පැමිණ තිබේ. පෘතුගීසි අල්මාරිඋ හෙවත් අර්මාරිඋ යන්න අර්මාරියුම් යන ලතින් ශබ්දය ප්‍රභව කොට ඇත්තේය. අර්මාරියුම් යන ලතින් වචනයෙන් හැදින්වෙන්නේ යුද්ධෝපකරණ ආදිය සඳහා වූ පෙට්ටගමකි. අර්මා යන්න යුද්ධෝපකරණ යන අරුත් දෙයි. 12 වැනි ශත වර්ෂයේ ප්‍රංස භාෂාවේ මෙය ආර්මාර් යනුවෙන් ද 16 වැනි ශතවර්ෂයේ දී ආර්ම්වාර් යනුවෙන් ද දක්නා ලැබේ.

අර්මාරියුම් නම් වූ පෙට්ටගමක් වැනි මුල් භාණ්ඩයට කල්යාමේ දී කකුල් හා දොරවල් සවිකරන ලදි. මධ්‍යතන යුගයේ ඇතැම් අල්මාරිවල දොරවලට පහළින් දිග ලාච්චුවක් ද විය. නවීන අල්මාරිය විකාසනය වූයේ මෙවැනි පැරණි අල්මාරිවලිනි.

අල්මාරි භාවිතය ලක්වැසියනට පුරුදු වූයේ පෘතුගීසින්ගෙන් යයි කල්පනා කළ හැකිය. ඕලන්ද සමයේ දී අල්මාරිය පහතරට ප්‍රදේශවල පාවිච්චි වූ බව නිශ්චය වශයෙන් කියහැකි වෙයි. අල්මාරි භාවිතය පටන් ගැනෙන්නට පළමු ඉන් කැරෙන කාර්යය සඳහා පාවිච්චි කරන ලද්දේ ද පෙට්ටගමය. අද පවා ඇතැම් ගම්බද ගෙවල පෙට්ටගම පාවිච්චි කරනු දැක්ක හැකිය.

පෘතුගීසි හා ඕලන්ද කාලවල පහතරට ධනවත් ගෙවල පාවිච්චි කරන ලද අල්මාරි විවිධ මෝස්තරවලට අයත් විය. කොළඹ කෞතුකාගාරයේ දැනට ප්‍රදර්ශනයට තබා ඇති ඉතාමත් පැරණි අල්මාරියේ කකුල් අඩි දෙකක් පමණ උසය. දොර පියන් දෙකකි. අල්මාරි කඳ අඩි හතරක් පමණ උසය. අල්මාරියේ මුදුන් වඩිම්බු ලෑල්ලෙහි අඩියක් පමණ පුළුල් බොරදම් බේරා කැටයම් කපාඇත්තේය. ඇතැම් විට අල්මාරියක ඉදිරිපස කකුල් විශාලය; අඩියක් පමණ උසය. නැදුන්, සියඹලා, කළුමැදිරිය, කොස්, කළුවර, පලු ආදි ලීවලින් අල්මාරි තනා බුරුතෙන් හා ඇත්දත්වලින් කැටයම් වැඩ දමා තිබේ. යතුරු තහඩු හා සරනේරු ආදිය කැටයම් සහිතව පිත්තලෙන් කර තිබේ. පරණ තාලයේ අල්මාරියත් වෝබ්රෝබ් නමින් හැඳින්වෙන නවීන අල්මාරියත් හැඩය අතින් බොහෝ දුරට සමානය. මේ දෙක අතර ඇති වෙනස නම් පැරණි භාණ්ඩයේ කැටයම් වැඩ හා උස් කකුල් තිබීමත් නවීන භාණ්ඩයේ එසේ නොතිබීමත්ය. පිඟන් බඩු, රෙදිපිළී, පොත්පත්, ආහාර ආදී විවිධ දේ සඳහා ඕලන්ද කාලයේ විවිධ අල්මාරි වර්ග විය. පිඟන් බඩු සඳහා වූ අල්මාරි වර්ගය වීදුරු දොරවලින් යුක්ත විය. ලංකාවේ ඕලන්ද අල්මාරිවල විශේෂ ලක්ෂණයක් වූයේ ඉදිරිපසින් විශාල ලීස්තර හා බොරදම් තිබීමය.

ඇතැම්විට මෙම අල්මාරියක කකුලේ අග බෝලයක් මත තබා ඇති සතකුගේ නිය සහිත කකුලක ස්වරූපය කැටයම් කොට තිබුණි.

අද ප්‍රධාන වශයෙන් ඇඳුම් පැලඳුම් බහා තැබීමට පාවිච්චි කරන ගෘහභාණ්ඩය වන අල්මාරිය වටිනා ලීවලින් ම සෑදීම සිරිතය. උසින් අඩි හයක් පමණ වූත් පුළුලින් අඩි තුනටත් පහටත් අතර වූත් සරස අඩියක් හෝ අඟල් 15ක් පමණ වූත් අල්මාරි අද සාමාන්‍ය අල්මාරි වර්ගය ලෙස සැලකිය හැකිය. අගනා ලීයෙන් කරනු ලබන නිසාත් ප්‍රයෝජනදායී බව නිසාත් එය භාණ්ඩ අතුරෙන් ඉතා වැදගත් එකකි. අල්මාරිය ගෙදරකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් හැටියට සලකනු පෙනේ. මෙරට සමහර පළාත්වල දීගයක යන තරුණියට දායාද වශයෙන් දෙන ප්‍රධාන භාණ්ඩය අල්මාරිය වේ. ගතවූ අවුරුදු තිහක පමණ කාලයේ සිට මේ භාණ්ඩය ආකෘතියෙන් මෙන් ම සැරසිලි අතින් ද විශාල වෙනසකට හා විකාසයකට පත්වී තිබෙන බව පැරණි හා වර්තමාන අල්මාරි සසඳා බැලීමේ දී පෙනී යයි. (ගෘහභාණ්ඩ බ.)

(කර්තෘ: ඩී. අමරසේකර)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්මාරිය&oldid=6053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි