අල්මොරාවිද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අල්මුරාබිතුන්). 11 වන 12 වන ශතවර්ෂයන්හි දී වයඹදිග අප්‍රිකාවේ විශාල අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන, කලක් ස්පාඤ්ඤය ද සිය අත්අඩංගුව යටතේ තබාගෙන සිටි ඉස්ලාම් භක්තික රජපරපුරකි.

11 වන ශතවර්ෂයේ මුල්භාගයේ දී මහත් බල පරාක්‍රමයෙන් වැජඹි ඝානා අධිරාජ්‍යයේ ව්‍යාප්තිය නැවැත්වීමේ අදහසින් අප්‍රිකාවේ සෙනගල් නදිය අවට විසූ බර්බර් ගෝත්‍ර කීපයක් එක්සත්ව සිය නායකයා හැටියට රණකාමී ලැම් ටූනා නම් ගෝත්‍රයේ නායක තාසිනා නමැත්තකු පත් කරගත්හ. හෙතෙම අබ්දුල්ලා අබු මුහම්මද් නමින් ඉස්ලාම් භක්තිය වැලඳගෙන ඉස්ලාමික නුවූ අසල්වැසි ගෝත්‍රවලට පහර දෙමින් සිය කණ්ඩායමේ බලය පතුරුවන්ට විය. මේ අතර ඔහු මියගියෙන් ඔහුගේ බෑනණු වූ යාහියා ඉබ්න් ඉබ්‍රාහිම් නමැත්තාට නායකත්වය පැවරිණ. භක්තිමත් ඉස්ලාමිකයකු වූ ඔහු ඉබ්න් යාසින් නම් පූජකයකු සිය පක්ෂයේ ආගමික නායකයා හැටියට පත් කොට ගෙන පක්ෂයේ සීමාන්තික ආගමික මත බලාත්කාරයෙන් අවට ගෝත්‍රිකයන් අතර පැතිර වීමට මහන්සි ගත්තේය. මේ ප්‍රයත්නය එතරම් සාර්ථක නොවූයෙන් යාහියා හා ඔහුගේ සහෝදර අබුබක්ර් ද සහාය කොට ගත් ඉබ්න් යාසින්, සෙනගල් ගඟ මැද පල්ලියක් ('රිබත') තනා ගෙන තම අනුගාමික සුළු පිරිසේ ද සහාය ඇතිව අවි බලයෙන් අනුගාමිකයන් බඳවා ගැනීමේ යෙදුණේය. අල්මොරාවිද් (අල්මුරාබිතුන්) යන නම ඇතිවූයේ 'රිබත්' යන වචනය ඇසුරෙනි. ජය පිට ජය ලත් මේ කුඩා පිරිස මඳ කලකින් ම මහත් බල ඇණියක් ගොඩනැඟීමෙහි සමත් විය. ඉක්බිති මේ අල්මොරාවිද්වරු බටහිර සහරා ප්‍රදේශයේ අන් හැම ගෝත්‍රයක් ම පරදවා එපෙදෙසෙහි අධිපති බවට පත් වූහ. 1056 දී යාහියා ද 1059 දී ඉබ්න් යාසින් ද මියගියෙන් අබුබක්ර් 1059 දී අල්මොරාවිද්වරුන්ගේ අසහාය නායකයා බවට පත්විය. හෙතෙම සිය ඥාති සහෝදර යුසුෆ්, ඉබ්න් තැෂිපින් නමැත්තාගේ ද සහාය ඇතිව අල්මොරාවිද් අධිරාජ්‍යය විශාල කිරීමෙහි යෙදුණේය. දකුණු මොරොක්කෝ ප්‍රදේශයේ සේනානායකත්වය ලත් යුසුෆ් 1063 දී මරාකේෂ් නගරය ඉදි කොට ක්‍රමයෙන් මුළු මොරොක්කෝව ද ටැන්ජියර්ස් හා ඇල්ජීරියා යන ප්‍රදේශ ද යටත් කොට ගත්තේය. ඉක්බිති යුසුෆ්, අබුබක්ර්ගේ ආධිපත්‍යයෙන් නිදහස් වී මොරොක්කෝව ඇතුළත් උතුරු කොටසෙහි ස්වාධීන පාලකයා බවට පත්විය.

දකුණු දෙස සිය බලය ව්‍යාප්ත කිරීමෙහි යෙදුණු අබුබක්ර් 1076 දී ඝානා අධිරාජ්‍යය යටත් කිරීමෙහි සමත්විය. 1087 දී අබුබක්ර් මියගියේය. මේ අතර 1085 දී ග්රැනඩා, බඩාජෝස්, සෙවිල්, කෝරෝවා ආදි ස්පාඤ්ඤ පළාත්වල බලයට පැමිණ සිටි අමීර්වරු කැස්ටිල්හි අල්පොන්සු VI රජුගේ බලය පැතිරීම නතර කිරීම පිණිස යූසුෆ්ගේ ආධාරය සෙවූහ. 1086 දී ඇල්ජිසිරාස්හි ගොඩබට යුසුෆ් බඩාජෝස් අසල දී අල්පොන්සු VI රජු සහමුලින් ම පැරදවීය. ඉන්පසු 1090 දී නැවතත් ස්පාඤ්ඤය ආක්‍රමණය කළ යූසුෆ් ඊළඟ වර්ෂයේ දී ස්පාඤ්ඤයේ විසූ අමීර්වරුන් ඉවත් කොට මුස්ලිම්වරුන්ට අයත්ව තිබූ ස්පාඤ්ඤ ප්‍රදේශ සියල්ලක් ම තමන් යටතේ එක්සත් කළේය. 1106 දී ඔහු මිය යන විට අල්මොරාවිද් අධිරාජ්‍යය බටහිර අප්‍රිකාවේ සෙනගල් ප්‍රදේශයේ සිට ස්පාඤ්ඤයේ එබ්රෝ නදිය දක්වා පැතිර තිබුණි. යූසුෆ්ගේ පුත්‍ර අලිගේ කාලයේ දී මැඩ්රිඩ්, සරගෝසා, ඔපෝර්ටෝ, ලිස්බන් යන ප්‍රදේශ ද මෙම අධිරාජ්‍ය සතු විය. 1119, 1121 යන වර්ෂවල දීද අල්මොරාවිද්වරු ස්පාඤ්ඤය ආක්‍රමණය කළහ. එහෙත් වැඩි කල් යන්ට පෙර අල් මොහේදි නම් වූ එවැනිම තවත් අප්‍රිකානු අධිරාජ්‍යයක් ඇට්ලස් කඳු ප්‍රදේශයෙන් පහළව, අවුරුදු 100ක් තරම් කාලයක් මහත් බලයක් දරමින් පැවති අල්මොරාවිද් අධිරාජ්‍යය ගිලගත්තේය. 1147 දී අල්‍මොරාවිද් අධිරාජ්‍යය වැටුණු පසු ද සෙවිල් හා ග්රැනඩා යන ස්පාඤ්ඤ පළාත්වල එම පරපුරේ කොටස් මඳකලක් ශේෂව පැවතිණ. (අප්‍රිකාව-ඉතිහාසය ද බලන්න.)

පොත්පත්

De Graft-Johnson-African Glory

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්මොරාවිද්&oldid=6059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි