අලාභ
(Damages) නීති විරෝධී වූ ක්‍රියාවක් නිසා හෝ නීති විරෝධී වූ පැහැර හැරීමක් නිසා හෝ පීඩාවක් විඳි අයකුට නඩු මාර්ගයෙන් ලබාගත හැකි වන්දි මුදලය. සාමාන්‍යයෙන්, අලාභ ගෙවීමට උසාවියෙන් නියම කරනු ලබන්නේ පීඩාව විඳි තැනැත්තා, ඒ පීඩාව එසේ සිදු නොවී නම්, යම් තත්වයක සිටින්නේ ද එම තත්වයට ඔහු පැමිණවීමටය. සිදු වූ හානිය අඩුකරගනු වස් සෑම යුක්ති සහගත පියවරක් ම ගැනීම පීඩාව විඳී තැනැත්තාගේ යුතුකමයි.
සාමාන්‍ය අලාභය, විශේෂ අලාභය යයි අලාභ ද්විප්‍රකාර වේ. සාමාන්‍ය අලාභය නම් පීඩාව කරණ කොටගෙන ඇති වී යයි සිතිය හැකි වූ ද එහි ස්වාභාවික වූ ද ප්‍රතිඵලය වශයෙන් හටගන්නා පාඩුවයි. එබඳු අලාභ ඇතිවේය යනු නීතියේ පූර්වනිගමනය වේ. විශේෂ අලාභය නම් සිද්ධිය ආශ්‍රිත විශේෂ කරුණු හේතු කොටගෙන හටගන්නා පාඩුවයි. එවැනි පාඩුවක් ඇති වූ බව ඉඳුරා කියා එය ඔප්පු කළ යුතුයි.
ගිවිසුමක් කඩකිරීමෙන් කෙළින් ම ඇති වන ස්වාභාවික ප්‍රතිඵලය වශයෙන් සිදුවන්නාවූ හෝ ගිවිසුම කඩකිරීමෙන් සිදු වෙතැයි සිතිය හැකි සේ ගිවිසුම ඇති කරගන්නා අවස්ථාවේ දී දෙපක්ෂයේ කල්පනාවට යොමු වූ හෝ පාඩුව ගිවිසුමක් කඩකිරීම වෙනුවෙන් ගෙවීමට උසාවියෙන් නියම කරනු ලබන අලාභයට ඇතුළත් වෙි. ගිවිසුමක් කඩකිරීමෙන් මතුවට ඇති වෙතැයි සිතිය හැකි ප්‍රතිඵල සඳහාත් අලාභ ඉල්ලා සිටිය හැකිය. විවාහ ගිවිසුම් සම්බන්ධයෙන් විනා ගිවිසුමක් කඩකිරීම නිසා වූ බලාපොරොත්තු සුන්වීම් හෝ සිත් තැවුල් හෝ සඳහා අලාභ අයකරගත නොහැකිය. ගිවිසුම කඩ කළහොත් ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමට ගිවිසුම ඇති කර ගන්නා අවස්ථාවේ දී එකඟවීමක් වූයේ නම්, එම මුදල අයකරගත හැකි වන්නේ ගිවිසුම කඩකිරීමේ ප්‍රතිඵල වශයෙන් ඇතිවිය හැකි නියම පාඩුව ලෙස කල්තියා කරන ලද තක්සේරුව නිර්ව්‍යාජ එකකැයි පෙනුණහොත් පමණි. එම මුදල ගිවිසුම කඩකිරීමේ ප්‍රතිඵල වශයෙන් ඇති වෙතැයි සිතා ගත හැකි වැඩි ම පාඩුව හා සසඳන කල, අධික අයුතු එකක් නම්, එය අයකරගත හැකි නොවන්නේය. බඩු විකිණීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් නම්, බඩු භාරදීමට හෝ භාරගැනීමට හෝ අපොහොසත් වීම නිසා ඇති වන අලාභයේ ප්‍රමාණය වන්නේ ගිවිසුමේ සඳහන් මිලත් බඩු භාරදීමට නියමිත දිනයේ දී වෙළෙඳ පොළේ පවත්නා මිලත් අතර ඇති වෙනසය යනු ව්‍යවස්ථාගතය.
සිවිල් වරදක් (delict ) කිරීම සම්බන්ධයෙන් ගෙවීමට නියම කරනු ලබන අලාභය (1) ආචාරික හෙවත් භාවික අලාභය ය (2) ප්‍රවේණි අලාභය යයි දෙවැදෑරුම් වේ. කෙනකුගේ ශරීරය හෝ ගරුත්වය හෝ කීර්තිය ඕනෑකමින් ම කෙලෙසන ලද විට, ඒ වෙනුවෙන් ගෙවීමට නියම කරනු ලබන අලාභය ආචාරික හෙවත් භාවික අලාභය නම් වේ. එබඳු අලාභ ගෙවීමට නියම කරනු ලබන්නේ ඇති වූ චිත්ත වේදනාව සඳහා හෝ කෙලෙසුණු ගරුත්වය හෝ කීර්තිය සඳහා හෝ වන්දි වශයෙනි. මෙහි දී සැබැවින් ම මුදලින් වූ පාඩුවක් ඔප්පු කිරීම අවශ්‍ය නොවේ. ආචාරික අලාභය අයකරගැනීමට හිමිකම් ඇත්තකුට මුදලින් ද පාඩුවක් සිදු වී තිබේ නම්, සාමාන්‍ය ආචාරික හෙවත් භාවික අලාභ වලට අමතර වශයෙන් විශේෂ අලාභ ඔහුට අයකරගත හැකිය. දික්කසාද නඩුවක දී ස්වාමි පුරුෂයකුට තම බිරිඳ සමඟ අනාචාරයේ හැසුරුණු කෙනෙකුගෙන් අලාභ අයකර ගත හැකිය. ඔහුට එසේ අලාභ අයකර ගත හැකි වන්නේ තම බිරිඳගෙන් ලැබුණු සහවාසය, සැප පහසුකම් හා ඇප උපස්ථාන නැතිවී යෑම නිසාත් ස්වකීය විවාහ ජීවිතයට සිදු වූ නින්දාව නිසාත්ය. පීඩාවක් (injuria) කළ තැනැත්තා බලාත්කාරකමින් හෝ ද්වේෂයෙන් හෝ නින්දා කිරීමේ චේතනාවෙන් හෝ හැසුරුණේ නම්, දණ්ඩනීය (ප්‍රතිහිංසක) අලාභ අයකර ගැනීම පීඩාව විඳි තැනැත්තාට කළ හැකිය. ප්‍රවේණි අලාභ ගෙවීමට නියම කරනු ලබන්නේ ඕනෑකමින් ම හෝ නොසැලකිල්ලෙන් හෝ කෙනකුගේ අයිතිවාසිකම් ආක්‍රමණය කිරීම නිසා මුදලින් තක්සේරු කළ හැකි පරිදි ඇතිවුණු හෝ ඇති විය හැකි වූ හෝ පාඩුවකට වන්දි වශයෙනි. සිවිල් වරදක් නිසා දේපළට හානියක් වූ තන්හි දී, එම වරද නොකෙරෙන්නට දේපළ අයිතිකරු මුදල් අතින් සිටිය යුතු තත්වය හා සමාන තත්වයකට ඔහු පමුණුවා ලන ප්‍රමාණයක අලාභ ඔහුට ලබාගත හැක. කඩා බිඳ දමන ලද දේ ප්‍රතිසංස්කරණය කිරීමට සාධාරණ වශයෙන් වැය වන මුදලද එම දෙය නැවත සකස් කිරීමට සාමාන්‍යයෙන් ගතවන කාලය තුළ අයිතිකරුට එහි වටිනාකම අඩු වීයෑමේ පාඩුව ද අලාභය තක්සේරු කිරීමේ දී උසාවිය විසින් ගණනට ගනු ලැබේ. තම දේපළකට හානි සිදු කරන ලද විට, අයිතිකරුට අලාභ ඉල්ලා සිටීමට හිමිකම් ඇති වේ තව ද ඒ කැඩුණු බිඳුණු දෙය ප්‍රතිසංස්කරණය කළාට අයිතිකරු ප්‍රතිසංස්කරණ ගාස්තු නොගෙවා තිබීමවත් අයිතිකරු ම එම ප්‍රතිසංස්කරණය කරගෙන තිබීමවත් කිසියමි බාහිර පක්ෂයක් විසින් තෑග්ගක් වශයෙන් හෝ ගිවිසුමක් පරිදි හෝ පාඩුව පිරිමසා දී තිබීමවත් අලාභ ගෙවීමට නියම කිරීමේ දී උසාවියේ කල්පනාවට භාජන වන කරුණු නොවේ.
සිවිල් වරදක් හේතුකොටගෙන ශාරීරික පීඩාවක් විඳි කෙනකුට වෙදකම් ගැනීමට වියහියදම් කිරීමට සිදුවීම, රක්ෂාවකින් ලැබෙන ආදායම හෝ ව්‍යාපාරයෙකින් ලැබෙන ලාභය හෝ අත්හිටීම ආදි වශයෙන් නියම වශයෙන් ම මුදලින් වූ පාඩුව වෙනුවෙන් ද, ඔහුට දුක්පීඩා විඳින්ට සිදු වීම, ශරීරය විරූප වීම හෝ අංග විකල වීම, සාමාන්‍ය සෞඛ්‍යය හා සැපපහසුකම් නැති වී යෑම, බලාපොරොත්තු විය හැකි ආයුෂ කෙටිවී යෑම යන මේ කරුණු වෙනුවෙන් ද අලාභ ගෙවන්නට නියම කිරීමේ බලය උසාවියට තිබේ.
සිවිල් වරදක් වෙනුවෙන් අලාභ ගෙවීමට යටත් වන්නේ එම වරද කළ අයත්, එය කිරීමට හවුල් වූ හෝ බලය පැවරූ අයත් යන මොවුන්ය. මෙහෙකරුවකු හෝ යමකුගේ සේවයෙහි නියුක්තයකු විසින් සිය සේවයේ යෙදී සිටිය දී සිවිල් වරදක් කරන ලද නම් ඔහුගේ ස්වාමියා නැතහොත් සේවා හිමියා අලාභ ගෙවීමට යටත් වෙයි.
නිශ්චල දේපළ සම්බන්ධයෙන් අයුතු ලෙස බුත්ති විඳීමක් ඇති වූ විට, බදු මුදල හෝ අහිමි ලාභ හෝ වෙනුවෙන් අලාභ අයකරගන්නට පුළුවන. අහිමි ලාභ යනු නිශ්චල දේපළක් අයුතු ලෙස බුත්ති විඳින තැනැත්තා විසින් එම දේපළෙන් සැබවින් ම ලද්දාවූ හෝ සෑහෙන තරම් උද්‍යෝගයකින් ක්‍රියා කරන ලද නම් ඔහුට ලද හැකිව තිබුණා වූ හෝ ලාභ යයි සිවිල් නඩු විධාන සංග්‍රහයේ 196 වන ඡේදයෙහි විග්‍රහ කොට ඇත.
(කර්තෘ: ජී.ටී. සමරවික්‍රම)
(සංස්කරණය: 1965)